142. කුමාර කසුප් තෙරුන් වහන්සේ ගේ මෑණියන්දෑගේ වස්තුව

star_outline

තව ද අනුන්ගෙන් පිහිට රැක නො හිඳ තමා ම තම හට පිහිට වන පරිදි දක්වන්නට කුමාර කසුප් තෙරුන් වහන්සේ ගේ මෑණියන්දෑගේ වස්තුව කියමු.

කෙ සේ ද යත්-

ඌ තුමූ රජගහා නුවර සිටාණන්ගේ දුවණියෝ ය. නා මනා දත් තැන් පටන්[1] තුමූ ම තමන්ට පිහිට වනු නිසා මහණ කරවන්ට දෙමවුපියන්ට යාච්ඤා කෙරෙති. යාචඤා කොට ත් දෙ මවුපියන්ගෙන් අදහස් නොලදින් වැඩි විය පැමිණ සරණ ගොසින් ස්වාමීහු දේවතා තරමේ තබා පතිව්‍රතා ධර්‍ම ය රක්‍ෂා කෙරෙමින් වෙසෙති. සරණ ගිය නො බෝ කලකින් ම බඩ දරු කෙනෙක් පිහිටා ගත්හ. ඌ තුමූ බඩ දරුවන් පිහිටි නියාව නොදැන මහණ වීමේ සැදෑ සමණන්ට කියා උන් ලබ්බා ගත්හ. ඌ ද මහ පෙරහරින් මෙහෙණවරට ගෙන ගොසින් නො දැන දෙවිදතුන්ට පක්‍ෂ මෙහෙණින්නන් ලවා මහණ කරවූහ.

කල් යත් යත් මෙහෙණිනි වහන්දෑ අර භික්ෂුණීන් දැරි ඇති නියාව දැන ‘මේ කිම් දැ’යි විචාරා ‘මම නො දනිමි. මාගේ සීලයට වූ හානි නැතැ’යි කී කල්හි දේවදත්ත පාක්ෂික මෙහෙණින්නෝ අර භික්ෂුණීන් දෙවිදතුන් ළඟට ගෙන ගොසින් ‘මූ තුමූ සැදෑයෙන් මහණ වූ ය. ශාසනික ව මෙ බන්දක් කරන තරමක් පෙනෙන්ට නැත. මුන් බඩ දරුවන් කවර කල පිහිටි බව ත් නො දනුම්හ. කුමක් කරමෝ දැ’යි විචාළෝ ය. දෙවිදත්තු තමන් බුදු නො වන හෙයින් මෙහෙණින්ට පැමිණෙන අයසස් පමණක් සලකා අර භික්ෂුණියගේ තරම් පදම් නො සලකා ‘සිවුරු හරව’යි කිවුය. ඒ අසා සැදෑයෙන් මහණ වූ ලදෑරි මෙහෙණිනි වහන්දෑ ‘මා නො නැසුව මැනව. මා දෙව්දතුන් උදෙසා මහණ වූයේ නැත. මාගේ ප්‍රව්‍රජ්‍යාව බුදුන් සන්තක ය. ගිය දවස පැවැති දෙය ත් එන දවස පවත්නා දෙය ත් දන්නා බුදුහු මෙ වක පවත්නා දෙය දන්නා සේක් ම ය. බුදු නුවණින් බලා නිසි වුවො ත් හැර ගන්නා සේක. නො නිසි වුවොත් හරනා සේක. මා බුදුන් කරා දෙව්රමට ගෙන යව’යි කිවු ය.

උයි ත් ගිවිස දෙව්රමට ගෙන ගොසින් එ පවත බුදුන්ට දැන්වූහ. බුදුහු උන් ගිහි අවස්ථාවෙහි දරු ගැබ පිහිටි නියාව බුදු නුවණින් දත ත් පරූපවාදයෙන් මිදෙනු පිණිස කොසොල් රජ්ජුරුවන් ද මහ අනේපිඬු සිටාණන් හා කුඩා අනේපිඬු සිටාණන් ද විශාඛාවන් ද තව ත් තව ත් ප්‍රසිද්ධ කෙනෙක් ඇත් නම් උන්දැ’යි මුන් හැම ගෙන්වා ලා විනයධර තැනට අග්‍ර උපාලී මහ තෙරුන් වහන්සේ බණවා ලා ‘උපාලීනි, සිවු වනක් පිරිස් මැද තෙල මෙහෙණින්න විචාරා ශුද්ධ කරව’යි වදාළ සේක. උපාලි මහ තෙරුන් වහන්සේ ද රජ්ජුරුවන් ළඟට විශාඛාවන් කැඳවා ලා දරු ගැබ ගිහි අවස්ථාවෙහි පිහිටියො ත් එ ලෙස හා මහණ වූ කල වී නම් එ ලෙස හා නිශ්චය කරන්නට විශාඛාවන්ට භාර කළ සේක.

විශාඛාවෝ ද තිරයක් අද්දවා ලා තිර ය ඇතුළත දී උන්ගේ අතුල් පතුල් හා පෙකණිය ත් උදරාවසානය ත් බලා තමා දරු විස්සක් වදා සිටි හෙයින් මස් දවස් ගැන පියා මහණ වූ කලු ත් විචාරා පියා මහණ වූ කල වී නම් අතුල් පතුල් හා පෙකණිය ත් උදරාවසානය ත් මෙලෙස තිබෙන්ට කාරණ නැත. ගැබ පරිණත හෙයින් මෙ ලෙස වූ යේ ය’යි සිතා ගිහි කල ම දරු ගැබ පිහිටියේ ය’යි දැන උපාලි මහ තෙරුන් වහන්සේට එ පවත කිවු ය. මහ තෙරුන් වහන්සේ ද සිවු වනක් පිරිස් මැදයේ ‘මූ මූලාපත්තියෙන් නිරාපත්තිකයහ’යි ශුද්ධ කළ සේක. සිවු වනක් පිරිස් මැදයේ කළ ශුද්ධි ය හෙයින් ‘දෙවිදතුන් අශුද්ධියට හළවුන් බුදුහු ශුද්ධියට හැර ගත් සේකැ’යි යන අපවාදය ත් නැති වි ය.

භික්ෂුණී ත් දවස් මස් පිරුණු කලට පියුමතුරා බුදුන් සමයෙහි ශ්‍රාවක බෝධියට පැතූ පැතීම් ඇති මහානුභාව සම්පන්න වූ පුතණු කෙනකුන් වැදූහ. එක් දවසක් කොසොල් රජ්ජුරුවෝ මෙහෙණවරින් යන්නෝ බාල දරුවන් හඬන හඬ අසා මේ කිම් දැ’යි විචාරා එ පවත් දැන ඒ කුමාරයන් රජ ගෙට ගෙන්වා ගෙන වඩා වර්ධන කරන්ට කිරි මවුන්ට පාවා දුන්හ. නම් තබන දවසු ත් කාශ්‍යප නම් තබා ලා කුමාර පෙරහරින් වැඩි හෙයින් ‘කුමාර කසුබැ’යි නම් තබා ගත්හ.

ඒ කුමාරයෝ ද කෙළි මඬලේ දී කුඩා සුඟුන් ගසා වසා ලා ‘මවු පියන් නැති තැනැත්තහුගේ කට යුතු ය’යි මවු පියන් නැති නියාව කියා ලා දෙඩූ කල්හි රජ්ජුරුවන් කරා ගොස් “රජ්ජුරුවන් වහන්ස, එක් ව කෙළනා සුඟු ‘මවුපියන් නැති තැනැත්තෝ ය’යි කියා ලා මට දොඩති. පියාණන් වහන්සේ මුඹ වහන්සේ වේ ද? මෑණියන් වහන්සේ කවුරු දැ’යි විචාරා රජ්ජුරුවන් කිරි මෑණි කෙනකුන් පෑ ලා තුලූ ය’යි කියා ලූ කල්හි ‘මූ මාගේ මෑණියෝ නොවෙති. මෑණියන් තව ඇත මැනැවැ’යි කිවු ය. රජ්ජුරුවෝ ‘මුන්ට සඟවා ලිය නො හැක්කැ’යි ‘තොපගේ මෑණියන්දෑ නම් මෙහෙණි කෙනකුන් දෑ ය. මම වඩන්ට ගෙන්වා ගතිමී’ කිවු ය. මහ පිණැති හෙයින් එ පමණකින් ම ගිහි සම්පත ආලය හැර ‘පියාණන් වහන්ස, මා මහණ කර වුව මැනැවැ’යි කිවු ය. රජ්ජුරුවෝ ත් ගිවිස මහ පෙරහරින් කැඳවා ගෙන ගොසින් බුදුන් ළඟ මහණ කැරවූහ.

උන් වහන්සේද උපසම්පදාව ත් ලදින් කුමාර කසුප් තෙරුන් වහන්සේය’යි ප්‍රසිද්ධ වූ සේක. එ ලෙසින් ප්‍රසිද්ධ වූ තරමෙක නො තබා බුදුන් ගෙන් කමටහන් ඉගෙන ගෙන වලට පලා ගොසින් උත්සාහ කොට ත් වපුට ලූ දා ම දා ගන්ට බැරියා සේ තව නුවණ මඳක් හෙයින් ගුණ විශේෂයක් උපදවා ගත නො හී ‘තව ත් කමටහන විභූත කොට විචාරමි’යි බුදුන් ළඟට අවුත් අන්ධ වනයේ රැඳුණු සේක. කසුප් බුදුන් සමයෙහි එක් ව මහණ ධම් කොට අනාගාමී ව බඹ ලොව උපන් බඹ දෙවියාණෝ අවුත් ප්‍රශ්න පසළොසක් විචාරා ‘මේ ප්‍රශ්න බුදුන් විනා අනික් විසඳා ලිය හෙන කෙනෙක් නැත. ගොසින් බුදුන් ගෙන් තෙල ප්‍රශ්නවල අර්ථ දැනගත මැනැවැ’යි කියා ලා යවූහ. උන් වහන්සේ ත් එ ලෙස ම කොට පැන විසඳා නිමි කල්හි රහත් වූ සේක.

උන්වහන්සේ ද තමන්දෑ ගෙන් නික්මුණු වක් පටන් දොළොස් හවුරුද්දක් මවු මෙහෙණින්දෑ ඇසින් කඳුළු ධාරා පවත්ති. දරු ‍ශෝකයෙන් ශෝකී ව මහණ ධම ත් සිත් නො හෙළා කඳුළු වැකි මුහුණින් සිඟා යන ගමනෙහි ඇතුළු වීථියේ දී තෙරුන් වහන්සේ දැක ‘පුතණ්ඩ පුතණ්ඩැ’ යි කිය කියා අතින් ඇඟ අල්ලන්ට උදවුව යන ගමනෙහි කඩා ගෙන හීපියා ත් තනවලින් නිකුත් කීරි වලින් තෙත් සිවුරු ඇති ව නැඟී සිට තෙරුන් වහන්සේ අල්වා ගත්හ. උන් වහන්සේද ‘මූ මාගෙන් මොළොක් බසක් ලද්දු නම් ස්නේහ සිඳ ගත නො හී වියළී නසිති. තද කොට ම බස් කියා මුන් හා කථා කෙරෙමී’ ස්නේහ නම් මහණ ධමට යහපත් දෙයක් නො වත් ගොයම් කරන්නවුන් ගොයම් වසන තණ පමණක් උදුරා ගත නො හී ශස්‍ය ඵලයෙන් පිරිහෙන්නා සේ ස්නේහ ය පමණක් සිඳ ගත නො හී මහණධමිනුත් මහණ ධම් තබා ජීවිතයෙනු ත් පිරිහෙන නියා වේ දැ ‘යි වදාළ සේක. භික්ෂුණීන් දෑ ද පුතණ්ඩ, කුමක් කියන්නෙහි දැ” යි විචාරා එ ලෙස ම කී කල්හි ‘ මම මුන්දෑ නිසා දොළොස් හවුරුද්දක් හඬා කා හඬා බී ඇවිද්දෙමි. අනේ මුන් දෑගේ ලය ත් තද නියා ය. සසර සිටිනා කල දරු නුවුවෝ කවුරු ද? මුන්දෑ ගෙන් මට ප්‍රයෝජන කිම් දැ’ යි දොළොස් හවුරුද්දක් ප්‍රබන්ධ ව පැවති ස්නේහ ය හැසිල්ලෙකින් සිඳ පියා එ දවස් ම සසර අනන්ත කාලයක් පැවත ආ සව් කෙලෙසුන් නසා රහත් වූහ.

කලක දී ධම් සෙබෙහි ත් ‘අනේ දෙවිදතුන්ගේ නොදැන්මක් බලව. හැසිල්ලෙකින් කුමාර කසුප් තෙරුන් හා මවුන් හා නසා පුවෝ ය. බුදුහු උන්න පිහිට වූ සේකැ’යි කථාව ඉපැද වූ සේක. බුදුහු අසා ‘මහණෙනි, මුන් දෙන්නාට මා පිහිට වූයේ දැන් මතු නොවෙයි. පෙරත් පිහිට වීමි. මාත්, දෙවිදතුනුත්, මේ මෙහෙණින්න ත් කුමාර කුසුබුනු ත් මුව ව උපන් අවධියෙක එක් දවසක් මුන් ගෙන් මුවකු හා එක් දවසක් මා ගෙන් මුවකු මියනු නිසා දම් ගෙඩියේ හිස තබා ගන්ට වූ නිලයක් හෙයින් මෑට පැමිණි වාරයේ දී මෑත් තමා දැරි ඇති හෙයින් ඒ වාර ය රඳවා අනික් මුවකු නිල කරන්ට ම තත්පර ව කීව ත් මුන් නොගිවිස්නා හෙයින් එ දවස් මම් ම පලා ගොසින් දම් ගෙඩියේ හිස තබා හෙව මැත් ගළවාපීමී. මෑගේ පුතු කුඩා මුව පැටවා ත් ගළවාපීමි. උන් තබා සෙසු ත් මුවන් පටන් සිවුපාවුනු ත්, පක්ෂීන් කුඩ මස් සන් පටන් සියල්ලන් ම තමන් තමන් ම මියන ගමනක් මුත් නො මරණ ලෙස එ වක කරවා මෙ වක සියල්ලන් සසරින් ගළ- වන්ට ශක්ති ඇති වීමි’ යි වදාරා-

“නිග්‍රොධමෙව සෙවෙය්‍ය - න සාඛමුපසංවසෙ,

නිග්‍රොධස්මිං මතං සෙය්‍යො - යඤ්චෙ සාඛස්මිං ජීවිතං”

කියා මේ නිග්‍රොධමිග ජාතක ය ත් විස්තර වශයෙන් වදාරා ‘එ කල කොළමුවා නම් දෙවිදතා ය. ඔහුගේ පිරිස් දෙවිදත් පිරිස් ය. වාර ය පැමිණි මුව දෙන් නම් මේ මෙහෙණිනි ය. පුත් මුවපැටවා කුමාර කසුප්හු ය. දැරි ඇති මුව දෙනට දිවි පිදූ නිග්‍රොධ මුවරජ නම් මමය’යි ජාතක ය නිමවා ලා ස්ථවිරින්දෑ දරු පෙම් සිඳ තමන්දෑ ම තමන්දෑට පිහිට කොට ගත් නියාවට ප්‍රශංසා කොට බණ වදාරණ බුදුහු ‘යම් හෙයකින් මිනිසත් බව පිහිටා සිටියවුන් විසින් දානාදි වූ පින් කම් කොට ස්වර්‍ගයට පැමිණෙන්නට ත් මාර්‍ග ඵල උපදවා ගන්ට ත් පිළිවන් ද, එහෙයින් තුමූ ම තමන්ට පිහිට වෙති. තමා ම තමාට කොට ගන්නා පිහිටක් මු ත් අනික් කවුරු පිහිට වෙත් ද? යම් කෙනෙක් තුමූ මනා ව හික්ම ගත්තු නම් ඉතා ලැබ ගත නො හැකි නව ලොවුතුරා දහම් පිහිට ලැබෙතී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් අනුන් රැක නො හිඳ යම් සේ බිළී වැද්දෙක් බිළියෙන් කුඩ මස්සන් ගොඩ නඟා ද, එ මෙන් නුවණින් තමා ගොඩ නඟා, තව ද යම් සේ බිළී වැදි යම්තම් කුඩ මසු කෙනකුන් ගෙන් බොහෝ ලාභ ලබා ද, එමෙන් යම්තම් කුසල් විතරෙකින් බොහෝ සැපත් ලදින් නිවන් සැපතින් කුළු ගන්ට උත්සාහ කටයුතු.

  1. නුවණැති බවට පත් තැන් පටන්.