137. අනඳ මහ තෙරුන් වහන්සේ ප්‍රශ්න විචාළ වත

star_outline

තව ද යම් කෙනෙක් සසර ඇලුම් හැර ගත නො හෙත් නම් සියලු සර්‍වඥවරයන්ගේ උදාන ගාථාවල අර්ථ ය දක්වා සසර ඇලුම් හරවනු නිසා අනඳ මහ තෙරුන් වහන්සේ ප්‍රශ්න විචාළ වස්තුව කියමු.

කෙ සේ ද යත්-

බුදුහු බුදුවන්ට බෝරුක් මුල වැඩ හිඳ හිර ගලා හෙන්නාට පළමු ව වසවත් මරු ලා මර සෙනඟ පරදවා පෙර යම් දස පැයින් පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණ වසා සිටිනා මෝහ ය නසා, මැඳයම් දස පැයින් දිව ඇස් උපදවා, අලුයම ප්‍රත්‍යයාකාරය නුවණ බහා, අනුලොම් පිළිලොම් විසින් සලකන සේක්- අරුණු නැගෙන වේලේ දී බුදු ව ලක්‍ෂ ගණන් බුදුවරුන් වහන්සේ විසින් පවත්වන ලද උදන් අනන සේක් ‘යම් හෙයකින් ජරාවෙන් ව්‍යාධියෙන් හා මරණින් මුසු වූ ජාති ය කරා නැවත නැවත එළඹීම දුක් ද එ හෙයින් ජාති-ජරා-ව්‍යාධි-මරණ රඳා හිඳිනට ශරීර නමැති ගෙය කරන්නා වූ තෘෂ්ණා නමැති වඩුවා සොයන්නෙම් යම් නුවණකින් ඔහු දැක්ක හැකි වී නම් ඒ සම්‍යක්සම්බෝධි ඥාන ය ලබනු නිසා දිවකුරු බුදුන්ගෙන් විවරණ ලදින් එවක් පටන් මෙ වක් දක්වා නො එක් ලක්‍ෂගණන් ජාති ඇති සසර ඒ නුවණ ලැබ ගත නො හී ව්‍යුති ප්‍රතිසන්ධි වශයෙන් දිවීමි. සම්‍යක් සම්බෝධි ඥානයට පැමිණීම නො වී නම් ජාතිය කරා නො එළඹෙන්නට බැරි හෙයින් සාරා සැකි කප් සුවහස් මුළුල්ලෙහි බොහෝ දුක් ගෙන අද ඒ ඥාන ය ලදිමි.

එසේ හෙයින් ශරීර නමැති ගෙය කළ තෘෂ්ණා නමැති වඩුව, ඈත මෑත ගොසින් දැක්මක් නො ව විදුරස්නෙහි හිඳ තා දිටීමි. සංස්කාරාදී ධර්‍ම නමැති යම් ගොනැසක් ලා ශරීර නමැති ගෙය කෙරෙහි නම් මාගේ අර්හත් මාර්ගඥාන නමැති පොරොවින් සුණු විසුණු කොට පළා පියා අර්හත් ඵල ඥාන නමැති ගින්නෙන් දවා පීමි. අවිද්‍යා නැමැති යම් කැණි මඬලෙක සංස්කාරාදි ධර්‍ම නමැති ගොනැස් උරව යි නම් ඒ කැණි මඬල ත් සංස්කාරාදි ධර්‍ම නමැති ගොනැස් නැසුවා සේ මනසා පීමි. එ හෙයින් මෙ වක් පටන් තෝ ශරීර නමැති ගෙය කොට ගත නො හෙයි. ගෙවල් කරන්නේ තා ඇතොත් වේ ද? පහන ඇති වීමෙන් අඳුරු නැති වූවා සේ රහත් මග මට පහළ වීමෙන් ම, තෘෂ්ණා නමැති වඩුව, තා ත් තට අතවර කරන මාන මායා මාත්සයාදීනු ත් උන් මුල් කොට නසා පීමි. මාගේ සිත ත් උපක්ලේශයන් කෙරෙන් වෙන්ව නිවන් කරා වන. වාසනා සහිත වූ කෙලෙසුන් ගෙවා බුදු වීමි’ වදාළ සේක.

එ හෙයින් නුවණැත්තවුන් විසින් බුදු රජාණන් වහන්සේ සිතා කොට වදාළ සැලැස්ම නො සැලැස්මක් නො වන හෙයින් ජාතික්‍ෂයට ම තැත් පුරා කුසල හැසිරෙන්ට උත්සාහ කටයුතු.