136. ලාලුදායි තෙරුන් වහන්සේගේ වස්තුව

star_outline

තව ද අඥාන වීමෙහි නපුර හඟවන නිසා ලාලුදායි තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

ඒ තෙරුන් වහන්සේ මඟුල් කරන ගෙවලට ගිය කල අනු මෙවෙනි බණට ආරාධනා කොළෝ ඇත් නම් මළ නෑයන් දවා හළු හස් කොට ලා පින් පෙත් දී අනුමෙවෙනි බණට ආරාධනා කළවුන්ට කිව මනා තිරොකුඩ්ඩ සූත්‍ර ය කියන සේක. අවමඟුල් දවසේ ද මඞ්ගල සූත්‍ර ය කියන සේක. මෙසේ ඒ ඒ තැන්හි දී ‘එකක් කියමි’ සිතා අනිකක් කියත ත් ‘මා කියන්නේ ස්ථානෝචිතයක් නො වෙ’යි නො දන්නා සේක. වහන්දෑ එ පවත් දැන බුදුන් කරා ගොසින් ස්වාමීනි, මඟුල් අවමඟුල් දෙක ට ම ලාලුදායි ස්ථවිරයන් යන්නේ හැයිද? ස්ථානෝචිත ය නො දැන මඟුල් කිව මනා තැනට අවමඟුල් කියති. අවමඟුල් කිව මනා තැනට මඟුල් කියති. එ සේ කල එ සේ වූ තැනට යෑමට ත් වඩා නො යෑම යහපත් වේ දැ’යි කී සේක. බුදුහු ත් ‘හෙම්බා, තුලුන් තෙල ලෙස කියන්නේ දැන් මතු නො වෙයි. පෙර ත් තෙල කියන ලෙස ම ය. හැම කල ම නුවණක් ඇති කෙනෙක් නො වෙතී’ වදාරා යට ගිය දවස ත් එ ලෙස ම කියන නියාව දක්වනු නිසා ගිය දවස පැවැති ලෙසක් දක්වන සේක් -

“ගිය දවස බරණැස අග්ගිදත්ත නම් බමුණානන්ගේ පුත් වූ සෝමදත්ත නම් කුමාර කෙනෙක් රජ්ජුරුවන්ට සේව ය කෙරෙති. සෝමදත්ත කුමාරයෝ ත් රජ්ජුරුවන්ට ප්‍රියයෝ ය. අග්ගිදත්ත නම් බමුණානෝ ද ගොවි කර්‍මාන්ත කොට ජීවත් වෙති. උන්ගේ ත් සානා ගොන් ගෙයක් ම ය. වඩා නැත. ඉන් එක් ගොනෙක් මිය ගියේ ය. බමුණානෝ පුතණුවන්ට ‘සෝමදත්තයෙනි, තෙපි රාජවල්ලභයෝ ව ද, රජ්ජුරුවන් වහන්සේට කියා ලා අපට ගොනකු ඉල්වා දෙව’යි කිවු ය. සොමදත්තයෝ ද ‘මම ගොසින් ගොන් ඉල්වීම් නම් මාගේ ලඝු කම් පෙනෙ’යි සිතා ‘පියාණන් වහන්ස, මුඹ ම රජ්ජුරුවන් වහන්සේගෙන් ගොන් ඉල්ලුව මැනැව’යි කිවු ය.

‘එ සේ වී නම් මා කැඳවා ගෙන යව’යි කී කල්හි ‘මුන්දෑ ඉතා නුවණ නැති දෑ ය. හිඳීම් සිටීම් දන්නට ත් නැත. කථා කරන ලෙස දන්නට ත් නැත. එකක් කියන්ට සිතුවො ත් කියන්නේ ඒ තබා ලා අනිකෙක කියන බණන ලෙස උගන්වා ගෙන යෙමී’ සිතා සෝමදත්ත කුමාරයෝ ද, කුමාරයෝ අග්ගිදත්ත නම් පියාණන් බීරණත්‍ථම්බ නම් සෝනක් බඩට කැඳවා ගෙන ගොසින් මිනිසුන් සැටියට තණ කලප් බැඳ සිටුවා ලා ‘මුන් වහන්සේ රජ්ජුරුවන් වහන්සේ ය, මුන් වහන්සේ යුව රජ්ජුරුවන් වහන්සේය, මූ සෙනෙවිරද්දු ය, යනාදීන් භය හැරෙනු නිසා පියාණන්ට පෑලා ‘මුඹ රජ ගෙට ගිය කල මේ ලෙස සිටිය යුතුය. රජ්ජුරුවන් වහන්සේට මෙසේ කථා කට යුතු ය. යුවරජ ආදීන් හා මෙසේ කථා කටයුතු ය. රජ්ජුරුවන් වහන්සේට කන්නලවු කියන කළ ‘රජ්ජුරුවන් වහන්ස, මුඹ වහන්සේට ජය වේ ව යි කියා ලා-

“ද්වෙ මෙ ගොණා මහාරාජ – යෙහි ඛෙත්තං කසාමසෙ,

තෙසු එකො මතො දෙව - දුතියං දෙහි ඛත්තිය”

යන මේ ගාථාව කියා ලා ගොන් ඉල්වා ගත මැනැව’යි කියා ලා ගාථාව උගන්වාලු ය.

උයි ත් ඒ ගාථාව හවුරුද්දක් විතරින් දුක සේ වන පොත් කොට ගෙන වන පොත් නියාව පුතණුවන්ට කිවු ය. ‘එසේ වී නම් යන්තම් පඬුරක් හැරගෙන අව මැනව. මම පෙරාතු ගොසින් රජ්ජුරුවන් වහන්සේ ළඟ සිටිමි’යි කිවු ය. ‘යහපතැ’යි කියා ලා තමන්ගේ දුක් පත් තරමට පඬුරකු ත් හැර ගෙන උගත් ගාථාව නො වරදවා කියන ලෙසට උත්සාහ ඇති ව රජ ගෙට ගොසින් පුතණුවන් කෙරෙහි ගත් දයින් දැක සතුටු වූ රජ්ජුරුවන් ‘නතක් කලෙකින් ආ ගමනෙක. තෙල හස්නෙහි හිඳුව. කන්නලවුවෙක් ඇත් නම් එයි ත් කියව’යි කී කල්හි- උගත් ගාථාව අත්‍ථි නම් ‘යම් ගොන් කෙනකුන් බැඳ ගෙන සී සෑම් නම් තමා ඇත්තෝ ගොන් දෙන්නෙක. ඉන් එකෙක් මිය ගියේ ය. ගොනකු දුන මැනැවැ’යි යනු ය -මූ ගාථාව කියා ගෙන ගොසින් ගොනකු ඉල්වන තැනදී “දුතියං ගණ්හ ඛත්තිය”යි කියා සිටි ගොනා ත් රජ්ජුරුවන්ට ගන්ට කිවු ය.

රජ්ජුරුවෝ තවත් ගාථාව කියව’යි කිවුය. තවත් එලෙස ම කිවු ය. රජ්ජුරුවෝ තමන් නුවණැති හෙයින් වරදවා කී නියාව දැන ගෙන සී පියා ‘සෝමදත්තයෙනි, තොපගේ ගෙයි ගොන් බොහෝ නියා වේ දැ’යි කිවු ය. එ සේ වී නම් ඔබින් දෙවා වදාළ නියා ය’යි කී කල්හි රජ්ජුරුවෝ සෝමදත්තයන් කෙරෙහි පැහැද අග්ගිදත්තයන්ට ගොන් අට ගෙයක් ද බමුණන් පළඳින්නට නිසි ආභරණ ද, රඳා හුන් ගම ද පමුණු කොට දෙවා ලා මහ පෙරහරින් බමුණානන් යවුය. සත් පුරුෂ සමවායෙන් එක ගොනකු ඉල්වා ගොසින් ගොන් සොළොසක් හා පමුණු ගමක් ලත්හ.”

බුදුහු දේශනාව ගෙන හැර වදාරා ‘එ කල රජ්ජුරුවෝ නම් අනඳ මහ තෙරහු ය. අග්ගිදත්ත බමුණානෝ නම් ලාලුදායි තෙරහු ය. සෝමදත්තයෝ නම් මම් මය’යි ජාතකය නිමවා වදාරා ලා හෙම්බා මහණෙනි, පෙර ත් මේ තෙමේ තමා අල්පශ්‍රැත හෙයින් ගොනකු ඉල්වන්ට සිතා සිටි ගොනුත් හැරගන්ට කීය. අල්පශ්‍රැතයෝ නම් ගොන් වැන්නෝ ය’ යි වදාරා බණ වදාරන සේක් ‘යම් කෙනෙක් කමටහන් ඉගෙන ගෙන ඊයෙදී වෙසෙත් නම් ඌ බහුශ්‍රැතයෝ මය. යම් කෙනෙක් එයි ත් නැති ව පිටකයක් පමණෙක වේව’යි සඟියක් පමණෙක වේව යි, මුල් පනස් ආදි වූ පනසක් පමණෙක වේවයි, යටත් පිරිසෙයින් විනයෙන් වුවො ත් මාතෘකා පමණෙක වේව යි, අබිදමෙන් වී නම් සප්තප්‍රකරන මාතෘකා පමණෙක වේව’ යි සූත්‍රයෙන් වී නම් සූත්‍රයට මාතෘකා වූ සංගීති සූත්‍ර, දසුත්තර සූත්‍ර, පමණෙකත් අභ්‍යාස නැත්තෝ වූ නම් එ ලෙසින් අල්පශ්‍රැත වූවාහු යම් සේ ගොන් වඩනා කල ත්, දිරන කල ත් තමන්ගේ දෙමවුපියන්ට හා නෑයන් සියන්ට ප්‍රයෝජන නිසා වඩනෝ ත් නොවෙද්ද, දිරන්නෝත් නොවෙද්ද, එමෙන් කිසි කෙනකුන්ට ප්‍රයෝජන නිසා වඩනෝ ත් නො වෙති. දිරන්නෝ ත් නොවෙති. අල්පශ්‍රැතයන්ගේ වැඩීමෙනු ත් දිරීමෙනු ත් කවුරුන්ටත් කිසි ත් ප්‍රයෝජන නැත.

සෙස්සවුන්ට තබා උන් තමන්ට ත් ප්‍රයෝජන නැත. අල්පශ්‍රැත බැවින් ම වත් පිළිවෙත ත් නො හැසිරෙති. වත් පිළිවෙතින් වඩනට නැති කලට කුමකින් වඩිත් ද යත හොත්- යම් සේ ‘ගොන් උසුලා පිය නොහෙතී’ තණ බිම්වලට හළ කල තණ කා පිරීමෙන් මස් වඩී ද, එමෙන් නිෂ්ප්‍රයෝජන නියාව සලකා ඇදුරු තෙර වත් තෙර තැනින් හරන ලදු ව බුද්ධානුභාවයෙන් ලත් සතර පසය සුව සේ අනුභව කරන්නවුන්ගේ මස් ලෙස් වඩ්ඩි. මස් ලෙස් වඩනා මුත් පිනක් වඩන්ට නුවූ හෙයින් ත්‍රිහේතුක වන්ට නැති ව ප්‍රතිසන්ධි ප්‍රඥාව වේව යි ඇසීම ත් පිරිවීම ත් නැති හෙයින් ශ්‍රැතමය ප්‍රඥාව වේව යි සියුම් සිතිවිල්ලක් නැති හෙයින් චින්තාමය ප්‍රඥාව වේව යි භාවනාභියෝගයක් නැති හෙයින් භාවනා ප්‍රඥාව වේව යි සෙසු ත් ලෞකික වූ ප්‍රඥාවෙක් වේව යි, ලෝකෝත්තර ප්‍රඥාවෙක් වේව යි සාවුන්ට හං ඇති වන්ට නැත්තා සේ නො වඩ්ඩි. තවත් වල ඇති වන ගස් තුරු ලිය ආදිය මෙන් චක්ෂුරාදි වූ ස දොරින් අෂ්ටාත්තරශත ප්‍රභේද වූ තෘෂ්ණාව හා නව විධ මාන ය වඩ්ඩි. අකුශල පාක්ෂික හෙයින් එයි ත් නිෂ්ප්‍රයෝජනය’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් අගාරික වුවත් අනගාරික වුවත් සීල භූමියෙහි පිහිටා බොහෝ බණ දහම් ඇසීමෙන් බහුශ්‍රැත ව ගෙන අල්පශ්‍රැතයන්ට වන දෝෂයෙන් දුරුව පින්කම හැසිර ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කට යුතු.