තව ද නො කළ වරදකු ත් කළ ලෙසට සැලසී ජීවිත හානියට නිල ව තුබූ අකුශල කර්‍මයෙක් ලං ව ගත නො හිණි නම් වන හානි නැති නියාව හඟවන්ට චූළ කාල උපාසකයන් ගේ වස්තුව දක්වමු.
කෙසේද යත්-
මහා කාළ වත කියන ලද ලෙසින් ම එක් දවසක් උමං සොරු උමං බිඳ ගෙන ගෙට වැද වස්තුව ත් හැර ගෙන වස්තු ස්වාමීන් ලුහුබඳවා ගත් ගමනෙත් විහාරයට ගොසින් රාත්‍රි බණ අසා පියැ උදාසන විහාරයෙන් නික්ම සැවත් නුවරට එන චූලකාළ උපාසකයන් ළඟට සොරා ගත් දෙය දමා පියා සොරා පලා ගියහ.
මිනිස්සු උන් දැක ‘මූ රෑ සොරකම් කොට පියා පින් කරන්නා සේ ඇවිදිති. තුලුන් අල්වව’යි කියා ලා අල්වා ගෙන මරන්ට වන්හ. කළ මිඬියෝ පැන් තොටට යන්නාහු උන් දැක ‘තුලුන්දෑ එ බන්දක් කරනදෑද? මුන්දෑ එ තරමක් නො කරන නියාව කවුරු නොදනිද්ද? මුන්දෑට ගැහැට කට නො හැක්කැ’යි නො එක් කාරණ කියා හරවා පූ ය. චූල කාළ උපාසකයෝ ද විහාරයට ගොසින් ‘කළ මිඬියන් නිසා මුත් හැසිල්ලෙකින් ම නටුයෙමි” වහන්දෑට කිවු ය. වහන්දෑ බුදුන්ට දැන් වූ සේක. බුදුහු ඒ අසා මහණෙනි, චූල කාළයෝ කළමිඬියන් නිසා ත් මූ තමන් එබන්දක් නො කළ හෙයිනු ත් ජීවිත ය ලද්දෝය’යි වදාරා බණ වදාරන සේක් යම් කෙනෙක් ප්‍රාණවධාදි වූ පව් කොළෝ නම් ඌ නරකාදි වූ අපායට පැමිණ තුමූ ම තමන් කෙලෙසති.
යම් කෙනෙක් පවින් දුරු ව දානාදි වූ පින්කම හැසුරුණාහු නම් ඌ ස්වර්ග සම්පතටත් නිවන් සම්පතට ත් පැමිණ තුමූ තමන් ම පිරිසිදු වෙති. කළ කුශලාකුසලයෙක් ඇත් නම් කළවුන්ට ම ය. එක් කෙනකුන් කළ අකුසලින් අනික් කෙනකුන් අපායට පැමිණෙන්නේ ත් නැත. එක් කෙනකුන් කළ කුසලින් අනික් කෙනකුන් ලොවී ලොවුතුරා සැප ත් ලබන්නේ ත් නැත. සසර රඳා සිටිතත් සසරින් ගැළවෙත ත් තම තමා ම කොට ගත් දෙයකැ’යි වදාළ සේක. දේශනා කෙළවර චූලකාළ උපාසකයෝ තමන් කළ පිනින් තුමූ සෝවාන් වූහ. සෙසු ත් බොහෝ දෙන තම තමන් කළ පිනින් තුමූ තුමූ ම සෝවාන් ඵලාදියට පැමිණියහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් සර්‍වඥවරයන් පැරුම් බිම දී පිරූ දානාදි පැරුම් ඔබට ම බුද්ධත්‍ව ය සාධා දී ලන පමණක් මුත් අනික් තැනකට ප්‍රත්‍යෙක බෝධිය හා ශ්‍රාවක බෝධිය සාධා දී නො ල යි. ඒ තැන්ගේ ප්‍රත්‍යෙක බෝධියට හා ශ්‍රාවක බෝධියට කළ පින් බුදුවරුන් වහන්සේගේ සම්‍යක් සම්බෝධිය සාධා දී ලන්නේ නොවෙයි. එහෙයින් තමා ම කොට ගත් දෙයකැ’යි සිතා පින් කම හැසිර ලොවී ලොවුතුරා සැපත් සිද්ධ කටයුතු.
_________