තව ද පින්කම සමාදන් කරවීමෙහි විපාක හඟවනු නිසා සන්තති ඇමැත්තන් ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
ඒ ඇමැත්තාණෝ එක් කලෙක කොසොල් රජ්ජුරුවන්ගේ පසල් දනවුවේ සොරුන් හකුළුවා ලා අවු ය. කොසොල් රජ්ජුරුවෝ උන් කළ සපන්කමට සතුටු ව සත් දවසකට රාජ්‍ය ය දී ලා නැටීම්, ගී කීමෙහි දක්‍ෂ වූ ස්ත්‍රියක ත් තත්විෂ ය සුඛානුභව ය පිණිස පාවා දුන්හ. සන්තති ඇමැත්තෝ ත් සත් දවස මුළුල්ලෙහි රා බී මත් ව සත් වන දවස් සව් බරණ ලා සැරහී ඇතු පිට හිඳ ගෙන ගඟට යන්නෝ සිඟා වඩනා බුදුන් වාසල කෙරේ දී දැක ඇතු පිට හිඳ ම වැඳ ලා හිස සළ සළා නික්මුණාහ.
බුදුහු ත් සිනා පහළ කොට වදාරා ලා අනඳ මහ තෙරුන් වහන්සේ සිනා පහළ කිරීමට කාරණ විචාළ කල්හි කාරණ වදාරණ බුදුහු ‘ආනන්දයෙනි, සන්තති ඇමැත්තන් ඇතු පිට හිඳ ගෙන ගඟට යන්නවුන් දුටුවා ද? අද ම හන් පළන් පිටින් මා කරා අවුත් සතර පදයකින් යුත් ගාථාවක් ම ගෙන් අසා ඒ ගාථා කෙළවර තමන් ලත් රාජ්‍ය ය එ දවසින් ඔබ්බට නැත ත් නිවන් රට සාධා අර්හත් ඵල වොටුනු පැළඳ, ආස සත් තලක් නැඟි ලා හිඳ පිරිනිවන් පයිති. ඇසිල්ලකට තමන් කරන කටයුතු සලකා සිනා සී ගෙන ගියා සේ ම දැක සිනා පහළ කෙළෙමි’යි වදාළ සේක.
බුදුන් අනඳ මහ තෙරුන් වහන්සේට වදාරණ කථාව බොහෝ දෙන ඇසූ ය. ඉන් මිථ්‍යා දෘෂ්ටිකයෝ ‘මහණ ගොයුම්හුගේ කටයුතු බලව. කියා ලූ දෙයක් නපුරැ යි කියන්නවුන් නැති හෙයින් දෝ කටට ආ දෙයක් ම කිය යි. සන්තති ඇමැත්තෝ රා බී මත් ව පියා මොළ කම් කොට ඇවිදිනෝ හන් පළන් පිටින් තමන් කරා අවුත් තමන්ගේ බණ අසා රහත් ව වෘද්ධ නොව පිරිනිවන් පයිත් ල. මේ කවුරුන් හැදහු ව මනා දෙයෙක්ද? බසක් නම් කියා ලන කල අනුනු ත් හදහා ගන්නා ලෙසට කිව මනා වේද? මුන්ගේ බසෙහි ම සැබෑව බොරුව අද ම දත හැක්ක. අද ම ය යි නියම කොට කියා ලූ හෙයින් පසුව කලෙකදී රහත් වූ නමුත් මුන්ගේ බස බොරුම ය. බොරුවෙන් හසු කරම්හ යි කඟවිසුනන්ට හං දෙකක් නැත්තා සේ බුදුන්ගේ ත් දෙ බස් නැත ත් තමන් හැම කියා කොට ඇවිදිනා බොරු ම හෙයින් එ ලෙස සිතූ ය.
සම්‍යක් දෘෂ්ටිකයෝ ‘සර්‍වඥවරයන්ගේ ආනුභාවයක් බලව. අද බුදුන්ගේ අනන්‍යසාධාරණ වූ සර්‍වඥ ලීලාව ද සන්තති ඇමත්තන්ගේ ලීලාව ද දකුම්හ. බුදුන් වදාළ දෙය නම් ආසට දමාලූ කැට බිම හී නමුත් නො නවත්නා සේ වන්නේ නියත ය’යි සිතූය.
සන්තති ඇමැත්තෝ ද ගඟට ගොසින් කෙලෙස් ගිම් නිවන්ට පෙරාතු අවු ගිම් නිවන්නා සේ දවස මුළුල්ලෙහි දිය කෙළි කෙළ පියා උයනට ගොසින් රා මඬුල්ලෙහි රා බොන්නට හුන්හ. නළු ගෑනි ද රඟ මඬලට බැස නටන්ට ත් ගී කියන්ටත් පටන් ගත. උනු ත් නෘත්‍ය ලීලා දක්වනු නිසා සති ය මුළුල්ලෙහි පණ නොයන විතරක් මුත් බත් බොහෝ කොට නො කෑ බැවින් නටා ගී කියා ආයාස මහත් ව ඇතුළු කුස ශස්ත්‍රක නම් රුජා ඇති ව ලෙයි මස් කැපී පොළු ගැසිණ. ඌ ඒ ඇසිල්ලෙහි ඇසුත් කට ත් දල්වා ගෙන මළහ. සන්තති ඇමැත්තෝ ද ඒ ස්ත්‍රියගේ ආයු සන්තති ය පරීක්‍ෂා කරන්ට කියා මළෝ ය යි කී කල්හි බලවත් වූ ශෝක ඇති වූහ. සති ය මුළුල්ලෙහි ම පැවති රා මත හුණු කබලෙක හිස ලූ පැන් බින්දුවක් මෙන් ඒ ඇසිල්ලෙහි ම නැති වි ය.
ඌ තුමූ ‘මට මේ වූ ශෝක ය නිශ්ශෝකී වූ බුදුන් විනා අනික් සන්හිඳුවා ලිය හෙන කෙනෙක් නැතැ’යි මහ පිරිස් පිරිවරා සවස් වේලෙහි බුදුන් කරා ගොසින් වැඳ ලා ‘ස්වාමීනි, මට බලවත් වූ ශෝකයෙක් ඇති වි ය. මුඹ වහන්සේ ඒ මා ශෝක නමැති ගින්න දහම් නමැති වැසි වස්වා නිවා ලති සිතා අයිමි. මට පිහිට වුව මැනැවැ’යි කීහ. බුදුහු ත් ‘ශෝක සන්සිඳුවා ලිය හෙන්නවුන් කරා ම ය ආයේ. මේ ගැහැනි ය මෙ ලෙසින් මළ කල තොප හැඬු ගමනේ තොපගේ ඇසින් වගුළ කඳුළු සතර මහ මුහුද පැනට ත් බොහෝ ය’යි වදාරා ‘පෙර තොපගේ ඇති කෙළෙස් කුණු ත් නැති කරව. පසු ව ත් තොපට රාගාදී කිලුටෙක් නො වේ ව යි දැනු ත් එ බන්දෙක් නො ගෙන ශාන්ත ව ඇවිදුව’යි වදාරන බුදුහු -
“යං පුබ්බෙ තං විසොධෙහි - පච්ඡා තෙ මාහු කිඤ්චනං,
මජ්ඣෙ චෙ නො ගහෙස්සසි - උපසන්තො චරිස්සසි”
යන ගාථාව වදාළ සේක. ගාථා කෙළවර හන් පළන් පිටින් සිටි සන්තති මහ ඇමැත්තෝ ඒ ආභරණයෙන් තමන් ලබන ගුණ විශේෂයට ප්‍රයෝජන නැති බැවින් නව ලොවුතුරා දහම් නැමැති ආභරණ ලා සැර හී රහත් ව නිවන් පුර වන්හ.
වැඳ, නැතක් දවස් ඵල සම වත් සුව විඳිමින් රඳා හිඳිනට ආයු ශක්ති ය බලා එ දවස් එ වේලාට මුත් ආයු ශක්ති ය නැති නියාව දැන පිරිනිවන් පානට අනුදන්වන නියායෙන් බුදුන්ට දැන් වූ සේක. බුදුහු උන්වහන්සේ කළ පින්කම් තමන් වහන්සේ දනිතත් ‘බොරුවෙන් නිගනුම්හ’යි රැස් වූ මිථ්‍යා දෘෂ්ටිකයන්ට මත්තෙහි බසක් බැණ නහාලන්ට අවකාශයකුත් නො පෙනුණ මැනව. සර්වඥ ලීලාවත් සන්තති මහාමාත්‍ය ලීලාව ත් දකුම්හ’යි රැස් වූ සම්‍යග් දෘෂ්ටිකයන් මුන් කළ පින් කම් මුන් අතින් ම අසා දැන පින් කම ඇලුම් කළ මනා වේ දැ’යි සලකා ලා ‘එ සේ වී නම් රහත් වන්ට නිසි වූ තොප කළ පින් කම් අපට කියව. කියන කලත් එයි ත් බණක් හෙයින් බිම සිට නොකියා ආස සත් තලක් පමණට පැන නැඟී ලා උඩ හිඳ කියව’යි වදාළ සේක.
සන්තති ඇමැත්තන්දෑ ත් ‘යහපත, ස්වාමීනි’යි කියා බුදුන් වැඳ ලා අභිඥා පාදක වූ චතුර්ථ ධ්‍යානයට සම වැද ආකාශ ගමන ඉටා ගෙන ආසට තලක් පමණ නැඟී ලා බැස තව ත් බුදුන් වැඳ ලා, ආසට දෙ තලක් විතර නැඟීලා බැස තවත් බුදුන් වැඳලා, නැවත තුන් තලක් විතර නැඟී ලා බැස තවත් බුදුන් වැඳලා, නැවත සතර තලක් විතර නැඟී ලා බැස තවත් බුදුන් වැඳ ලා, නැවත පස් තලක් විතර නැඟී ලා පාත බැස බුදුන් වැඳ ලා, තව ද ස තලක් විතර ආසට නැඟී ලා පාත බැස බුදුන් වැඳ ලා, සත් වෙනි වාරයේ සත් තලක් විතර ආසට වැඩ නඟා ලූ යන්ත්‍ර රූපයක් මෙන් පැන නැඟී ලා තුසී පුරෙන් මෙතේ බෝසතුන් දිව්‍යාභරණයෙන් සැදී බණ කියන්ට අවුත් හුන් කලක් මෙන් පලක් බැඳ ගෙන හිඳ ‘ස්වාමීනි, මම පෙර කළ පින් අසා වදාළ මැන වැ’යි කියා ලා ‘ස්වාමීනි, මේ මුඹ වහන්සේ බුදු වූ කපට එකානූවන කප විදර්ශි නම් බුදුන් සමයෙහි මම බන්ධුමතී නුවර එක්තරා කුලයක ඉපැද අනුන්ට ගහටක් නැති ව තමාට ත් පින් වඬනා කටයුතු කවරේදෝ හෝ’යි සලකන්නෙම් බණට හඬ ගෑම එ බඳු නියා ව දැන එවක් පටන් බණ පවත්නා විටෙක බණට හඬ ගාන්නෙම් බොහෝ දෙනා සමාදන් කරවා ගෙන පින් කම් කෙරෙමි. පොහෝ දවස් පෙහෙ ත් වෙමි. දනුත් දෙමි. බණට හඬගෑමට ම කමසේ නොව බණත් අසමි. තුනුරුවන්ට වඩනා අනික් රුවනක් නැතැ’යි යනාදීන් තුනුරුවන්ට සත්කාර ත් කරමි.
‘එක් වන් මෙ ලෙස මා කියා කරවා ඇවිදිනා නියා ව බුදුන් පිය වූ බන්ධුමා රජ්ජුරුවන් වහන්සේ දැන මා කැඳවා ලා කුමක් කොට ඇවිදු දැ’යි විචාරා ‘රජ්ජුරුවන් වහන්ස, තුනුරුවනෙහි ගුණ මා දත් තරමෙක කියා බොහෝ දෙනා පින් කම යොදා ඇවිදිමී’ කී කල්හි ‘කවර ලෙසින් ඇවිද කියවු දැ’යි විචාරා පයින් ගොසින් කියා ඇවිදිමී’ කී හෙයින් ‘පුත, තොප තෙල තරම් කටයුතු තෙල ලෙස කියා ඇවිදිනා කලට තොපගේ අදහස තරමට
තරම් නො වෙයි. මේ මල් වඩම කරලා ගෙන තෙල අසු පිට හිඳ කියව’යි මුත් හරක් වැනි මල් දමකුත් මට දී ලා අසකු ත් දුන් දෑය. එලෙසින් මා කියා ඇවිදිනා කලට එම බන්ධුමා රජ්ජුරුවෝ මා කැඳවා ලා ‘කුමක් කොට ඇවිදු දැ යි විචාරා ආදි කරන දෙය මැ’යි කී කල්හි ‘පුත, තොප උසස් ගුණ තරමට අසා ත් තරම් නොවෙයි. තිලී හිඳ කියා ඇවිදුව’යි සුදු අසුන් සතර දෙනකු යෙදූ රථයක් දුන් දෑ ය.
‘රථයේ හිඳ ත් කියා ඇවිදිනා නියාව අසා ගෙන්වා ලා ‘පුත, තොප කරන්නේ කිම්දැ’යි විචාරා එ ම නියාව කී කල්හි ‘පුත, තොපගේ උසස් ගුණ තරමට රථ ය තරම් නො වෙ’යි කියා ලා පළඳින්ට ආභරණ පටන් සියලු සම්පත් මට දෙවා ලා නැඟෙන්ට ඇතෙකු ත් මට දුන් දෑ ය. මම ත් අද සේ ම සව් බරණ ලා සැරහී අසූ දහසක් හවුරුදු මුළුල්ලෙහි ඇත් වාහන ය පිටින් බණට අඬ ගා ඇවිද්දෙමි. එවක් පටන් මෙ වක දක්වා බණට අඬ ගෑ පින් කමින් උපනුපන් ජාතියෙහි මාගේ සකල ශරීරයෙන් රත් සඳුනේ සුවඳ හම යි. බණ අසන්ට අඬ ගා ලූ මුඛයෙන් උපනුපන් ජාතියෙහි මානෙල් මල් සුවඳ හම යි. මේ මා කළ පිනැ’යි මෙ කපට එ කානූ වන කප කළ පින් කම කියා ලා අහස හිඳ ම තේජෝ කසින ධ්‍යානයට සමවැද ලා පිරිනිවි සේක. පිරිනිවි කලට සකල ශරීරයෙන් ගිනි නැගී ලා මස් ලේ නහර දවා පියා දෑ සමන් කැකුළු රැසක් මෙන් ධාතු පමණෙක් තේරිණ. බුදුහු පාත සුදක් අතුරුවාලූ සේක. ධාතූන් වහන්සේ ඊට බට සේක. ‘බොහෝ දෙන පින් පුරා ගනිති’යි ඒ ධාතු වඩා මාවත් බඩ දා ගබක් කැරවූ සේක.
ධම් සෙබෙහි රැස් ව හුන් වහන්දෑ ත් ‘ඇවැත්නි, සන්තති මහ ඇමැත්තෝ බුදුන් කරා අවුත් චතුර් විධ විනෙය ජනයන් ගෙන් තමන් උද්ඝටිතඥ හෙයින් ගාථා පමණක් අසා රහත් ව හන්පළන් පිටින් ම අහස හිඳ පිරිනිවියහ. කුමක් ද? මුන්ට ශ්‍රමණ ව්‍යවහාර කටයුතු ද නොහොත් බ්‍රාහ්මණ ව්‍යවහාර කටයුතු ද, භික්ෂු ව්‍යවහාර කටයුතු දැ’යි කථාව ඉපැද වූ සේක. බුදුහු එ තැනට වැඩ කෙරෙමින් හුන් කථාව විචාරා වදාරා මේ නියාව දැන ‘මහණෙනි, ම පුතුන්ට ශ්‍රමණ ව්‍යවහාර කළත් සමිතපාපී හෙයින් යහපත. බ්‍රාහ්මණ ව්‍යවහාර කළත් බාහිතපාපී හෙයින් යහපත. භික්ෂු ව්‍යවහාර කළත් යහපතැ’යි වදාරා බණ වදාරණ සේක් ‘යම් කෙනෙක් තුමූ හැඳ පැළඳ සිට ත් තුන් දොරින් සිද්ධ වන අකුසලින් දුරු බැවින් ලොවී ලොවුතුරා සැපත් දෙකට ම සමව සිටිනා කුසල්හි හැසිරෙද්ද රාගාදී කෙළෙසුන් නැති වීමෙන් සන්හුන්නු ද රූපාදී සාරමුණු නමැති වල්හි ගැලී හිඳිනා රා දොස් ඈ කෙළෙස් සොරුන් චක්ෂුරාදි වූ සදොර සිහි නමැති රකවල් ලා හිඳීමෙන් කෙලෙසුන් වසඟ කොට දැමුණා වූ ද, චතුර්විධ මාර්‍ගයට පැමිණීමෙන් බෝධියට ම නියත වූ ද, බුදු-පසේ බුදු සවුවන් හා බඹුන්ගේ ලෙස හැසිරෙද්ද, හිංසා - පීඩා කිරීමට හේතු නැති බැවින් සියල්ලවුන්ට කරන හිංසා පීඩා ත් නැත්තෝද, උන්ට ශ්‍රමණ යයි කියන්ට ත්, බ්‍රාහ්මණ යයි කියන්ට ත්, බුන් කෙළෙසුන් ඇති හෙයින් භික්ෂු ය යි කියන්ට ත්, විරෝධ නැතැ’යි වදාළ සේක. මේ දේශනා කෙළවර ත් බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් සන්තති මහ ඇමත්තන් තමන් සිතින් ම සිතා ගෙන කළ පින් අසා සිත තබා ගෙන එ ලෙසින් පැවත උන් ලත් ලොවී ලොව්තුරා සැප ත් තම තමා ත් සිද්ධ කටයුතු.
_________