141. පධානික තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව

star_outline

තව ද ප්‍රයෝජනයෙක නො යොදා අනුන් නිඳා පිය නො දී ඔවුන් නිඳන නිඳි ත් තමන් ම නිඳන්නවුන් නිඳි පමණක් විනා ලබන ගුණ විශේෂයක් නැති නියා ව දක්වන්ට පධානික තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

ඒ තෙරුන් වහන්සේ බුදුන්ගෙන් කමටහන් ඉගෙන පන්සියයක් වහන්දෑ ඇරගෙන කරන භාවනා කුම් වුව ත් වලට පලා ගොසින් වස් වැස ‘ඇවැත්නි, නිඳීම් හැර බුදුන්ගෙන් උගත් කමටහන මෙනෙහි කොට නො පමාව මහණ ධම් කරව’යි වහන්දෑට අවවාද කොට ලා තමන් වහන්සේ පලා ගොසින් සුවසේ නිඳන සේක. ඒ වහන්දෑ ද පෙරයම සක්මන් කොට මැඳුම් යම දී සිරුරු සතපනු නිසා සැතපෙන ගෙට වඩනා සේක. පධානික තිස්ස තෙරුන් වහන්සේ ද පිබිද පියා ඒ වහන්දෑ ළඟට අවුත් කුමක් ද? මේ වලට එන ගමන නිඳන්ට ආ නියා ද? වහා ගොසින් මහණධර්‍ම කළ මැනවැ’යි කියා වහන්දෑ යවා පියා තමන් වහන්සේ පලා ගොසින් සුවසේ නිඳන සේක.

සෙසු වහන්දෑ මධ්‍යම රාත්‍රියෙහි ත් සක්මන් කොට පියා අළු යම සැතපෙන්ට ගෙට එන සේක. ඒ වහන්දෑ ගෙට එන වේලාට තෙරුන් වහන්සේ පිබිද පියා ඒ වහන්දෑ ළඟට ගොස් එවේලේ ත් සැතපි ය නො දී පිටත් කොට පියා තමන් වහන්සේ අළුයම ත් නිඳන සේක. සෙසු වහන්දෑට නිඳන්ට නියම මැඳ යම් පමණකත් නිඳි නැත. තෙරුන් වහන්සේට තුන්යම් රාත්‍රියේ ම නින්දෙන් පමාවෙක් නැත. ඒ වහන්දෑ ද නිරන්තර ව ම මෙසේම කරන හෙයින් හැදෑරීම් පිරිවීමකුත් කට නුහුණු සේක. සැතපෙන්නට ම නැති හෙයින් සිත එකඟ නොව කමටහනුත් මෙනෙහි කට නුහුණු සේක. තෙරුන් වහන්සේ නින්දට මුත් සෙස්සකට අවසර නැති හෙයින් කළමනා දෙයින් කුමකු ත් කට නුහුණු සේක.

ඒ වහන්දෑ පන්සියය ත් අපගේ ආචාරීන් වහන්සේගේ වීර්‍ය්‍ය බලවත් සැටිය. ඒ පරීක්‍ෂා කරම්’යි සිතා පරීක්‍ෂා කරන සේක් උන් වහන්සේ නිඳන්ට කරන වීර්‍ය්‍යයක් මුත් සෙස්සකට කරන වීර්‍ය්‍ය නැති නියා ව දැන ‘අපි හැම දෙන ම ධුරද්වයින් පසු බටුම්හ. ආචාරීන් වහන්සේ නිකම් ම දොඩා හඬා ඇවිදි සේකැ’යි කිවු ය. රාත්‍රියෙහි තුන් යම ම නිඳි නොලද්දෙන් මිරිකී ගත් විසින් පන්සියයක් දෙනා වහන්සේගෙන් එක නමෙකු ත් ගුණ විශේෂයක් නොලත් සේක. තෙරුන් වහන්සේ නිඳා පිරීමෙන් භාවනාවට අවසරයක් නොලදින් නොදැන් ම මුල් ව ගුණ විශේෂයක් නොලත් සේක.

ඒ වහන්දෑ පන්සිය ය දවස් පවරා ලා බුදුන් ළඟට ගොසින් බුදුන්ගෙන් සාද සාමීචි ලදින් ‘කුමක් ද, මහණෙනි, නො පමාව මහණ ධර්‍ම කළා දැ’යි විචාළ කල්හි එ පවත දැන් වූ සේක. බුදුහු ‘මහණෙනි, තොප ලබන ගුණ විශේෂයට තුලුන් බාධා කෙළේ දැන් මතු නො වන්නේ වේ ද යට ගිය දවස තුලුන් තමන් කුකුළු ව උපන් කලෙකත් හඬන වේලා තිබැද්දී නැතක් වේලේදී ම හඬා පිරුවා පියා නිඳීමෙන් සම්භව වන ඥාන ශක්ති ය ත් අඩු කළේ වේ දැ’යි වදාරා -

“අමාතා පිතරි සංවඩ්ඩො – අනාචරිය කුලෙ වසං,

නායං කාලමකාලං වා - අභිජානාති කුක්කුටො”

යන මේ ගාථාවෙන් යුක්ත වූ මේ අකාලරාවී කුක්කුට ජාතකයත් වදාරා ‘එ කල නිදි මඳ ව හඬන කුකුළු නම් දැන් නිඳන්ට සුරු පධානික තිස්ස තෙරුන් ය. එ කල ශිල්ප උගන්නා ළදරුවෝ නම් දැන් මේ භික්ෂු පන්සියය ය. දිසාපාමොක් ආචාරී නම් මම ම ය’යි ජාතක දේශනාව නිමවා වදාරා තවත් බණ වදාරන බුදුහු ‘මහණෙනි, යම් ලෙසක කරන්ට අනුන්ට අවවාද කරතොත් ආයුධ ශ්‍රම පානවුන් තමනුත් කොට පානා සේ අවවාද කරන ලෙසම තමා ත් කළ මැනව. අනුන් හික්මවීමට ත් වඩා තමා හික්මවා ගැන්ම මහා අට්ටල් හෙයින් නො එක් ලෙසින් තමා ආදි හික්ම ගෙන පසු ව අනුන් හික්මවීම යහපතැ’යි වදාළ සේක. දේශනා කෙළවර නිදි නො ලැබීමෙන් මිරිකුණු පන්සියයක් දෙනා වහන්සේ සසර දුකින් නො මිරිකී සව් කෙලසුන් ගෙවා රහත් වූ සේක.

එ හෙයින් නුවණැත්තවුන් විසින් යම් සේ මුව වැද්දෙක් නිඳා පී දඩ මස් වරදිනා හෙයින් නිඳි දුරු කෙරේ ද එමෙන් නිදී මට ත් වඩා නිඳන ඇස ත් පිණට ම නියැලී, තව ද, යම් සේ මුව වැදි මුවන් කෙරේ ම සිත හෙළා ද, එමෙන් කුසල් විෂයෙහි ම සිත හෙළා, තව ද යම් සේ මුව වැදි වැදි කම් කරන වේලාව දනීද එ මෙන් කුසල් කිරීමට සිතා ගත් ඇසිල්ල ම කල් නියාව දැන, තව ද යම් සේ මුව වැදි මුවන් දැක ම සතුටු වේ ද, එ මෙන් පින් කිරීමට සේරුව දැක සමාධි ව උපන් සමාධි නො පිරිහෙළා කුසල්හි හැසිර ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කට යුතු.

_________