135. මල්ලිකා බිසොවුන් ගේ වස්තුව

star_outline

තව ද බොරුවෙහි නපුර දක්වනු සඳහා මල්ලිකා බිසොවුන් ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

ඒ මල්ලිකා බිසවු එක් දවසක් නහන කොටුවට වැද ලා මූව මූණ සෝධා පියා නැඹුරු ව සිට පය සෝධති. උන් හා කැටි ව නහන කොටුවට වන් රජ ගෙයි ම වැඩි බල්ලෙක් බිසොවුන් පය සෝධන්ට නැඹුරු ව සිටියවුන් දැක ග්‍රාම ධර්මයෙහි යෙදෙන්ට පටන් ගත. බිසවු තමන්ට තරම් කටයුත්තක් නො වත ත් විෂයෙහි සම නො වන්නවුන් නැති බැවින් තමන්ගෙන් එ බඳු ප්‍රයෝගයක් නුවූවත් පහස ඉවසා සිටියහ. කොසොල් රජ්ජුරුවෝ ද උඩුමාලේ සිට කවුළු දොරින් බලනුවෝ ඒ ව්‍යභිචාරය දැක බිසොවුන් රජ ගෙට ආ කල්හි ‘හීන තැනැත්ති ය, තී නසින්ට මෙ බන්දක් කුමට කෙළෙහිදැ’ යි කිවු ය. කළ දෙය පැටි කරන්ට ‘රජ්ජුරුවන් වහන්ස, මා කෙළේ කිම් දැ’යි කිවුය. ‘අනික් කුමක් කෙරෙ යිද? බල්ලා හා සහවාස කෙළේ වේ දැ’යි කිවු ය. තමන්ගේ ප්‍රයෝගයකින් නුවූව ත් ඉවසා සිටි හෙයින් වැරැද්ද ඇති ව ගියා වන්නා ලජ්ජාව ත් බලවත් ව එ සේ වූ දෙයෙක් නැතැ’යි කිවු ය. ‘කයින් සිද්ධ වූ පාපය මඳ හෙයින් බසිනු ත් පව් පුරා බොරු කියයි ද? මා ම ඇස පුරා දුටු දෙය පව ත් සිද්ධ කොට බොරු නො කි ය යි’යි කිවු ය.

රජ්ජුරුවෙනි, යම් කිසි කෙනෙක් තෙල නහන කොටුවට වන්නු නම් තෙල කවුළු දොරින් බලා සිටි කෙනකුන්ට තැනැත්තෝ දෙන්නකු සේ පෙනෙති. පෙනෙන කලත් අසද්ධර්‍මයේ පවත්නා ලෙසට පෙනෙතී’ යි කියා ලූ බොරුව බොළඳ රජ්ජුරුවන් හදහා ගන්නා ලෙසට කිවු ය. ‘පවිටු තැනැත්තිය, කෙසේ කියයි නමුත් මම හදහා නො ගන්මි’ කිවු ය. ‘රජ්ජුරුවන් වහන්ස, අප කී බස් නො හදහන සේක් වී නම් මුඹ වහන්සේ නහන කොටුවට වැදලා සිටි ය මැනව. මම මේ කවුළු දොරින් බලා සිටිමි’යි කිවුය. තමන් ඉතා බොළඳ හෙයින් රජ්ජුරුවෝ උන්ගේ බස් ගිවිස ගෙන නහන කොටුවට වන්හ. බිසොවුන් කවුළු දොරින් බලනුවෝ ‘නුවණ නැති රජ්ජුරුවෙනි, රජ ව සිට මෙ තෙක් බිසෝවරුන් හින්ද දී එළි ය හා මිත්‍ර සන්ථව ය කරන්නේ රජ ව සිටි මුඹට තරම් දෑ’ කිවු ය. රජ්ජුරුවන් ‘මා එ සේ කෙළේ නැතැ’යි කීව ත් ‘මම ඇස පුරා දිටිමි. මුඹ කුමක් කීවත් නො හදහමී’ කිවු ය. රජ්ජුරුවෝ ඒ අසා ඒකාන්තයෙන් මේ නහන කොටුවට වන් කෙනකුන් දෙන්නකු සේ මෙ ලෙසින් පෙනෙන නියා ය’යි බිසොවුන් කෙරෙහි පැවැති කටයුත්තක් නැති වන් කොට සිතා ගත්හ.

මල්ලිකා බිසවු ද ‘මේ රජ්ජුරුවෝ තමන් බොළඳ හෙයින් මා වළහන්ට කියා ලූ දෙය හදහා ගත්හ. ඌ තිරිසනා හෙයින් පර පුරුෂ සංසේවා කුම් වුවත් පව් පව් මය. ඒ එ සේ තිබිය දී හැම පව් විතරට ත් උග්‍රයා සේ තිබෙන බොරු ත් කියා පීමි. මේ මාගේ කටයුත්ත අඥාන ව මා සඟවන්ට සිතූ බව මුත් තුන් කල් දන්නා බුදුහු ත් අසූ මහ සවුවන් වහන්සේ ත් දන්නා සේක. ඔබ හැම තබා දිවස් ඇති යම් කෙනෙක් ම දන්නා සේක. අනේ මා කළ දෑත් නපුර. කළ දෙයට ත් කී දෑත් නපුරු ම ය. ඒ පාපය තුනී ව ගතත් යහපතැ’යි කොසොල් රජ්ජුරුවන් අසදෘස මහදන් දෙන කලත් සහා ය වූ ය. ඒ දනත් කෙළවර දවස දුන්නා තුදුස් කෙළක් අග්ගි බුදුන් හිසට කළ හෙළ කුඩය ත් වළඳන්ට වැඩ හිඳිනා පළඟ ත්, පාත්‍ර ය තබා ගන්නා පාත්‍රාධාරය ත් නො දෙවි පා තබන පාද පීඨය ත් යයි මේ සතර අගයක් නැති දෙය ය.

මල්ලිකා බිසොවුන් මියන ගමන්නේ මෙ බඳු පරිත්‍යාගයක් සඳහන් නො කොට කළ පව් කම් ම සඳහන් කෙරෙමින් මිය අවීචියෙහි උපන්හ. රජ්ජුරුවන්ට ත් ඉතා ප්‍රියයෝ ය. ශෝක ය ත් බලවත් වි ය. උන් දවා පියා ‘උන් උපන් තැන් විචාරමි’යි බුදුන් ළඟට ගියහ. බුදුහුත් යම් සේ ඒ විචාරන්ට සඳහන් නො කෙරෙත් නම් එ ලෙසට ඉටා වදාළ සේක. උයි ත් අවු ත් බුදුන් හා සෙසු කථා කොට පියා රජ ගෙට ගොසින් විචාරන්ට සිටි කථාව සඳහන් කොට පියා “මම මල්ලිකාවන් උපන් තැන් බුදුන් අතින් විචාරන්ට ගොසින් සලකුණු නො වී ය. සෙට විචාරමී’ දෙ වන දවසු ත් ගියෝ ය. බුදුහුත් පිළිවෙළින් සත් දවසක් ම සලකුණු නො වන ලෙස ම ඉටා ලූ සේක. මල්ලිකා බිසවු ද කළ පාපය පිණින් තුනී කළ බැවින් නරකයෙහි ආයු නොව මිනිසුන්ගේ ආයු පමණින් සත් දවසක් පැසී ලා අට වැනි දවස් එයින් සැව කියා ලූ බොරුත් අත්‍ථි භඤ්ජක මුසාවක් නො වන හෙයින් එ තරමට කළ පින් බොහෝ හෙයින් තුසී පුරයෙහි උපන්හ.

බුදුහු කුමක් නිසා සත් දවසක් සලකුණු නො වන ලෙසට කළ සේක් දැ යි යත හොත් ඒ‍ බිසවු රජ්ජුරුවන්ට ප්‍රියයහ. ඒ හෙයින් නරකයෙහි උපන් නියාව අසා දැන් පින් බොහෝ කළ මල්ලිකාවන් පවා නරකයෙහි උපන් කල මම දන් දී කුමක් කෙරෙම් දැ’යි දුන් දන යහපත් විපාක නැතැ යි යන ලබ්ධීන් රජ ගෙන් පන් සියයක් භික්ෂූන්ට තබ්බවාලූ දන් හරවා පියා පවු කම ම හැසිර නරකයෙහි ම උපදී නමුත් යයි රජ්ජුරුවන් කෙරෙහි කරුණාවෙන් සතියක් ම සලකුණු නො වන ලෙසට කොට වදාරා අට වැනි දවස් සිඟා වඩනා ගමනේ තමන් වහන් සේ ම රජ ගෙට වැඩි සේක. රජ්ජුරුවෝ ද බුදුන් වැඩි නියාව අසා අවුත් පාත්‍ර ය හැරගෙන උඩුමාලට නැඟෙන්ට වන්හ. බුදුහු යට මාලේ රථ තිබෙන ගෙයි වැඩ හිඳිනට වන් සේක.

රජ්ජුරුවෝ ත් එ තැන ම වැඩ හිඳුවා ලා කැඳ අවුළු පත් වළඳවා ලා හිඳ ‘ස්වාමීනි, මල්ලිකා බිසොවුන් උපන් තැන් විචාරමී සිතා සත් දවසක් ම ඔබ ළඟට ගොසින් සලකුණු නො ව විචාරා ගත නුහුණුයෙමි ‘ස්වාමීනි, උන් උපන් තැන් කොයි දැ’යි විචාළෝ ය. ‘මහරජ, තුසී පුරයෙහි උපන්නැ’යි වදාළ සේක. ‘ස්වාමීනි, උන් තුසී පුරයෙහි නූපදනා කල උපදනෝ කවුරු ද ? ගෑනු ව උපන්නවුන් ගෙන් විශාඛාදී වූ කීප දෙනකු හැර උන් හා සරි කවුරු ද, උන්ට හැම විට ම දන් පින් විධානයක් මුත් අනික් කටයුත්තෙක් ඇද්ද? ස්වාමීනි උන් මළ තැන් පටන් ශෝකය ඉවසන්ට බැරි ය’යි කිවු ය.

මහරජ, මුසුප්පු නො වව. උපන්නවුන්ට මරණ නියම දෙයෙකැ’යි වදාරා ‘මහරජ, මේ රථ ය කාගේ දැ’යි විචාළ සේක. ස්වාමීනි, අපගේ මුත්තණුවන් වහන්සේගේ ය’යි කිවු ය. අනික් රථයක් පෑ ලා ‘තෙල කාගේ දැ’යි විචාරා ලා අපගේ පියාණන් වහන්සේගේ ය’යි කී කල්හි අනික් රථයක් පෑ ලා ‘මේ කාගේදැ’යි විචාළ සේක. ඒ රථ ය තමන්ගේ නියාව කිවු ය. එ ලෙස කී කල්හි ‘මහරජ, තොපගේ මුත්තණුවන්ගේ රථ ය ද එම ලෙසින් ම තොපගේ පියාණන්ගේ රථ ය කරා පැමිණ ගත නොහිණ. තොපගේ පියාණන්ගේ රථය ත් එම ලෙසින් ම තොපගේ රථ ය කරා පැමිණ ගත නොහිණ. මෙ සේ වූ දඬු කඩ වලට පවා ජරාව ඇත. අත් බැවට ජරාව ඊ මෙහි කියනු කිම් දැ’ යි වදාරා බණ වදාරන සේක්.

‘රජ්ජුරුවෙනි, රථාලඞ්කාරයෙන් සරහන ලද රථයෝ ත් ඉදි කළ තැන් පටන් ක්‍රම ක්‍රමයෙන් දිරති. හුදක් රථ මතු නො වෙයි. මමායන කළ ශරීරය ත් උපන් වක් පටන් ම ජරාවට පැමිණෙයි. එ සේ කල ජරාවට නො පැමිණෙන්නේ කවරේ ද යත් - බුද්ධාදි වූ සත් පුරුෂයන්ගේ නව ලොවුතුරා දහම් කවර කලෙකත් එක තරම් ම හෙයින් ජරාවට නො පැමිණෙයි. බුද්ධාදී වූ සත් පුරුෂයෝ කථාවක් කෙරෙත් නමුත් නුවණැත්තවුන් හා ම කථා කරන මුත් ජරා මරණ සඳහන් නො කරන අඥානයන් හා කථා කිරීමෙන් ප්‍රයෝජන නැති හෙයින් උන් හා කථා නො කෙරෙති’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් ජරාව අවුත් ලා සියල්ලකට අක්‍ෂම නො කරන තෙක් පින් කිරීමට යෝග්‍ය අවස්ථාවෙහි පින් කම හැසිර එයින් ජනිත වූ කුශලානුභාවයෙන් භව භෝග සම්පත් වළඳා කෙළවර නිවන් සම්පත් සාධා ගත යුතු.