තව ද අපායෝත්පත්ති භවොත්පත්ති නවතා ලිය හෙන තරම් නිවන් පුරා කෘත අකුසල ය නවතා ලිය නො හෙන නියාව හඟවන්ට මහා කාළ නම් සෝවාන් උපාසකයන් ගේ වස්තුව දක්වමු.
කෙසේ ද යත් -
ඒ කාළ නම් උපාසකයෝ මසකට අට දවසෙක පෙහෙ ව ගෙන වෙහෙරට ගොසින් රාත්‍රි බණ අසති. එක් දවසක් රෑ සොර කෙනෙක් එක් ගෙයක උමං බිඳ වස්තුව හැර ගෙන ලෝ වළන් හඬා නැගි හඬින් ගෙහිමියන් පිබිද ගොසින් ලුහුබඳවා ගත් කල්හි ගත් ගත් දෙය දම දමා පියා දිව ගත්හ. වස්තුව ඇත් තනු ත් ලුහුබැඳ වුව ත් ඒ ඒ අත දිව ගත්හ. එක් සොරෙක් විහාරයට යන්නා වූ මග දිව ගෙන ගොසින් මහාකාළ නම් උපාසකයන් රාත්‍රි බණ අසා පියා උදාසන වෙහෙර පොකුණෙන් මූණ සෝදන කලට තමන් ගෙන ගිය දෙය මහාකාළ නම් උපාසකයන් ඉදිරියට දමා පියා සොරා ඉවත් විය. සොරුන් ලුහුබඳවා ගිය මිනිස්සු අරුන් ළඟ තුබූ වස්තුව දැක ‘තෙපි ගෙවළ සොර කම් කොට ගෙන බණ අසන බඳු ව ඇවිදු දැ’යි මහා කාළයන් අල්වාගෙන මරා පියා ගියහ. උදාසනම කළ කොත ලා හැර ගෙන පැනට ආ බාලවහන්දෑ මළ උපාසකයන් දැක ‘සැදෑ ඇති උපාසකයන් බණ අසා යන්නවුන් එ බඳු වරදක් නැති ව මළ සේ නපුරැ’යි බුදුන්ට දැන්වූ සේක.
බුදුහු ත් ‘එ සේ ය, මහණෙනි, දැන් මළ ලෙස යහපත් නො වෙයි. පෙර මුන් තමන් කළ පව් ලෙසට කර්‍මය නො ගෙවෙන හෙයින් යුක්තයා සේ තිබෙයි’ වදාරා වහන්දෑ මේ උපාසකයන් පෙර කළ පව් කවරේ දැ’යි විචාළ කල්හි ‘හෙම්බා මහණෙනි, යටගිය දවස බරණැස් රජ්ජුරුවන්ගේ විධාන පවත්නා තැන එක් පසල් ගමකට ආසන්න වලක වල් සොරු හිඳ ගෙන ගම් පහරති. රජ්ජුරුවෝ වන දොරකඩ යෝධයාණ කෙනකුන් රඳවා ලූහ. ඌ මිල හැරගෙන මිනිසුන්වලින් ඈත්-මෑත් කෙරෙති. ඉක්බිත්තෙන් එක් මිනිසෙක් රූපත් වූ තමාගේ අඹු කෙනකුන් ගැලෙක හිඳුවා ගෙන එ තැනට ආ ය. වන දොරකඩ සොරභය නිසා සිටි යෝධයාණෝ ද අර ස්ත්‍රිය දැක ම ඈ කෙරෙහි ප්‍රේමයක් ඇති ව ගෙන ‘අප වනින් ඈත් කළ මැනැවැ’යි කී කල්හි ‘දැන් වෙලා නැත, උදාසන ම ඈත් කෙරෙමි’ කිවු ය. ඒ අසා අරූ ‘තව වේලා ඇත. දැන් ම අප ඈත් කරවා ලුව මැනැවැ’යි යෝධයාණන් නපුරු අදහසින් රඳවන නියා ව දැන ලා දෝ කිවුය. ඒ අසා යෝධයාණෝ ‘අද රඳව, බතු ත් නවාතැනු ත් අපගෙන් ම දෙම්හ’යි කිවු ය. උන් කෙසේ කීව ත් ගමනී තැනැත්තෝ රඳන්ට මැළියෝ ය. යෝධයාණෝ ත් මිනිසුන්ට කියා ලා ගැල නවත්වා ලා උන් රඳන්ට මැළි වූව ත් වාසල ලගින්ට නිල කොට ලා රෑට බතුත් නිල කළහ.
යෝධයාණන්ගේ ගෙයි මැණිකෙක් ඇත. ඌ ඒ මැණික අරුන්ගේ ගැල ලවා පියා පාන්දර වේලේ සොරුන් ගෙට වන් සැටියක් හඟවාලූ ය. උන්ගේ මිනිසුන් ගෙයි තුබූ දෙය, නො තුබූ දෙය සමන්නන්නෝ ‘ ස්වාමීනි, මැණික හැරගත්තු ය’යි කිවු ය. ඌ ගම් දොරකඩ රකවල් ලවා ලා ගමින් පිටත් ව යන්නවුන් අත මිට සමන් ව’යි කිවු ය. අමුතු ව ලැගි තැනැත්තෝ ද උදෑසන ම ගැල පදවා ගෙන නික්මුණාහු ය. ඉක්බිත්තෙන් උන්ගේ ගැලත් බලන්නාහු තමන් ම තබා ලූ හෙයින් මැණික දැක ‘තෙපි බත් දී නවාතැන් දී නවතාලූවාට මැණික සඟවා ගෙන යවු දැ’යි මරා තළා පියා ඇර ගෙන ‘ස්වාමීනි, සොරු අල්වා ගතුම්හ’යි ගම් මුදලියාට පැවූ ය. ‘අප නවාතැන් දුන්නේ යහපත් කෙනකුන්ට නියා වේ දැ’යි කියා ලා ස්ත්‍රියක් නිසා නිවරදෙයි වරද සලසා ලා නිරපරාධ තැනැත්තවුන් මරවා තුමූ සාපරාධ වූහ. මේ මුන් කළ පවුකම ය.
උයි ත් මීය අවීචියෙහි ඉපැද බොහෝ කලක් පැසී පියා තවත් පාප ය නො ගෙවුණු හෙයින් අත් බැව් සියයෙක මෙ ලෙසින් ම මළවු ය. පොලියට ගත් දෙයක් දී නො නිමි කලට පොලී සිටිනා සේ වක මුගේ වරදක් නැතත් එ වක කළ වරද ම වරදවා සිටී’ යි වදාරා ‘මහණෙනි, මේ සතුන් තමන් කළ පාපය ම උන් තමන් මිරික’යි වදාරා බණ වදාරන සේක් ‘මහණෙනි, යම් සේ ගලින් ම වූ විදුරු ‘මේ අපගේ ජාතියේ ගල් වේ දැ’යි නො සිතා මැණික් ගල් සිදුරු කොට නිෂ්ප්‍රයෝජන කෙරේ ද, එමෙන් තමා ගෙන් ම සිද්ධ වූ පාප ය මුන් නිසා වේදැ යි අප ඇති වූයේ ය’යි නො සිතා නුවණ නැති සත්‍වයන් සතර අපාය නමැති යත ලා ලා මිරික යි’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් යම් සේ වඩුවෝ කළු හූ ගසා ලා හළ මනා තැන් සැස හරිත් ද, එ මෙන් බුදුන්ගේ අනුශාසනා ලෙසින් සිල් නමැති පොළොවෙහි පිහිටා සිට සැදෑ නමැති අතින් නුවණ නමැති වෑය හැරගෙන අකුසල් නමැති බොරු හර සැස හැර කුසල් හර පමණක් සිටුවා ගෙන නිවන් පුර වදනා වාසල් කරන්ට උත්සාහ කටයුතු.
________