145. කාළ නම් තෙරුන් වහන්සේ ගේ වස්තුව

star_outline

තව ද කවුරුන් කුමක් කීවත් මහ පිණැත්තවුන් කළ මනා දෙයක ම හැසිර වැඩ සාධා ගන්නා නියාව කාළ නම් තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වා කියමු.

කෙසේද යත් -

සැවැත් නුවර එක් උපාසිකා කෙනෙක් කාළ නම් තෙරුන් වහන්සේට මවු තරමේ සිට උපස්ථාන කෙරෙති. උන්ගේ ගෙට ඉක්බිති ගෙවල ඇත්තෝ බුදුන් ගෙන් බණ අසා ලා අවුත් ‘අනේ? බුදුන්ගේ තරමක් අරුම නියා ය. බණ වදාරා පියන ලෙසකු ත් විස්ම නියාය. අප මෙ තෙක් දෙනා වෙන වෙන ම සිත් ගෙන බණ වදාරන සේක. ශබ්ද මාධුර්‍ය්‍ය නම් කන මී හෝනා සේ ය. යනාදීන් විස්තර කොට කියති. කාළ තෙරුන් වහන්සේට උපස්ථාන කරන උපාසිකාවෝ ද ඒ කථාව අසා තෙරුන් වහන්සේට ‘ස්වාමීනි, මම ත් බුදුන්ගෙන් බණ අසනු කැමැත්තෙමි. මියුරු දෙය නම් කාට ත් මියුරු වේ දැ’යි කිවු ය.

උපාසිකාවන්ගේ අදහස යහපත් පමණක් මුත් උන්ගේ දන් වැළඳුව’ යි තෙරුන් වහන්සේගේ අදහස යහපත් නො වන බැවින් බුදුන් කරා යන ගමනත් සීනෙනුත් බඳ දුටු කල බාධා සේ, දී ලබන බතට හානියක් වේ දෝ හෝ යි බාධා කළ සේක. උපාසිකාවෝ ද තමන්ගේ ඔබ ගමනින් වන ප්‍රයෝජනයෙක් ඇත් නම් ඊට බාධාවක් කට හෙන්නවුන් නැති හෙයින් තුන් වාරයක් දක්වාත් බණ අසන්ට යනු කැමැති ව කියා තුන් වාරයේ ම නැවතුවත් සැඬ ව යන දියක් බැඳ රඳා ලිය නොහැක්කා සේ ම යනු කැමති වූ ය.

තෙරුන් වහන්සේත් මෙසේම නවත්නේ හැයිද යත් - උන්ට වන උවදුරෙක් නිසා නො වෙ යි. බුදුන්ගේ බණ අසා ඔබ පැහැද ගත්තු නම් තමන් වහන්සේ කෙරෙහි උදාසීන වෙති යි යන අදහසින. බුදුන්ගේ බණ අසා නිවන් දැක අචල ශ්‍රද්ධාවේ පිහිටියෝ නම් මේ අදහස තර ව ගත්තී සිතා පියත් නො හී ය.

ඒ උපාසිකාවෝ ද එක් දවසක් උදෑසන ම බත් කා ලා පෙහෙව ගෙන ‘පුතණ්ඩ, මේ ගෙයි දී වළඳන ස්වාමීන් සොඳ කොට වළඳවා ලන්නැ’යි දුවණියන්ට සම්මත කොටලා බුදුන් දකින්ට ත් බණ අසන්ටත් විහාරයට ගියහ. දුවණියෝ ද වළඳන්ට වැඩි තෙරුන් වහන්සේ වළඳවා ලා ‘වැඩි මාලු උපාසිකාවෝ කොයි දැ’යි විචාළ කල්හි ‘බණ අසන්ට විහාරයට ගියහ’යි කිවු ය. උන් වහන්සේ ත් ඒ අසා මහා බඩ ගිනි ඇති ව ‘මෙ තෙකට මා කෙරේ බිඳී යෙතී’ වහ වහා විහාරයට ගොසින් බුදුන්ගෙන් බණ අසන්නවුන් දැක තමන් කා ගත නො හෙන්නවුන් අනුනුත් කනු නො කැමැත්තා සේ උන්ගේ බණ ඇසීම ඉවසා ගත නොහී වදාරන බණට බාධා කරවනු නිසා බුදුන්ට ‘ස්වාමීනි, නුවණ මඳ වූ ය. තමන් නුවණ මඳ හෙයින් සියුම් බණ දැන ගත නො හෙති. ‘බිදම් මුසු කොට නො වදාරා දන් දීම් ආදියෙහි විපාක පමණක් වදාළ යහපතැ’යි පරසිත් දන්නා බුදුන්ට තමන් වහන්සේගේ අදහස් නපුරු නියාව හඟවා කී සේක.

බුදුහු ත් ඇඟිල්ල පෑලූ කලට ඒ තබාලා අත් කර අල්වන්නා සේ කියාලූ බස තිබිය දී අදහස දැන ලා ‘නුවණ නැති පාපී තැනැත්තව, කියා පියන්ට බසක් නැත්තා සේ මා කියන බණට තෙල ලෙස කුමට කියයි ද? කෙ තෙක් බණ පිරිස් හුන ත් එකි එකී තැනැත්තන් සිත සොළොස් සොළොස් ආකාරයකින් බලා පරීක්‍ෂා කොට ලා උන් උන්ගේ අදහස් ලෙසට බණ කියන තරම් දේසනා විලාසයක් ඇති මම දත මනා දෙයින් කුමකුත් නො දන්නා තොප වැන්නවුන් කී ලෙස බණ කියම් දැ’යි වදාරා ලා බණ වදාරණ බුදුහු ‘නුවණ නැති සත්‍වයෝ තමන්ට වන ලාභයට හානි වේ දෝ හෝ යි යන නපුරු අදහස නිසා දෙන දනට බාධා කොට හෝ අසන බණට බාධා කොට හෝ තව තව ත් කරන පින් කමට බාධා කොට කියත් නම් බුදු සස්නට පටහැනි ලෙස කියා මේ ලොව අයසස් හා පරලොව අපාය දුක් ලැබෙති. එ ලෙසින් උන්ට පැවැති පවිටු අදහස හුණ ගසින් තල ගසින් ඇති වූ හුන වී හා තල ඇට එම හුණ ගස් තල ගස් නසන්නා සේ පවිටු අදහස් ඇත්තවුන් ම නස යි’ වදාළ සේක.

දේශනා කෙළවර තෙරුන් වහන්සේ නැවතුව ත් නො නැවත බණ අසන්ට ආ උපාසිකාවෝ අපාය ගමනින් නැවත සෝවාන් වූහ. උන් ලද්දා වූ සෝවාන් ඵල ය කේල් කැන්-කිතුල් කැන්-හුණ-වී ආදිය ප්‍රයෝජනවත් වන්නා මෙන් ම ක්‍රම ක්‍රමයෙන් සංසාරොත්පත්ති නැති කිරීමට හේතු වීමෙන් මහා ප්‍රයෝජන විය. සෙසු ත් බොහෝ දෙනාට ප්‍රයෝජන වී ය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් කුසල් විෂයෙහි කරන බාධා, බාධා කොට නො සිතා කුසලයෙන් නැවතෙන ගමනු ත් අකුසලයෙන් ම නැවත සසර ගමන් නැවැතිය යුතු.

________