139. බෝධිරාජ කුමාරයන් ගේ වස්තුව

star_outline

තව ද සත්‍වයන්ට ස්ථානෝචිත ප්‍රඥාව වුව මනා දෙයක් නියාව හඟවන්ට බෝධිරාජ කුමාරයන් ගේ වස්තුව දක්වමු.

කෙසේ ද යත්-

ඒ බෝධිරාජ කුමාරයෝ දඹ දිව අනික් රජ්ජුරු කෙනකුන් එ තරමේ කරවාගත නො හැකි ලෙසට අහස පියාසර කරන්ට සිටි ගුරුළකු වැනි වූ කොකනද නම් මාළිගාවක් වඩු කර්‍මාන්ත බලවත් කොට දන්නා වඩුවකු ලවා කරවා ලා ‘තොපි අනික් කෙනකුන්ටත් මෙබඳු මාළිගාවක් කළා දැ’යි වඩුවා අතින් විචාළෝය. ‘පළමු කළ මෙහෙවර නම් මෙ ම ය’යි වඩුවා කී ය. ‘මේ වඩුවා අනික් කෙනකුන්ට ත් ලාභ ය නිසා මෙබඳු මාළිගාවක් කොට පී නම් මේ මාළිගාවේ අරුමයෙක් නැත. මරවා හෝ පියමි. නැත් නම් අත් පා හෝ කපවා පියමි. එ සේ කල ත් අත් පා ඇත්තවුන් ලවා කර්‍මාන්ත නො කට හැකි ලෙසට ඇස් හෝ උදුරුවා පියමි. එසේ කලට අනික් කෙනකුන්ට මාළිගා නො කෙරෙ’යි සිතූ ය. සිතාලා ඒ තමන් සිතූ සිතුවිල්ල තමාගේ සඤ්ජිකා පුත්ත නම් යාළණු කෙනකුන්ට කිවු ය. ඌ සිතන්නෝ ‘අදහස් නපුරු ය. මේ බෝධිරාජ කුමාරයෝ මහ ඇඟි කර්‍මාන්ත දන්නා වඩුවා නසා පූ නමුත් නපුර. මා තරම් වැඩකරු එකකු ඇති ව මුන් නසන්ට කාරණ කිම්ද? මූට මේ පවත හඟවා පියමි’යි වඩුවා කරා ගොසින් ‘මාළිගාව කොට නිමවා පූ දැ’යි විචාරා එ සේ ය’යි කී කල්හි -

“රාජ කුමාරයෝ තොප මරණු කැමැත්තෝ ය. යම් කිසි ලෙසකින් තොපගේ ජීවිතය රැක ගනුව’යි කිවු ය. වඩුවා ත් ‘ස්වාමීනි, කියා ලූ බව යහපත. මම ඊට නිස්ස දනිමි’යි කියා ලා ‘කුමක් ද ? වඩුව අපගේ මාළිගාවේ මෙහෙවර නිමියේ දැ’යි රාජ කුමාරයන් විචාළ කල්හි ‘තව නිමන්ට කොයි ද? නැතක් කර්‍මාන්ත තුබුයේ ය’ යි කී ය. ‘තුබූ කර්මාන්ත කවරේ ද’යි විචාළෝ ය. ‘තුබූ මෙහෙවර පසු ව කියාලමි. දඬු පත් ගෙන්වුව මැනැව’ යි කිවු ය. ‘කෙසේ වූ දඬු පත් ද ගෙන්වුව මනා’යි විචාළ කල්හි ‘හර නැති ලඝු සැහැල්ලු වූ දඬු ය’යි කිවු ය. උයි ත් ගෙන්වා දුන්හ. වඩුවාණෝ කියන්නෝ ‘රජ්ජුරුවන් වහන්ස, මෙවක් පටන් කවුරුනු ත් මා ළඟට නො අව මැනව. සූක්‍ෂම කර්‍මාන්තය නම් කරන කල අනුන් ලා කථා කොට කොට කරන කලට සිත එකඟ නො වෙයි. එ සේ කලට වත්තීම් ආදිය නපුරු වෙයි. බත් වේලාට් බතුත් අනික් කෙනකුන් අත නො එවා අපගේ වඩු දුව අත ම එවන්නා පමණැ’යි කිවුය. රාජකුමාරයෝත් යහපත’යි ගිවිස්සෝ ය.

වඩුවා ත් එක් ගබඩාවෙක හිඳ ඒ දඬු පත් සැස ගෙන අඹු දරුවනුත් තමා ත් ඇතුළත නො හෙවී හිඳිනා ලෙසට විතර කොට ගුරුළු යන්ත්‍රයක් කොට නිමවා ලා බත් ගෙනා අඹුවට ‘ගෙයි ඇති සියල්ලෙක් ඇත්නම් විකොට ලා හැරගනුව’යි කී ය. රාජ කුමාරයෝ ත් ‘වඩුවා සැකයක්[1] ලවා ගෙන පලා ගියේ නමුත් නපුරැ’ යි ඉදි කරන ගෙන් මෑත් නො වන ලෙසට වට කොට රකවල් ලවාලූය. වඩුවා ත් ගුරුළු යන්ත්‍ර ය නිමි කලට අද දරුවනුත් කැඳවා ගෙන එව’යි ඇඹේණියන්ට කියා ලා පෙරවරු බත් කාලා අඹු දරුවෝ ත් තෙමේත් ගුරුළුයන්ත්‍රය ඇතුළේ හිඳ කවුළු දොරින් පිටත්ව යන්ත්‍ර ය මැඬ අහසට පැන නැඟී ලා අහසින් ශිල්පානුභාවයෙන් වඩුවා පලා ගියේ ය’යි මුර ගාව ගාවා නික්ම හිමවත බැස නුවරක් කොට ගෙන රජපට ත්[2] සොයාගෙන කාෂ්ඨවාහන නම් රජ වූ ය.

බොධිරාජ කුමාරයෝ ත් ‘ගෙට වදනා මඟුල් කරමි’යි බුදුන්ට ආරාධනා කොට ලා මාළිගාව සිවු දෑ සුවඳින් පිරිබඩ ගන්වා ලා මාළිගාවේ පළමු වන එළි පත පටන් පියවිළි ලවා ලා තමන්ට දරුවන් නැති හෙයින් ‘දරුකෙනකුන් ලැබෙම් නම් බුදුහු පියවිලි මඬනා සේකැ’ සිතා ලා ඉන් දරුවන් සම්භ වන නියාව දන්ට සිතූ ය. බුදුන් වැඩි කල්හි පසඟ පිහිටුවා වැඳ ලා පාත්‍රය හැර ගෙන ‘ස්වාමීනි වඩනා බව ය’යි කිවු ය. බුදුහු තුන් විටක් දක්වා කීවත්

නො වැඩ අනඳ මහ තෙරුන් වහන්සේගේ මූණ බැලූ සේක. මහතෙරුන් වහන්සේ ත් බලා වදාළ ලෙසින් ම පියවිළි පිටින් නො වඩනා නියා ව දැන ‘රාජ කුමාරයෙනි, පියවිළි හකුළු ව ව. බුදුහු පියවිළි පිටින් නො වඩනා සේකැ’යි වදාළ සේක. රාජ කුමාරයෝ විධාන කොට හකුළු වා පූය. හකුළුවා ලා බුදුන් ඇතුළු මාළිගාවට වඩා ගෙන ගොසින් කැඳ අවුළුපත් වළඳවා ලා වැඳ එකත්පස්ව හිඳ ‘ස්වාමීනි, මම නුඹ වහන්සේට උපකාරීමි. මවු කුසත් හිඳිනා කල අනුන්ගේ වසඟයෙන් වුව ත් එක වරෙක සරණ ගියෙමි. දෙ වැනි ව කිරි බොන අවස්ථාවෙහි සරණ ගියෙමි. තුන් වැනිව වැඩුණු අවස්ථාවෙහි සරණ ගියෙමි. එසේ වූ මාගේ පියවිළි මැඩ ගෙන නො වැඩියේ හැයි දැ’යි කිවු ය.

බුදුහු ත් ‘කුමාරයෙනි, තෙපි කුමක් සිතා පියවිළි ලැවු දැ’යි විචාළ සේක. ‘ඉදින් දරු කෙනකුන් ලැබෙම් නම් බුදුහු මාගේ පියවිළි මඬනා සේකැ`යි සිතා ය’යි කිවු ය. ‘ඒ නිසා පියවිළි ය නො මැඬෙමි’ කියා වදාළ සේක. ‘කුමක් ද? ස්වාමීනි, අප දරු කෙනකුත් නොලබන නියා[3] දැ’යි කිවුය. එ සේ ය යි වදාළ සේක. ඊට කාරණ කිම් දැයි විචාරා ‘එක් ජාතියකදීතොප දෙ මහල්ලන්ම කළ අකුසල් නිසා ය’යි වදාළ සේක. ‘දරුවන් නො ලබන්ට නිසි පාපය අපට සිද්ධ වූයේ කවර කලෙක දැ’යි විචාළ කල්හි -

යට ගිය දවස නො එක් සිය ගණන් මිනිස්සු මහ නැවකට නැඟිලා මූදු නැංගෝ ය. නැව මූද මැද දී නට. දෙ මාලු කෙනෙක් එක් පෝරුවක් හැර ගෙන පීනා ගෙන දිවයිනකට සම්භව වූහ. සෙස්සෝ මුළුල්ල ම ජීවත් වන්ට නිසි කුශලයක් නැති හෙයින් මළහ. අරුන් දෙන්නා පැමිණි දිවයින ත් බොහෝ පක්ෂීහු වෙසෙති. අර මුන් දෙන්න ත් සා කුස් ඇත්තාහු අනික් කෑ යුත්තක් නො දැක පක්ෂීන්ගේ බිජු වට කෑවුය. තන්නෝත් අඟුරෙහි පළහාගෙන කෑවු ය. බිජු වට නිමි කලට පක්ෂි පැටවුන් හැර ගෙන කෑවු ය. කන්නෝ ත් පළමු වයස ත් මධ්‍යම වයස ත් කෙළවර වයස ත් කෑවු ය. එක වයසකත් නොකන්ට නුවූයේ ය දෙන්නා ගෙන් එක් කෙනකු ත් නැවත නූපුවෝ ය.

බුදුහු මේ අකුශල කර්‍ම ය වදාරා බණ වදාරන සේක් ‘තමාගේ ආත්ම ය තමා හට ප්‍රියයා සේ දැනේ නම් යම් ලෙසක රැකි කල රැක්කා වේ නම්, රාජ කුමාරයෙනි, ඒ ලෙසට යහපත් කොට රක්නේ ය. ඉදින් ගිහි කෙනෙක් තමන් රකුම්හ’යි සිතා මාළිගා වල යට මාල් හැර උඩු මාල්වලට නැඟීලා ඉනු ත් ගබඩාවලට වැද ආත්ම රක්‍ෂා ඇති ව වෙසෙ ත් නමුත් පැවිදිවරු භිත්ති හා දොරලි දොර බා ඇති ගල් ලෙනක වෙසෙ ත් නමුත් සිතින් සන්හුන් කමක් නැත්තෝ වූ නම් ඌ තමන් රක්නා නම් නො වෙති. ගිහි වුව ත් පව නො යෙදී බල වූ ලෙස දන් පින් කෙරෙත් නම් පැවිදි වුවත් ධුරද්වයින් එක් තරා ධුරයෙක හා වත පිළිවෙත යෙදී වෙසෙත් නම් ඌ තමන් රක්නා නම් වෙති. තුන් වයස පුරා කට නොහෙත ත් නුවණැත්තෝ එක් වයසෙක වුව ත් තමන් රකිති. ඉදින් ගිහීහු පළමු වයසෙහි කෙළි ලළුවෙහි ලොල් බැවින් පින් කට නුහුණ වූ නමුත් මධ්‍යම වයස වුව ත් පින් කොළෝ නම් යහපත. ඉදින් මධ්‍යම වයස දී අඹු දරුවන් රකිනා නිසා පින් කට නුහුණ වූ නම් කෙළවර වයස දී වුවත් පින් කළ මනා ම ය. තුන් වයසින් එක් වයසක වුව ත් පමා වූ නම් උන් ගේ ආත්ම ය උන්ට ම සතුරු වත්මුත් ප්‍රිය වූවා නම් නො වෙයි.

මහණ වූවාහු පළමු වයස මාර්ගාධිගම ඵලාධිගම නිසා භාවනාවට පමා වූ නම් මධ්‍යම වයස වුව ත් නො පමා ව මහණ ධම් කොළෝ නම් යහපත. ඉදින් පළමු වයස උගත් පෙළ අර්ථ ත් විනිශ්චය ත් කාරණාකාරණ ත් විචාරීමෙන් මධ්‍යම වයස ගියත් කෙළවර වයස වුවත් තමන්ට පිහිටක් සිතූ නම් යහපත. වයස් තුනෙක වුව ත් දෙකක වුවත් එකෙක වුව ත් නො පමා වීම කෙළවර වයසට සම්භව වී නම් තමා රැක්කා නම් ම වෙති. එසේ කොට ගත නො හෙන්නවුන්ට අත් බැව ප්‍රිය නො වෙයි. තමන්ට සතුරෝ නම් තුමූ ම ය’ යි වදාළ සේක. දේශනා කෙළවර බෝධිරාජ කුමාරයෝ පුත්‍ර ප්‍රතිලාභයට පින් නැතත් ශ්‍රාමණ්‍ය ඵල ප්‍රතිලාභයට පින් ඇති බැවින් සෝවාන් වූහ. උන්ගේ වයසෙන් සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ.

එසේ හෙයින් සත් පුරුෂයන් විසින් පමා ව වසතොත් තමා ම තමාට සතුරු බැවින් කෙලෙස් සතුරන් පරදවනු කැමැත්තොත් තමාට හිත ව ගෙන කෙලෙස් සතුරන්ට අවසර නොපෑ නො පමා ව වැස ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කටයුතු.

  1. සකයක්.

  2. රජ හට ත් පිරිස්.

  3. නියාව