තව ද සෙසු භාවනා ඇතැ ත් මරණ සී භාවනාව අවශ්‍යයෙන් කළ මනා නියාව හඟවනු නිසා උත්තරා නම් ස්ථවිරින්දෑ ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත්-
ඒ ස්ථවිරින්දෑ ද එක් සිය විසි හවුරුදු වයස වුව ත් වක ගසා ගෙන විහාරයේ ම නො රඳා විථියට ගොසින් සිඟා ගෙන ඇතුළු වීථියේ දී එක් භික්ෂු කෙනකුන් දැක බතින් පිළිවිස උන්වහන් සේ ත් ප්‍රතික්ෂේප නො කළ විසින් බත් හැම ම පිළිගන්වා පියා සාරාණීය ධර්‍ම ය පුරත ත් වේලා ඇත් නම් තව සිඟා ගෙන වැළඳිය හැක්කත් වේලා මඳ හෙයින් දෝ නිරාහාර වූ දෑ ය. දෙ වන දවසු ත් තුන් වන දවසු ත් බත් පිළි ගන්නා තරම වත් නො දන්නා නමක් සම්භ ව බත් පිළිගන්වා පියා නිරාහාර වූ දෑ ය. සතර වන දවස් සිඟා ඇවිදිනා දෑ පටු තැනෙක දී බුදුන් දැක ඉවත් වන දෑ එ ලෙන සිවුරු පට පැකිළ වයස් ගත හෙයින් කාය ශක්ති ය ත් නැති ව තුන් දවසක් නිරාහාර හෙයින් ආහාර ශක්ති ය ත් නැති ව රඳා සිට පිය නො හී වැටී ගිය දෑ ය.
බුදුහු ත් උන්දෑ ළඟට ගොසින් ‘මෙහෙණින්න, ඉතා දුර්‍වල වූයෙහි. වයස් ගත හෙයින් ශරීර ය නො පවත්ති’යි වදාරා ස්ථිර වූ නිවන් දක්වනු නිසා බණ වදාරන සේක් ‘මෙහෙණින්න, තීගේ ශරීර ය මැහැලි බැවින් දිරින. දිරා ගිය ත් පවන්නා තෙක් කල් ලෙඩ දුක් නැති ව තිබේ නම් යහපත් වේ ද, එ සේ ත් නැති ව රෝගයට ම ආධාර ය. යම් සේ කැණහිලා බාල වුව ත් ජරසිඟාල ය යි කිය ත් ද, නුමූ කළ කිඳි වැලට ත් පූතිලතා ය යි කිය ත් ද, එ පරිද්දෙන් එ දවස් උපන ත් රන් වන් වුවත් ශරීරයට පූතිකාය යි ම කියති. කුණු වූ ශරීර ය වුව ත් නො බිඳී තිබේ නම් යහපත් වේ ද, එසේ ත් නැති ව ඉතා නො තර කුඹල් වළන් මෙන් බිඳෙයි. බිඳෙන්නේ කුමක් නිසා ද යත්-යම් හෙයකින් ජීවිත ය මරණ කෙළවර කොට ඇත්තේ ද එ හෙයින. ජාති මූලක වූ මරණ ය ජාති ය වූ හෙයින් නවතා ගත නො හැකි වුව ත් මුල් ව සිටිනා ජාතිය ක්‍ෂය කරන්ට උත්සාහ කරව’යි වදාළ සේක. දේශනා කෙළවර ස්ථවිරීන්දෑ වයස් මූකුරා සිටිය ත් ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් තව මූකුරා නොගිය හෙයින් සෝවාන් වූ දෑ ය. සෙසුත් බොහෝ දෙන ලොවී ලොවුතුරා සැප ත් ලත්හ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් යම් සේ වැස්සෙක් වැස ධූලි පැටි කෙරේ ද, එ මෙන් ජාති ක්‍ෂය නිසා කුසල් නමැති වැස්සෙන් කෙලෙස් ධූලි පැටි කොට, තව ද යම් සේ වැසි ගිම් නිවා ද එ මෙන් මෛත්‍රී නමැති වැස්සෙන් ක්‍රෝධ නමැති ගිම් නිවා, තව ද යම් සේ වැස්සෙක් පෙර වරු වපුරන්නා වූ හැල් වී ආදි වූ ත් පස් වරු වපුරන්නා වූ උඳු මුං ආදි වූ ත් බිජුවට ඇස් පවා ද එ මෙන් සැදෑ නමැති බිජු වටින් කුසල් පැළ ඇස් පවා තවද යම්සේ වැසි වතුරු තෙමේ ත් ඉරුතුයෙන් ඉපැද ඉරුතුයෙන් ම උපන් තණ ලිය ආදිය රකී ද එ මෙන් තමා නිසා ඇති වූ ගුණධර්‍මයෙන් තමා රැකී, තව ද යම් සේ වැස්සෙක් වස්නා කල ගං වැව් පොකුණු කඳු රැළි ආදි ය පුරා ද එ මෙන් දහම් නමැති වැසි වස්වා කුසල් නමැති පැනින් සත්‍වයන්ගේ අදහස් නමැති වැව් පොකුණු ආදි ය පුරවමින් ලද අත් බැව් සඵල කටයුතු.
තව ද කීකරු වීමෙහි යහපත දක්වන්ට මාර්‍ග ඵලයට නො පැමිණ ම ඊට පැමිණියම් හ යි සිතා ගත් වහන්දෑ ගේ වස්තුව කියමු.
කෙ සේ ද යත් -
පන් සියක් දෙනා වහන්සේ බුදුන් ගෙන් කමටහන් ඉගෙන ගෙන වලට පලා ගොසින් කෙලෙසුන් නසන්ට යත්න කරන සේක් ධ්‍යාන උපදවා ගෙන විකඹීමෙන්[1] ‘එබී ගත් කෙලෙසුන්ගේ පැවැත්මක් නො දැක ‘රහත් වූම්හ. බුදුන්ගේ අනුශාසනා නො සිස් නියාව බුදුන්ට හඟවම්හ’යි නික්මුණු සේක. බුදුහු ත් ඒ වහන්දෑ දොරටුව කරා ආ කලට අනඳ මහ තෙරුන් වහන්සේට ‘ආනන්‍දයෙනි, තෙල භික්ෂූන් දැනට මා ළඟට අව මැනැවැ යි නැත. අමු සෝනකට ගොසින් ලා පසු ව මා ළඟට අවු නම් යහපතැ’යි වදාළ සේක. අනඳ මහතෙරුන් වහන්සේ ත් ගොසින් ඒ වහන්දෑට ඒ පවත් වදාළ සේක. ඒ වහන්දෑ තමන් වහන්සේ සුශික්ෂිත හෙයින් සුවිනීත හෙයින් ‘අපට අමු සෝන් හැයිදැ’යි නො කියා ම ‘දිග දුර දන්නා බුදු රජුන් වහන්සේ ඔබ යෑමෙන් ප්‍රයෝජනයක් දුටු නියා ය’යි අමු සෝනට ගොසින් එහි තුබූ මිනී කුණු බලන සේක් එක් දෙ දවසෙක ලා පු මිනී කුණු දැක ඊ ප්‍රතිඝ උපදවා එ විට ම ගෙනවුත් ලූ අලුත් මිනී දැක ඊ ඇලුම් උපදවා ‘ රහත් වූවෝ ප්‍රතිඝානුනය නැත්තෝ වෙද්ද. ඒ හැම ඇත්තේ රහත් නුවූ හෙයින් වේ දැ’යි එ විට ම තමන් වහන්සේ සක්ලෙශී නියාව දත් සේක.
බුදුහු ගඳ කිළියේ වැඩ හිඳ ම රස් කඳක් විහිදුවා ලා ඒ වහන්දෑ ළඟ ඉඳ කරන කථාවක් මෙන් ‘මහණෙනි, කිසි කෙනකුන්ට කිසිත් ප්‍රයෝජනයක් නැති මේ මිනී කුණු දැක කරතොත් අසුභ භාවනාවක් මුත් එහි ඇලුම් කිරීම තොපට තරම් දැ’ යි වදාරා බණ වදාරණ බුදුහු ‘වැසි වැස පායා පූ කල්හි අවු සුළං ගැසී ඒ ඒ තැන විසිර පියා තිබෙන ලබු පරිද්දෙන් පරෙවියන්ගේ පෑය සේ සුදු පෑය ත් කළු පෑය ත් එක් ව තිබෙන්නා වූ ඇට සමූහය දැක පිළිකුල් විසින් මෙනෙහි කරත් මුත් එහි ඇලුම් කිරීම යුක්ති නො වන්නේ වේ දැ’යි වදාළ සේක. දේශනා කෙළවර ඒ පන් සියයක් පමණ භික්ෂූන් වහන්සේ ආදි සිතා ගත් ලෙසට ම රහත් ව බුදුන්ට ස්තුති කෙරෙමින් අවුත් වැඳි සේක.
එහෙයින් සත් පුරුෂයන් විසින් මිනී කුණු තබා දිව්‍ය රූපයක් වුව ත් දැක අනුනය ත් නැති ව ප්‍රේත රූපාදී වූ අනිටු අරමුණක් ටුව ත් ඊ ප්‍රතිඝ ත් නූපදවා මැදහත් ලෙසින් පැවත යම් සේ මැණිකෙක් සියලු ලෙසින් ම නිකසල ද එ මෙන් පවිත්‍ර වූ අදහස් ඇති ව, තව ද යම් සේ මැණික කසළ හා මුසු නො වේ ද, එ මෙන් පාපීන් හා එක් නොව, තව ද යම් සේ මැණික තව තව ත් රුවන් හා ම එක් වේ ද, එ මෙන් උතුම් ගුණ ඇත්තවුන් හා ම එක් වීමෙන් උතුම් තරම් ඇති ව පින්කමයෙදී භව සැපත් වළඳා කෙළවර නිවන් සම්පත් සාධා ගත යුතු.
-
විකුන් වී මෙන් ↑