131. විශාඛාවන් යෙහෙළියන් ගේ වත

star_outline

තව ද සත් පුරුෂ සමවායෙහි ම යහපත හඟවන්ට විශාඛාවන් යෙහෙළියන් ගේ වත දක්වමු.

කෙසේද යත් -

සැවත් නුවර පන් සියක් පමණ කුල දරුවෝ සුවඳ වසා ලූ පතු ත් සුවඳ වහන ය කරන්නා සේ මෙ ලෙස කළ කලත් යහපත් වේ දෝ හෝ යි තමන් තමන්ගේ අඹුවන් යහපත යොදනු නිසා විශාඛාවන්ට පාවා දුන්හ. ඔහු පන් සිය ත් උයනට වේ ව යි වෙහෙරට වේව යි යන කල විශාඛාවන් හා කැටිවම යෙති. ඌ එක් සමයෙක සතියක් විතර සුරා උත්සවයක් පැවැත්ත මැනවැ යි රදොල් විදානයෙක් වූ කල තමන්ගේ ස්වාමීන්ට රායක් පිළියෙළ කළහ. ඔහු ද සතියක් සුරෝත්සවය කොටලා අට වැනි දවස කෘෂි වණික් ආදි වූ මෙහෙයට විධාන කොට බෙරක් ලැවූ කල්හි කර්මාන්තයට ගියහ. ඒ ගෑනු පන් සියය ද ‘අපි අපගේ ස්වාමීන් ළඟ දී රායක් බී පිය නො හෙම්හ. ඉතිරි රා ත් ඇත. උන්ට නො හඟවා බොම්හ’යි විශාඛාවන් ළඟට ගොසින් විශාඛාවන් වහන්ස, උයන බලන්ට යනු කැමැත්තම්හ’ යි කියා ‘යහපත, එ සේ වී නම් කළ මනා දෙය කොට ලා එව’යි කී කල්හි සඟවා රායක් ගෙන්වා ගෙන විශාඛාවන් කැටි ව ම බළලුන් ඇස පියා ගෙන දී කන්නා සේ පර ලොවට හැඟෙත ත් විශාඛාවන්ට නො හඟවා උයනේ දීරා බීලා මත් වූහ.

ආදි නොදතත් විශාඛාවෝ පසු ව දැන ලා ‘මුන් හැම කළ දෑ නපුර. ‘මහණ ගොයුම්හුගේ ශ්‍රාවිකාවරු රා බී ඇවිදිති’යි තීර්ථයෝ මට ත් එක් කොට ලා බෙණෙති’ සිතා උන් හැම බණවා ලා තොප හැම කළ දෑ නපුර. එක් වූ පමණකින් මට ත් අයස ඉපැද වුව. තොප හැමගේ ස්වාමිහු ත් කිපෙති. දැන් කුමක් කරවු දැ’යි කිවු ය. ‘ලෙඩක් ගසා ගනුම්හ’යි කිවු ය. ‘මා තොප රා බොන්ට කියෙත් නැත. ලෙඩ ගසන්ට කියන්නේ ත් නැත. වී වපුළ කෙනෙක් වී දකිති. හමු වපුළ කෙනෙක් හමු දකිති. තොප කළ දෙයින් තොප ම පෙනෙන මුත් කුණු කුඩ මස්සන් භී තණින් වසන්නා සේ මා මුසුනො කරව’යි කිවු ය. ඌ ගෙවලට ගොසින් බොරු ලෙඩක් ගැසූ ය. උන්ගේ ස්වාමීහු ත් අවුත් කොයි ද යි විචාරා ලෙඩ වූ යයි අසා ‘ලෙඩ වන්ට කාරණ කිම් ද? ලෙඩක් වතත් බාගුන් මුත් හැම දෙන ම එක පැහැර ලෙඩ වෙත්ද? පවින් දුරු කරන්ට කොට ත් ඉතිරිව තුබූ රා පූ නියා ය’යි සිතා ලා මරා තළා බොහෝ ගහට කළහ.

ඔහු එ සේ ගෙඩි කා ත් තවත් රා මුරයෙක දී එ සේ ම රා බොනු කැමැතිවවිශාඛාවන් ළඟට ගොසින් ‘අප උයනට කැඳවා ගෙන ගිය මැනැවැ’යි කිවු ය. “ආදි උයනට ගෙන ගොස් අයසක් උපදවා ලුව. තවත් ගෙන ගොස් අයස ලබන්ට ද? යවු නම් තෙපිම යව. අප තොප ගෙන යන්නේ නැතැ’යි කිවු ය. ‘එ ලෙස නො කරම්හ’යි කථා කොට ගෙන ‘බුදුන් වඳනා කැමැත්තම්හ. අප විහාරයට කැඳවා ගෙන ගිය මැනැවැ යි කිවු ය. ‘කරන්ට කරන දෙයක් වී නම් තෙලෙ කළ මනා දෙය ය. පූජා භාණ්ඩ හැර ගණුව යි කියා ලා නික්මුණාහු ය. ඌ හැම ත් කරඬුවලින් සුවඳ මල් හැර ගෙන මල් පුදා ලා පැන් ඉස්නට කෙණ්ඩිකා හැර ගත්තා සේ රා පිරුණු මුට්ටිත් අතින් එල්වා ගෙන මහා පිළි පෙරව ගෙන විශාඛාවන් හා කැටි ව ගොසින් විහාරයට වඳිනාහු එක් මුල්ලකට පලා ගොසින් කුණු කා ගොසින් කළු ව තුබූ සක් පිඹිනට කට තබා ගත්තවුන් මෙන් මුට්ටි කට තබා ගෙන රා බී පියා මුට්ටි දමා පියා ධම් සභාවට ගොසින් බුදුන්ට අභිමුඛ ව හුන්හ.

විශාඛාවෝ ‘ස්වාමීනි, මූ අප හා එක් ව ඇවිදිති. මුන්ට බණ වදාළ යහපතැ’යි කිවු ය. උයි ත් රා බී මත් ව පියා පූජා අදහසක් නැත ත් ‘නටම්හ’යි ‘ගී කියම්හ’යි සිතූහ. මාර පාක්ෂික දේවතාවෝ ත් මුන්ගේ ඇඟ ආවෙශ ව ලා ‘මහණ ගොයුම් ඉදිරියෙහි අකට විකට දක්වම්හ’යි සිතා උන් හැම ඇඟ ආවිෂ්ට වූ ය. රා මත පිටට යක්‍ෂොන්මාද ත් ඇති ව ලා සමහර කෙනෙක් බුදුන් ඉදිරියෙහි අත් පිඩි ගස ගසා සිනාසෙන්ට පටන් ගත්හ. සමහර කෙනෙක් නටන්ට පටන් ගත්හ. බුදුහු ත් මේ කිම් දෝ හෝ යි සලකන සේක් ඒ කාරණය දැන ‘මාර පාක්ෂිකයන්ට අවසරයක් නොපාමී. උන් හැමට අවසර පෙනෙන ලෙසට පිරූ පාරමිතාවක් නොවේ ත් ව යි යක්‍ෂොන්මාදය නිසා භය ලජ්ජා නැති ව ගිය වුන්ට භය උපදවනු පිණිස බැම ලොමින් නිල් රසක් විහිදු වූ සේක. මඞ්ගල බුදුන් පිරිනිවි කලක් මෙන් මහ අඳුරෙක් වි ය. සිනා තබා නැටීම් තබා තවත් බා ගියහ. බා යන්නා ම රා මතුත් සුන්හ. බුදුහු ත් හුන් හස්නෙහි ම අතුරුදන් වූ සේක් මහ මෙර මුදුනේ වැඩ සිට උණුලොම් දායෙන් සුදු රස් විහිදු වූ සේක.

ඒ ඇසිල්ලෙහි ම හිරු දහස් සඳ දහස් නැඟී කලක් මෙන් උන් හැමගේ මොහඳුරු තව දුරු නුව ත් නිකම් අඳුරු දුරු විය. ඉක්බිත්තෙන් ඒ ස්ත්‍රීන්ට මෙර මුදුනේ සිට ම බණ වදාරා ‘තොප හැම දෙනා අප ළඟට ආ කල පමා වීම නපුර, තොපසේ තරමින් ම මාර පාක්ෂික දේවතාවෝ ත් අවසර ලදින් අප ළඟ දී නො කළ මනා දෙය කැරවූහ. විශාඛාවන්ගේ එ බඳු තරමක් නැති හෙයින් උන් ලවා එ බන්දක් කැර විය නො හෙති. රා පීමටත් වඩා සතන් දවා නැති කරන රාගා දී ගිනි නිවන්ට ය උත්සාහ කළ මනා’යි වදාරා ලා බණ වදාරණ බුදුහු ‘මේ ලොව නිරන්තරයෙන් රාගාදීවූ එකොළොස් ගින්න වැද ගෙන නිවා ලිය හෙන කෙනකුන් සම්භ නොවන තෙක් දමින් සිටිය දී ඒ ගිනි නිවන්ට කරන උත්සාහයයක් මුත් සිනා ත් හැයි ද? සතුටු ත් හැයි ද?

න වට්ටති හසන්තෙන - ගන්තුඤ්චෙව නිසීදිතුං,

වත්ථුස්මිං හසනීයස්මිං - මිහිතමත්තන්තු වට්ටති.

යනු හෙයින් සිනාවට නිසි තන්හි ත් සතුටු පමණකින් වඩා සිනා යුක්ත නො වෙයි. මෝහ නමැති අඳුරෙන් වැසුණා වූ තෙපි ඒ අඳුරු දුරු කරන්ට නුවණ නමැති පහන නො සොයා කුමක් නිසා සිනා සී නටා ඇවිදු ද? තෙල ලෙස කිරීමෙන් මොඳුරු දුරු නො වෙයි, ඒ දුරු වුව මනා වී නම් පින්කම් නැමැති පාන්කඩ සැදෑ නැමැති තෙල ගලා, ලොව්තුරා නුවණ නමැති පාන් දල්වා ගෙන මොහඳුරු දුර ලව’යි වදාළ සේක. දේශනා කෙළවර පන් සියක් ගෑනු රා බොන්ට සිතන සිතිවිලි තබා මුඛයට වන් රා ත් නො ගිලෙන තරම් ව සෝවාන් වූහ.

බුදුහු ත් ඔහු මාර්‍ග ගත වූ නිසල සැදෑවේ පිහිටුවා ලා මෙර මුදුනෙන් බැස බුදු හස්න වැඩ හුන් සේක. විශාඛාවෝ ස්වාමීනි, මේ රා නම් ඉතා නපුරු දෙයෙක. මා හා එක් වීමෙන් මෙ බඳු තරම් ඇති වූ හැම දෙනා පවා මුඹ වහන්සේ වැනි වූ බුදු කෙනකුන් වහන්සේ ඉදිරියේ හිඳ නොසන්හුන් තරම හඟවා සිනා සෙන්ට නටන්ට ගී කියන්ට පටන් ගත්හ. රා පීම නිසා එ බන්දක් වූ බව මුත් තුමූ හැම එ තරම්මු නො වෙතී’ කිවු ය. ‘විශාඛාවෙනි, ඒ එ සේ ම ය. රා පූවවුන් නිරාදුක් විඳ ශේෂව සිටි විපාකයෙන් පන් සියයක් ජාතියෙහි යක්‍ෂව, පන්සියයක් ජාතියෙහි බලු ව, අනන්ත ජාතිවල වියරු හී ඇවිදිනා හෙයින් මේරා නම් ඉතා නිකෘෂ්ට ය. මේ නිසා බොහෝ දෙන අලා මුළාවට සැමිණියහ’යි වදාරා ලා ‘ස්වාමීනි, මේ රා ඇතිවූයේ කවර කලෙක දැ’යි විශාඛාවන් විචාළ කල්හි එහි උත්පත්තිය විස්තර විසින් දක්වනු නිසා කුම්භජාතකය වදාළ සේක.

එ හෙයින් සත් පුරුෂයන් විසින් රා මෙර නම් සද්‍යප්‍රාණ භරණ විෂ තරමටත් වඩා සිතා ඒ ඇතුළු වූ පස් පවිනුත් සෙසු පවිනු ත් දුරු ව කුසල්හි පිහිටා චිත්ත ශුද්ධිය කටයුතු.