134. රූපනන්දා නම් ස්ථවිරින්දෑගේ වස්තුව

star_outline

තව ද සත්‍වයන්ගේ අදහස් එක් තරම් නො වත ත් උන් උන්ගේ අදහස් ලෙසට බණ වදාරා අවබෝධ කරවා ලීමෙහි විස්ම ය හඟවන්නට රූපනන්‍දා නම් ස්ථවිරීන්දෑගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

ඒ ස්ථවිරීන්දෑ ගිහි අවස්ථාවෙහි එක් දවසක් සිතන දෑ ‘අපගේ වැඩි මාලු බෑණන් වහන්සේ රජ සැප ත් හැර ගොසින් මහණ ව බුදු වූ සේක. ඔබගේ පුත් රහල් කුමරු ත් ගොස් මහණ වූ ය. මට ස්වාමී ව සිටි නන්‍ද කුමරු ත් ගොසින් මහණ වූය. අපගේ මවු වූ මහා ප්‍රජාපතී ගොතමීන් වහන්සේ ත් මහණ වූ සේක. නෑයන් මෙ තෙක් දෙනා මහණ වූ කල්හි ගිහි ගෙයි රඳා මම කුමක් කෙරෙම් ද? මම ත් මහණ වෙමි’යි මෙහෙණවරට ගොසින් මහණ වූ ය. මහණ වන ගමන ත් නෑයන් නිසා මුත් සැදෑයකින් නොවෙයි. මුලින් ජනපද කල්‍යාණි නම් වුව ත් රුව බලවත් හෙයින් රූපනන්‍දා නමින් ප්‍රසිද්ධ වූ දෑ ය. තමන්දෑ රුවට ම බෑවී හිඳිනා හෙයින් බුදුන්ගේ දේශනාව ත් ති ලකුණෙහි යෙදූ හෙයින් ඒ තමන්දෑට රුචි නො වන්නා ම ‘ඔබ ගියො ත් මේ නියා රුව ජරාවක් වැද ලා කිලුටු කරන නියාවක් හෝ මරණට පැමිණෙන නියාවක් හෝ වදාරා මට මුසුප්පු උපදවන සේක් වී නමුත් ය’යි එක දවසෙක ත් බුදුන් ළඟට නො යන දෑ ය.

සැවැත් නුවර ඇත්තෝ උදෑසන ම පෙහෙ ව ගෙන දන් දීලා උතුරු සළු පෙරව ගෙන සුවඳ මල් ආදිය හැර ගෙන සවස් වේලාට දෙව්රමට රැස් ව බණ අසති. මෙහෙණින්නෝ ද තමන් හැම ත් හිඳිනා ඇතුළු ගම ම හෙයින් බණ අසනු නිසා වෙහෙරට අවුත් බණ අසන්නාහ. බණ අසා ලා නුවරට වදිනා කල බුදුන්ගේ ගුණ කියන්නාහ. සතරක් පමණ කොට වසන ලෝ වැස්සන් අතුරෙන් යම් කෙනෙක් බුදුන් දැක නො පහදිත් නම් ඌ මඳවු ය. එ සේ මැ’යි රූප ප්‍රමාණිකයෝ බුදුන්ගේ ලක්‍ෂණානුව්‍යඤ්ජනයෙන් හෙබි යා වූ රන්වන් ශරීර ය දැක එ පමණෙකින් වක්කලි මහ තෙරුන් වහන්සේ මෙන් පහදිති. ඝෝෂ ප්‍රමාණිකයෝ ද නො එක් ජාතක වල පැවැති බුදුන්ගේ ගුණ ද අෂ්ටාඞ්ගයෙන් සමුපෙත බ්‍රහ්ම නාද වැනි වූ බුදුන්ගේ කට හඬ ද අසා පහදිති. ලූඛ ප්‍රමාණිකයෝ ද රූක්‍ෂ චීවර ධාරණාදී වූ රූක්‍ෂ ප්‍රතිපත්තියෙහි පහදිති. ධර්‍ම ප්‍රමාණිකයෝ ද, බුදුන්ගේ ශීල ගුණ ය මේ තරමෙක. සමාධි ගුණය මේ තරමෙක, ප්‍රඥා ගුණ ය මේ තරමෙක, බුදුහු සීල සමෘද්ධ්‍යාදී ගුණයෙන් අනන්‍ය සාධාරණ සේකැ’යි පහදිති. උන් බුදුන්ගේ ගුණ කියන කලට මුඛ නො සෑහෙන්නා සේම ය.

බුදුන් ළඟට යන්ට මැළි ව හුන් රූපනන්දා නම් භික්ෂුණීන්දෑ ද බණ අසා ආ භික්ෂුණීන්දෑ ගෙනු ත් උපාසිකාවරුන් ගෙනු ත් බුදුන්ගේ ගුණකථා අස අසා ‘මූ හැම දෙන අපගේ බෑණන් වහන්සේගේ ගුණ බොහෝ කොට කියති. ඉදින් මා දැක රුවෙහි දෝෂ එක් දවසක් වදාරන සේක් වී නම් කෙතෙක් වදාරණ සේක් ද? මෙහෙණිනි වහන්දෑ හා කැටි ව ගොසින් බුදුන්ට නො පෙනී හිඳ බුදුන් දැක පියා බණත් ඇසීම් නම් යහපතැ’යි සිතූ දෑය. එ සේ සිතා ලා ‘ බණ අසන්ට එමී’ මෙහෙණිනි වහන්දෑට කී දෑ ය. මෙහෙණිනි වහන්දෑ ද ‘නැතක් දවසකින් රූපනන්දාවෝ බුදුන් දක්නා කැමැති වූහ. අද බුදුහු මුන් මුල් කොට විසිතුරු කොට බණ වදාරන සේකැ’යි සතුටු ව එ දවස් උන්දෑ ත් කැඳවා ගෙන නික්මුණු දෑ ය.

උන්දෑ ත් නික්මුණු වේලෙහි පටන් ‘ගිය ත් බුදුන්ට නො පෙනෙමි’ යි සිත සිතාම යන දෑ ය. බුදුහු ත් ‘රූපනන්‍දාවෝ අද මා දක්නට එති. උන්දෑට කවර ලෙස බණ කීම රුචි දෝ හෝ’ යි සිතා ලා ‘ඌ තුමූ රූප ගරුකයෝ ය. ආත්ම ස්නේහය බලවත කටුවෙන් කටු ව ගන්නා සේ රුවින් ම රූ මත හරවා ලීම නිසි ය’යි සනිටුහන් සිතා වදාරා ලා උන්දෑ විහාරයට එන වේලාට සොළොස් හැවිරිදි වූ විශිෂ්ට වූ රූ ඇති රන් පිළියක් හැඳ ගෙන ආභරණ ලා සැරහී පවන් පතක් හැරගෙන තමන් වහන්සේ ඇඟට පවන් සල සලා හිඳිනා ස්ත්‍රී රුවක් මවා ලූ සේක. ඒ ස්ත්‍රී රුව ත් බුදුන් හා රූපනන්දාවන් හැර සෙසු දකින්නෝ නැත. උන්දෑ ත් භික්ෂුණී වහන්දෑ හා කැටි ව ගොසින් භික්ෂුණී වහන්දෑ පිටි පස්සේ සිට පසඟ පිහිටුවා බුදුන් වැඳ ගෙන ක්‍ෂත්‍රිය ජාතීන් කුම් වුව ත් ආර්‍ය්‍ය ජාතීන් ළංවන්ට නු වූ හෙයින් ලජ්ජා ව මුවා වන්නා සේ මෙහෙණිනි වහන්දෑ හස්නෙහි හිඳ දෙතිස් ලකුණෙන් විසිතුරු වූ අනුව්‍යඤ්ජනයෙන් බබලන බ්‍යාමප්‍රභාවයෙන් පිරිවරන ලද බුදුන් ගේ රුව දැක රූපනන්‍දවෝ පුන් සඳක් සේ සොමි මුහුණ ත් දැක ළඟ සිටි ස්ත්‍රී රුව ත් දුටුවු ය.

උන්දෑ ඒ මවා ලූ මනහර රූ දැක තමන්දෑ ත් බලා පියා අර රුව තරමට තමන්දෑ රන් වන් හංස ධෙනුවකගේ ළඟ සිටි කැවිඩියක කොට සිතා ගත් දෑ ය. ඒ රුව දුටු වේලේ පටන් රූප නන්දාවන්ගේ ඇස් බමන්ට වන. ‘අනේ මුන්ගේ ශරීර ශෝභාව ත් යහපත් නියා ය’යි එක්වන් උන් ම බලන කලට ආත්ම ස්නේහය හැරී ගොසින් උන් කෙරෙහි ස්නේහ ය බලවත් වි ය. බුදුහු ඒ දැන උන්ගේ ඊ ඇවිටිය ත් හරවා නිවන් රුචි කරවනු නිසා වදාරමින් හිඳ මවා ලූ රුවෙහි සොළොස් හැවිරිදි තරම ඉක්ම විසි හැවිරිදි තරම් ලෙස කොට දක්වා ලූ සේක. රූපනන්දාවන්දෑ ද ඒ බලා ‘මේ රුව ආදි තරම් නො වෙයි’ සිතා ඇලුම් මඳක් තුනී කළ දෑ ය. බුදුහු ත් පිළිවෙළින් ඒ රුව එක් දරු මා තරම් ද, මධ්‍යම තරම් ද, මහත් තරම් ද, ඇති කළ සේක. රූපනන්දාවන්දෑ ද ඒ ඒ අවස්ථා දැක උන් කෙරෙහි පැවති ප්‍රේමය සර්වාකාරයෙන් නො හැර තුනී කළ දෑ මවා පෑලූ රුව මෑලි අවස්ථාවෙහි ජරාවෙන් දිරා ජරාතුර ව කඩදත් ඇති හිස ත් යෞවන නමැති දර දවා හළු කළ හළු රැසක් මෙන් නර ව ගොනැසක්[1] මෙන් වක් ව ගොසින් සැරවිටි[2] දණ්ඩක් ගෙන වෙවුල වෙවුලා සිටියා දැක ඒ රුව ඉතා විරක්ත වූහ.

බුදුහු එ වේලෙහි වර්‍ණ මදයෙන් මත් වූ රූපනන්දාවන්දෑගේ වර්‍ණමද ය ජරාව දැක්වීමෙන් භරවා ලා ආරොග්‍ය මද ය හරවනු නිසා මවාලූ රුව රෝගයෙන් වැළඳ ගත් ලෙසට කළ සේක. උයිත් ඒ ඇසිල්ලෙහි එල්බෙන්ට අල්වාගත් දණ්ඩ ත් තල් වැට ත් දමා පියා මහ හඬින් හඬමින් බිම වැටී පියා කිස මුවා පස වැකෙමින් ඈත මෑත පෙරළුණාහ. රූපනන්දාවන්දෑ ද එයිත් දැක ඉතා ම විරක්ත වූ දෑ ය. බුදුහු ත් මවා ලූ රුව මළ සැටි ය දක්වා ලූ සේක. උයි ත් මිය ගොසින් ඒ ඇසිල්ලෙහි ම ඉදිමී ගියහ. නව වණ මහ දොරින් පුයා හා පණුවෝ වැගිරෙති. කවුඩු ආදීහු රැස් ව කන්ට පටන් ගත්හ.

රූපනන්දාවන්දෑ ද රුවට ම බැවී හුන් බව මුත් බුද්ධානුභාව ය දන්ට නුවූ හෙයින් බුදුන්ගේ ඍද්ධි බලයෙන් වන නියා ව නො දැන ඒ හැම දැක මා මෙ තැනට එන වේලාට දෙවඟනක් සේ ඉතා රූපත් වූ මේ ස්ත්‍රී තොමෝ මෙ තැන දී ම ක්‍රීඩා දශකයේ පටන් අවස්ථා පෙරැලී ජරාවට ත්, ව්‍යාධියට ත්, මරණයටත් පැමිණියාය. මේ වැන්නවුන්ට පවා ජරා ව්‍යාධි මරණ ඇත. සෙස්සවුන්ට කියනු කිම් දැ’යි අත් බැව ඇති ව ලා නැති වීමෙන් අනිත්‍ය නියාත් උදාවියෙන් පෙළෙන හෙයින් දුක් නියා ත් තමා විසිය නො පවත්නා හෙයින් අනාත්ම නියා ත් සැලකූ ය. ඉක්බිත්තෙන් උන්දෑට භව තුන ගිනි ගෙන දන්නාක් මෙන් වැටහිණ. සිතත් කමටහනට නැමෙන්ට වන. බුදුහු ද තුමූ ම තමන්ට පිහිටක් කට හෙද්දෝ හෝ යි බලා භාවනාභියෝගයක් ආදි නු වූ හෙයින් සහායක් ලදින් මුත් තුමූ ම තමන්ට පිහිට කට නො හෙ ති යි සිතා වදාරා උන්දෑට අනුකූල ලෙස බණ වදාරණ සේක් -

“ආතුරං අසුචිං පූතිං - පස්ස නන්‍ද සමුස්සයං,

උග්ඝරන්තං පග්ඝරන්තං - බාලානමභිපත්‍ථිතං

යථා ඉදං තථා එතං - යථා එතං තථා ඉදං,

ධාතුතො සුඤ්ඤතො පස්ස - මා ලොකං පුනරාගමී;

භවෙ ඡන්‍දං විරාජෙත්වා - උපසන්තො චරිස්සසි”

යන බණ වදාළ සේක. රූපනන්දා නම් මෙහෙණින්දෑද ඵ් බණ අසා සෝවාන් වූ දෑ ය.

ඉක්බිත්තෙන් එක විට කාගත නො හෙන බාල දරු කෙනකුන් තබාලාත් කවන මෑණි කෙනකුන් මෙන් මත්තෙහි මාර්‍ගඵල නිසා කමටහන් වදාරන බුදුහු ‘යම් සේ නුවර රක්නවු වී සාල් උඳු මුං තල කලත් ආදිය තබනු නිසා ගෙවල් නඟා මුවපාවන් වැලින් වෙලා මැටි ගසා කෙරෙත් ද එ මෙන් සත්‍ව සන්තානයෙහිත් ජරා ය මරණ ය උන්නති ලක්‍ෂණ වූ මානය අනුන්ගේ ගුණ මකන මකු කම ය යන මේ තබනු නිසා ශරීර නමැති ගෙවල් ඇට නමැති මුව පා ලා නහර නමැති වැලින් වෙළා මස් නමැති මැටි ලේ නමැති පැනින් හනා ගසා ඡවි නමැති වැලි මැටි පෑමැටි ගා නුවර කරන ලදී. කායික වුව ත් චෛතසික වුවත් පීඩාවෙක් ඇත් නම් ශරීර නමැති නුවර ම ය. ඒ විනා අනික් ගත හැකි දෙයෙක් නැතැයි වදාළ සේක. දේශනා කෙළවර රූපනන්දාවන්දෑ රූප රාගය තබා උද්ධම්භාගිය සංයෝජනයන් පස් දෙනා ම නසා රහත් වූ දෑ ය. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ශරීරයෙහි සාරය තුනුරුවනට නමස්කාර කිරීමෙන් හැර ගෙන මිනිස් ලොව ඉපැදීමෙහි සාර ය පන්සිල් පමණකු ත් රක්‍ෂා කිරීමෙන් හැර ගෙන ධන ධාන්‍ය සාර ය දන් දී මෙන් හැර ගෙන කෙළවර නිවන් සාරය ත් ලබන්ට උත්සාහ කට යුතු.

_________

  1. ගෝනැසක්

  2. සාරටි