130. සුඛ සාමණේර වස්තුව

star_outline

තව ද කුසලයෙහි ම අනුසස් දක්වනු සඳහා සුඛ සාමණේර වස්තුව කියමු.

කෙසේද යත් -

යට ගිය දවස බරණැස සිටාණන් ගේ ගන්‍ධක කුමාරයෝ ය’යි පුතණු කෙනෙක් ඇත. රජ්ජුරුවෝ උන්ගේ පියාණන් මළ කල උන් ගෙන්වා ලා ශෝක තුනී වන ලෙසට අස්වසා ලා ඒ කුමාරයන්ට මහ පෙරහරින් සිටු තනතුරු දුන්හ. ඌ එවක් පටන් ගන්‍ධක සිටාණෝ ය’යි ප්‍රසිද්ධ වූ හ.

ඉක්බිත්තෙන් උන්ගේ භාණ්ඩාර ගෙය බලන තැනැත්තෝ වස්තු තිබෙන ගබඩාවල දොරවල් හැර ලේකම් කියවා ‘ස්වාමීනි, මෙතෙක් වස්තු මුඹගේ දෙමවුපියන් සන්තක දෙය ය. මේ මේ මුතුන් මී මුතුන් ආදීන් සන්තක ය’ යි වෙන වෙන ම පෑවුය. උයි ත් ඒ වස්තු රාශි ය දැක ‘කුමක් ද? ඒ අපගේ දෙමවුපිය ආදීහු නො ගෙන ගියෝ දැ’යි විචාළෝ ය. ස්වාමීනි, මිය පරලොව යන කල තමන් කළ කුසල් ගෙන යත් මුත් යටත් පිරිසෙයින් කොකු මස්සක් විතර ත් ගෙන යන්නෝ නැතැ’යි කිවු ය. ගන්‍ධක සිටාණෝ සිතන්නෝ ‘ඌ හැම දෙන තමන් නුවණ නැති හෙයින් උපයා රැස් කොට තබා ලා ගියහ. මම වැළි ත් මිය පරලොව යත ත් හැර ගෙනම යෙමි’ සිතූ ය. සිතන ගමන ත් දන් පින් විෂයක් නො සිතා ‘මේ සියල්ල ම අනුභව කොට නිමවා පියමි. එ සේ කලට භාවිත කළ දෙයක් මෙන් කැටි ව ගෙන ගියා හා සරි ය’යි සිතූහ.

එසේ සිතා ලා ඌ තුමූ ‘නුවණින් කෙරෙමි’යි සිතූ පමණක් මුත් නුනුවණින් මමසු ලක්‍ෂයක් දීලා පිළීවහණ මූවා නහන කොටුවක් කැරවූහ. එ සේ ම මසු ලක්‍ෂයක් දී ලා නාන්ට දෑවාණමය පෝරුවක් කැරවූහ. එ සේ ම මසූ ලක්‍ෂයක් දී ලා බත් කන්ට හිඳිනා පලඟක් කැරවූහ. ලක්‍ෂයක් ම දීලා බත් කන්ට රන් තළියක් කැරවූ ය. තව ත් ලක්‍ෂයක් ම දී ලා හිඳ බත් කන තැන මණ්ඩපයක් කැර වූ ය. ලක්‍ෂයක් ම දී ලා බත් කන කල තළි ය තබන්ට මොරවයක් කැරවූ ය. ලක්‍ෂයක් ම දීලා බත් කන නියා හැම දෙනාට පෙනෙන්ට සී මැඳුරු කවුළු දොරක් කැරවූ ය.

මෙ සේ ඒ හැමයට සත් ලක්‍ෂයක් වියදම් විය. තමන්ට දාවල් බතට අංගාණි ආදිය නිසා මසු දහසක් දෙති. රෑට බතටත් අංගාණියට හා සෙසු ත් වුව මනා දෙයට මසු දහසක් දෙති පුර පසළොස්වක ත් අව පසළොස්වක ත් බත් කෑමට වියදමට මසු ලක්‍ෂ ය ලක්‍ෂ ය දෙවති. ඒ පොහෝ දවස් දෙකෙයි දී ලක්‍ෂයක් දීලා නුවර සරහවා ලා ‘ගන්ධක සිටාණන් බත් කන ලෙස බලන්ට හැම දෙන රැස් වුව මැනැවැ’යි නුවර බෙර ලවති. බොහෝ දෙන ත් රැස් ව බත කන ලීලා බලන්ට මැසි මත්තේ මැසි බඳිති. ගන්ධක සිටාණෝ ද නහන කොටුවේ නහන පෝරුවේ හිඳගෙන සුවඳ පැන් සොළොස් කළයකින් නා පියා සී මැදුරු කවුළු ව හැර ලා පළඟ පිට හිඳිති. උන් ඉදිරියේ මොරවය තබා ලා ඊ මත්තේ රන් තළි ය තබා ලා අගය කළ කලට ලක්‍ෂයක් වටනා බත බා ලති. උයි ත් නළුවන් පිරිවරා ශ්‍රී සමෘර්ධින් යුක්ත ව බත් කති.

පසු ව කලක දී එක් පිටිසර වැසි එකෙක් තමාට වුව මනා දෙයක් හැර ගන්නා නිසා දර පළා ආදිය ගැලෙක ලා ගෙන නුවරට අවුත් යාළුවාණ කෙනකුන්ගේ ගෙයි නවාතැන් ගත්හ. එ දවස් වැළි ත් පසළොස් වක් දවස ය. ‘ගන්ධක සිටාණන් බත් කන ලෙස් බැලුව මැනැවැ’යි නුවර බෙර ලැවූ ය. අමුතු ව අවුත් නවාතැන හුන් පිටිසර වැසි තැනැත්තවුන්ට ‘මිත්‍රයාණෙනි, ගන්ධක සිටාණන් බත් කන සැටි දුටු විරූ ඇද්දැ’යි විචාරා නුදුටු විරීමි’යි කී කල්හි ‘තෙල බෙර ලවන්නේ ඒ බලන්ට යන්ට ය. වරෝ, යම්හ’යි නුවර හිඳිනා තැනැත්තෝ පිටිසර වැසි තැනැත්තන් කැඳවා ගෙන ගියහ.

බොහෝ දෙන ත් විස්ම පත්ව බලති. පිටිසර වැසි තැනැත්තෝ ඒ බතෙහි ආලයක් ඇති ව මිත්‍රයාණන්ට ‘තෙල බත් තළියෙන් බත් පිඩකට ආසා ඇති වි ය’යි කිවු ය. ‘සබඳ, ඊට ආලයක් නො කරව. ඒ ලද නො හැක්කැ’යි කිවු ය. ‘සබඳ, ඒ නොලදිම් නම් ජීවත් විය ත් නො හෙමි’යි කිවු ය. නුවර වැසි තැනැත්තෝ කියා ගිවිස්වා ගත නො හී පිරිස් කෙළවර සිට ‘ස්වාමීනි, මුඹ වඳිමි’යි තුන් විටක් කොට වැඳ හඬ ගාලා ‘කවුරුදැ’යි විචාළ කල්හි ‘මම ය. ‘ස්වාමිනි’යි කිවු ය. ‘කුමකට දැ’යි විචාළ කල්හි ‘මේ පිටිසර වැසි එකෙක් තමාගේ පින් නො සලකා තෙල බත් තළියේ බතින් බත් පිඩකට ආලය කෙරෙයි. එක බත් පිඩක් දෙවූව මැනැවැ’යි කිවු ය. මෙලෝ කාරිය මුත් පරලෝ කාරියෙහි සිතිවිල්ලක් නැති හෙයින් දෙන්ට බැරි ය යි කිවු ය. ‘සබඳ ඇසුවෙහි වේ දැ’යි බත ආල ය කළ පිටිසර වැස්සාට කිවු ය. ඇසීම් ම ය. එතකු දු වුව ත් සිටාණන් දී ලන්ට මැළියා සේ ම මම ත් ආලය හැර ලන්ට මැළියෙමි. නො ලදොත් මියෙමී’යි කිවු ය.

නුවර වැසි තැනැත්තෝ ‘ස්වාමීනි, තුලූ තිලින් බත් පිඩක් පමණ නොලද්දෝ නම් මියෙ ත් ල. උන් රැක සසර සිටිනා තෙක් බොහෝ කලක් ජීවත් වන්ට හෙතු කළ මැනැවැ’යි කිවු ය. සිටාණෝ කියන්නෝ පින්වත, මින් බත් පිඩෙක් නම් සියයකු ත් දෙසියකු ත් වට්ටි. තුලුන්ට දුන් නියා බලා යම් යම් කෙනෙක් ඉල් වූ නම් උන් උන්ට දෙන කලට අප අනුභව කරන්නේ කිම් දැ’යි කිවු ය. කෙ සේ වුව ත් ආල ය තර වූ හෙයින් නොලද්දු නම් මූ තුමූ මියෙති. තිලින් පිඩක් දුන්නොත් උන්ට ජීවිතය ත් දුන්නා නම් වන සේක. දෙන්ට ම වුව මැනව. තුලුන් පිටිසර වැසි හෙයින් ආලය කළ බව මුත් නුවර ඇත්තෝ ඊට කුමට ආලය කෙරෙත් දැ’යි කියා ත් තරයේ ම කිවු ය. ‘නොමිලයෙක දෙන්ට බැරි ය. නො ලදොත් ජීවත් නො වෙත් නම් තුන් හවුරුද්දක් විතර අපගේ ගෙට බැල මෙහෙ කරන්නා බත් පිඩක් තබා බත් තළියක් ම දෙවා ලමී’යි කිවු ය.

පිටිසර වැසි ත් ඒ අසා ‘සබඳ, යහපතැ’යි කියා ලා අඹුදරුවනුත් හැර එක් බත් තළියක් වුව ත් ඉන් සිද්ධ වන ප්‍රයෝජන බොහෝ හෙයින් දෝ තුන් හවුරුද්ද තුන් මසක්, තුන් දවසක්, තුන් පැයක් කොට ත් නොසිතා සිටාණන්ගේ ගෙට බැළමෙහෙ කරන්ට අවුත් කළ මනා බැළ මේ සකස් කොට ම කෙරෙති. ගෙයි වේව, යි දඩ වේව’යි දාවල් වේව යි රෑ වේව යි යම් මේයක් ඇත් නම් මුන් ගෙන් ම නිමන්නා සේ තිබෙයි. බත් බැළයා කියා ඒ නමින් ම සියලු නුවර ප්‍රසිද්ධ වි ය. එක් දහස් අසූ දවස පිරුණු කලට බත් බෙදා දෙන තැනැත්තෝ ගන්ධක සිටාණන් කරා ගොසින් ‘ස්වාමීනි, බත් බැළයාට තුන් හවුරුද්දේ එක් දහස් අසූ දවස පිරිණ. මෙ තෙක් දවසේ බැළ මේ කරන ගමනේ එක් දවසෙක ත් අඩුවක් නො පෑ මෙහෙ කළ නියාව යහපත් ම ය’යි කිවු ය. සිටාණෝ ත් ඒ අසා තමන්ට දෙ වේල බතට පොහෝ දවස හෙයින් දෙ ලක්‍ෂයක් හා බත් බැළයන්ට දාවල් බතට තමන් කන තරමේ හෙයින් ලක්‍ෂයෙකැ යි තුන් ලක්‍ෂයත් දෙවා ලා ‘අද මට කළ මනා පෙරහරෙක් ඇත් නම් බත් බැළයන්ට ම කරව’යි කියා ලා ‘චින්තාමණි’ නම් අපගේ සිටු දුවණියන් හැර සෙස්ස මුළුල්ල ම දද උන්ට ම කළ මනා දෙය කළ මැනැවැ’යි කියා ලා, සියලු සම්පත් ම බත් බැළයන්ට නිල කළහ.

බත් බැළයාණෝ ද සිටාණන් නානා පැනින් උන් ම නහන කොටුවේ උන්ම හිඳිනා ගපෝරුවේ හිඳ නා පියා උන් හඳනා සළු හැඳ උන් බත් කන්ට හිඳිනා පළඟ ම හුන්හ.

ගන්‍ධක සිටාණෝ ද ‘බත් බැළයෝ ගන්‍ධක සිටාණන්ගේ ගෙට තුන් හවුරුද්දක් බැළ මේ කොට බත් තළියක් ලද්ද. උන් බත් කන සැටි බලන්ට නුවර වැස්සන් අව මැනැවැ’යි නුවර බෙර ලැවූ ය. බොහෝ දෙනත් මැසි මත්තේ මැසි ලා ගෙන බලති. බැලු බැලූ තැන් වෙව්ලන්නා සේ විය. නළුවෝ ත් පිරිවරා ගෙන සිටියහ. එක් දහස් අසූ දවසේ කළ මෙහෙ බලත් බත් තරමට එක දවසක නො කළා හා සරිය. බත් තළියත් ගෙනවුත් ඉදිරියේ තබාලූය. බත් කන්ට ය යි අත සෝදන වේලාට ගඳමහන්[1] පව්වේ නන්‍ද මූලක නම් ලෙණ වසන ප්සේ බුදු කෙනකුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම වැද සත් වන දවස් නිරෝධයෙන් නැඟී ‘අද සිඟා කොයි යෙම් දෝ හෝ’ යි බලන සේක් බත් බැළයන් බත් කන්ට හුන්නවුන් හැම දෙනා බලන හෙයින් තමන් වහන්සේත් බැලුවා සේ දුටු සේක.

දැක ත් ‘මූ තුමූ හවුරුදු ගණනින් තුන් හවුරුද්දක් හා මස් ගණනින් ස තිස් මසක් හා දවස් ගණනින් එක් දහස් අසූ දවසක් හා පැය ගණනින් සිවු සැට දහස් අට සියක් පැයෙහි මෙහෙ කොට ත් බත් තළියක් ලද්ද. බත් තළි ය නිසා ගත් දුක් මහත. දුක් නිසා ඇති වන සැදෑ ත් ඇත. මූට සැදෑ ඇද්දෝ හෝ’ යි වීම සන සේක් සැදෑ ත් ඇති නියාව දැන ‘සැදෑ ඇත ත් සමහර කෙනෙක් සංග්‍රහසීලි නො වන හෙයින් සංග්‍රහ කට නො හෙති. මේ තෙමේ සංග්‍රහ කට හේ දෝ හෝ’යි බලන සේක් සංග්‍රහ ත් කට හෙති. කළ සංග්‍රහ ලෙසට මහා සම්පතු ත් ලැබෙ යි දැන, ගැටවටු ගන්වා සිවුරු වැළඳ ගෙන පාත්‍රය පටවා ගෙන දකුණු මුහුදු ගමන් ගත් නැවක් මෙන් අහසින් අවුත් බිමට බැස ලා උන්ට ඉදිරි ව ලා සිටි සේක.

බත් බැළයෝ ත් පසේ බුදුන් වැඩ සිටි නියාව දැක ‘පෙර මා දනක් දී ලිය නුහුණු හෙයින් එක බත් තළියක් නිසා තුන් හවුරුද්දක් මුළුල්ලෙහි අනුන්ට බැළ මෙහෙ කෙළෙමි. එ තෙක් කලින් ලත් බත් තළි ය රැක ලා නම් දවසක් මුත් වඩා රැක ලිය නොහෙයි. ඉදින් මේ බත් තළිය මුන් වහන්සේට දන් දිනිම් නම් ඔබගේ සහායෙන් කප් කෙළ දහස් ගණන් මා රැක ලයි, මේ සිටාණන් මෙ තෙක් දවස් කා ගිය බව මුත් තැනෙක හෙළානුලූ වත් මම මේ බත් තළිය මුන් වහන්සේට දන් දෙමි’ තුන් හවුරුද්දෙකින් ලත් බත් තළියෙන් එක බත් පිඬක් පමණ ත් හැර නො ගෙන දඬු පත් සපයා නැතත් දවසකින් ඉදි කළ ගෙයක් විදා පීම කල් නො යන්නා සේ තුන් හවුරුද්ද මුළුල්ලෙහි පැවැති රස තෘෂ්ණාව ඇසිල්ලකින් සිඳ පියා නිවන් රෙසෙහි ලෝභයෙන් තුමූ ම තළිය ඔසවා ගෙන පසේ බුදුන් ළඟට ගොසින් තළි ය එක් කෙනකුන් අතට දී ලා ලොවී ලොව්තුරා සැපත් පිහිටුවනු නිසා පසඟ පිහිටුවා වැඳ ගෙන තළි ය වමතින් අල්වා ගෙන දකුණතින් පසේ බුදුන්ගේ පාත්‍රයට බත් පිළිගන්වති. පසේ බුදුහු ත් බතින් භාගයක් දුන් කලට පාත්‍ර ය අතින් වසා ගත් සේක.

බත් බැළයාණෝ ‘ස්වාමීනි, මේ එක් කෙනකුන්ට මුත් වඩා නො සෑහෙන බත දෙ භාග කරන්ට බැරි ය. මේ නිසා ලබන සම්පත් ලොවී ලොවුතුරා විසින් දෙකක් වතත් මේ බත දෙකක් කරන්ට බැරි ය. මෙ ලොවින් සංග්‍රහයකට සිතා වදාරන්ට නො කැමැත්තේ ය. කරන සංග්‍රහයක් පරලොවින් ම කරන බව ය. දෙවන සම්පත් නිරවශෙෂ කොට දෙවන්නා සේ මේ බතත් නිරවශේෂ කොට පිළිගත මැනව. හැමම පිළිගන්වමි’ කියා ලා බත් තළිය ලබන්ට ඇති වූ උත්සාහ විතරට ත් දීමට උත්සාහ බලවත් ව නිරවශේෂ දානයෙහි විපාක බලවත් හෙයින් සියල්ලම දන් දී ලා පසේ බුදුන් වැඳලා ‘ස්වාමීනි, මේ බත් තළිය නිසා තුන් හවුරුද්දෙක ගත් දුක් පමණ නැද්ද, මේ බත් තළිය නිසා කප් කෙළ දහස් ගණනේ දුකෙක් නො වේ ව යි, කොට නිමි වොටුන්නේ ඔබන මැණිකක් මෙන් මේ බත් තළිය නිවණින් කුළු ගනීව’යි පතා ගත්හ. පසේ බුදුහු ත් ‘තොපගේ ප්‍රාර්ථනා පෙර දෙ පෝයේ සඳ පරිද්දෙන් ද චින්තාමාණික්‍යයක් මෙන් ද සමෘද්ධ වේ ව යි වදාරා ‘මෙ තැන රැස්වූ බොහෝ දෙන ත් මා ගඳමහන් පව්වට යන තෙක් ම බල බලා සිටිත් ව යි ඉටාලා අහසින් ගඳමහන් පව්වට වැඩි සේක.

බොහෝ දෙන ත් ඔබගේ අධිෂ්ඨාන බලයෙන් බල බලා ම සිටියහ. පසේ බුදුන් වහන්සේ ත් ඔබ වැඩ එක බත් තළියෙන් උන්ට සිද්ධ වන සැපතු ත් බොහෝ නියාව හඟවන්නාක් මෙන් පන්සියයක් පසේ බුදුවරුන් වහන්සේට බෙදා දුන් සේක. හැම තැන් ම යපෙන පමණ පිළිගත් සේක.

බත මඳක් වුව එ තෙක් දෙනා වහන්සේට සෑහී ගියේ කෙ සේ ද? බත් බැළයාණෝ දෙ භාග කළොත් පසේ බුදුන්ට මඳ වෙතී’ දෙ භාග නො කළෝ වේ ද? එ සේ කලට මේ කෙ සේ වූ නියාදැ යි ඍද්ධි විෂයෙහි අනිකක් නොසිති ය යුතු ය.

බොහෝ දෙන ත් ගිය පසේ බුදුන් වහන්සේ පන් සියයක් පසේ බුදුන්ට බත් දෙන නියාත් සෑහුණු නියාත් දැක මෙ තෙක් කලෙක තමන් මේ තරම් විස්මයක් නුදුටු විරූ හෙයින් සාධුකාර දහස් ගණන් දුන්හ. බත් බැළයාණන්ගේ දන් නමැති වැස්සට ජනයන්ගේ සාධුකාර නමැති මේඝ නාද ය ඇති වි ය.

ගන්ධක සිටාණෝත් ඒ අසා තමන් බත් කන දවස් පන් සියයකට තබා එක කෙනකුන්ටත් දීමක් ම නො පෙනෙන හෙයින් විස්මයක් නැත්තාට ආශ්චර්‍ය්‍යය ත් නැති හෙයින් සාධු කාර කෝලාහලය අසා ‘බත් බැළයා මා නිල කළ සම්පත ධරා ලිය නො හෙන නියා ය. රැස්වූවන් ඒ නිසා කොක්සන් ගසන නියා ය’යි සිතා එ පවත් දන්නා පිණිස මිනිසුන් එවූ ය. උයි ත් අවුත් ඒ විස්මය දැන සැපත් ලබන කෙනකුන් තෙල ලෙස ලද මනා වේ දැ යි පැවති පවත විස්තර කොට කියා ලූය. සිටාණෝ ද ඒ අසා පස් වනක් ප්‍රීතීන් පිනා ගොසින් අනේ උන් කළ දෑ යහපත. අද එක දවසින් මේ සා පිනක් අත බැඳ ගත්හ. මම මෙතෙක් කල් මුළුල්ලෙහි මේ සා සම්පතෙක පිහිටා ත් පර ලොවින් කිසිත් ප්‍රයෝජනයක් කට නුහුණුයෙමි. කෑරලුන් මහොත්සාහයෙන් විද ගත් ගස් සිදුරු වලින් ගිරවුන් ප්‍රයෝජන විඳිනා සේ මා රැස් කළ සම්පතින් වුවමනා ප්‍රයෝජන විඳින්නෝ බත් බැළයාණෝ ය’යි උන් කැඳවා ගෙන්වා ලා ‘තොප මෙ බන් දක් කෙළේ සැබෑදැ’යි විචාරා ‘සැබැවැ’ කී කල්හි ‘හිඳ, මේ දහස හැර ගෙන තොප දුන් දනෙහි පින් අපට දෙව’යි කිවුය. උයිත් ගිවිස ‘ඇවිළෙමින් සිටි පානින් කෙ තෙක් පාන් ඇවුළුව ත් පාන් තුඩ තෙල් ගෑවී ශෝභාව බලවත් වන්නා සේ මා දුන් දනෙහි පින් කෙතෙක් දෙනා හැර ගත ත් පින් දීමත් වස්තු පරිත්‍යාග ය සේ දීම ම වන හෙයින් යම් තාක් දෙන පින් ගත්තු නම් ඒ තාක්ම පින් වඩනා හෙයින් එක බත් තළිය බත් තළි දෙකක් වුවත් යහපතැ’යි මසු දහස හැර ගෙන පින් දුන්හ.

ගන්ධක සිටාණෝ නො මැළිව පින්කම දී ලූ හෙයින් සමාධිව තමන්ට දුන් පිනට දහස මඳ හෙයින් තමන් සන්තක සම්පත් දෙ භාගයක් කොට පියා එක් භාගයක් දුන්හ. දුන් දනෙහි

විපාක මෙ ම ජාතියෙහි ලබන්ට දන් පිළි ගත් සේක් පසේ බුදුන් හෙයින් වස්තු සම්පදාව ත් ඇත. ලබන බත් තළිය බැළ මෙහෙ කොට ලත් බැවින් ධාර්මික වුව යි ප්‍රත්‍යය සම්පදාව ත් ඇත. ආදි මධ්‍යාවසාන වූ ත්‍රිවිධ චේතනාව සොම්නස් සහ ගිය ඥාන සම්ප්‍රයුක්ත වෙතනා හෙයින් චෙතනා සම්පදාව ත් ඇත. පසේ බුදුන් වහන්සේ නිරෝධයෙන් නැඟි හෙයින් ගුණාතිරෙක සම්පදාව ත් ඇත. නිරෝධ සමාපත්තීන් නැඟී අනාගාමි තැනකට වේ ව යි රහත් තැනකට වේ ව යි දැහැමින් සෙමින් ලත් දෙයක් ත්‍රිවිධ චේතනා ශුද්ධිය කොට ගෙන පසේ බුදුන් සමයෙක වුව ත් බුදුන් සමයෙක වුව ත් දුන් කලක දී නො නිමවන පමණක් මුත් මෙම ජාතියෙහිදී විපාක දෙයි දත යුතු. එහෙයින් සිටාණන්ගෙන් සැපත් ලත්හ.

පසු ව රජ්ජුරුවෝ ත් මුන් කළ පින් අසා ගෙන්වා ලා මසු දහසක් දී පින් හැර ගෙන ලත් පිණට සතුටු ව මහත් සම්පත් දී සිටු තනතුරු දුන්හ. භත්තභතික සිටාණෝ ය යි ප්‍රසිද්ධ වූ හ. උයි ත් ගන්ධක සිටාණන් හා මිත්‍ර ව ගෙන පින් කරන්නෝ ආයු පමණින් සිට එයින් සැව දෙව් ලොව ඉපැද බුද්ධාන්තරයක් මුළුල්ලෙහි දිව සැපත් වළඳා මේ අපගේ බුදුන් සමයෙහි දෙව්ලොවින් චුත ව සැවැත් නුවර සැරියුත් මහ තෙරුන් වහන්සේගේ උපාසක කුලයෙක පිළිසිඳ ගත්හ. මෑණියෝ ද ගබ පෙරහර ලදින් දවස් ගණනක් ගිය කලට සැරියුත් මහ තෙරුන් වහන්සේ ඇතුළු වූ පන් සියයක් දෙනා වහන්සේට නො එක් රසයෙන් යුත් බතක් දීලා රන් වන් පිළියක් හැඳ ගෙන රන් තැටියක් පෑලා පන් සියක් දෙනා වහන්සේගෙන් ඉඳුල් බත් හරවා ගෙන හසුන් කෙළ වර හිඳ අනුභව කෙළෙම් නම් යහපතැ’යි දොළ ඇතිව එලෙස කොට දොළ සන්හිඳුවු ය.

සත් මසින් සුණු ගෑම් ආදිවූ සෙසු මඟුලෙත් එලෙසම කොට පුතණු කෙනකුන් වදා නම් තබන දහස් පුතණුවන්ට නම් දෙන්නට සැරියුත් මහ තෙරුන් වහන්සේට කිවුය. මහ තෙරුන් වහන්සේ ත් මුන්ට නම් කවරේ දැ යි විචාරා ‘ස්වාමීනි, මේ දරුවන් බඩ පිළිසිඳ ගත් තැන් පටන් මේ ගෙයි කිසි කෙනකුන්ට ත් දුකෙක් නැත. එ හෙයින් සුඛ කුමාරයෝ ය යි යන නම ම වී නම් යහපතැ’යි කිවු ය. මහ තෙරුන් වහන්සේ ත් ඒ නම තබා වදාළ සේක. මෑණියෝ ම පුතුන්ට යම් අදහසෙක් ඇති වී නම් ඊට බාධාවක් නො කෙරෙමි’යි සිතූ ය. බත් කවන මඟුල් ආදියෙහිත් ආදි ලෙසම නො එක් රස ඇති භෝජන ය සැරියුත් ස්වාමීන් මුල් වූ පන්සියක් දෙනා වහන්සේට දුන්හ.

කුමාරයෝ ත් සත් හැවිරිදි අවස්ථාවෙහි මෑණියන් වහන්ස, මහ තෙරුන් වහන්සේ ළඟ මහණ වනු කැමැත්තෙමී’ කිවුය. ‘යහපත, පුතණ්ඩ’යි මහ තෙරුන් වහන්සේ ආරාධනා කොට ගෙන්වා ගෙන වළඳවා ලා ‘ස්වාමීනි, ම පුත්තු මුඹ වහන්සේ ළඟ මහණ වනු කැමැත්තෝ ය. සවස වෙහෙරට කැඳවා ගෙන එම් හ’යි මහ තෙරුන් වහන්සේ විහාරයට යවා පියා කුමාරයන්ගේ නෑයන් එක් කරවා ලා ‘අපගේ දරුවන් ගිහි ව වුවමනා මඟුල් පෙරහර අද ම කරම්හ’යි කියා ලා පුතණුවන් රජවෙස් ගන්වා සරහා ලා මහ පූජාවෙන් වෙහෙරට ගෙන ගොසින් මහණ කරවන්ට මහ තෙරුන් වහන්සේට පාවා දුන්හ.

මහ තෙරුන් වහන්සේද ‘සිල් රක්‍ෂා කිරීම නම් ත්‍රි මද ගලිත හස්තීන් කිඳි මුලින් බැඳ රඳවන්නා සේ බැරි දෙයෙක. සිල් රක්‍ෂා කට හෙවු දැ’යි විචාරා වදාළ සේක. ‘වදාළ ලෙස ම කෙරෙමි’ කී කල්හි තච පඤ්චක කමටහන් දී මහණ කළ සේක. දෙමවුපියෝ ද මහණ මඟුල් කරන්නෝ සතියක් මුළුල්ලේ තුමූ ඇතුළු වෙහෙරම රඳා හිඳ බුදු පාමොක් සඟනට නොඑක් රස ඇති භෝජනය දී සත් වන දවස් සවස් වේලෙහි නුවරට ගියහ. අට වැනි දවස් සැරියුත් මහ තෙරුන් වහන්සේ වහන්දෑ වැඩ පී කලට වෙහෙර කළ මනා වත් කොට ලා සුඛ සාමණේරයන්දෑ ලවා පාත්‍රය ත් සඟළ ත් ගෙන්වා ගෙන ගමට සිඟා නික්මුණු සේක.

හෙරණුන්දෑ ත් අතුරු මඟ දී ඇළ ආදිය දැක පණ්ඩිත හෙරණුන්දෑ මෙන් විචාරා පණ්ඩිත හෙරණුන්දෑට වදාළ ලෙසින් ම මහ තෙරුන් වහන්සේ වදාළ කල්හි වදාළ කාරණ අසා ‘ඉදින් මුඹ වහන්සේ පාත්‍ර ය හා සඟළ හැර ගත් සේක් නම් මම රඳමි’ කියා ලා මහ තෙරුන් වහන්සේ හැර ගත් කල්හි මහ තෙරුන් වහන්සේ වැඳලා රඳන සේක් ‘ඉදින් ස්වාමීනි, මා වළඳන්ට බතක් ගෙනෙතො ත් උතුරුකුරු දිව බතක් සේ නො එක් රස ඇති බතක් ගෙනෙව මැනැවැ’යි කී දෑ ය. ‘භෙරණෙනි, කොයින් ලබමෝ දැ’යි විචාළ සේක. බත් තළිය බාධාවක් නැති ව දුන්නා සේ ම බාධාවක් නැති ව ලැබෙන නියාව දැනෙන බැවින් ‘මුඹ වහන්සේගේ පිණින් නොලබතත් මාගේ පිණින් ලැඛෙන සේකැ’යි කී දෑ ය. මහ තෙරුන් වහන්සේ ද ගෙයි දොර හරනා කෙස්ස දෙවා ලා ගමට සිඟා වැඩි සේක.

හෙරණුන් දෑ ද විහාරයට ගොසින් මහ තෙරුන් වහන්සේ සැතපෙන ගෙයි දොර හැර ගෙට වැද ලා දොර පියා වැද හිඳ භාවනාවට පටන් ගත් සේක. උන්දෑගේ ගුණානුභාවයෙන් සක් දෙවිඳුහුගේ හස්න හුණු වි ය. ශක්‍රයෝ කුමක් නිසා දෝ හෝ’යි විමසන්නෝ හස්න හුණු කැර වූ සුඛ සාමණේරයන්දෑ උපාධ්‍යායයන් වහන්සේට පාසිවුරු දී ලා මහණ ධම් කරන්ට වෙහෙරට ආ සේක. මහ පිනැත්තවුන් මහණ ධම් කරන තැනට නො ගොස් හිඳිනා හෙයින් හින්ද නොදී යවන්ට වූවා සේ හස්න හුණු වුව. අපිත් යම්හ’යි සිතා සතර වරමුන් කැඳවා ලා ‘තෙපි ඇම ගොසින් විහාරාසන්නයෙහි හඬා අරගල කරන රවන්[2] කුකුළු ආදි පක්ෂීන් දුර පලවාව’යි ඒ වෙහෙරට උන් යවූ ය.

උයි ත් එ ලෙස කොටලා භාවනාවට විරුද්ධ දෑ සන්හිඳුවනු නිසා වට රකවල් ගත්හ. චන්ද්‍ර-සූර්‍ය්‍ය දෙදෙනාට ත් ‘හෙරණුන් දෑගේ කුශලයාණන් කරන දෙයක් කොට නිමවා ලන තෙක් තොප තොපගේ විමන් රඳවා ගෙන සිටුව’යි විධාන කළහ. උයිත් මිත්‍රයාණ කෙනකුන් හඹා දිවන සතුරු කෙනකුන් ඒ මිත්‍රයාණන් නිරුපද්‍ර ව තැනකට ගොස් වැද යන තෙක් අල්වා රඳවන කලක් මෙන් තමන් තමන්ගේ විමන් නො යා දී රැඳවූහ. තුමූ ත් ගබඩාවේ අගුළු කණුව ගාවා රකවල් ගත්හ. විහාරය ත් සියලු ලෙසින් නිශ්ශබ්ද විය. හෙරණුන්දෑත් එකඟ සිතින් විවසුන් වඩා අනාගාමි වූ දෑ ය.

මහ තෙරුන් වහන්සේ ත් ‘හෙරණානෝ නිවන් රස වළඳා ඉක්බිති වළඳන්ට දෝ නො එක් රස ඇති භෝජනයක් ගෙනෙන්ට කිවුය. කොයින් ලද හැකි දෝ හෝ’යි බලා සැදෑ ඇති කුලයක් දැක උන්ගේ ඔබ සිඟා වැඩි සේක. උයි ත් දැක සමාධි ව ආරාධනා කොට පාත්‍රය හැර ගෙන වඩා හිඳුවා ලා කැඳ අවුළුපත් වළඳවා ලා ඔබ බත් වළඳන තෙක් තමන් දහම් රස වළඳන්ට බණට ආරාධනා කළහ. ඔබ ද සරිතව්‍ය වූ බණ කථා වදාරා ලා වේලාව සලකා බණ වදාරා නිමවූ සේක. ඔබට නො එක් රස ඇති භෝජන ය දී ලා ඒ හැර ගෙන විහාරයට වඩනා කැමැති නියාව දැන ‘වළඳන බව ය. හැරගෙන වඩනට දෙම්හ`යි කියා ලා වළඳා අන්තයෙහි නොඑක් රස ඇති භෝජන ය පාත්‍ර ය පුරා දුන්හ. මහ තෙරුන් වහන්සේද ඒ හැරගෙන හෙරණුන් උදෑසනත් වැළඳූ දෙයක් නැති බැවින් නිවන් රස වළඳා සිත් පිරූ නමුත් බඩ සා වේ දැ යි වහ වහා වෙහෙරට නික්මුණු සේක.

බුදුහු එ දවස් වේලාපස ම වළඳා විහාරයට වැඩ ගඳකිළියේ හුන් සේක් අද සුඛ සාමණේරයෝ සිඟා ත් නොගොසින් මහණ ධම් කරන්ට රැඳුණවු ය. කාරි ය සිද්ධ වී දෝ හෝ’යි බලන සේක් අනගැමි වූ නියාව දැන තව ත් පරීක්‍ෂා කරන සේක් ‘හුන් හස්න නූගුළුවා දැන්ම රහත් වි ය හෙති. ශාරිපුත්‍රයෝ හෙරණුන් බඩසා යැ’යි කියා ලා වහා බත් හැර ගෙන අවුත් නිවන් රස වළඳා නිමවා පියා නො දී බත් වළඳවති. උන්ගේ ගමන මදක් පමා කරවනු නිසා මා ගොසින් දොරටුවේ රකවල් ගත මනා වේ දැ’යි සිතා ගඳ කිළියෙන් නික් ම සර්වඥ කමට නොහිඳ දොරටුවේ රකවල් ගත් සේක. මහ තෙරුන් වහන්සේ බත් ගෙන ආ සේක. පණ්ඩිත සාමණේර වත විචාරා වදාළ ලෙසින් ම ප්‍රශ්න සතරක් විචාළ සේක. විචාළ ප්‍රශ්න විසඳා කෙළවර හෙරණුන්දෑ සව් කෙලෙසුන් ගෙවා සිවු පිළිසිඹියා පත් රහත් වූ දෑ ය.

බුදුහු සැරියුත් මහ තෙරුන් වහන්සේට ‘හෙරණුන්ට බත් ගෙන ගොස් දෙව’යි වදාළ සේක. මහ තෙරුන් වහන්සේ ත් ගොසින් දොර නිය පිටින් ගසා ලූ සේක. හෙරණුන්දෑත් අවුත් දොර හැරලා මහ තෙරුන් වහන්සේට කළ මනා වත් කොට ලා වළඳව’යි වදාළ කල්හි මහ තෙරුන් වහන්සේ ත් වළඳන්ට පැරැත්ත ගෙන ‘ඔබ දී ම අපි වැළඳුම්හ’යි වදාළ කල්හි සත් හැවිරිදි හෙරණුන්දෑ මහණවූ අට වැනි දවස් රහත් ව අටඟ සලකා පස් විකා ගෙන වළඳා ලා පාත්‍රය සෝධා ගත් දෑ ය. පාත්‍ර ය සෝධා නිම වන්නා ම සතර වරම්මු තමන් ගත් රකවල් හලවූ ය. චන්ද්‍ර-සූර්‍ය්‍ය දෙදෙන සිටි විමනු ත් හලවූ ය. සක් දෙවිඳුන් අගුළු කණුව මුල රකවල් හලවූ ය. ඉරත් මුඳුනෙන් ඇල විය. වහන්දෑ ත් හිර මුදුනෙන් ඇල වූ හෙයින් ‘පස් වරු වේ ලා ය. හෙරණුන්දෑ ත් වැලඳූය.

වේලාව කුමක් දෝ හෝ’යි කථාව ඉපැදවූ කල්හි ‘මහණෙනි, මහ පිනැත්තන් මහණ ධම් කරන කලට මෙ ලෙස ම වෙයි. අද සතර වරම්මු වෙහෙර වට කොට හෙරණුන්ගේ අධිගමාන්තරාය වලකා රකවල් ගත්හ. චන්ද්‍ර-සූර්‍ය්‍ය දෙ දෙන වේලා නො වරදනා නිසා විමන් දෙක රඳවා සිටුවු ය. සක් දෙවිඳු අගුළු කණුව මුල රකවල් ගත්හ. අනුන් ගෙන් ම මෙහෙකරවා ආ මම පවා මහ පින් ඇත්තවුන්ට දොරටුවේ රකවල් ගතිමි. අද සුඛ සාමණේරයෝ දියාළුවන් සිත් පිත් නැති පැන් ඇළවලින් තමන් කැමැති තැනට ගෙන යන නියා ද, හී වඩුවන් හී දඬු හැද හරනා නියා ද, දඬු වඩුවන් දඬු පත් කප කපා සැස ගෙන රථ සක් ආදිය කරන නියා ද දැක අනිත් අරමුණක් නැති ව ලා එ ම අරමුණු කොට ගෙන රහත් වූ ය’යි වදාරා අරමුණු සරි හෙයින් පණ්ඩිත සාමණේර වත වදාළ බණ ම වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් පුර දුටහ.

එහෙයින් නුවණැත්තවුන් විසින් අරමුණු බැඳ රඳවා ඇළ වලින් දිය ගෙනයන්නවුන් ඒ දිය ගෙන යන නියා ත් හී වඩුවන්, සිත් පිත් නැති දඬු පවා ගින්නට පෑ තවා ඇද මිරිකා ඍජු

කොට ගන්නා නියා ත් දඬු වඩුවන් දඬු පත් කපා සැස ගෙන දැව වළලු ආදිය කරන නියා ත් දැක තම තමාගේ දෘෂ්ටි මානාදීන් ගේ වශයෙන් තද ව වක්ව තිබෙන්නා වූ සිත් පනත් කොට ගෙන කුශල් විෂයට මෙහෙයා ගෙන පින්කම හැසිර ඒ කුශලානුභාවයෙන් භව භෝග සම්පත් වළඳා කෙළවර නිවන් සම්පත් සාධා ගත යුතු.

  1. ගඳමදන්,

  2. සමන් කුකුළු - සපන් කුකුළු