140. උපනන්ද තෙරුන් වහන්සේ ගේ වස්තුව

star_outline

තව ද තමා යහපත් තරම් නැති ව අනුන්ට අනුශාසනා කිරීමෙන් තමාගේ ලඝුව ම ප්‍රකාශ වන නියාව හඟවන්ට උපනන්‍ද තෙරුන් වහන්සේ ගේ වස්තුව කියමු.

කෙසේ ද යත්—

උපනන්‍ද තෙරුන් වහන්සේ පිළිවෙත් පිරීමෙහි අදක්‍ෂ වුවත් අලගර්ද පර්යාප්තීන් උගත් බණ කීමෙහි දක්‍ෂ සේක. තමන් වහන්සේ මහෙච්ඡව සිටත් අල්පේච්ඡතාවෙන් යුක්ත කොට කියන උන්වහන්සේගේ බණ අසා බොහෝ වහන්දෑ අධික සිවුරු පුදා පියා තෙචීචරික ධුතාඞ්ගය සමාදන් වූවෝය. වහන්දෑ ‘අධිකය’ යි හළ පිරිකර උපනන්‍ද තෙරුන් වහන්සේ ම හැර ගත් සේක.

උන් වහන්සේම එක් වස් අවධියෙක දනවුවට වැඩි සේක. ඒක් විහාරයක හුන් ලදරු වහන්දෑට ත් සාමණේර වහන්දෑට ත් බණ ඇසීමෙහි ලෝභ ය ඇති ව ඒ විහාරයේ වස් වසන්ට කී සේක. මෙ තැන විසූ කල වස්සාවාසික ලාභ ය කෙතෙක් විචර සම්භව වේ දැ’යි විචාරා ‘එක කඩෙකැ’යි කී කල්හි එතැන වහන් තබා ලා අනික් විහාරයකට ගොසින් මෙ තැන විසූ කල කුමක් ලැබේ දැ’ යි විචාරා පිළී දෙකක් ලැබෙ යි’ කී කල්හි සැරයටි දණ්ඩ තබාලූ සේක. තුන් වන විහාරයට ගොසින් මෙතැන විසූ කල කුමක් ලැබේදැ’යි විචාරා ‘පිළී තුනක් ලැබෙ යි කී කල්හි එ තැන ඩබරාව තබා ලූ සේක.

සතර වන විහාරයට ගොසින් ‘මෙ තැන විසූ කල කුමක් ලැබේ දැ’යි විචාරා පිළී සතරක් ලැබෙයි ‘ කී කල්හි ‘යහපත, මෙ තැන වෙසෙමී’ කියා ලා වැස බණ ඇසීමෙහි ලෝභ ය ඇති වහන්දෑටත් ගිහින්ටත් බණ කියන සේක. බණ අසා ගිහි බොහෝ පිළි පිදූ ය. වහන්දෑ බොහෝ සිවුරු පිදූ සේක. උපනන්‍ද තෙරුන් වහන්සේ ද සතර වන විහාරයෙහි වැස ලා සෙසු විහාරවලට ත් කියා යවා ලා ‘අප ඒ ඒ විහාරවල පිරිකර තබා ලා ආ හෙයින් වස්සාවාසික ලාභ ය අප ලද යුතු ය. ඒ අපට එ වුව මැනැවැ’යි සියල්ල ම ගෙන්වා ගෙන ගැලක් පුරා ගෙන නික්මුණු සේක.

ඉක් බිත්තෙන් එක් විහාරයක හිඳිනා බාල දෙ නමෙක් පිළී දෙකකු ත් පලසකු ත් ලැබ පිළී දෙකක් හෙයින් බෙදා ගන්ට පිළිවන් වුව ත් පලස එක හෙයින් බෙදා ගත නොහී මං බඩ හිඳ විවාද කරන සේක. ඒ වහන්දෑ ද උපනන්‍ද තෙරුන් වහන්සේ දැක ‘ස්වාමීනි, අපට මේ බෙදා දුන මැනැවැ’ යි කී සේක. ‘තමන් ම බෙදා ගත මැනැවැ’ යි කී සේක. ‘අපි බෙදා ගත නො හෙම්හ. මුඹ වහන්සේ ම බෙදා දුන මැනැවැ’යි කී සේක. ‘මා කියා ලූ ලෙස සිටිනේ ඇද්දැ’යි විචාරා, ‘සිටුම්හ’ යි කී කල්හි ‘යහපත, එ සේ වී නම් බෙදා දෙමැ’ යි කියා දෙ නමට පිළී දෙක දෙවා පියා ‛මේ පලස බණ කියන හෙයින් පොරෝනට අපට තරමැ’යි කියා මා ඇඟි පලස ඇර ගෙන නික්මුණු සේක. බාල දෙ නම ත් මුසුප්පු ව බුදුන් කරා ගොසින් බුදුන්ට එ පවත කී සේක. ‘මහණෙනි, තොප සන්තක දෙය හැර ගෙන තොප මුසුප්පු කරවූයේ දැන් මතු නො වෙයි පෙර ත් කෙළේ ම ය’ යි වදාරා ඉකුත් වත් ගෙන හැර දක්වන සේක් -

යට ගිය දවස ගොඩස්බඩ[1] ඇවිදිනා වූ ත් ගැඹුරු තැන ඇවිදිනා වූ ත් මස්කාවෝ දෙන්නෙක් රේ මසකු ලදින් ‘හිස තොපට ය. නඟුට මට ය’ යි විවාද කරන්නාහු බෙදා ගත නො හී එක් කැණහිලකු දැක මාම, මේ අපට බෙදාදුන මැනැවැ’ යි කිවුය. කැණහිලාත් කියන්නේ ‘රජ්ජුරුවන් වහන්සේගෙන් යුක්ති විචාරණ ලෙස අධිකරනයට නිල කළ හෙයින් නැතක් වේලා යුක්ති විචාරන්ට ඉඳ පියා පා රෙදෙනා හෙයින් මඳක් ඇවිද ඉරියවු පෙරළා ගන්ට අයිමි. දැන් මා මඳක් අවසර නැතැ’යි අගු වඩන්ට[2] කී ය. ‘මාම, එ සේ නො කිව මැනව. බෙදා දුන මැනැවැ’ යි කිවු ය. පසුව අනිකක් නො කියන ලෙසට තර ය කර වන්නේ, මා කියා ලූ යුක්තියෙක සිටිවු දැ’යි කියා ‘සිටුම්හ’යි කී කල්හි හිස පොළු ගසා එක් තැනෙක තබා ලා නගුට ත් කපා එක් තැනෙක තබා ලා ‘කුඩාවරිනි, යම් කෙනෙක් ගොඩස් බඩ[3] ඇවිද්දා නම් ආයාස බලවත් නොවන බැවින් නගුටු භාග ය හැර ගනුව. යම් කෙනෙක් ගැඹුරු තැන ඇවිද්දා නම් ආයාස බලවත් හෙයින් හිස්කඩ හරගනුව. අප මැදහත් ව යුක්ති විචාරන හෙයින් මැදකඩ අපට වුව මැනවැ’යි උන් දෙන්නා ගිවිස්වනු නිසා යුක්ති ශාස්ත්‍රයෙහි තුබූ සොළෝවක් පානා මෙන්-

අනුතීරචාරී නඞ්ගුට්ඨං - සීසං ගම්භීරචාරිනො,

අථායං මජ්ඣිමො ඛණ්ඩො - ධම්මිට්ඨස්ස භවිස්සති

යන මේ ගාථාව කියා ලා මැඳකඩ හැරගෙන නික්මුණවු ය. මස්කාවෝ දෙන්න මුසුප්පු ව ගෙන බල බලා සිටියහ. බුදුහු මේ දේශනාව ගෙන හැර වදාරා යටත් මුසුප්පු කැර වූ නියා ව සාධන සේක්, ‘එවක මස්කාවෝ දෙන්න නම් දැන් මේ පලස නිසා මුසුප්පු වූ භික්ෂු දෙන්න ය. කැණහිලා නම් උපනන්‍දයෝ ය’යි වදාරා ලා උපනන්‍ද තෙරුන් වහන්සේට නින්දා කරන සේක් අනුන්ට අවවාද කරන කල නම් තමා ත් කියන අවවාද ලෙසට තරම් ඇති ව වේ දැ’යි වදාරා බණ වදාරන සේක් -

යම් කෙනෙක් අනුන්ට අල්පෙච්ඡතාදී ගුණෙන් හෝ ආර්‍ය්‍ය වංශ ප්‍රතිපදාදීන් හෝ අවවාද කෙරෙත් නම් උන් තමනු ත් එ බඳු ගුණයෙක නො පිහිටා අනුනට අනුශාසනා කෙරෙත් නම් ඒ අනුශාසනාව ගරු කරන්නෝ නැත. තුමූ ම නින්දා පරිභවයට පැමිණෙති. අනුන් පිහිටනට කියන ගුණයෙහි යම් කෙනෙක් තුමූ පළමු පිහිටා අනුශාසනා කෙරෙත් නම් පවිත්‍ර බිම නැඟී සඳුන් ගස් මෙන් අවවාද කළවුනු ත් කළ අවවාද ත් ගරුතර කොට සිතතී’ වදාළ සේක. දේශනා කෙළවර පලසින් පැරැදි දෙන ලක්‍ෂයක් හෝ ඉන් මෑත හෝ වටනා පලසින් පැරැද්ද ත් අනර්ඝ වූ ලොවුතුරා ගුණින් නො පැරදි හෙයින් සෝවාන් වූ සේක. උපනන්‍ද තෙරුන් වහන්සේට දිරා නැති වන පලස සම්භව වූවා සේ නොදිරන නිවන් සම්භව වන්ට නො වී ය. මේ දේශනාව සෙසු ත් බොහෝ දෙනා ට ප්‍රයෝජන වී ය.

එ සේ හෙයින් නුවනැත්තවුන් විසින් නිස්සාර වූ ලාභයෙහි ලෝභ ය හැර නිවන් පතා පින් කම යෙදී විසිය යුතු.

  1. ගොඩත් මඩත්

  2. අඟවන්ට

  3. ගොඩස් මඩ