තව ද මනුෂ්‍ය දේහයෙහි ප්‍රාතිකූල්‍ය ය කියා එහි ඇලුම් හර වනු නිසා සිරිමා වස්තුව කියමු.
කෙ සේ ද යත්-
ඒ සිරිමාවන් බුදුන් ගෙන් බණ අසා සෝවාන් වූ තැන් දක්වා විස්තර කථාව සතළොස් වන කොධ වග එයි. ඌ තුමූ රජ ගහ නුවර විශිෂ්ට වූ රූ ධරන වෛශ්‍ය දුවණි කෙනෙක සෝවාන් වලා බුදුන්ට ආරාධනා කොට දෙවන දවස් මහදන් දී වහන්දෑට ලාබත් අටක් තබා දුන්හ. ලාබත් තැබ්බවූ තැන් පටන් නිරන්තරයෙන් ම අට නමෙක් උන්ගේ ගෙට සිඟා වඩනා සේක. ගිය වහන්දෑට පාත්‍ර පුරා ගිතෙල්, මි, උක්පැණි ආදිය ත් දෙති. දවස් පතා ම
සොළොස් කළඳක්[1] වියදම් කොට බතුත් දෙති. ලත් සම්පත් අය වීම කවර ලෙසකින් වුව ත් වියදම් සාර්‍ථක ලෙසට යෙදූහ.
ඉක් බිත්තෙන් එක් දවසක් එක් කෙනකුන් වහන්සේ උන් ගේ ගෙයි දී පැමිණි ලාබත් වළඳා ලා දොළොස් ගවුවෙකින් ඔබ්බේ විහාරයකට ගිය සේක. සවස වත් පිරිත් වේලේ දී නේවාසික තැනැත්තන් වහන්සේ ‘ඇවැත්නි, කොයි දී වළඳා අවුදැ’යි විචාළ සේක. ‘සිරිමාවන් ගෙන් දෙන ලාබත් වළඳා ආම්හ’යි කී කල්හි ‘ඇවැත්නි, බත් දෙන නියාව යහපත් දැ’යි විචාළ සේක. විචාරන්නේ කිම්ද? ඉතා යහපත් කොට දෙති. සකස් කළා ඉතා විපුල නොවන්නේ වේ දැ’යි සිත ත් නමකට දුන්නා වූ දෙය දෙතුන් නමකට වුවත් සෑහෙයි. දන් යහපත් කොට දෙන්නෝ තව ත් ඇත්තෝ වේ ද, උන්ගේ දනට ත් වඩා බලා ඇස ඇද ගත නො හැකි තරම් රූ ඇත්තෝ ය’යි නොකිව මනා දෙතිස් කථාවෙහි ඇතුළත් වත ත් උන්ගේ රූ වර්ණනා කොට කී සේක.
එක් කෙනකුන් වහන්සේ ඒ අසා භාවනාහියෝගයක් නැති හෙයින් ම සිනා සෙන්ට නියාලු දත් පමණක් දැක සියල් සිරුර ඇට සැකිල්ලක් කොට සිතා අට්ඨික භාවනා කොට රහත් වූ මීන් තෙලෙහි තිස්ස තෙරුන් වහන්සේ මෙන් සිතු ව මනා ලෙස තිබිය දී උන් නොදැක ම උන් කෙරෙහි ස්නේහ උපදවා ගෙන ‘මා ගොසින් ලාබත් පිට ලා උන් දුට ත් යහපතැ’යි ලාබතට උදවුව පැමිණ ගන්ට තමන් වහන්සේගේ වස් ගණන වළඳා ලා ආ නමට කියා ලා උන් වහන්සේ අතින් සෙට පටන් ලාබතට යන වහන්දෑගේ වස් ගණනු ත් විචාරා ‘ඔබ ගියො ත් සෙට දවස් අනික් නමකට පළමු ව ගොසින් ලාබත් ඉවසන්ට ඔබගේ වස් ඇති ව තිබෙ’යි කී කල්හි ඒ ඇසිල්ලෙහි ම පාන් ව යන තුරුත් ඉවසා පිය නො හී සඟළ සිවුර හා පාත්‍ර ය හැර ගෙන අශුභ දසයෙන් එක්තරා අශුභයෙක පවත් අසා භාවනාභියෝගයට යන ගමනකුත් නොව එක රැයින් දොළොස් ගවුවක් ගෙවා ගොසින් පාන් වූ කලට ‘ලාබත් දෙන තැනට ගොසින් සෙසු ලාබත් ගන්නා තැන ත් අට නම පුරා ආව ත් ඉන් අගින් නමක් හැර මුල් පාළියේ සිට ලාබත් ලත් සේක.
පෙරාතු දවස් අනික් නම වළඳා ලා ගිය වේලාට ම සිරිමාවන් ගේ ශරීරයෙහි අසාධ්‍ය රෝගයෙක් ඇති වි ය. එහෙයින් ආභරණ ගළවා පියා වැද හොත්තෝ ය. උන්ගේ කෙල්ලෝත් ලාබත් ලබනට ආ වහන්දෑ දැක සිරිමාවන්ට කිවුය. ඌ තුමූ තමන් ගොසින් පාත්‍ර ය හැරගන්ට අශක්ති හෙයින් කෙල්ලන්ට විධාන කරන්නෝ ‘කෙල්ලනි, ආරාධනා කොට පාත්‍ර ය හැරගෙන වඩා හිඳුවා ලා කැඳ අවුළු පත් වළඳවා ලා බත් වේලාට මාගේ අදහස් ලෙසින් බත් පාත්‍ර ය පුරා ලා පිළිගන්වා ලව’යි කිවු ය. උයි ත් යහපතැ යි ගිවිස කැඳ අවුළු පත් වළඳවා ලා වළඳන වේලාට බත් පාත්‍ර ය කටයුතු නියා ව සිරිමාවන්ට කිවු ය. ‘ස්වාමි දරුවන් වඳනට මා කැඳවා ගෙන යව’යි කිවු ය. අත-පය එල්බවා කැඳවා ගෙන ගිය කලට කර්‍ම නමැති සතුරා රෝග නමැති යත ලා ලා මිරිකා දුර්‍වල කළ හෙයින් වෙවුල වෙවුලා වහන්දෑ වැන්දහ. දක්නා කැමැති ව ගිය නම සිරිමාවන් දැක ලෙඩට දුර්‍වල ව ගියවුන්ගේ රුව මෙ තරම් කල ලෙඩක් නැති ව සව් බරණ ලා සැරහී සිටි කලට ලිපාමෙන් ම[2] ශෝභාම ත් පිළිම ය රන්වන් කළ කලට ඉතා ශෝභාමත් වන්නා සේ මුන් ඉතා රූපත් සැටිය’යි සිතූ සේක.
එ ලෙස සිත ත් සිත ත් සසර අනන්ත කාලයක් පැවත ආ කෙලෙස්හු පිළිවෙත් පිරීමට නැමුණු සිත ඊට නැමිය නො සිරිමාවන් දසාවට නමාපීහ. මෝහ නමැති පටල ය වස ත් වසත් නුවණැස බැලුම් මඳ ව සිල් නමැති ඇඟ ඇති වූ කෙලෙස් නමැති තල කැළල් ආදිය ත් දැකගත නො හී උපන් බත් වළඳා ගත නො හී බත් පාත්‍ර ය හැර ගෙන විහාරයට ගොසින් පාත්‍ර ය වසා එක් තැනක තබා වැළඳ ගත් සිවුරෙන් එක් කෙළවරක් අතුට ගෙන වැදහොත් සේක. නො වැළඳූ නියා ව දැන යාළු මිත්‍ර නමෙක් අවුත් නොඑක් ලෙස පෙරැත්ත ගෙන ත් වළඳවාගත නුහුණු සේක. පිළිවෙතට ආලෙස්සම් වූ වා සේ ම බත් වැළඳීමටත් මැළි ව සුන් බත් වූ සේක.
එ දවස් ම සිරිමාවෝ සවස් වේලාට මලන මල් දමක් මෙන්ව මළෝ ය. රජ්ජුරුවෝ ත් ජීවකයන්ගේ නං වූ සිරිමාවෝ මළෝ ය යි බුදුන්ට දන්වා යවූහ. බුදුහු ඒ අසා රජ්ජුරුවන්ට ‘සිරිමාවන් තව දැවුව මැනවැ යි නැත. අමු සෝනකට ගෙන ගොසින් කවුඩු බලු ආදීන් නො කන ලෙසට උස් කොට මැස්සක් ලවා ලා ඊ ලා ලා රකවල් ලවාව’යි වදාළ සේක. රජ්ජුරුවෝ ත් එලෙස ම කැරවූ ය. පිළිවෙළින් තුන් දවසක් නැඟී ගියේ ය. සතර වන දවසට දුර සිටියවුන්ට ත් පෙනෙන ලෙසට වූවා සේ ම මහත් ව ඉදිමී ගියහ. නව වණ මහදොරින් පණුවෝ වැගිරෙති. සියල් සිරුර ත් බිඳී ගිය හැල් සාලේ බත් සැළියක් මෙන් විය. නො එක් ලෙසින් මිනිසත් බව ආල ය නැතිවන තරම් වි ය.
රජ්ජුරුවෝ ද ‘බාල දරුවන් හා ගෙවල් රකිනවුන් පමණක් රඳවා ලා සිරිමාවන් බලන්ට නො ආ කෙනෙක් ඇත්නම් අට අට මස්සක් දඩ දුන මැනවැ’ යි නුවර බෙර ලැවූ ය. නැවත ‘බුදුපාමොක් වහන්දෑ ත් අසුභ බලන්ට වැඩිය මැනවැ’යි බුදුන්ට ත් දන්වා යවූහ. බුදුහු ත් ‘සිරිමාවන් බලන්ට යම්හ. අප හා කැටි ව එව’යි වහන්දෑට විධාන කළ සේක. සිරිමාවන් දක්නට දොළොස් ගවුවෙක සිට ආ බාල නම ද කෙතෙක් තැන් කෙතෙක් පෙරැත්ත කී වත් ශෝකයෙන් බඩ පිරී පිරිය නැත්තා සේ සතර දවස ම ලෙඩට ලංඝන කැර වුවමනා සේ ම සුන් බත් වූ සේක. පාත්‍රයේ බතුත් සිරිමාවන් සේ ම කුණු වී ය. පාත්‍රය ත් පුස් කා ගියේ ය. යාළු-මිත්‍ර වහන්දෑ ත් අවුත් බුදුන් සිරිමාවන් බලන්ට වඩනා නියාව කී සේක. සතර දවසක් සුන් බත් ව හුන ත් සිරිමාවනැයි යන බස අසමින් න්ම බස ඇසීම ම බතක් ලද්දා සේ ම වහා නැඟී සිට බුදුහු සිරිමාවන් බලන්නට වඩනා සේක. තමනු ත් එන්නේ ඇද් දැ’යි කී කල්හි එ බස පැනක් වැළඳුවා සේ සිතා ගෙන උත්සාහ වත්ව බත් දමා පියා පාත්‍රය ත් සෝධා බැඳ ගෙන වහන්දෑ භා කැටි ව ගිය සේක.
තරු පිරිවැරූ සඳ පරිද්දෙන් බුදුහු වහන්දෑ පිරිවරා එක් පසෙක සිටි සේක. මෙහෙණින්දෑ ත් එක් පසෙක සිටි දෑ ය. රජ්ජුරුවන් හා පිරිස ත් එක් පසෙක සිටියහ. උපාසක පිරිස ත් එක් පසෙක සිටියහ. බුදුහු බිම්සර රජ්ජුරුවන්ට ‘මහරජ, තුලු කවුරු දැ’යි විචාළ සේක. සිරිමාවන් නියා ව කී කල්හි ‘පෙර මුන් කරා එන කෙනකුන් මුන්ට දෙන්නේ මසු දහසෙක් වේද, දැනුත් මසු දහස දී ලා සිරිමාවන් හැරගන්ට විධාන කරව’ වදාළ සේක. රජ්ජුරුවෝ ත් පෙර දෙන තරමේ ම මසු දහසක් දීලා මුන් හැර ගනුව යි විධාන කොළෝ ය. එ ලෙස හැර ගන්නා තබා එ බස් අසන කෙනකුත් නැත. රජ්ජුරුවෝ එ පවත් බුදුන්ට දැන්වූහ.
බුදුහු ‘මහරජ, එ සේ වී නම් අගය අඩු කරව’යි වදාළ සේක. රජ්ජුරුවෝ අගය අඩුකරන්නෝ දහසින් භාග වූ පන්සියයෙක, ඉන් භාග වූ දෙ සිය පනසෙක, ඉන් භාග වූ එක් සිය පස් විස්සක, ඉන් භාග වූ දෙ සැට කළන් සතර අකෙක, ඉන් භාග වූ එක්තිස් කළන් දෙකෙක, ඉන්භාග වූ පසළොස් කළන් පසෙක, ඉන්භාග වූ අට කළන් අකෙක, ඉන් භාග වූ සතර කළන් දස වියටෙක, ඉන් භාග වූ දෙකළන් පස් වියටෙක, ඉන් භාග වූ එක් කළන් දෙවියට සමාරෙකැ යි අග ය හෙළා එ සේ ත් හැර ගන්ට මැලි හෙයින් අසූ වියටක් දී ලා හැරගන්ට කියා, එ සේ ත් මැළි හෙයින් සතළිස් වියටක් දී ලා හැර ගන්ට කියා, එ සේ ත් මැළි වූ හෙයින් විසි වියටක් දීලා හැර ගන්ට කියා ලා, එ සේත් මැළි හෙයින් දස වියටක් දී ලා හැර ගනුව යි කියා, එ සේ ත් මැළි හෙයින් පස් වියටක් දී ලා හැර ගන්ට කියා, එ සේ ත් මැළි හෙයින් දෙවියට සමාරක් දී ලා හැර ගන්ට කියා, එ සේත් මැළි හෙයින් එක් වියට යෙළ හමුවක් දී ලා හැර ගන්ට කියා, එ සේ ත් මැළි හෙයින් නො මිලයේ ම හැර ගන්ට කියා විධාන කළහ. භාවක තැනකගේ භාවනාවට ප්‍රයෝජන වත් මුත් සෙස්සවුන්ට ප්‍රයෝජනයක් නැති හෙයින් හැර ගන්නා තබා ළඟට වදින්ට ත් රාජ විධානයෙන් ආ පමණක් විනා කැමැත්තෝ නැත. රජ්ජුරුවෝ බුදුන්ට එ පවත් දැන්වූහ.
බුදුහු දක්නට ඇවිටි ව ආ භික්ෂූන් වහන්සේ මුල් කොට වදාරණ හෙයින් වහන්දෑ බණවා ලා ‘මහණෙනි, පෙර දහසක් දී ලා දවසකට ලබන තරම් බොහෝ දෙනාට ප්‍රියකරු සිරිමාවන් නුවර වැස්සන්ගෙන් නොමිලයේ ත් හැර ගන්ට සිතන්නෝ නැත. මහණෙනි, තුලුන් මෙ ම ගම ඇවිදි සැටියට දැන් සැටිය කෙසේ තිබේ ද? රන් පර්‍වත මුදුනෙකින් හුණු කළු ගඟක් වැනි ය. නො හොත් මුව පියුමෙහි රූප නමැති කිඤ්ජල්කයට බට බමර සමූහයක් වැනි ය යි කවි ජන වර්‍ණනීය වූ හිස කේ දැන් කවර ලෙසක තිබේ ද? නැවත නිල් වළාකුලක් හස්සෙන් භාගයක් මෑත් වූ අඩ සඳක් වැනි ය යි වර්‍ණනී ය වූ නළල කොයි ද? දෙව් දුනු සඟ ළක් වැනි ය යි බාල ජනයන් විසින් සලකන ලද බැමත් කොයිද? රුවන් විමනෙක සිටි ඉඳුනිල්මිණිමුවා කවුළු දොර වැනි ය යි වර්‍ණනී ය වූ ඇසුත් කොයි ද? රන් හකුස්සක් වැනි ය යි වර්ණනීය වූ නාස ය දුටු කෙනකුන් නාසා හකුළුවන තරමට තිබෙයි. රූප නමැති සාගරයෙහි ගමන් ගත් පබුළුමුවා නැව් වැනි යැ යි වර්ණනීය වූ තොලුත් කොයිද? චන්ද්‍රයාගේ සොළොස් කලාවෙන් එක් කලාවක් දන්තශ්‍රේණි ව්‍යාජයෙන් මුඛගර්භයට වන්නාක් වැනි ය යි වර්ණනීය වූ දත් දැන් කවර තරමෙක තිබෙන නියා ද, යෞවන පුරුෂයන් බදන්ට හටවා ලූ මළ වැනි ය යි වර්ණනීය වූ කන් පණුකඳු මෑත් වන ලෙසට ම තිබෙයි. රන් කලස කරක් වැනි ය යි කියන ගෙල මුල අග නො දත හැකි ලෙසට ඉදිමින. භාවනා කොට ධ්‍යාන උපදවා ගෙන තත්පාදක මාර්ග ඵල උපදව තොත් මුත් කිසිත් කෙනකුන්ට කිසි ත් ප්‍රයෝජන නැතැ’යි වදාරා ලා බණ වදාරණ සේක්.
කවා පොවා නාවා ඉස් සෝධවා ආභරණ ලා සරහන ලද අත් බැවත් බලව, කවර ලෙසට පැමිණි අත්බැවෙක් ද යත්-නව වන මහ දොරින් වැම්මෙන පණු කැලන් ඇති තුන් සියක් ඇට සඟලින් සැලසී සිටි උපන් තැන් පටන් මිය යන තුරු ඉරියවු පෙරැළියෙන් පැවත්තුව මනා හෙයින් නිසාතුර වූ මේ කුණු කය මෙ සේ වුව ත් අසුචී පුරා ලූ කළ පිට සිත්තම් කරන්නා සේ බොහෝ දෙනා නො එක් ලෙසින් කල්පනා කරන ලද්දා වූ මිනිස් ලොව කිසි කලෙක ආයු පමණින් හවුරුදු අසඞ්ඛ්‍යයක් සිටියත් කෙළවර නස්නා සුළු වූ, නුවණින් සැලකූ කලට කිසි ත් සාරයක් නැති, දුකට ම ආකර වූ ශරීරයේ සැටි බල බලා තෙල අවස්ථාවට පැමිණි ශරීරයෙන් ලැබ්බ යුතු ප්‍රයෝජන ලබව. මේ අවස්ථාවෙහි යම් සේ අනුරාගය නූපදී ද උපන් අනුරාග ය හළ නො හෙන්නවුන්ට මාර්ග ඵල නූපද්දී’ යි වදාළ සේක. දේශනා කෙළවර සුවාසූ දහසක් දෙන කුණු මිනී බලා නුකුණු නිවන් දුටහ. සතර දවසක් සුන් බත් වූ භික්ෂුන් වහන්සේ ද සාය මරා ලූ කලට බොහෝ කොට කා ලිය නොහැක්කා සේ මාර්ග හැමයට පැමිණ නිවන් රස බොහෝ කොට වළඳන්ට නො ව පසු ව පුරා නිවන් රස වළඳනා තෙක් සෝවාන් පමණක් වූ සේක.
එ සෙයින් නුවණැත්තවුන් විසින් ආත්ම මණ්ඩනයට ත් වඩා ගුණ මණ්ඩනය කොට අස්ථිර වූ ජීවිතයට ත් වඩා ස්ථිර වූ නිවන් ම සිද්ධ කට යුතු.
__________