තව ද යහපත් අදහස් ඇති කෙනෙකුන් යහපත් අදහස් ඇත්තවුන් හා ම එක් වන නියාව ත්, නපුරු අදහස් ඇත්තවුන් ආලෝක ය හා අඳුර එක් ව ගත නො හෙන්නා සේ ගිනි හා දිය එක් නො වන්නා සේ එක් ව ගත නො හෙන නියාව ත් දක්වනු පිණිස අගසවු වත දක්වමු.
කෙසේ ද යත්?
බුදුන් උපදනාට පෙරාතු ව ම රජගහා නුවරට නුදුරු ව ලා උපතිස්ස නම් බමුණු ගම ය. කොලිත නම් බමුණු ගම ය යි බමුණු ගම් දෙකෙක් ඇත. ඉන් උපතිස්ස නම් බමුණු ගම රූපසාරී නම් බැමිණි බඩ දරු කෙනෙකුන් පිහිටි දවස් ම කොලිත නම් බමුණු ගම මොග්ගලී නම් බැමිණියන් බඩ ත් දරු කෙනෙක් ඇති වූහ. ඒ බමුණු කුල දෙක ද සත්වන කුලපරම්පරාව දක්වා වෙනසක් නැති ව පැවත ආ ය. ලත් දරු ගැබ් යම් ලෙසක නො නැසේ නම් එ ලෙසට ගැබ පෙරහර ත් එක දවස් ම දුන්හ. ගබ පෙරහර ලදින් උවදුරු නැති ව දස මස් අයාමෙන් බැමිණිවරු දෙන්න වදන්නෝ මහ පිනැති පුතුන් දෙන්නකු වැදූහ. උන්ට නම් තබන ගමනේ රූප සාර ගුණ සාර ධන සාරාදීන් යුක්ත හෙයින් රූපසාරී නම් බැමිණියන් ගේ පුතණුවන්ට උපතිස්ස නම් ගම නායක බමුණානන්ගේ පුතණුවන් හෙයින් උපතිස්ස යයි නම් තුබූහ. අනික් තෙනැත්තවුන්ට කොලිත ගම් නායක බමුණානන් ගේ පුතණුවන් හෙයින් කොලිත යන නම් තුබූහ.
ඔහු දෙ දෙනා ද වැඩි ශිල්ප උගත මනා වයසට පැමිණ ලෙව්හි දත යුතු යම් ශිල්පයක් ඇත් නම් මහ නුවණැති හෙයිනු ත් උගත් දෙය වන පොත් නැති ව පෙරළා උගැන්මක් ඇති හෙයිනුත් බොහෝ කොට උගන්නෝ, වහා උගන්නෝ පටන් ගත් නොබෝ කලකින් ම ඉගෙන නිම වූ ය. උපතිස්ස කුමාරයන් දිය කෙළියට ගඟට යන කල වේ ව යි උයන් කෙළියට යන කළ වේ ව යි රන් සිවි ගෙවල් පන්සියයක් කැටුව ගෙන යෙති. කොලිත කුමාරයන් ගඟට හෝ උයනට යන කල්හි පිට හුන්නවුන්ගේ සිත් හසර දන්නා අසුන් යෙදූ රථ පන් සියයක් ගෙන යෙති. උන් දෙන්නා පිරිවරා පන් සියයක් පන් සියයක් පමණ පුරුෂයෝ යෙති. රජගහා නුවර ද හවුරුදු පතා ගල් සෙවනැල්ල හුණු තැන බොහෝ දෙන රැස්ව බොහෝ කන බොන දෑ ඇති ව කරණ උත්සවයක් හෙයින් දෝ නොහොත් පර්‍වත මුදුනට රැස්ව කළ මනා උත්සවයක් හෙයින් ගිරග්ගසමජ්ජ නම් කෙළි නළුවෙක් ඇත. කුමාරවරු දෙ දෙනා ඒ කෙළි නළු බලන්ට ගියකල හිඳිනට එක තැන ම නිල කෙරෙති. එක් තැන් ව කෙළි නළු[1] බලන්නාහු සතුටුව සිනාසුන මනා තැන්හි දීසිනා සෙති. මුසුප්පු වුවමනා තැන දී මුසුප්පු වෙති. දීමන් දුනමනා තැන දී දීමන් දෙති. මෙ ලෙසින් කෙළි නළු බලන්නවුන්ට සවු පැරුම් නුවණ මූ කුරා ගිය හෙයින් එක් දවසක් කෙළි නළු බලා ත් සිනායෙක් වේ ව යි මුසුප්පුවෙක් වේ ව යි නො වී ය. කෙළි නළු බලා සතුටට කළ මනා සංග්‍රහයෙකු ත් නො වී ය. ඒ හැම නො වන්ට කාරණ කිම් ද යත් ‘මී මනා[2] තත්‍ව හෙයින් බැලිය යුතු කුමක් ද? කෙළි නළු බලන්න වුනු ත් පාන්නවුනු ත් හවුරුදු සියය නො පිරෙන තෙක් අතුරෙක ජරා නාටක පෑ ගෙන කෙළවර වැල්ලේ කළ රූ පරිද්දෙන් මැකී නොපන ත් බවට යන හෙයින් සාරයෙක් නැත. මෙ සේ නිස්සාර වූ කෙළි නළු බැලීම් නැත ත් ‘අපි දෙන්න ජාති ජරා රහිත වූ නිවන් දහම් සෙවුමෝ නම් යහපතැ’ යි එකාසඞ්ඛ්‍ය කප්ලක්‍ෂයක් ම සිතා අභ්‍යාස කළ හෙයින් එ දවසු ත් සිතූහ. කොලිත කුමාරයෝ තුමූ ත් මෙ සේ සිතා එසේම සිතා ගෙන හුන් උපතිස්ස කුමාර යන්ට ‘සබඳතොප ගේ අද සැටි ය මෙ තෙක් දවස් සේ නො වෙයි. එක් තරා සිතිවිල්ලක් ඇති කලට ත් ඊ සිතා පියා මෙ ලෙස වෙ යි. කුමක් ද? එ සේ වූ සිතිවිල්ලක් ඇති නිසා දැ’යි විචාළෝය.
‘සබඳ, පිනක් වඩනට නැති මේ කෙළි නළු බලා ප්‍රයෝජන නැත. මේ තෙමේ සසර දික් කර වතොත් මුත් සසර ලුහුඬු කරවා ලිය නොහෙ යි. සසර දික් වීමෙන් දුක් බොහෝ වන පම ණක් මුත් අනිකෙක් නැත. එසේ හෙයින් සසර ලුහුඬු කරවනු නිසා නිවන් සෙවුමෝ නම් යහපත. නිවන් දුටොත් ක්‍රම ක්‍රම යෙන් භවොත්පත්ති ය නැති වෙයි. භවයෙහි ඉපදීම නැති කලට භවය සිඳුණු නියා ය යි සිතා කෙළි නළුවෙහි ඇලුම් නැති ව හුන්නෙමි. සබඳ තෙපි කුමක් සිතා ගෙන හුනු දැ’ යි විචාරා උනු ත් එ ම සිත සිතා හුන් නියා ව කී කල්හි ගඞ්ගොදක ය හා යමුනොදක ය සම වූවා සේ අදහස් සම වූ නියා දැන උප තිස්ස කුමාරයෝ ‘සබඳ, අප දෙදෙනා ගේ සිතිවිලි යහපත. නිවනක් ලද මැනවි නම් ගිහි ගෙය නම් මහා ආකුල හෙයින් ඒ හැර ගොසින් මහණක් වුව මැනව. කවුරුන් ළඟ මහණ වමෝ දැ’යි විචාළෝ ය.
එ කල වැළි ත් සඤ්ජය නම් පරිබ්‍රාජක කෙනෙක් බොහෝ පිරිවැජි පිරිස් ඇතිව රජගහා නුවර වෙසෙති. උන් ප්‍රසිද්ධ හෙයින් උන් ළඟ මහණවම්හ’යි කියා කැටි ව ගිය දහසින් පන් සියයකට සිවි ගෙවල් පන් සියය හා රථ පන් සියය පාවා දී තමන් තමන් ගම් වලට යවා පියා පන් සියයක් දෙන හැර ගෙන සඤ්ජය පරිබ්‍රාජකයන් ළඟ පිරිවැජි ලෙසින් මහණ වි ය. උන් දෙන්නා මහණ වූ තැන් පටන් සඤ්ජය පරිබ්‍රාජකයෝ බොහෝ ලාභ සත්කාර ලදින් ප්‍රසිද්ධ වූහ. උන් දෙන්නත් ත් මහණ වූ දවස් ගණනෙකින් ම සඤ්ජය පරිබ්‍රාජකයන් දන්නා පරසම ය ඉගෙන නිමවා ආචාරීනි, මුබ දන්නා දෙය මෙ තෙක් ද, තව ත් ඇත් දැ’ විචාළෝ ය. ‘හෙම්බා දරුවෙනි, ආචාර්‍ය්‍ය මුෂ්ටියට මා තබා ගත් දෙයෙක් නැත. හැම ම තොප උගන්වා ලීමි’යි කිවු ය.
ඒ අසා ‘එ සේ වී නම් මුන්දෑ ළඟ තපසින් ප්‍රයෝජන නැත. අපි යම් නිවනක් සොයමෝ නම් ඒ සාවුන් ගෙන් හං ලැබ්බ නොහැක්කා සේ, දිඹුලෙන් මල් ලැබ්බ නො හැක්කා සේ, මුන්දෑ ගෙන් ලද නො හැක්ක. දඹදිව මහත් බැවින් නු කුසී ව ඇවිදින්නෝ කෙ සේ වත්ෙ නිවන් දහම් පසක් කර දෙසන ඇදුරු කෙනෙකුන් ලැබ පියම්හ’යි සිතා එවක් පටන් යම් යම් තෙනක නුවණැ’ති මහණ-බමුණු කෙනෙකුන්ගේ පුවතක් ඇසූ නම් ඔබ ගොසින් උන් හා කථා කෙරෙති. කථා කොට තමන් විචාළ දෙයක් කියා ලිය හෙන කෙනෙකුන් නැති හෙයින් තුමූ උන් විචාළ දෙයක් කියා පියා එ ලෙසින් දඹදිව මුළුල්ලෙහි ඇවිද නිවන් දහම් දෙසා ලිය හෙන කෙනෙකුන් නො දැක පෙරළා සිය තෙනට අවුත් උපතිස්ස නම් පරිබ්‍රාජකයෝ කොලිත පරිබ්‍රාජකයන්ට සොයා ඇවිද ත් තව දක්වා අපට සම්භ වූ නිවනෙක් නැත්තේ වේ ද? නොලත් පමණකින් නැතැ යි යන්ට බැරි වේ ද? ගිනි ඇති කල ඒ නිවන පැනු ත් ඇත්තා සේ දුක් ඇති කල ඒ දුක් නිවන නිවනු ත් අවශ්‍යයෙන් ඇත මැන ව. අප ගේ ශාස්ත්‍රවල පවා හැඟී නොගි ය අර්ථ ය සොයත ත් මුත් නැතැ යි හළ හැකි ද? තව ත් නිවන් දහම් දෙසන තැනක් සොයම්හ. අප දෙන්නා ගෙන් යම් කෙනෙක් පළමු කොට නිවන් දුටු නම් උන් අවුත් නිවන් නුදුටු තැනැත්තවුන්ට කියයුතු ය’යි කතිකා කොළෝ ය.
මෙ සේ උන් කතිකා කොට ගෙන වසන කලට බුදුහු බිම්සර රජ්ජුරුවන්ට දුන් ප්‍රතිඥාවෙන් මිදෙනු පිණිස රජගහා නුවරට වැඩ වෙළුවනාරාමය පිළිගෙන එහි වසන සේක. උරුවෙල් දනව් වට වඩන ගමනේ-
“අඤ්ඤාකොණ්ඩඤ්ඤ පමුඛෙ - භික්ඛු ඛීණාසවෙ ජිනො,
විධාතුං ධම්මදූතෙය්‍යං - විස්සජ්ජෙසි තහිං තහිං”
යනු හෙයින් තුනුරුවන් ලොව පහළ වූ නියාව වදාරා මෙහෙ වර යැවූ සැට දෙනා වහන්සේ ගෙන් පස් වග වහන්දෑට ඇතුළත් අස්සජි මහ තෙරුන් වහන්සේ සැට දෙනා වහන්සේ ම වෙන වෙන අත වැඩි හෙයින් තමන් වහන්සේ ගිය අත මෙහෙවර නිමවා ගෙන පෙරළා රජගහ නුවරට අවුත් දෙ වන දවස් ඇතුළු නුවරට සිඟා වැඩි සේක. එ දවස් උපතිස්ස පරිබ්‍රාජකයෝ උදෑසන බත් අනුභව කොට ලා පිරිවැජි අරමට යන තැනැත්තෝ අස්සජි මහ තෙරුන් වහන්සේ දැක ‘මා මෙයට පෙරාතු මෙ සේ වූ පැවිදි කෙනෙකුන් දුටු විරූ නැත. ඒකාන්තයෙන් මෙ ලොව රහත් කෙනෙක් වෙත් නම් හෝ රහත් වන්ට නිසි පිළිවෙත් පුරන කෙනෙක් වෙත් නම් මුන් ගේ සැටියෙන් මුත් ඊට ඇතුළත් වුව මැනව. ගොසින් මුන් අතින් ස්වරූප විචාළෙම් වීම් නම් යහපත. දැන් මුන් සිඟන ගමන් හෙයින් කථාවට වේලක් නො වෙ යි, පැන් වත් කරන්නවුන්ට වඩා පිපාසා ඇත්තවුන්ට ඉක්මන් සේ නිවන් පිපාසා අපට බලවත් ව තුබූ බැවින් මුන් අත් නොහැර ගොසින් මූ තුමූ කෙලෙස් පැන් පවසට නිවන් පැන ත් සර්‍වඥ විලකින් ලත් කෙනෙක් වූ නම් මුන් අතින් ඉල්වා ගෙන අපි ත් බී පියා කෙලෙස් පැන් පවස් සන්සිඳුවම්හ’යි සිතා පසු පස්සෙහි ගොසින් තෙරුන් වහන්සේ ත් සිඟා භොජනයෙහි පමණ දන්නා බැවින් යපෙන පමණක් ලැබ සරුප් තෙනකට වැඩ හිඳිනා ආකාරයක් දැක් වූ කල්හි බුදු සස්නෙහි පිහිට ලබන්ට පූර්ව නිමිත්ත කොට පුටුව ලා ලා ඊ වැඩ හිඳ වැළඳූ කල්හි වළඳා අන්තයෙහි කුණ්ඩිකාවෙන් අත කට සෝධන්ට පැනු ත් ගෙන දී ඇදුරු වත් කොට ලා වළඳා නිමවා පාත්‍ර වත ත් සපයා ගත් කල්හි මහ තෙරුන් වහන්සේ හා මියුරු පිළිසඳර කථා කොට ලා “තපස්වීන් වහන්ස, මුඹ වහන්සේ සිඟා ලද දෙයකින් ජීවත් වත ත් චිත්තශුද්ධියක් ඇති හෙයින් දෝ හෝ ශරීර ශෝභාව යහපත, මහණ වූ යේ කොයි ද? කො තැනක මහණක් ගෙන ද වසන්නෙහි’යි විචාළෝ ය.
තෙරුන් වහන්සේ ඒ අසා, මේ පරිබ්‍රාජකවරු නම් බුදුසස්නට පටහැණියෝ ය. එ සේ හෙයින් සසුන් විල ගැඹුරු නියාවත් තොට හැඳින මුත් බැස ලිය නොහැකි නියාව ත් හඟවා කථා කෙරෙමි’යි සිතා වදාරා ‘හෙම්බා ඇවැත්නි, මම අලුතිමි- මහණ වූයේ බොහෝ කලක් නො වෙයි. පුරා උගන්ට නුවූ හෙයින් විස්තර කොට කියා ලිය නො හෙමි’යි කී සේක. පරිබ්‍රාජකයෝ ද ඒ අසා:-
‘ගඞ්ගාය වාලුකා ඛීයෙ – උදකං ඛීයෙ මහණ්ණවෙ,
මහියා මත්තිකා ඛීයෙ - ලක්ඛෙන මම බුද්ධියා’යි.
පසු ව කරන ඥාන ගර්ජනාවට තරම් කොට ඥාන ගර්ජනාවක් කරන්නෝ ‘උපතිස්ස පරිබ්‍රාජකයෝ යයි කියන්නේ මටය. මා ගේ ශක්ති නො සලකා මුඹ වහන්සේ ගේ ශක්ති විතරෙක මදක් වේ ව යි බොහෝවක් වේ ව යි වදාළ මැනව. වදාළ කල බොරු හර සැස දණ්ඩෙහි හර පමණක් හැර ගන්නා සේ නො එක් ලෙසින් සිතා පද ව්‍යඤ්ජන නමැති බොරු හර හැර අත්‍ථි තත්‍ව නැමැති හර ගත හැක්කැ’යි කිවු ය. ඒ අසා තෙරුන් වහන්සේ:
‘යෙ ධම්මා හේතුප්පභවා - තෙසං හෙතුං තථාගතො ආහ,
තෙසඤ්ච යො නිරොධො - එවං වාදි මහාසමණො’
යනු හෙයින් සංස්කාරාදි වූ යම් යම් ඵල ධර්‍ම කෙනෙක් අවිද්‍යාදි වූ යම් යම් හේතු ධර්‍ම කෙනෙකුන් නිසා තල්පක්, පොල් පක් ආදිය නිසා තල් පැළ පොල් පැළ ආදිය පවත්නා සේ ද නැවත තල් ගස් පොල් ගස් ආදිය නිසා තල් පක් පොල් පක් ආදිය පවත්නා සේ දැ යි හේතු ධර්‍මයන්ගේ වශයෙන් ඵලධර්‍මයෝ, ඵල ධර්මයන් ගේ වශයෙන් හේතු ධර්‍මයෝ ය යි කාරණ ව සිටියා වූ ත්, කාරිය ය යි සිටියා වූ ත්, ධර්‍මයෝ ත් පවතිද් ද ඉන් ‘යෙ ධම්මා හෙතුප්පභවා” යන්නෙන් ඵල ධර්‍මයන්ට හේතු වූ අවිද්‍යාදී හේතු ධර්‍මයන් වදාළ සේක. නැවත ඒ හේතු ධර්‍මයන්ගේ නිරොධයෙන් පොල් ගස් ආදි ය නැති වූ කලට පොල් පක් ආදියෙක් නැත්තා සේ ඵල ධර්මයන් ගේ නිරොධ ය ත් වදාළ සේක. යන මේ අර්‍ථ ය ප්‍රකාශ කරණ ගාථාව වදාළ සේක.
ගාථාවෙහි ආදි දෙ පදය පමණකින් උපතිස්ස පරිබ්‍රාජකයෝ පරතොඝොෂ ප්‍රත්‍යයට එ පමණකු ත් තමන් දෑ වැන්න වුන්ට ඇති හෙයින් නය දහසකින් හෙබියා වූ සෝවාන් පෙලෙහි පිහිටා අනික් දෙ පද ය සෝවාන් වූ පසු අසා නිමවා ඇසූ ගාථා දෙ පද ය පමණකින් සෝවාන් වන්ට නිසි මෙ තරම් නුවණක් ඇති මට සෙසු මාර්‍ග ඵල සම්භ නො වන්ට කාරණයක් ඇති නියා ය යි සිතා තෙරුන් වහන්සේට ‘ස්වාමීනි, වදාළ ගාථාව පමණ ඉතිකින් වදාරා ආයාස ගන්ට නො කැමැත්තෙමි. හේතු ධර්‍ම ඵල ධර්මයන් ගේ උත්පාද ය හා නිරොධය වැදෑරීම නම් උන් ගේ අනුත්පාදනිරොධ ය යම් මාර්‍ග ඵල නිර්‍වාණ ධර්‍මයක් නිසා මේ නම් එයි ත් ඇතුළත් ව නිරවශෙෂ ධර්‍ම දේශක මා ගේ තිලෝ ගුරු බුදුහු දැන් කොහි ද? ධර්‍ම කාය දුටු මා රූප කාය ත් දුට මනා වේ දෑ’යි කිවු ය. ඒ අසා තෙරුන් වහන්සේ වෙළුවන විහාරයෙහි වසන නියා කී සේක. ‘එ සේ වී නම් ස්වාමීනි, නුඹ වහන්සේ පෙරාතු ව වැඩිය මැනව. මාගේ එක් යාළුවාණ කෙනෙක් ඇත. ආදි ම කතිකාවක් කරන්නමෝ පළමු ව නිවන් දුටු කෙනෙකුන් කියන්ට වුව මැනැවැ යි නියමයක් කළම්හ.
එ සේ හෙයින් මා නිවන් දුටු නියාව උනු ත් නිවන් සොයා ඇවිදිනා හෙයින් උන්ට කියා ලා ඒ මාගේ යාළුවාණනු ත් කැඳවා ගෙන බුදුන් කරා එමි, කියා ලා තෙරුන් වහන්සේ පඤ්චගතීන් මිදෙන්ට පසඟ පිහිටුවා වැඳගෙන තිවට නිමන්ට ආසන්න හෙයින් තුන් විටක් පැදකුණු කොට ලා තෙරුන් වහන්සේ වඩා යවා පිරිවැජි අරමට අභිමුඛ ව ගියහ. කොලිත පරිබ්‍රාජකයෝ ද යාළණුවන් දුරින් ම එන්නවුන් දැක ‘අද මාගේ යාළණුවන් ගේ ඇඟ මූණ පැහැය මෙ තෙක් දවස් සේ නො වෙයි. යහපත් ය. ඔවුන්ට සන්තෝෂයෙක් ඇත. මෙ තෙක් දවස් මුළුල්ලේ සොයා ඇවිදි නිවන් අද ලත් සැටි’යි සිතා ‘කුමක් ද? නිවන් ලදින් නිවී ගියේ ඇද්දැ’යි විචාළහ.
එ සේ විචාළ යාළණුවන්ට මිහිරි දෙයක් ලදින් භාගයක් අනුභව කොටලා භාගයක් හිණ තබා ගෙන අවුත් දෙන කෙනකුන් මෙන් මිනිසුන්ට ගැඹුරු දිය ඇතුන්ට ගැඹුරු නො වන්නා සේ අනඳ මහ තෙරුන් වහන්සේට ම ගැඹුරු නොවන්නා සේ වැටහෙන බුදු වරුන් වහන්සේ බුදු වන දවස් පටන් අග දක්වා, අග පටන් මුල දක්වා, මැද පටන් මුල දක්වා, මැද පටන් අග දක්වා, අග පටන් මැද දක්වා මුල පටන් මැද දක්වා සැලකිය යුතු වූ දොළොස් අඟෙකින් හා ආකාර විස්සකින් හා අධවා තුනකින් යුක්ත ප්‍රතීත්‍ය සමුත්පාද ප්‍රකාශ වූ ගාථාව ම අස්සජි මහ තෙරුන් වහන්සේ තමන්ට වදාළ ලෙස ම කීහ. කොලිත පරිබ්‍රාජකයෝ ද, ගාථාව කියා නිමි කල්හි වෙළඳාමෙහි දක්ෂ කෙනෙකුන් දෙමස්සට හැර ගත් බඩු වෙළඳාමෙහි අදක්ෂ කෙනකුන් තමන් වෙළඳාමෙහි අදක්ෂ හෙයින් සතර මස්සකට හැර ගන්නා සේ උපතිස්ස පරිබ්‍රාජකයන් ගාථා දෙ පදයක් අසා ලද නිවන් කොලිත පිරිවැජියෝ සතර පදය අයා නිමවා ම ලත්හ.
මෙ සේ සෝවාන් ව ලා ‘සබඳ, මේ නිවන් නමැති මිහිරි පැන් ඇත්තේ සදහම් නමැති මහ ගඟ වේද? ඒ ගඟ වැහෙන්නේ සර්‍වඥ නමැති හිමවත කෙලෙස් අවුවෙන් අවු නො කන දළදා නමැති පර්වත කුළු ඇතුළත සිටි මුඛ නමැති අනව තප්තයෙන් වේ ද? ඒ සර්‍වඥ නැමැති හිමවත දකුම්හ. ඔබ කොයි දැ’යි විචාළහ. ඒ අසා උපතිස්ස පරිබ්‍රාජකයෝ ‘සබඳ, ඒ මුනි උතුමාණන් වෙළුවන වෙහෙර වැඩ හිඳිති’ යි අප ගේ ඇදුරු වූ අස්සජි මහ තෙරුන් වහන්සේ වදාළ සේකැ’යි කිවු යැ. ‘සබඳ, එ සේ කල ඔබ යම්හ’යි කිවු ය.
එ සේ කී කල්හි උපතිස්ස පරිබ්‍රාජකයෝ තමන් කවර කලක ත් ගුරු භක්තිය බලවත් හෙයිනු ත් සඤ්ජය පරිබ්‍රාජකයනු ත් ගුරු හෙයින් උන් සලකා ‘සබඳ, අප ලත් නිවන් සඤ්ජය පරිබ්‍රාජකයන්දෑට ත් කියම්හ. නුවණැ’ති හෙයින් අප සේ ම ප්‍රතිවෙධ කළ දෑ වී නමුත් යහපත. එ සේ නො වී නම් අප ගෙන් ස්වරූප අසා ඔබ යන දෑ ය. ගිය කල නිදන් බලා කරණ පිළියම් සේ චරිත බලා වදාරන බණ හෙයින් මාර්‍ග ප්‍රතිවෙධයට නිසි කුශලයෙක් උන්දෑට ඇත් නම් අප බුදු නො වන හෙයින් අප ගෙන් නු වුව ත් විදමන දක්ෂයන්ට කැළි විදමන් නො වරදන සේ ඔබින් වරදිනට නැත. උන්දෑ කරා යම්හ’යි දෙන්න ම සඤ්ජය පරිබ්‍රාජකයන් කරා ගියහ.
සඤ්ජය පරිබ්‍රාජකයෝ ද උන් දෙන්නා දැක ‘කුමක් ද දරුවෙනි’ අමා මහ නිවනට පමුණුවා බණ දෙසන කෙනෙකුන් ලද්දුදැ’යි විචාරා ‘එ සේ ය. ආචාරින් වහන්ස, මෙ තෙක් දවස් මුඹ හා අප නොදත් පමණක් මුත් සර්‍වඥ නමැති හිර පහළ ව සදහම් හිරු රැසින් කෙලෙස් අඳුරු දුරු කොට විනේදන පියුම් පුබුදුවමින් සිටියෝ ය. මැණික් තිබිය දී ගොමරිති පිරිමස්නා සේ නිස්සාර කට යුත්තක් හැර ගෙන සැලී ඇවිදිනා දෑ ය. මින් ප්‍රයෝජන නැති. බුදුන් කරා අව මැනවැ’යි කීහ. ඔහු ඒ අසා ‘තෙපි යව, මම නො යෙමි”යි කීහ. ‘හැයි නොයන්ට කාරණ කිම්දැ’යි විචාළ කල්හි හෙම්බා, මෙ තෙක් දවස් මම බොහෝ දෙනාට ඇදුරු ව විසීමි. දැන් ගොසින් උන්ට අත වැසි වීම පමණ නම් ආදී සැළක් ව පියා පසුව සාළුවක්[3] වූවා වැන්න. මා ගොසින් උන්ට අත් බා වසන්ට ප්‍රසිද්ධ ව හුන් තරමට තරම් නො වෙ යි” කීහ.
ඒ අසා අර මූ දෙ දෙනා ‘ආචාරීන් වහන්ස, සක්විති රජ්ජුරු වන්ගේ සත් රුවන පහළ වූ තැන් පටන් සක් වළ ඇතුළත යටත් නොවන කෙනෙකුන් නැත්තා සේ ම සර්වඥ නමැති සක්විත්තන් ගෙන් දහම් සක පැවති තැන් පටන් ආඥාව කෙළ ලක්ෂයක් සක් වළ දක්වා ත් පවත්ති. මුඹ කෙ සේ කීවත් අප නො යන්ට නො පිළිවන. සර්‍වඥයන් වහන්සේ ගෙන් බණක් අසන්ට නු වූ හෙයින් මුත් අප ගේ පැරැත්ත නැති ව මුඹ ම යත් නොගොසින් ලබන ප්‍රයෝජනයක් නැති නියාව අප හැම දනු ත් යන්ට ම වුව මැනැවැ’යි ලෙඩ ඇත්තවුන් බෙහෙදේ තරම නො දැන බොන්ට මැළි වුව ත් බෙහෙත් පූවොත් ලෙඩ සන්හිඳෙන නියාව දැන බොන්නට කන්නට පැරැත්ත කියන්නවුන් මෙන් ඔබ කොට ගතුමෝ නම් සදහම් බෙහෙත් පොවා කෙලෙස් ලෙඩ සන්හිඳුවා පියම්හ’යි කියන්නට ම තරව කිවු ය.
ඒ අසා සඤ්ජය පරිබ්‍රාජකයෝ ‘මෙ ලොව නුවණැත්තෝ බොහෝ වූද? නොහොත් නුවණ මඳහු බොහෝ වූ දැ’යි චිචාළෝ ය. ‘ආචාරීන් වහන්ස, බොල් බොහෝ විකෙක. බොල් පරිද්දෙන් නුවණ මඳ වූවෝ බොහෝ මය. නො බොල් වී මෙන් නුවණැත්තෝ මඳ දෙනෙකැ’යි කී කල්හි ‘එ සේ වී නම් නුවණ හර[4] නැති වීමෙන් නිස්සාර කෙනෙක් මා කෙරෙහි ඇලුම් ඇති ව මා කරා එති. නුවණ හර ඇති කෙනෙක් හර හුන් තරම් ඇති මහණ ගොයුහුම් කරා යෙති. එලෙසිනුත් පිරිස් බොහෝ මට ය. තෙපි තොප සේ ම සාර තැන් ලත් බැවින් ඔබ යව. මම නොයමි’ කිවු ය.
ඌ දෙ දෙන නොයෙක් ලෙස පැරැත්ත කියා ත් නොගිවිස්නා “මුඹ ගේ කටයුත්තෙන් මුඹ පෙනෙනදෑ ය’යි කියා ලා බුදුන් කරා යන්ට නික්මුණා හුය. ප්‍රසිද්ධ ව සිටි දෙ දෙනා නික්මුණු හෙයින් සඤ්ජයන්ගේ පිරිසත් උන් හා කැටි ව නික්මුණු හෙයින් අරම පාළු වි ය. ගුණෙන් සිස්වූ ඌ තුමූත් තමන් සේ ම පර්‍ෂදින් සිස් වූ අරම් පාළුව දැක ශෝකයෙන් හුණු ලේ නැඟූහ. දෙන්නා හා කැටි ව නික්මුණු පන් සියයක් දෙනා ගෙන් සඤ්ජයයන් පිළිබඳ දෙ සිය පනසෙක් නිවන් පුරට පිටි පා සසර මහ වලට මූණ ලා රඳා පී හ. උන් රඳා ගිය ත් උපතිස්ස-කොලිත දෙ දෙන තමන් පිළිබඳ දෙසිය පනස හැර ගෙන වෙළුවන විහාරයට ගියහ. බුදුහු සිව් වනක් පිරිස් පිරිවරා වැඩ හිඳ බණ වදාරන සේක් එන දෙන්නා දුර දී ම සතර ගවුවෙක තුබූ දෙයක් දක්නට සමර්ථ වූ මසැ’ස ඇති හෙයින් දැක වහන්දෑ බණවා ලා ‘මහණෙනි, තෙල එන දෙන්නා දුටු ද? තුලු මට අගසවු වෙතී’ වදාළ සේක.
ඔහු ද ගොසින් බුදුන් වැඳ ගෙන එකත්පස් ව සිටි තමන් මහණ මහලු පැවිදි කරවන්ට ආරාධනා කළහ. බුදුහු ඒ අසා වදාරා රත් වලා ගබකින් නිකුත් විදුලියක් මෙන් දකුණත දික් කොට ‘මහණෙනි, මෙසේ පලා එව, සසර කතරින් එ තර වනු නිසා බඹසර හැසිරෙව’යි වදාළ සේක. එ කල ඒ දෙ න ම සහපිරිවරින් සෘද්ධීන් පහළ වූ පා සිවුරු දැරීමෙන් මනුෂ්‍යාත්ම භාවය හැර බ්‍රහ්මාත්මභාවයකට පැමිණියා සේ ගිහි වෙස් නැතිව ශීලසමෘද්ධ්‍යාදී ගුණ නමැති ආභරණ පළන් මහණ වෙස් ඇති ව සිය වස් ගිය මහ තෙරුන් වහන්සේ මෙන් ආකල්ප ඇති වූ සේක. ඉක් බිත්තෙන් බුදුහු ප්‍රධාන කෙනෙකුන් රැසක් පිරිසක් හැර ගෙන පොහොසත් කෙනෙකුන් කරා ගිය කල කළ මනා ප්‍රපඤ්ච ඇති හෙයින් ප්‍රධානයන් සිටිය දී ම කැටි ව ගිය සෙස්සවුන්ට බත් දෙන්නා සේ අගසවු වන දෙන ම සිටිය දී ම කැටිව ගිය පර්‍ෂදට බණ වදාළ සේක. ඒ තැනැන්දෑ මුදලිවරුන් අත් නො බලා ලා ලූ බත් කන්නවුන් මෙන් බණ අසා දෙ සිය පනස් නම ම රහත් වූ සේක.
සවු පැරුම් නුවණ මහත් හෙයින් අනුන්ට ලූ බතක් බලා සිටි පමණකින් බඩ පිරෙන්ට නැත්තා සේ පර්‍ෂදට වදාළ බණ අසා ත් අර්හත්‍ව ය අගසවු දෙ නමට සිද්ධ නො වී ය. ඉක්බිත්තෙන් මුගලන් මහ තෙරුන් වහන්සේ මහණ වූ සත් වන දවස මගධ රට කල්ලවාල නම් ගම දී, සසම්භාර සඞ්ක්ෂේප ය. සසම්භාර විභක්ත ය. සලක්‍ෂණ සඞ්ක්‍ෂෙපය, සලක්‍ෂණ විභක්ත ය යන මොවුන් ගේ වශයෙන් ධාතු කමටහන යෙදී විවසුන් වඩා තුබූ තුන් මග කෘත්‍ය දොළස නිමවා ඍද්ධිමතුන් අතුරෙහි අග බවට පැමිණ මහ පොළොව පාන් කබළක් කොට, මූද දිය තෙල් කොට, මහ මෙර පහන් වැටි කොට, පහන් දැල්වීම් ආදි වූ නොයෙක් ශාස්ත්‍රයෙහි නිපුණ හෙයින් බුදුන්ගේ සදහම් නුවර පුරෝහිත තනතුරට පැමිණි සේක.
සැරියුත් මහ තෙරුන් වහන්සේ ද මහණ වූ දෙ පෝයක් විතරින් රජගහා නුවරට ආසන්නයෙහි බුදුන් හා එක් ව හූරා කැණි ලෙණ යැ යි එ නමින් ප්‍රසිද්ධ වූ ගල්ලෙනක වසන සේක්, තමන් වහන්සේ ගේ බෑණ දික්නිය පිරිවැජියන්ට වෙදනා පරිග්‍රහ සූත්‍රය දෙසන කල්හි අනුන්ට ලා ලූ බතක් උන් හා කැටි ව කන්නවුන් අත පොවා හැර ගෙන කන්නා සේ විවසුන් නමැති අතින් සූත්‍ර දේශනා නමැති බත් අනුභව කිරීමෙන් එක් විතර ව තුබූ කෙලෙස් බඩ සාය නැති ව රහත් ව බුදුන් සමයෙක මුත් පොළොව සැඟවී තුබූ සල් කළණ ගස පහළ නොවන්නා සේ පරමාර්ථ හෙයින් විද්‍යමාන වුව ත් බුදුන් සමයෙක මුත් පහළ නොවන අරීපුඟුලන් පිරුණු නිවන් මඟ නුවර අනන්ත පර්‍ය්‍යන්ත සක්වළ වල පැතිර සිටින්නට ත් බොහෝ වූ සදහම් නමැති මහ සෙනගට අලග්න වීම් නමැති මූණු බැල්මක් නැති ව, සසුන් රටින් නෙරිය යුතු දුශ්ශීලයන් නෙරනට ත් පිටත් ව හුන් සුශීල පුද්ගල කෙනෙක් ඇත් නම් නිවන් පුර ඇතුළත ලන්ට ත්, ලොවී ලොවුතුරා සම්පත් ලද මනාවුන්ට කොට තුබූ විධාන ඇති හෙයින් සම්පත් දෙන්ට ත්, බුදුන්ට ඉක් බිති ව දහම් සක පවත් වන්නට ත්, බල ඇති ව සවු පැරුම් පටබැඳ සෙනෙවිරත් වූ සේක.
හැයි! මේ දෙ නමින් සැරියුත් මහ තෙරුන් වහන්සේ මහ නුවණැති වු ව රහත් වීමෙන් සෝවාන් වූවා සේ පෙරාතු නො ව පසු වන්ට කාරණ කිම් ද යත්: දකුණ ත් සවු වීමට පිරියම් මහත් හෙයින. යම් සේ දුක් පත් මිනිස්සු යම් තෙනකට යන්ට සිතූ කල තමන් ගේ බලවත් ප්‍රපඤ්චයක් නැති හෙයින් වහා ම සිතා ලා නැගී යෙත් ද, රජ දරුවන් නික්මෙන කල ඇතුන් සැරහීම් ආදි වූ කළ මනා දෑ බොහෝ වේ ද-මෙයි ත් එ ලෙසින් දතයුතු. බුදුහු දවස් ම පෙර වරු වේලෙහි වහන්දෑ රැස් කරවා ලා ඒ දෙ දෙනා වහන්සේ ගෙන් සැරියුත් මහ තෙරුන් වහන්සේ නුවණැති තෙනට හා මුගලන් මහ තෙරුන් වහන්සේ ඍද්ධිමත් තෙනට තමන් වහන්සේට ඉක් බිති කොට අග තැන තබා ලා පාමොක් උදෙසා වදාළ සේක.
වහන්දෑ ද ඒ දෙන ම අගසවු කළ නියාවට කිසි කෙනෙක් නො සතුටු ව බුදුන්ගේ ත් මූණු බැලුම් ඇති නියා වේ ද? මෙසේ වූ අගසවූ තනතුරු දෙන කල පළමු මහණ වූ පස් වග වහන්දෑට හෝ දෙවිය යුතු ය. එ තෙනට ත් නොදෙතො ත් යස තෙරුන් වහන් සේ ඇතුළු වූ පස් පනස් දෙනා වහන්සේට හෝ දිය යුතුය. එ තෙනට ත් නොදෙතො ත් තිසක් පමණ භද්දවග්ගිය තෙරුන් වහන්සේට හෝ දිය යුතු ය. එ තෙනට ත් නොදෙතො ත් උරුවෙල් කසුප් ආදී වූ තුන් බෑ තෙරවරුන් වහන්සේට හෝ දිය යුතුය. මෙ තෙක් තැන් පන්වා පසු ව මහණ වූ මෙ තෙනට අගසවු තනතුරු දීම නම් ඔබ කෙසේ සිතා කරතත් අපට මුහුණු බලා කරන්නා සේ සිතෙයි. අප තබා කාට වුව ත් කාරණ ඇසුවොත් මුත් එ ලෙසම සිතෙයි’ කියා මුහුණු බලා නො කරණ බුදුන්ට එ ලෙස කියා ගත් සේක.
බුදුහු ත් කියන කථාව දිව කණින් අසා දනිත ත් ‘කුමක් කියවු දැ’ යි විචාරා වදාරා ‘ස්වාමීනි, අනිකෙක් නො වෙයි. මුඹ වහන්සේ මූණු බලා කරන කටයුතු කියම්හ’යි කී කල්හි බුදුහු තොප හැම නොදැන කියත ත් මා මූණු බලා පක්ෂග්‍රාහී ව කරන දෙයක් නො වෙයි. මූ හැම දෙන යම් යම් පිණක් පැතූ නම්:
“එස දෙව මනුස්සානං - සබ්බකාමදදො නිධි,
යං යදෙවාභිපත්‍ථෙන්ති - සබ්බමෙතෙන ලබ්භති.”
යනු හෙයින් උන් උන් පැතූ ලෙසට දෙමි. මුන් හැම දෙනා ගෙන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරහු සසර සිටිනා ගමනේ එක ගොයම් මුරයේ නව අගහස් බතක් දන් දී අගසවු තනතුරක් නො පැතුවෝ ය. පැතූයේ කවරේද යත් – ‘මේ දන් දුන් අගහස් සේ ම බුදු කෙනකුන් වහන්සේ කරා පැමිණ හැම තැනට පළමු කොට රහත් වීමෙන් නිවන් අගහස් සම්භ වේ ය යි පැතූයේ ය’යි වදාරා ඒ ප්‍රාර්ථනා කෙළේ කවර කල දෑ’යි වහන්දෑ විචාල කල්හි ‘අසනු කැමැති නියා දෑ’යි විචාරා වදාරා ලා ‘හෙම්බා මහණෙනි, මේ අප බුදු වූ කපට එකානූ වන කප විපස්සි නම් බුදු කෙනෙක් ලෝ පහළ වූ ය. එ කල මහාකාළ ය - චූළකාළ ය යි ප්‍රසිද්ධ වූ දෙ බෑ කෙනෙක් මහා හැල් කෙතක්[5] වැපිරවූ ය. ඉක් බිත්තෙන් එක් දවසක් චූළකාළ නම් මලණුවෝ හැල් කෙතට ගොසින් හැල් බඩයක් තළා පියා කැවු ය. ඒ හැල් බඩය ඉතා ම පැණිරස[6]යුත් වි ය.
ඌ ඊ රස බලවත් හෙයින් මෙ සේ වූ බලවත් රසය දනක් දීපුවොත් ඊට වඩනා නිවන් රස ත් ලද හැක්කැ යි බුදු පාමොක් සඟනට හැල් බඩ වළඳන්ට නිසි ලෙසක ඉදි කරවා දන් දෙනු කැමැති ව බෑණන් කරා ගොසින් ‘බෑණන් වහන්ස, හැල් බඩ තළවා පියා බුදු පාමොක් මහ සඟනට නිසි කොට ඉදි කරවා දන් දෙම්හ’යි කිවු ය. බෑණෝ ද ඒ අසා ‘හැල් බඩ තළවා දන් දීමක් ගිය දවස වූයෙ ත් නැත. එන දවස වන දෙයකු ත් නො වෙයි. ගොයම් නො නසව’ කියා ලා මලණුවන් හැල් බඩ දන් දෙන්ට ම තර හෙයින් ‘එ සේ වී නම් සේන බෙදා පියා මා සන්තක භාගයට අළෙවි නො කොට තොප සන්තක භාගයට කැමැත්තක් කරව’යි කිවු ය.
ඒ අසා ‘යහපතැ’යි සේන බෙදා පියා බොහෝ අත් කැමියන් හැර ගෙන හැල් බඩ තළවා පියා සැළවළට නගා පැනක් නුමුසු කිරින් ම පැසවා පැසෙන අවස්ථාවේ දී ගිතෙල්-මී-සකුරු ආදිය බහා කිරි බත් පිසවා ලා එක් ලක්‍ෂ අට සැට දහසක් පමණ බුදු පාමොක් සඟනට දන් දී වළඳා අන්තයෙහි ‘ස්වාමීනි, මා දුන් මේ අගහස් දන හැම දෙනාට පළමු නිවන් පුර වදනට හේතු වේව’යි පැතූහ. බුදුහු ත් එ සේ ම වන නියාව දැන ‘එ සේ ම වේව’යි වදාළ සේක. ඌ පෙරළාත් සේනට ගොසින් බඩ තළා ගත් සේන් කැබෙල්ල බලා හැල් කරල් මිටි කඩා බැන්දා සේ යහපත් ව පැසී සිටි සේන් කැබැල්ල දැක සෙසු කෙත්වත් කල් යත ත් පින් කෙත් උදවු ව එන නියා ව දැන මසුරු සිත් නමැති වල් කසළ නෙළා හැර පී හෙයින් දෝ එක ද කරලකට හානි නැති ව යවක්[7] ව පැසී සිටියේ ය යි සිතා ඒ ගොයම් නො දන තෙක් දුටු සතුටේ අගහස් බතක් දන් දුන්හ. දන දවසු ත් බතක් දන් දුන්හ. උක් පිඩි කරණ දවසු ත් දනක් දුන්හ. කඳු කරණ දා ත් දනක් දුන් හ. කළ විට ලන දා ත් දනක් දුන්හ. වී මිරිකා රාසි කරණ දා ත් දනක් දුන් හ. අටුවේ ලන දා ත් දනක් දුන්හ’යි නව වාරයක නව අගහස් බතක් දුන්හ. නව වර ම හැර හැර ගත් දෙයෙහි අඩුවක් නැති ව කුසල්හි අදහස් පිරෙන්නා සේ තද්වස්තුක වූ සශ්‍යඵල ය ත් අඩු නැති වේවයි ඒ නව අගහස් දන් දී එසේ පතා මෙයට ලක්ෂයක් වන කප පියුමතුරා නම් බුදුන් සමයෙහි ත් සතියක් මුළුල්ලෙහි ම මහ දන් දී එ ලෙස ම පැතූ ය.
එ සේ හෙයින් දැන් බණ කියා නිවන් දක්වන ගමනේ ත් උන් ම පළමු කොට නිවන් දක්වා ලීමි. මුන් පසු කොට සෙස්සන් නිවන් දැක්වීම් නම් ඊට කිය යුත්තක් මුත් මීට කියන්නේ කිම්දැ’යි වදාළ සේක. ‘ඒ එ සේ ය, යස තෙරුන් වහන්සේ ඇතුළු වූ පස් පනස් නම කළ පින් කවරේ දැ’යි විචාළ සේක.
‘හෙම්බා මහණෙනි, ඌ හැම දෙනත් එක් බුදු කෙනකුන් සමයෙහි සාමාන්‍යයෙන් රහත් වන්ට නිසි බොහෝ පිං කොට පසුව බුදුන් නූපන් සමයෙක මූ හැම මිනිස් ලොව ඉපද අසරණව මියගියවුන් දවා පියන නෑ සිය කෙනෙකුන් නැති හෙයින් පින් නිසා දවා ඇවිදිති. ඌ එක් දවසක් දැරි ඇති ගෑනියක මළ තැනැත්තිය දවන්ට ගෙන ගොසින් පස් දෙනකුට දවන්ට විධාන කොට ලා සෙස්සෝ ගමට නැඟී ගියෝ ය. යස දරුවෝ ඒ මිනි ය හුලින් ඇණ ඇණ දවන්නෝ පිළිකුල් මෙනෙහි කොට අනික් සතර දෙනාට ත් ‘හෙම්බා මියන්නාට පෙරාතු මුන් ඇවිදි සැටිය ත්, දැන් මුන් හොත් සැටිය ත් බලව. පින් කමට අත වැකිටි වූවා සේ ම දැන් අත ත් දදා වැකිටි වෙ යි. වැඩෙන අවධියේ කෙලි කොල්ලන් පයින් තළන්ට පය වක් කරන්නා සේ දැන් පය ත් වැකිටි වෙයි. කැට පත් තබා ගෙන බල බලා මැදී දත් ඇට ද ලබු ඇට සේ පැනෙන්ට වන. අඳුන් ගා සැරහූ ඇස් අඟුරු දැළි හා මුසු වි ය. පිටින් කසා ගා තෙල් ගා පිරිමැසූ බඩ ඇතුළේ තුබූ කුණු රාශිය ත් බලව’ යනාදීන් කියා පිළිකුල් මෙනෙහි කැරවූ ය. ඔහු සතර දෙන ගමට ගොසින් සෙසු යාළුවන්ටත් කිවුය. යස දරුවෝ තමන් ගෙට ගොසින් දෙ මවුපියන්ට ත් අඹුවන්ට ත් කිවු ය.
ඒ අසා මොවුහු හැම දෙන ඒ ජාති ය මුළුල්ලෙහි අසුභ භාවනායෙහි යෙදුනා හු ය. මෙ සේ කොට ත් රහත් වීම පමණක් පැතූ බව මුත් අනික් තනතුරක් උන් නොපැතූ බැවින් උන්ට අගසවු තනතුරු දුන්නේ නැතැ’යි වදාළ සේක.
‘ඒ එ සේ ය, භද්දවග්ගිය වහන්දෑ කවර පිනක් කළසේක් දැ’යි විචාළ හ.
“හෙම්බා මහණෙනි, උයිත් රහත් වන්ට ම නිසි පින් කරන්නෝ මෙ කප ම එක් කලෙක මුන් තිස් දෙනකුන් දැන් රහත් වී මට ලොල් වූවා සේ ම එ වක රා පීමෙහි ලොල් ව දැන් මා බුදු ව කියන බණ පන් දහසක් හවුරුදු පවත්නා බව මුත් එ වක හුරුව කියා ලූ බණ සැට දහසක් හවුරුදු පැවැති හෙයින් ඒ තාක් කල් මුළුල්ලෙහි පස් පවින් දුරු ව පන් සිල් රැක මුන් තිස් දෙනා රහත් වීම පැතූ බව මුත් උන් පැතූ අනික් තනතුරක් නැති හෙයින් උන්ට අගසවු තනතුරු නුදුන්නෙමි’ වදාළ කල්හි –
‘ඒ එ සේ ය, උරුවෙල් කසුප් ආදී වූ වහන්දෑ කළ පින් කවරේ දැ’යි විචාළ සේක.
‘හෙම්බා මහණෙනි, උයිත් රහත් වීම් පමණකටම පින් කරන්නාහු මෙයට දෙයානූ වන කප තිස්ස නම් වූ ත් ඵුස්ස නම්වූ ත් බුදු වරහු දෙ දෙනෙක් ලොව උපනහ. ඉන් ඵුස්ස නම් බුදුන්ගේ පිය රජ්ජුරුවෝ මිඳු නම්වූ ය. ඒ බුදුන් ගිහි සැපත් විඳ මහාභිනික්මන් කොට මහණව ප්‍රධන් වීර්‍ය්‍යයෙහි හැසිර බුදු වූ කල්හි රජ්ජුරුවන්ගේ අනිත් බිසෝ කෙනකුන්ගේ පුතණු කෙනෙක් දකුණත් සවු වූහ. පෙරෙවි බමුණන් ගේ පුතණුවෝ වමත් සවු වූ හ. රජ්ජුරුවෝ බුදුන් ළඟට ගොසින් මාගේ වැඩි මාලු පුත් වූ නුඹ වහන්සේ බුදු වූ සේක. බාල පුතණුවන් වහන්සේ දකුණත් සවු වූ සේක. පෙරෙවි බමුණාණන් ගේ පුතණුවන් වහන්සේ වමත් සවු වූ සේක. එසේ හෙයින් බුදුහු ත් මා ඇති ව වූ හෙයින් මා ගේ ම ය. ඔබ දෙසූ දහමුත් මා ගේ ම ය. ඒ ධර්‍මය ධරා සිටිනා සඞ්ඝයා වහන්සේ ත් මා ගේ ම ය’යි කියා තර වූ මමායනය ඇති ව බුදුන් බැස හෙව වැඳ ලා ‘ස්වාමීනි, දැන් මේ ගෙවා පලා ගිය කල නම් අනූ දහසක් හවුරුදු ගෙවී කෙළවර වැද හිඳ නිදන කලක් වැනි විය. මෙ තෙක් කල් කෙ සේ වුව ත් මෙ වක් පටන් අනික් ගෙදොර කඩක සිඟා නොවැඩ දිවි පමණින් මා ගේ සිවුපසය ම ඉවසා වදාළ මැනවැ’යි ආරාධනා කොට ලා උපස්ථානයට පටන් ගත්හ.
රජ්ජුරුවන් ගේ තව ත් පුත්තු තුන් බෑ කෙනෙක් ඇත. ඉන් වැඩිමාලු තැනැත්තන්ගේ සේවායෝ පන් සියයක් ඇත. මැදි බෑ තැනැත්තන් ගේ සේවායෝ තුන් සියයෙක් ඇත. බාල තැනැත්තන්ගේ සේවායෝ දෙ සියෙක් ඇත. ඌ තුන් බෑයෝ පියාණන් උපස්ථාන කරණ නියාව බලා පියා අපි ත් අප ගේ බෑණන් වහන්සේට උපස්ථානයක් කරම්හ’යි සිතා පියාණන් අතින් අවසරයක් ඉල්වන්නාහු ත් අවසරයක් නොලදින් පසල් දනවුව පෙරළි කළ කල්හි රජ්ජුරුවන්ගේ විධානයෙන් ඔබ ගොසින් ඒ සන්හිඳුවා ලා ළඟට අවු ය. කළ සපන් කමට රජ්ජුරුවෝ සමාධි ව සනා පියා චරයක් ගන්ට කිවුය.
ගරුතර කරණු නිසා ‘පසු ව පිළිවනැ’යි කියා තබා ලා පසුව දවසක දී සඳහන් කොට පිය රජ්ජුරුවන් වර ය ගන්ව’යි කී කල්හි ‘ස්වාමීනි, අනින් වරයකින් අපට කම් නැත. මෙවක් පටන් අපි ත් අපගේ බෑණන් වහන්සේට උපස්ථානයක් කරණු කැමැත්තම්හ. ඒ වර ය දුන මැනැවැ’යි කියා රජ්ජුරුවන් නො ගිවිස්නා ‘එ සේ වී නම් සත් හවුරුද්දකට හළ මැනවැ’යි කියා එ සේත් නො ගිවිස්නා සාවුරුද්ද පටන් හවුරුද්ද දක්වා කියා ගිවිස් වා ගත නො හී හවුරුදු ඉල්වන්ට නැති හෙයින් එකොළොස් මස පටන් තුන් මස දක්වා ඉල්වා එ සේ ත් ලද නො හී රජ්ජුරුවන් වහන්ස, දරු කමු ත් නොසලකා තෙල ලෙස ම මැළි කල තුන් දෙනාට එක් කෙනකුන්ට මසක් වන නියාවෙන් තුන් මසකට අවසර දුන මැනවැ’යි කිවු ය. යහපත දරුවෙනි, තෙල විතරක ටත් නොලැබුණු කල කුමක් සිතවු ද? තුන් දෙනා ම මස මස ඔබාදීන් තුන් මසක් දන් දී ගනුව යි අවසර දුන්හ.
උන් තුන් දෙනාගේ ම කොටඟුළුවල විධාන කොට වැය දී ලන්නො ත් අතු නතු කළ නපුරු හෙයින් එක් කෙනෙක. අය වියදම් ලියා සිටින්නාත් එක් කෙනෙක. උන් දෙන්නා හසරිනෙ එක් ලක්‍ෂ විසි දහසක් දෙන බැඳී සිටිති. රජ කුමරුවෝ තුන් දෙන මේ කීව වුන් හැම ගෙන්වා ලා අපි මේ තුන් මස දස සිල් සමාදන් ව රන් වන් පිළි හැඳ පෙරව බුදුන් හා කැටි ව විහාරයේ රඳම්හ. තෙපි මෙ තෙක් දෙන වී සාල් ඇර ගෙන තුන් මස අනූ දවස් ම, අනූ දහසක් වහන්දෑට ද, බුදුන්ට ද, අපට ද, අප ගේ යෝධ දහසට ද, බත් ඉදි කරවා වෙහෙරට ම ගෙන’වුත් දෙව. අද කළ විධාන පමණක් මුත් තොප හැම කුසී වන ලෙසට ත් අප විඩා වන ලෙසට ත්, නැවත කරණ විධාන නැත. විධාන නො වරදවා කරව’යි සම්මත කොට ලා පිරිවර දහසක් හැර ගෙන වෙහෙරට ගොසින් දස සිල් සමාදන් ව ගෙන රන් වන් පිළි හැඳ පෙර ව වෙහෙර ම රඳන්නාහ.
කොටගුළ තැනැත්තෝ ද, ලියන්නෝ ද, එක් ව තුන් බෑයන්ගෙන් දවස එක් කෙනෙකුන්ගේ දරුවෝ කැඳ බත් ගෙන දන් දෙති. දන් ඉදි කරන්නවුන් ගේ දරුවෝ කැඳ බත් ආදිය දැකලා හඬති. හඬන නියාව දැක දන් වළඳන වහන්දෑ නො එන තෙක් ම ලෝ දිය බොන්නවුන් මෙන්, ලෝ ගුලා ගළන්නවුන් මෙන් කැඳ බත් දෙති. වහන්දෑ වළඳා අන්තයට ඉතිරි වන කිසිවකු ත් නැත. කල් යත් යත් දරුවන් පිට ලා ලා කුණු සිත යපා ගත නොහී තුමූ ත් කති. ඒ දන් වැට ගසා කෑවෝ සුවාසූ දහසක් දෙන ය. දීලුවන් දී ලූ දන් වැට බැඳී ලූ පමණකට අනූ දවසක් ගසා කා ලා කා ලූ දන් වැට දිරවන්ට ප්‍රේත ලෝකයෙහි උපන්හ.
දන් වැට කන කල උන් සැප තරමට දුකු ත් බොහෝ වි ය. තුන් බෑයෝ ද යෝධ දහස හා සමඟ මිය දෙව් ලොවම ඉපද කළ පින් බොහෝ හෙයින් දෙව් ලොව ම උපදනාහු දෙයානූකපක් දවස් ගළවාපීහ. මෙ සේ ඒ තුන් දෙන ත් රහත් බැවු ම සිතා පින් කොට පතා වී වපුට, වී ම ලබන්නා සේ පැතූ ලෙසට ලද්ද’යි වදාළ සේක. වදාරා ලා ‘හෙම්බා, එ සමයෙහි ලියන්නෝ නම් දැන් බිම්සර රජ්ජුරුවෝ ය. කොටගුළ තැනැත්තෝ නම් විශාඛා නම් උපාසකයෝ ය. දන් වැට ගසා කෑ සුවාසූ දහසක් දෙන ද එ වක ප්‍රේත ලෝකයෙහි ඉපද බොහෝ දුක් විඳ පියා කුමක් කෙරෙම් ද - උයි ත් සුගති-දුගති වශයෙන් දෙයානූ කප ගෙවා පියා බුදුවරුන් වහන්සේ ලා පස්නමක ගෙන් හෙබියා වූ මේ මහා භද්‍ර කල්පයෙහි පඤ්ච බුද්ධ ප්‍රතිමණ්ඩිත හෙයින් කප භද්‍ර වූ බව මුත් තමන් කොට ලූ භද්‍රයක් නැති හෙයින් බුද්ධාන්තර සතරක් මුළුල්ලෙහි ප්‍රේත ලෝකයෙහි ම දවස් යවූහ. පවෙහි භය ඇත්තවුන් සඟ සතුයෙහි භය ඇති වන්ට මෙ තෙක් ම ඇත.
එසේ දවස් යවන ඒ ප්‍රේතයෝ ද මෙ කප පළමු උපන් හතළිස් දහසක් හවුරුද්දට ආයු ඇති කකුසඳ බුදුන් කරා ගොසින් තමන් බත් ලබන අවධි විචාළෝ ය. ඔබ ඒ අසා උන් සඟ සතු දෙය කෑමේ කළ අවධියක් නැත්තා සේ ම තමන් වහන්සේ ත් අවධි නියම නො කොට ‘මා දවස බත් නො ලබව. මා ත් පිරිනිවී සස්න ත් අතුරුදන් වූ කල දහසක් අවුරුද්දෙන් අඟලක් වඩනා පොළොව සතර ගවුවක් විතර උස් වූ කලට කෝණාගමන නම් බුදුහු උපදිති. උන් විචාරව’යි වදාළ සේක. උයිත් එ තෙක් කල් මුළුල්ලෙහි ප්‍රේත ලෝකයෙහි රඳා පියන් පමණ කට කා ලූ දන් වැට නො මඳ හෙයින් රඳා ලා තිස් දහසක් භවුරුද්දට ආයු ඇති කෝණාගමන නම් බුදුන් උපන් කල්හි ඔබ ත් විචාළෝ ය. ඔබ ත් ‘මා සමයෙහි ලබන බත් නැත. මා පිරිනිවී මා ගේ සාසනය ත් අතුරුදන් වූ කල පොළොව ත් ආදි ලෙසින් ම සතර ගවුවක් වඩනා කලට කසුබ් බුදුහු බුදු වෙති. උන් අතින් විචාරව’යි වදාළ සේක. උයිත් එතෙක් කල් මුළුල්ලෙහි ප්‍රේත ලොකයෙහි ම දවස් යවා පියා විසි දහසක් හවුරුද්දට ආයු ඇති ඒ කසුබ් බුදුන් උපන් කල්හි දුන් දන් වැට කන්ට නො මැළි වූවා සේ ම විචාරන්ට ත් නො මැළි හෙයින් ඔබ අතිනු ත් විචාළෝ ය. ඔබ ත් “මා සමයේ නොලබව. මට පසු ව ආදි ලෙසින් පොළොව සතර ගවුවක් වඩනා කලට ගෞතම නම් බුදුහු බුදු වෙති. උන් දවස බිම්සර නම් රජ්ජුරු කෙනෙක් බුදු පාමොක් සඟනට පින් පෙත් කොට දන් දී ලා තොපට පින් පමුණුවති. එ කල ලබව’යි අනික් බුදුවරුන් වහන්සේ දෙ නම දුටු දෙය ත් මුන් වහන්සේ වදාළ සේක.
එ බස් අසා ප්‍රේතයන්ට බුද්ධාන්තරය මුළුල්ලෙහි මිනිස් ලොවින් තරු පෙනන දෙව් ලොවට විනාඬිකා සයකින් වන්නාසේ මිනිස් ලොවින් පනස් අවුරුද්දක් එ ම දෙව් ලොවට දවසක් වන්නා සේ සෙට දවස් සේ ලූඬුකොට සිතින. අනූ දවසක් මුළුල්ලෙහි කෑවා වූ වහන්දෑ සන්තක බත මිහිරි හෙයින් මඳ සේ ම හැඟින. ඒ ප්‍රේතයෝ ද අප ගේ බුදුන් උපන් සමයෙහි බිම්සර මහ රජුන් පින් පෙත් දී තමන්ට පමුණුවන නියාව කසුබ් බුදුන් ගෙන් ම දත් හෙයින් විචාරන්ට අපගේ බුදුන් කරා නො ගොසින් බිම්සර රජ්ජුරුවන් ආදී දවස් දන් දී ලා තමන්ට පින් කම් පමුණුවා නුලූ හෙයින් එ දවස් රෑ අවුත් රජජුරුවන්ට පෙනුණාහු ය.
රජ්ජුරුවෝ දෙ වන දවස් වෙළුවනයට ගොසින් බුදුන්ට දැන්වූ ය. බුදුහු ඒ අසා වදාරා ‘මහ රජ, හෙම්බල, ඒ ප්‍රේතයෝ නම් මෙ කපට දෙයානූ කප ඵුස්ස බුදුන් සමයෙහි, තොප ගේ නෑයෝ ය. කරවා දී ලන්ට විධාන ලත් පමණෙකින් දන්වට ගසා කා තුන්වට නසාගත නො හී ප්‍රේත ලෝකයෙහි ඉපද අනන්ත කාලයකින් එයින් චුතව සුගති-දුගති වසයෙන් දෙයානූ කප යවා මේ කප ත් දන් වැට කෑමෙහි විපාක වශයෙන් ප්‍රේත ලොකයෙහි ඉපද දුක් ගෙන ඇවිදින්නෝ, මේ කප මට පෙරාතු බුදු වූ කකුසඳ-කෝණාගමන දෙ නම ගෙන් තමන් බත් ලබන අවධි විචාරා නිමයක් නොදැන තුන් වැනි වූ කසුබ් බුදුන් විචාර: උන් ගෙන් මා සමයෙහි තොප උන් හැමට නෑ තැනැත්තවුන් හෙයින් තොපගේ සමවායෙන් බතක් ලබන නියාව අසා බුද්ධාන්තරය මුළුල්ල දෙ දවසක් කොට සිතා ගෙන මෙම පතා ඇවිදිනාහු තොප ඊයේ දවස් දෙන දන් පින්පෙත් කොට නුදුන් හෙයින් තෙල ලෙස පෙණුනාහු ය’යි වදාරා ‘දැනු ත් දුන්නො ත් ලැබෙද්ද ස්වාමිනි,’ විචාළ කල්හි එ සේය. ලැබෙති. අමුතු නැතැ’යි වදාළ සේක.
දෙ වන දවස් රජ්ජුරුවෝ මහ දන් දී ලා ඒ ප්‍රේතයන්ට දිව බත් දිව පැන් සම්භ වේව’යි කළ කුශලය පිරිනමා ලූය. උන්ටත් දිව බත් හා දිව පැන් සම්භ විය. දෙ වන දවස් පිළි නැති ව පෙනුණාහු ය. රජ්ජුරුවෝ පිළි නැති ව පෙණුනු නියාව බුදුන්ට දැන්වූහ යි. ‘මහ රජ තෙපි පින් පෙත් කොට පිළි නුදුන් හෙයිනැ’යි වදාළ සේක. රජ්ජුරුවෝ දෙවන දවස් පිළි දී පින් පෙත් දෙවා ලූ ය. ඒ ඇසිල්ලෙහි .ම කළ කුශල ය අනුමෝදන් වුව ත් දිවබත් ආදි ය සම්භ වන්ට අරුම නො වන හෙයින් හෝ කබලිඞ්කාරාහාර ගත ඕජාවෙන් උපස්තම්භ ලදින් ශරීර ගත ඔජාව රූ උපදවන්නා සේ ම රජ්ජුරුවන් දුන් පින් කම උපස්ථම්භ ව පුරාකෘත කුශලයෙන් හෝ දිව පිළි ආදි ය සම්භව ලත් සම්පතට නිසි ව ප්‍රේතාත්මභාවයෙනුත් මිදී දිව අත් බැව් ලද්දහ. බුදුහු දිව සැපත් ලද්දවුන්ට නිවන් සම්පතු ත් තමන් වහන්සේගෙන් දෙනු නිසා “තිරොකුඩ්ඩෙසු තිට්ඨන්ති” යනාදින් කුදු ගොත් සඟියේ තිරොකුඩ්ඩ සූත්‍රයෙන් බණ වදාළ සේක. ඒ බණ අසා සූවාසූ දහසක් දෙන නිවන් දුටහ.
මෙසේ තුන් බෑ දුළුල්ලන්ගේ කථා වැදෑරීමෙන් ම ප්‍රස්තුත වූ ප්‍රේතයන් ගේ කථාව ත් වදාරා ‘තුන් බෑ දුළුල්ලෝ ත් තමන් කළ ප්‍රාර්‍ථනා ලෙසින් ම ලැබ්බ යුත්ත ලදහ. මා ගේ මූණ බැලීම නම් කුමක් දැ’යි වදාළ සේක. “ඒ එසේ ය, අග සව් දෙ නම කළ පින් කවරේ ද? ආවෙණික ව අග සවු තනතුරු ලබන්ට ය’යි විචාළ සේක. උන් කළ පින් අසනු කැමැත්තවු නම් මෙ තනට එකාසඞ්ඛ්‍ය කප් ලක්ෂයකින් යට සැරියුත් මහ තෙරහු මධ්‍යයේ කෙසේ වුව ත් ආද්‍යවසාන දෙක ම එක තරම් කරන්නා සේ බමුණු මහසල් කුලයෙහි උපන්හ. නමින් සරද නම්හු ය. මුගලන් මහ තෙරහු ගොවි මහසල් කුලෙහි උපන් හ. ඌ තුමූ සිරිවඩු නම්හ.
සිරිවඩු නම් ලෙසට මිත්‍ර කම ත් වඩා දෙ පක්‍ෂය ම වෙසෙති. සරද නම් බමුණු කුමර දෙ මවු පියන් ගේ අයාමෙහි මහ සම්පත් හිමි ව එක් දවසක් සිතන්නෝ ‘මා දන්නේ මෙලොව පමණක. පර ලොව කුමක් බව ත් නො දනිමි. උපන්නේ නියම වී නම් ජාති ය මුල් ව වන දෙයක් හෙයින් මිය යාම ත් උපන්නවුන්ට නියම ය. එසේ හෙයින් මහණ ව ගෙන ජාති-ජරා-මරණ නැති නිවනක් සෙවුමෝ නම් යහපතැ’යි තමන් අතුරෙහි සිතා ලා සිරිවඩු කෙළෙඹියන් කරා ගොසින් ‘සබඳ, සිරිවැඩිය, මම මහණ ව ගෙන නිවන් සාදනු කැමැත්තෙමි. තෙපි ත් මා හා කැටි ව මහණ විය. හෙවු දෑ’යි විචාරා ‘මට ඒ බැරි ය. මුඹ මහණ වනැ’යි කී කල්හි’ ‘පර ලොවට යන කල නෑයන් මිත්‍රයන් හැර ගෙන යන කෙනෙක් නැත. කැටි ව යේ නම් කොට ගත්තා වූ පවක් හා පිනෙක. එ සේ හෙයින් එදාත් නොයන මුන් හැයි දැ’යි සිතා රුවන් පත්තායම් දොරවල් හරවා පියා වස්තු නොලබන්නා වූ දුගී ආදීන් ට මහ දන් දී හිම වූ පියසට ගොසින් මහණ වූහ. උන් මහණ වූ නියා ව අසා මේ සා මහ ත් සැපතක් හැර මහණ වන්නේ නම් කළ මනා දෙයක් ම නිසා වේවා දැ’යි කියා එක් කෙනෙක් මහණ වූ හ. දෙන්නෙක් මහණ වූ හ. තුන් දෙනෙක් මහණ වූහ. යනාදීන් වඩා ගෙන ගොස් සූ සැත්තෑ දහසක් පමණ දුළුල්ලෝ වූහ.
සරද තාපසයෝ පඤ්චාභිඥා අෂ්ට සමාපත්ති ලදින් සූ සැත්තෑ දහසක් පමණ දුළුල්ලන්ට ත් කිසුණු පිරියම් කියාලූ හා එහු හැම දෙන ත් උන් ගෙන් ලත් උපදෙසින් අභිඥා හා සමාපත්ති උපදවා ගත් හ. එ සමයෙහි වැළිත් අනෝමදස්සී නම් බුදුහු ලොව උපන් සේක. ඒ බුදුන් උපන් නුවර චන්ද්‍රවතී නම. පිය රජ්ජුරුවෝ යසවත් නම් හ. මවු බිසවු යසෝදරා නම් හ. පිට දුන් බොධිය කුඹුක්ගස ය. නිසභ ය – අනෝම ය යන තෙර සඟල අග සව්වෝ ය. උවටා තෙරහු වරුණ නම් හ. සුන්දරා ය – සුමණා ය යන මෙහෙණින්නෝ දෙ දෙනෙක් අග්‍ර ශ්‍රාවිකාවෝ ය. හවුරුදු ලක්ෂයක් ඒ බුදුන්ගේ ආයුෂ ය. උස වූ කලී වඩු රියනින් අට පණස් රියන. ශරීරාලෝක ය නිරන්තරයෙන් අට සාළිස් ගවුවෙක පැතිර සිටී. නිත්‍ය පරිවාර භික්ෂූහු ලක්ෂයක් දෙන ය.
බුදුහු එක් දවසක් අළුයම් වේලෙහි දවස් පතා දොළොස් කෙළ ලක්‍ෂයක් ඵල සමවතට හා දොළොස් කෙළ ලක්‍ෂයක් මහ කුළුණු සමවතට හා එක් කොට සූ විසි කෙළ ලක්ෂයක් සම වතට සම වදනා හෙයින් සමවන් සමවතින් නැගී ලොව බලන සේක් සරද තවුසාණන් දැක ‘අද මම සරද තාපසයන් ළඟට ගියෙම් නම් මහත් වූ දහම් වැස්සෙක් මා හිමාල වනයෙහි[8] ලා ලා වස්සී. සරද තාපසයෝ අගසව් තනතුරු පතති. පසු ව උන් ගේ යාළු වූ සිරිවඩු කෙළෙඹියෝ වෙළෙවිනො ව දෙවෙනි අගසවු තනතුර පතති. දහම් වැස්ස වැස නිමි කල්හි සරද තාපසයන්ගේ පිරිවර සූ සැත්තෑ දහසක් පමණ දුළුල්ලෝ කෙළෙස් මහ ගිම් නිවා රහත් ව ෂඩභිඥාදී වූ ඒ ඒ ගුණෙන් මාගේ බුදුසස්න හොබවති. මා එතනට යෑම යහපතැ’යි තමන් වහන්සේ පා සිවුරු හැර ගෙන යට ත් පිරිසෙයින් අග්‍රොපස්ථායක තෙරුන් වහන්සේ ත් නොකැඳවා එකචර සිංහ රාජයක්හු මෙන් සරද තවුසන් ගේ අතවැස්සන් මග වල් ඵලාඵල සොයා ගිය කල්හි බුදුන් උපදනා වක මහ බඹුන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වෙද මන්ත්‍රයෙහි බහා ලන හෙයින් වෙද මන්ත්‍ර බලා වුව ත් මා බුදු නියා ව දනිත්ව’ යිසිතා වදාරා සරද තවුසන් බල බලා සිටිය දී ම අහසින් බිමට බැස මේ ලෙව් හි සියලු ශෝහාවෙක් ඇත් නම් එක් කොට හඹා පූවාක් මෙන් ශෝභාමත් ව වැඩ සිටි සේක.
තවුසාණෝ බුද්ධානුභාව ය ද නැවත ප්‍රණිධි නමැති විසිතුරු කර්‍මාන්ත දන්නා සිත්තරාණන් විසින් තුන් සුසිරි නමැති වයිති හැර ගෙන සිත් නමැති තෙල්ලෙන් දෙ තිස් මහා පුරුෂ ලක්‍ෂණ හා අශීත්‍යානුව්‍යඤ්ජන හා ඛ්‍යාම ප්‍රභා කේතුමාලා ඇති කොට සාරා සැකි කප් සුවහස් මුළුල්ලෙහි අනිකක් නැතිව මෙම කළාක් වැනි වූ මාහැඟි වූ බුදුරුව ද දැක තමන්ගේ ලක්‍ෂණ මන්ත්‍ර ද සලකා එයි ත් මෙයිත් දර්පණ තලයෙක පෙනෙන මුඛ බිම්බයක් සේ සම නියාව දැන මෙ බඳු ලකුණෙන් යුත් කෙනෙක් ඉදින් ගිහි ගෙයි වූ නම් තරමින් සරි නොවත ත් ගණනින් ආර්‍ය්‍ය ධන හා සරි ගණන් වූ රුවන් ඇති ව මුළු සක් වළ ඉසුරු ඇති සක් විති රජ වෙති. මහණ වූ නම් එ වක අනික් බුදු කෙනෙක් නැත් නම් සියල්ල දන්නා බුදු වෙති. මේ මහා පුරුෂ තෙම සැකයක් නැතිව බුදු වී ය යි දැන දැක සිට පී ම ආදර නොවන්නේ වේ දැ යි පෙර ගමන් කොට ගොසින් පන් සිල් පිහිටි පමණින් අභිඥා දී ගුණ විශේෂ ය ලද්දා සේ ම උතුම් තනතුරු ලබනු නිසා පසඟ පිහිටුවා වැඳ වැඩ හිඳිනා පරිද්දෙන් හස්නක් පනවා දුන්හ. බුදුහු ත් යුගඳුරු මුඳුනට පැමිණි දහසක් රසින් බබළන ළහිරු මඬලක් මෙන් සවණක් රසින් බබළ බබළා වැඩ හුන් සේක.
සරද තවුසෝ ද තමන් බුදුන් ළඟ හිඳිනට නිසි හස්නක් පනවා ගෙන හුන්හ. ඒ වේලාවට සූ සැත්තෑ දහසක් පමණ දුළුල්ලෝ ද අති මධුර වූ පලා ඵල හැර ගෙන ඇදුරු තවුසන් කරා අවුත් බුදුන් වැඩ හුන් හස්න ත් තමන් ගේ ආචාරීන් හුන් හස්න ත් බලා ආචාරීන්ට ‘අපි මුඹ වහන්සේට වැඩි තරම් කෙනකුන් තබා සරි කෙනකුනු ත් මේ ලෙව්හි නැතැ’යි සිතා හුණුම්හ. හුන් හසුන්වල සැටියෙන් සැක වි ය. මුඹ වහන්සේට වැඩියුරු ව සිටි තවුසනු ත් ඇති නියාදැ’යි කිවු ය. ඒ අසා සරද තවුසෝ ‘දරුවෙනි, කුමක් කියවු ද ? හබ ඇටක් පාලා මහ මෙරක් එයින් සරි කරන්නා සේ ගුණෙන් බලා ලූ කලට අනන්තාපරිමාණ සක්වළවල මෙරවල් ඊ ඊ පිට සිටුවා ලුව ත් උස් ව තිබෙන ගුණ ඇති බුදු ගුණෙන් හබයක් විතර ත් නැති ව අප බුදුන් හා සරි නො කරව’යි කිවු ය. තවුසෝ ඒ අසා ‘ඉදින් මූ අඩු කෙනෙක් වූ නම් අපගේ ආචාරීහු මෙ තරම් උපමා නො කියති. හුන් හස්න උස සේ ම උසස් ගුණ ඇති නියා ය’යි හැම දෙන ම බුදුන් වැන්දා හ. වැඳලා සිටි තාපස වරුන්ට සරද තවුසෝ, පෙර වරු වේලේ වැඩි බුදුන්ට බල පමණින් උපස්ථානයක් කරම්හ. ගෙනා දෙය නම් තකා පතකා ගෙනා දෙයක් නොවන බැවින් ඔබට පිළිගන්වන්ට තරම් නොව ත් ඔබගේ දහම් සේ ම මිහිරි වූ ඵලා ඵල ගෙනෙව’යි කියා ගෙන්වා ගෙන අදහස් පවිත්‍ර සේ ම අත ත් පවිත්‍ර කොට සෝදා බුදුන්ගේ පාත්‍රයට ඵලා ඵල පිළිගැන් වූහ.
බුදුන් ඒ ඵලා ඵල පිළිගන්නා ම යොදා මිහිරි කරන්නා සේ දෙවියෝ දිව ඕජා බහා ඔබ ගේ අනුභවයට මුත් අනික් කෙණ කුන්ගේ අනුභවයට නො නිසිකළහ. සරද තවුසෝ තුමූ ම පැනුත් පරහා ගෙනවුත් දුන්හ. වළඳා නිමි පසු තමන්ගේ සියලු අත වැස්සනු ත් හැර ගෙන බුදුන් ළඟ කථා කොට කොට හුන්හ: බුදුහු එ වේලෙහි ‘මාගේ දෙ අගසවුවෝ අපගේ නිත්‍ය පරිවාර ලක්‍ෂයක් පමණ සඟුන් පිරිවරා එත්ව’යි සිතා වදාළ සේක. බුදුන් ගෙන් කන්සන් නැති ව යන්නේ කෙසේ දැ’යි, පෙර මං බලා සිටි ලෙසින් බුදුන්ගේ අදහස් දැන ලා අහස ගමන් ගත් ධ්‍රතරාෂ්ට්‍ර නම් හංස රජ්ජුරුවන්ගේ හංසයන්ට අපහාස්‍ය කරන්නාක් මෙන් අහසින් අවුත් බුදුන් වැඳ ලා එකත් පස් ව සිටි සේක.
ඉක් බිත්තෙන් සරද තවුසෝ අත වැස්සන් බණවා ලා ‘දරු වෙනි, ගුණෙන් උසස් පමණක් මුත් බුදුන් වැඩවුන් හස්න ඉතා මිටි ය. ලක්‍ෂයක් දෙනා වහන්සේට ත් අසුන් නැත. මෙ තැනට පැමිණි බුදුන්ට ත් බුදු පිරිසට ත් තොප හැම දෙනා ත් සත්කාර යක් කළ මනා වේ ද ? හිමාල වනයෙන් නොඑක් පැහැ ඇති නො එක් සුවඳ ඇති මල් ගෙනෙව’යි විධාන කොළෝ ය. ඍද්ධි මතුන් ගේ සෘද්ධ්‍යානුභාව ය .සිතිය නොහැකි හෙයින් බස කියන වේලාව ට ත් මඳ වේලාවකින් මල් ගෙන වුත් බුදුන් වැඩ හිඳිනට සතර ගවුවක් විතර උස ඇති මල් හස්නක් පනවා ලූ ය. අගසවු දෙනමට බුදු පැරුමට සවු පැරුම් කුඩා හෙයින් තුන් ගවු විතර හසුන් පැන වූ ය. සෙසු වහන්දෑට දෙ ගවු ගවු ඉසුබ් ආදී වූ පමණින් හසුන් පැනවූ ය. හැමට බාල නමට පැන වූ භස්න සම රියනින් එක් සිය සතළිස් රියනක් උස ය. ඊට මිටි හසුන් නැත. සූ සැත්තෑ දහසක් දෙනා වසන පමණ වූ පන්සල මෙ තෙක් ආසන පැන වූයේ කෙසේ ද? ආසන ත් කුඩා නො වන්නේ ය යි සිතතො ත් ඍද්ධි විෂයක් හෙයින් එ සේ නො සිති ය හැක්ක. මෙ සේ හසුන් පනවා නිමි කල්හි සරද තවුසෝ බුදුන් වැඳ ලා:-
‘නානාපුප්ඵඤ්ච ගන්ධඤ්ච – සන්නිපාතෙත්‍ව එකතො,
පුප්ඵාසනං පඤ්ඤපෙත්වා - ඉදං වචනමබ්‍රෑවී.
ඉදන්තෙ ආසනං වීර - පඤ්ඤත්තං තවනුච්ඡවිං,
මම චිත්තං පසාදෙන්තො - නිසීද පුප්ඵමාසනෙ.
සත්තරත්තිං දිවං බුද්ධො – නිසීදි පුප්ඵමාසනෙ,
මම චිත්තං පසාදෙත්‍වා-හාසයිත්‍වා සදෙවකෙ’.
යනු හෙයින් සසර බොහෝ දවසක් මට හිත සුව පිණිස මේ මල් හසුන් වල සහපිරිවරින් වැඩ හුන මැනව’යි කිවු ය. මෙ සේ කළ ආරාධනාවෙන් බුදුනු ත් අගසවු දෙනම ත් සෙසු වහන්දෑ ත් තමන් වහන්සේට පත් හසුන් වල වැඩ හුන් කල්හි සරද තවුසෝ මහ මල් සතක්[9] බුදුන් හිසට කොට ගෙන සිටියහ. බුදුහු ත් තවසුන්ගේ මෙම මල් පූජාවෙහි අනුසස් මහත් වුව මැනැවැ යි නිරෝධ සමවතට සම වන් සේක. බුදුන් නිරෝධයට සම වන් නියාව දැන දෙ අගසවුවන් වහන්සේ ද සෙසු වහන් දෑ ද නිරෝධයට සම වන් සේක. මෙ සේ නිරෝධයට සම වැද සතියක් වැඩ හුන් කල්හි සරද තවුසාණන්ගේ අත වැස්සෝ සූ සැත්තෑ දහස ඵලාඵල අනුභව කළ මනා වේලෙහි ඒ අනුභව කොට ඉන් ම යපී ගත නොහී සෙසු වේලෙහි බුද්ධාලම්බන ප්‍රීති අනුභව කෙරෙති.
සරද තවුසෝ වැළිත් ඒ සතියෙහි අනුභවයෙහි ආල ය හැර මල් සත බුදුන් හිසට කොට ගෙන සතිය මුළුල්ලෙහි ප්‍රීති නමැති මධුර ඵලාඵල අනුභව කළහ. සති ය ඉකුත් කල්හි බුදුහු නිරෝධයෙන් නැඟී අගසවු තනතුරට සරද තවුසන් ගේ රුචි උපදවන පිණිස දකුණත් පස වැඩ හුන් නුවණැති තෙනට අග තැන් පත් නිසභ මහ තෙරුන් වහන්සේ බණවා ලා ‘මල් පුද කළ මේ තවුසන්ට මල් පිදීමෙහි අනුසස් කියව’ යි වදාළ සේක. තෙරුන් වහන්සේ ද සක්විති රජක්හු ගෙන් ආවේණික ව සංග්‍රහයක් ලත් මහා යෝධයකු සෙස්සවුන් සිටිය දී තමාට ම තෝරා ලා කළ සංග්‍රහයට සතුටු වන්නාක් මෙන් සතුටු ව සවු-පැරුම් නුවණ පමණෙකින් මල් පූජාවෙහි අනුසස් ප්‍රකාශ කිරීම් වශයෙන් බණ වදාළ සේක. ඔබ බණ කියා නිම වූ කල්හි බුදුහු දෙවන අගසවු නම බණවා ලා ‘තෙපි ත් බණ කියව’යි වදාළ සේක. දෙ වන අගසවු අනෝම තෙරුන් වහන්සේ ද තෙවළා මහ මුහුද නුවණ මතින් අළලා සදහම් වෙඬරු කෙලෙස් කන් ලෙඩට දෙවූ සේක.
අගසවු දෙ නමගේ බණින් ම කන් ලෙඩ හැරී ත් කෙලෙස් ලෙඩ ගෙවන්නට නුවූ හෙයින් නිවන් ගොඩ නැගීම නො වී ය. ඉක් බිත්තෙන් බුදුහු නො එක් දෙනාට බැරි බර තනි ව ඔසවන කලක් මෙන් බණ දෙසන්ට පටන් ගත් සේක. අදහස් පමණ දැන අදහස් ලෙසින් බණ වැදෑරීම බුදුන්ට මුත් ඔබට අවිෂය හෙයින් බුදුන්ගේ බණ අසා සරද තාපසයන් හැර ජටාධර වූ සු සැත්තෑ දහස කෙලෙස් ජටා බිඳ දමා රහත් වොටුන්න ලදින් ‘මහණෙනි, මෙ සේ එව’යි වදාළ බස් පමණෙකින් තුන් සිවුරු පාත්‍ර ලදින් නිකම් ජටා අවුල් හැර මහණ මාලු පැවිදි වූහ. සරද තාපසයන්ගේ උපදෙසින් අභිඥා සමාපත්ති උපදවා ගත් තාපස වරුන් රහත් වන්ට නුවණ ඇති කල සරද තාපසයන් රහත් නුවූයේ උන්ට ම නුවණ නැති නිසා ද යත්: නුවණ නැති හෙයින් නො වෙයි. සිත එකඟ නො වන හෙයින. සිත එකඟ නො වනුයේ සතියෙහි නිරාහාර හෙයින් ද? යත් ඉන් නො වෙයි. බුදුන්ට දෙවන අස්නෙහි හිඳ දකුණත්සවු මහ තෙරුන් වහන්සේ බණ වදාරන්ට පටන් ගත් වේලෙහි පටන් ‘මම ත් එන දවස් බුදු වන කෙනෙකුන් වහන්සේට දකුණත් සවු වීම් නම් යහපතැ’යි යන සිතිවිල්ලක් ඇති ව වදාරන ධර්‍ම ය ඔස්සේ නුවණ මෙහෙයා ගත නොහී රහත් විය නුහුණ වු ය.
රහත් ව ගත නුහුණ ත් උපේක්‍ෂා නොව බුදුන් වැඳල ‘ස්වාමීනි, නුඹ වහන්සේට ඉක්බිති ව හිඳ බණ කියන්ට කියන්නා ම මඳ ද මැළි කමක් නැති ව බණ වදාළ තෙරුන් වහන්සේ මුඹ වහන්සේගේ ශාසනයෙහි කවර තනතුරකට පැමිණි නමෙක් දැ’යි විචාරා ‘ඌ තුමූ ලඝු කෙනෙක් නො වෙති. මා පැවැත් වූ දහම් සක තුමූ ත් පවත්වා අගසවු පැරුම් කුළු ගෙන සිටි දකුණත් සවු තෙනැත්තෝ ය’යි වදාළ කල්හි ඒ අසා සරද තවුසෝ ‘එ සේ වී නම් ස්වාමීනි, සෙසු බලවත් පින් කමක් නැතත් ස්වාමීන් හිසට මල් කුඩයක් ධරා සතියක් මුළුල්ලෙහි ඵලාඵල සොයා ත් නො ගොසින් ආයාස ගෙන කළ සත්කාරයෙහි මහිමයෙන් ශක්‍ර සම්පත් බ්‍රහ්ම සම්පත් ආදි වූ සම්පත් නො පතමි. ඵලාඵල සොයා ගමන නුවූවා සේ ම ඒකාසඞ්ඛ්‍ය කප් ලක්‍ෂයෙන් මුබ්බෙහි ත් ඔබ්බෙහි සසර ගමන් නැති ව මුඹ වහන්සේට මේ නිසභ මහ තෙරුන් වහන්සේ දකුණත් සවු වූවා මෙන් මම ත් එක් තරා බුදු කෙනකුන් වහන්සේට දකුණත් සවු වෙම්ව’යි පැතූහ.
බුදුහු ද ‘මූ ගේ ප්‍රාර්ථනාව මහත. සමෘද්ධ වේ දෝ නො වේ දෝ හෝයි දිව නුවණින් ම එක් භාගයක් අනාගත ය විෂය කරණ හෙයින් ඒ අනාගතාංශ ඥානයෙන් එන දවස බලා වදාරා එකාසංඛ්‍ය කප් ලක්‍ෂයක් ගිය කල සමෘද්ධ වන නියාව දැන සරද තවුසන්ට ‘තවුසාණෙනි, තොප පතා ලූ පැතීම අහසට දමා ලූ කැට බිම හෙන්නා සේ නියමයෙන් ම වෙයි. මතු එන දවස එකා සැකි කප් සුවහසක් ගිය කල ලෙව්හි ගිහි අවස්ථාවෙහි සිදුහත් නම්, බුදු වූ කල ගෝත්‍ර ගත නාම වශයෙන් ගොතම නම් බුදු කෙනෙක් ලොව පහළ වෙති. මහාමායා නම් බිසෝ කෙනෙක් මවු වෙති. පිය රජ්ජුරුවෝ සුදොවුන් නම්හ. රාහුල නම් පුතණු කෙනෙක් වෙති. උවටා තෙරහු අනඳ නම්හ. දෙවන අගසවුවාණෝ මුගලන් නම්හ. තෙපි ඒ බුදුන්ට දකුණත් සවු වූ ධර්‍ම සෙනෙවි සැරියුත් නමුව’යි වදාරා ලා මහණ ගණ පිරිවරා රන්වන් බුදුහු නිල් බිමෙක රන් වන් හිරි අඳින්නා සේ අහසට නැඟි සේක.
සරද තවුසෝ ද අත වැසි තෙරුන් වහන්සේ ළඟට ගොසින් ‘ස්වාමිනී ඔබ වැඩිකල අපගේ යාළු වූ සිරිවඩු කෙළෙඹියාණන්ට මේ බුදුන් ළඟ දී මා මතු බුදු වන තෙනකට දකුණත් සවුවන්ට පැතූ නියාව ත් ඌ ත් තමන් වමත් සවුවන්ට පතන නියායෙන් ම වදාළ යහපතැ’යි කියා ලා තමනු ත් ආනුභාව සම්පන්න හෙයින් තෙරුන් වහන්සේට පෙරාතු ව සිරිවඩු කෙළෙඹියන්ගේ මාළිගාවට ගියහ. ඔහු ද නැතක් දවසකින් වැඩි ගමනෙකැ’යි සතුටු ව හසුන් පනවා ලා හිඳුවා ලා තුමූ මිටි තෙනක හිඳ ‘ස්වාමීනි, අත වැසි තවුසන් වහන්සේ කොයිදැ’යි විචාරා ‘සබඳ අප වසන තැනට අනෝමදස්සී බුදුහු වැඩි සේක. අපි අපට පිළිවන් සත්කාරයක් කළම්හ. බුදුහු ඵලාඵල දුන්නවුන්ට බණ වදාරා සූ සැත්තෑ දහසට ම රහත් ඵල දෙවූ සේක.
මම ඔබ ගේ දකුණ’ත් සවු නිසභ මහ තෙරුන් වහන්සේගේ ආනුභාව දැක ඒ තනතුරු පැතීමි. තෙපි ද දෙවන අගසවු තනතුර පතව’යි කීහ. ඒ අසා සිරිවඩු කෙළෙඹියෝ ‘බුදුන් මා හා පුරුදු කමෙක් නැත. කෙ සේ දැ’යි විචාළෝ ය. ‘බුදුන් හා පුරුදු කම් එවා ලන්ට අප ආදි ම පුරුදු ව සිටි හෙයින් අපට පිළිවන. තෙපි දන් සරහව’යි කිවු ය. කෙළෙඹි පුත්‍රයාණෝ ද උන්ගේ බසින් තමන්ගේ මාළිගාව ළඟ එක් යාළ දොළ සා මුණක් වප්සන බිම සම තල කරවා සුදු වැලි ලවා ලද පස් මල් විසුරුවා සුධම් දෙව් සබය සේ මණ්ඩපයක් කරවා කෙළවර ජාතියෙහි රුව නිල් වන හෙයින් නිල් මහනෙල් පෙත්තෙන් ම සොයවා බුද්ධාසනය ත් පනවා සෙසු වහන්දෑට ත් හසුන් පනවා සෙසු ත් කළ මනා සත්කාර කරවා බුදුන්ට ආරාධනා කරන්ට සරද තවුසන්ට කිවු ය.
තවුසාණෝ ද බුදු පාමොක් සඟ රැස් හැර ගෙන උන් ගේ මාළිගාවට ගියහ. කෙළෙඹියාණෝද පෙර ගමන් කොට ගොසින් ආරාධනා කොට බුදුන්ගේ පාත්‍ර ධාතූන් වහන්සේ හැර ගෙන මණ්ඩපයට වඩාගෙන ගොසින් බුදු පාමොක් සඞ්ඝයා වඩා හිඳුවා සිය අතින් සකස් කොට වළඳවා, වළඳා අන්තයෙහි සිවුරුපිළි ත් පිළිගන්වා ‘මා මේ ලඝුවක් පතා කරණ දෙයක් නොවන බැවින් අනුග්‍රහ කොට සතියක්ම ඉවසා වදාළ මැනැවැ’යි ආරාධනා කොට එ ම ලෙසින් බුදු පාමොක් මහ සඟ නමැති කෙත කුසල් නමැති බිජුවට සතියක් විතරින් වපුට නිමවා එකාසැකි කප් සුවහසකින් ඊ ශස්‍ය ඵල ය ලබනුව බුදුන් වැඳ ලා ‘ස්වාමීනි, මා ගේ යාළු වූ සරද තවුසන් වහන්සේ යම් බුදු කෙනෙකුන් වහන්සේට දකුණත් සවු වන්ට පැතූ සේක් නම් මම ද ඒ බුදුන්ට වමත් සවු වෙම්ව’යි පැතූහ. බුදුහු ද බලා වදාරා ප්‍රාර්‍ථනාව සමෘද්ධ වන නියාව දැන ‘තෙපි මෙ තනට එකාසැකි කප් සුවහසක් ගිය කලට ගොයුම් බුදුන්ට දෙවන අගසවු වෙව’යි වදාරා අගසවු කමට තකා ලී මෙන් සතුටු කරවා වදාරා සහපිරිවරින් බුදුහු වෙහෙරට වැඩි සේක.
අප බුදුහු මෙ හැම වදාරා ලා ‘හෙම්බා මහණෙනි. මේ මුන් දෙන්නා එ කල පැතූ ලෙස ම ය. උන් දෙන්නා මුහුණ බලා දුන් තනතුරෙක් නොවෙ’යි වදාළ සේක. එ විට අහසවු දෙනම බුදුන් වැඳලා ‘අපි ස්වාමීනි, ගිහි කල ත් එක් දවසක් කෙළි නළු බලන්ට ගියම්හ’ යනාදීන් අස්සජි මහ තෙරුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් වූ තැන් දක්වා වදාරා, ‘ස්වාමීනි, අපි සඤ්ජය පරිබ්‍රාජකයන් ළඟට ගොසින් මුඹ වහන්සේ ළඟට ගෙනෙනු කැමැති ව උන්ගේ ලබ්ධි නිස්සාර නිසා කියා පියා මීට ඊමේ බොහෝ අනුසස් කීම්හ. එ තකුදු වුව ත් සඤ්ජය පරිබ්‍රාජකයෝ මෙම ලෙස කිවු ය’යි පරිබ්‍රාජකයන් කී කථාව කී සේක.
බුදුහු ඒ අසා ‘හෙම්බා, එ සේ වී නම් සුනක්ඛත්තයන් මා හා කැටි ව යෙමින් බලු තපස් කරන කොරක්ඛත්තයන්ගේ බලු තපස දැක ඒ සාර කොට සිතා උන් කරා ගියා සේ යම් කෙනෙක් සිවුරු පිඬු පා ආදි වූ සිව් පස ය හා දෙ සැටක් පමණ මිසදිටු හා ලාභ සත්කාර නිතර ව කියන බණ සාර කෙරෙද් ද, එ ම සුනක්ඛත්තයන් බුදුන්ගේ ශීල සමෘද්ධ්‍යාදී ගුණසාර ය අසාර කළා සේ සම්‍යක් දෘෂ්ටි ය හා තදූපනිශ්‍රය වූ ධර්‍ම දේශනාව අසාර කෙරෙද් ද ලඝු කොට සිතද් ද, ඔහු දන් පින් නො කිරීමෙන් සම්පත් සාරය ද, තුනුරුවන් වැඳීම හා සිල් රක්‍ෂා කිරීම් නැති හෙයින් ආත්ම සාරය ද නො ලැබෙති. යම් කෙනෙක් උමංදායෙහි එක් වියත් සතරඟුලක් විතර ලියා සම කළ කිහිරි දඩු කඩ උපදෙසින් අගමුල දත්තාසේ ම මේ ලෙව්හි කෙලෙස් බොල් හර නැති වීමෙන් සාර ද, එසේවූ ශීල සමෘද්ධ්‍යාදී ගුණ සාර ය සාර හෙයින් දැන මිථ්‍යාදෘෂ්ටි ආදි වූ නිස්සාර ය එම උමංදායෙහි රත්රන් සතර වියටක් පමණින් කෙළ ගණන් සැපත් ඇති වෙදෙහ රජ්ජුරුවන් තමා හා සරි කළ කටුස්සාගේ නිස්සාර අදහස මහෞෂධ පණ්ඩිතයන් දත්තා සේ ම නිස්සාර නියාව දනිද්ද, ඌ තුමූ දානාදියෙහි හැසිරෙන හෙයින් ධන ධාන්‍ය සාරා දියට ද කෙළවර නිවන් හරට ද පැමිණෙති’යි වදාළ සේක.
මේ දේශනාවෙන් ද බොහෝ දෙන නිවන් අත් පත් කළහ. සත් පුරුෂයන් විසින් බොරු හර සේ වූ නිෂ්ප්‍රයෝජන වූ අකුසල් හැර ප්‍රයෝජනවත් වී මෙන් හර වැනි වූ කුසල්හි පිහිටා සිත් සතන් පිරිසුදු කොට ලොවී ලොවුතුරා සැපත් සෑදිය යුතු.