144. දෙවදත්ත සංඝභේදක වස්තු දෙක

star_outline

තව ද යම් කෙනෙක් තෘෂ්ණා වශඟයෝ වූ නම් අපායභාග් ව යටත් වත් මුත් උසස් වීම් නැති නියා ව හඟවන්ට දේවදත්ත වස්තුව මුත් තමාට අහිත ය කොට ගන්ට මුත් හිතය කොට ගන්ට නො පිළිවන් නියා ව හඟවන්ට සඞ්ඝභේදක වස්තුව ත් කියමු.

කෙ සේ යත්-

එක් දවසක් වහන්දෑ ධර්‍ම සෙබෙහි රැස් ව හුන් සේක් ‘ඇවැත්නි, දෙවිදත්තු නපුරු වූ ය. තමන් නපුරු හෙයින් තෘෂ්ණා වශඟ ව අජාසත් රජ්ජුරුවන් යහපත් තැනැත්තවුන් අදහස් නපුරු කරවා පියාණනුත් මරවා උන්ට අධිගම අන්තරාය ත් කොට තුමූ ත් උන්ගෙන් ලාභ සත්කාර උපදවන්නෝ උපදවා ගත් ලොවිගුණ විශේෂයෙනු ත් පිරිහී තමන්ට වන අනර්ථ මඳින් කොට ගත නුහුණු පමණක් මුත් බුදුන්ට ත් බොහෝ අනර්ථ කරන්ට උත්සාහ කොළෝ ය’යි වදාළ සේක. බුදුහු ඒ අසා මහණෙනි, තුලූ මට අනර්ථයට උත්සාහ කරන්නේ දැන් මතු නො වන්නේ වේ ද? සසර සැරිසරා සිටිනා කල ත් උමංදායෙහි දී කෙවට්ට බමුණු ව ආදි මා කෙරේ අමුතු නැත ත් ධර්‍ම යුද්ධයෙහි දී නළල උළා වණ කළ හෙයින් වෛර කොට ගෙන චූලනී රජ්ජුරුවන් ලවා මා මරන්ට ප්‍රයෝග කොටත් කොට ගත නො හිණ. පරන්තප ජාතකයෙහි දී සතුරු රජුන් නුවර වට ලා ගත් කල්හි මා සටනට යන්ට කියා නපුරු කාරණයක් දැක මා යන්ට මැළි වුවත් යවා ලා මරන්ට ප්‍රයෝග කළ ත් මම මාගේ උපදෙසින් ජීවත් වීමි.

මේ තෙමේ සතුරන් ගෙන් ගැළවී වලට ගොසිනු ත් පරන්තප නම් කොල්ලා අත නට යනාදීන් නො එක් ජාතක වදාරා සැප ත් පිරිසට බණ වදාරණ සේක් ‘යම් කෙනෙක් පවිටු අදහස් ඇත්තෝ වූ නම් උන්ගේ ඒ පවිටු අදහස නිසා ඇති වූ අෂ්ටොත්තර ශත ප්‍රභේද වූ තෘෂ්ණාව යම් සේ සල් ගසකට හෝ අනික් ගසකට හෝ නැගී මාලුවා ලිය ය ගස වසා වැළඳ ගෙන වැසි දවසෙක බොකු පත්වල පැන් සිට ගෙන ලා ගස් බිඳ හෙළා ගෙන ලා හැම ම වස වසා වළඳී ද, එ මෙන් තෘෂ්ණාව යම් කෙනකුන්ගේ සන්තානයෙහි පැවැත්තේ වී නම් මාලුවා ලියය වැළඳ ගස හෙළා ගන්නා මෙන් තෘෂ්ණා නමැති මාලුවා ලිය ය ත් සත්‍ව සන්තාන නමැති රුක් වැළඳ විපාක දාන නමැති වැස්සෙන් භව නමැති බිම හෙළා ගෙන හිසක් ඔසවා ලිය නොදී වස යි. යම් සේ අනර්ථක නමැති සතුරෙක් ද තමා ත් ඒ සතුරා මෙන් කෙරෙයි’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් සත්‍ව සන්තාන නමැති රුක් වලට තෘෂ්ණා නමැති මාලුවා ලිය ය නැඟී කුසල් නමැති දළු හට ගත නො දෙන මුත් නුවණ නමැති යකඩ සැදෑ නමැති ගල ගා ගෙන තෘෂ්ණා නමැති මාලුවා ලිය ය කපා අවිද්‍යා නමැති මුල ත් උදුරා හරණට උත්සාහ කටයුතු.

තව ද එක් දවසක් දෙවිදත්තු සංඝ භේදයට උත්සාහ කරන්නෝ අනඳ මහ තෙරුන් වහන්සේ සිඟා වඩනා දැක තමන් ගේ අදහස කිවු ය. ඔබ අසා බුදුන්ට දැන්වූ සේක. කෙසේ දැන්වූ සේක් ද යත් “ස්වාමීනි, මම අද පෙරවරු රජගහා නුවරට සිඟා ගියෙමි. සිඟන ගමනේ දෙවිදත්තු මා දුටුහු ය. දැක මා කරා අවුත් ‘ඇවැත්නි, අද පටන් බුදුනු ත් හැර භික්ෂු සඞ්ඝයා ත් හැර පොහෝත් කෙරෙමි. සෙසු සඞ්ඝ කර්‍මත් කෙරෙමී” කිවු ය. ස්වාමීනි, අද දෙවිදත්තු දහම නො දහම යනාදීන් ගෙන සතර දෙනකු ගෙන එක සිම පොහොය කෙරෙමින් සමඟ සඟුන් බිඳිනා නිසා පොහොය ත් කෙරෙති. සෙසුත් සඞ්ඝ කර්‍ම කෙරෙති’ කී සේක. එසේ කී කල්හි බුදුහු -

“සුකරං සාධුනා සාධු – සාධු පාපෙන දුක්කරං,

පාපං පාපෙන සුකරං - පාපමරියෙහි දුක්කරං”

යනු හෙයින් ‘ආනන්‍දයෙනි, යහපතක් කරන්ට යහපතුන්ට ම පිළිවන්වත් මුත් පාපීන්ට නොපිළිවන. පාපීන්ට පිළිවන් පාප ය මය. එම පාපය කරන්ට නිෂ්පාපීන්ට බැරි ය’යි වදාරා බණ වදාරන සේක් ‘යමෙක් තෙමේ සාවද්ද[1] වී නම් කළවුන් අපායෙහි උපදවා නම් සියලු ලෙසින් ම අහිතයක් එළවා නම් එසේ වූ දෙය අනන්ත කාලයක අභ්‍යාස ය ඇති බැවින් කරන්ට පිළිවන. යමක් කළ කල මෙ ලෝ පරලෝ දෙකින්ම අනර්ථයෙක් නොවේ ද? ස්වර්‍ග සම්පත්, මෝක්‍ෂ සම්පත් සාධා දී ලා ද එ සේ වූ සුචරිත ය යට ගං බලා යන ගඟ නවතා උඩු ගං බලා කොට ලන්ට බැරියා සේ ඉතා බැරි ය. ආනන්තරික දෙකක් ම මූ කරන තැනැත්තහු උපදවා ගත් පඤ්චාභිඥා අෂ්ට සමාපත්ති පමණකුත් තර කොට නුහුණුයේ තමාගේම පවිටු කමින් වේ දැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් සඞ්ඝ භෙද ය කළ දෙවිදතුන්ට වූ හානි දෙවදත්ත වතින් ම දත් බැවින් පඤ්චානන්තරිය කර්මයෙනුත් දුරුව ප්‍රාණවධාදීනු ත් දුරුව තුන් සුසිරි පුරා අධිමුක්ති වූ පරිද්දෙන් ත්‍රිවිධ බෝධීන් එක්තරා බෝධියකට පැමිණිය යුතු.

  1. සාවද්ද - ඇතැම්