තව ද නුවණැත්තවුන් කුණු කඩ රෙදි පමණක් ඇදුරු කොට තබා තමන්ට පිහිට කරන පරිදි දක්වන්ට පිලොතික තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.
කෙසේ ද යත් -
එක් දවසක් අනඳ මහ තෙරුන් වහන්සේ කුණු රෙද්දක් හැඳ ගෙන කබල් කෙටියක් හැර ගෙන සිඟා කා ඇවිදිනා කුඩා සුහකු දැක ‘දරුව, තොප මෙ ලෙස සිඟා කා ඇවිදීම් විතරකට මහණ වූ කල නපුරු ද’යි වදාළ සේක. ‘ස්වාමීනි, මම මහණ වෙම් නමුත් අප වැන්නවුන් මහණ කරන සේක් කවුරුන් වහන්සේ දැ’යි කිවු ය. ‘මහණ වීමට දුක්පත් සුවපතැ යි නැත. උන් උන්ගේ අදහස් පමණෙක. තෙපි මහණ වවු නම් මම මහණ කෙරෙමි’වදාරා ලා උන් කැඳවා ගෙන ගොසින් තමන් වහන්සේ ම කමටහන් උගන්වා පීමෙන් අර්හත්‍වයට බාධා ත් නැති කොට මහණ කළ සේක. උන් ආදි හන් කඩ රෙද්දත් සෝධා පියා යමකට ගත හැකි දෝ හෝ යි විදා බලා පෙරාන්කඩක් පමණට ත් තර තැනක් නො දැක කඩරෙද්ද ත් කබල් කෙටිය ත් එක් ගසෙක අත්තක් පිට තබා ලූ සේක. අනඳ මහ තෙරුන් වහන්සේ අස්ථාන නියෝජනයක් සෙස්සෙහි ත් නැති නියා ව තෙලේ තබාලූ තරමෙන් ම දත යුතු.
උන්දෑ ත් මහණ මාලු පැවිදි ව බුදුන්ට උපන් දෙය සුව සේ වළඳන සේක් මස් ලේ ඇති ව ගෙන බුද්ධානුභාවයෙන් ලත් මාහැඟි සිවුරු වළඳනා සේක් ආදි සැටි ය නැති ව සස්නෙහි උකටලී ව ‘ශාසනාභිරති ය නැති කලට සැදෑ ඇත්තවුන් දීලූ දෙයින් ප්‍රයෝජන නැත. මාගේ කුණු රෙද්ද තව තිබූයේ වේ ද, ඒ හැඳ ගෙන සිවුරු හරිමී’ එ තැනට ගොසින් කඩ රෙද්ද අතට හැරගෙන බලා පියා කඩ රෙද්ද නපුරු සේ ම සිතූ සිතිවිල්ල ත් නපුරු නියා ව දැන තමන් වහන්සේ ම තමන් වහන්සේට බණන සේක් ‘අලජ්ජි තැනැත්තව, වළඳිනට යහපත් සිවුරු ලැබෙන බුදුසස්න හැරපියා මේ කුණු රෙද්ද හොතා ගෙන පාත්‍රයෙන් සිඟන සිඟමන් හැර පියා කබල් කෙටි ය හැරගෙන සිඟා කන්නට යෙහිද? මහණ වූ දවස් කුණු රෙද්දත් කබල් කෙටියත් මාපීවොත් කඩ රෙද්ද දිරා ගියේ නම් කබල් කෙටි ය බිඳී ගියේ නම් අද කුමක් කෙරේ ද, අනේ ලජ්ජාවක් ද නැති නියා ය’යි අනික් තැනක් මෙන් තමන් වහන්සේ ම තමන් වහන්සේට ඔවා දුන් සේක. ඔවා දෙමින් සිටියදී ම උකටලිය ත් දුරු වි ය. කඩ රෙද්දත් කබල් කෙටියත් එතැන ම තබා ලා පෙරළා වෙහෙරට ම ගිය සේක.
කීප දවසක් ගිය කලට සිත නම් එ බඳු තරමක් ඇති හෙයින් තව ත් උකටලී ව ආදි ලෙසම කඩ රෙද්ද තුබූ තැනට ගොසින් කඩ රෙද්ද බලා පියා උන්ම කියන මාලු කමක් මෙන් මාලු කම් කියාගෙන නැවත විහාරයට ගොසින් ඇවිදීම් බොහෝ කලට වහන්දෑත් එක්වන් කොයි ගොස් එවු දෑ’මි විචාරන සේක. එසේ විචාළ වහන්දෑට අපගේ ආචාරීන් වහන්සේ ළඟට ගොසින් ඔබ ගෙන් අවවාද ලැබ එම්හ’යි කියාලා මෙ ම ලෙසින් තමන් වහන්සේගේ කඩරෙද්ද හා කබල් කෙටිය භාවනා විධි උගන්වාලන්ට අශක්ති වුව ත් ශාසනාභිරති ය උගන්වාලන්ට ශක්ති ඇති හෙයින් උන්ගේ මාලු කමින් ශාසනේ උකටලී හැර ශාසනාභිරතිය ඇති ව විවසුන් වඩා කීප දවසකින් ම රහත් වූ සේක.
රහත් ව සසර ගමන් නැති වූවා සේ මකඩරෙද්දතුබූ තැනට ත් ගමන් නැති කලට වහන්දෑ ‘හැයි, ඇවැත්නි, දැන් ආචාරීන් කරා ගමන් නැද්දැ’යි විචාළ සේක. ‘යන්ට කාරණ අවධියෙහි යම්හ. දැන් ඒ කාරණ ය සුන් හෙයින් නො යම්හ’යි වදාළ සේක. වහන්දෑ ද බුදුන් කරා ගොයින් ‘ස්වාමීනි, පිලෝතික තෙරහු තමන් රහත් නියාවක් කියති’යි දැන් වූ සේක. බුදුහු ත් ඒ අසා ‘එ සේ ය, මහණෙනි, ම පුත්තු කෙලෙස් සිතින් කිලුටු අවස්ථාවෙහි සසර ගමන් බොහෝ වූවා සේම බොහෝ කොට ඇවිද්දෝය. දැන් තමන් නිකෙලෙස් හෙයින් සසර ගමන් නැති වූවා සේ ම ඒ ගමන ත් නැති වී ය’යි වදාරා ලා බණ වදාරන බුදුහු ‘යම් සේ හික්මුණා වූ අසෙක් තමා කරා හෙන සැමිටි ය වළහමින් තමා ඇඟ වැද ගත නොදේ ද, එ මෙන් ම යම් කෙනෙක් මහණ ධම් කරන්නෝ තමන්ට උපදනා නින්‍දා පරිභව තමන් කරා වැද්ද නො දී කර්‍ම බලයකින් මෙ ලොව දී වැද ගියෝ නමුත්[1] පරලොව වළහා පියත්ද එ සේවූ තමන්ට උපන් අකුසල් සිත් ලජ්ජාවෙන් දුරු කොට ගන්නා කෙනෙක් පිලොතික තෙරුන් මෙන් කිසි කෙනෙක් ම වෙති.
තව ද යම් සේ සොඳුරු වූ අසෙක් යම් කිසි අවලාදෙයකින් සැමිටි පහරක් කා පියා අප වැන්නනු ත් සැමිටි පාර කන නියා වේදැ’යි පසු ව උත්සාහ කෙරේ ද, එපරිද්දෙන් තෙපි හැමත් කෙලෙසුන් තවන වීර්‍ය්‍යය ත් ඇති ව ව. සසර කළකිරීමුත් ඇති ව ව. එ සේ වූ තෙපි ලොවී ලොවුතුරු සැදෑ ත් ඇති ව සිවු පිරිසුදු සිල්හි පිහිටා කායික වූ ත් චෛතසික වූ ත් වීර්‍ය්‍ය ඇති ව ලොවී ලොවුතුරා සමාධි ත් උපදවා ගෙන හෙවත් ධ්‍යාන පාදක වූ මාර්‍ග ඵල උපදවා ගෙන කාරණාකාරණ දන්නා නුවණ ත් ඇතිව ත්‍රිවිද්‍යා හෝ අෂ්ටවිද්‍යා හෝ උපදවාගෙන සීලාදී පසළොස් චරණ ධර්‍මයනු ත් ඇති ව හැම තැන්හි ම සිහි ඇති ව සසර බොහෝ කලක් විඳ ආවා වූ බොහෝ දුක් පිලොතික තෙරුන් කඩ රෙද්ද හා කබල් කෙටි ය අරමුණු කොට හළුවා සේ සසර විඳ ආ දුක් ම අරමුණු කොට හරුව’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් මේ දේශනාව සිත්හි තබා කෙලෙසුන් වශඟ නො ව කුසල් පුරා ත්‍රිවිධ බෝධීන් එක් බෝධියක් සිද්ධ කටයුතු.
-
වැරද ගියෝ නමුත් - වැද්ද ගියෝ නමුත් ↑