11. කාසාව පරිදහන වස්තුව

star_outline

තව ද යම් කෙනෙක් භවාංග ලෙසින් වී නමුත් පිරිසුදු ව තිබෙන සිත රාගාදි කසටින් රඳා ගෙන වෙසෙත් නම් සිංහ සම් කැණවිලුන්ට තරම් නොවන්නා සේ කසට පොවා රඳා ගත් කඩ උන්ට තරම් නොවන නියාව හඟවනු පිණිස කාසාව පරිදහන වස්තුව දක්වමු.

කෙසේ ද යත්:

එක් සමයෙක අගසවු දෙදෙනා වහන්සේ තමන් වහන්සේගේ පිරිවර සඟ පන් සියය-පන් සියය හැර ගෙන සැරිසරා වඩනා නියාව බුදුන්ට දන්වා ලා සැවැත් නුවර සිට එක විට පහළ වන හිරු මඬල දෙකක් මෙන් රජගහා නුවරට වන් සේක. අමුතුව වැඩි ඔබ දෙ දෙනා වහන්සේ දැක, පොහොසත්හු දෙන්න තුන් දෙනත්, දුක්පත්තු බොහෝ දෙන ත්, එක් ව ගෙන අමුතු දන් දුන්හ. ඉක් බිත්තෙන් එක් දවසක් ධම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ බණ වදාරණ සේක් වදාළ බණින් භෝග සම්පතුත් පරිවාර සම්පතුත් දෙකම උපදවන්ට උපදෙස් දක්වා “හෙම්බා උපාසකවරුනි! සමහර කෙනෙක් දන් දෙන කල සිතිවිල්ලෙන් අමුත්තක් සිතා ගෙන තමන් සන්තක දෙය දන් දෙති. දෙන දන එක් ව දෙන්ට අනුන් සමාදන් නො කරවති. ඌ උපනුපන් තෙන තමන් සන්තක ය ම දී ගිය හෙයින් භෝග සම්පත් ලැබෙති.

“කුශලයෙහි සමාදන් කරවීම නු වූ හෙයින් උන්ට පරිවාර සම්පත් නැත. සමහර කෙනෙක් නැතක් වේලා සිට කියාත් අනුන් ම සමාදන් කරවා යෙති. තුමූ ඇඟ හිස නසා තමන් ගෙන් දී නොලති. ඌ උපනුපන් තැන විධාන කොට කැර වූ හෙයින් පරිවාර සම්පත් ලැබෙති. පරිවාර තබා තමන්’ රැකෙන පමණට ත් භෝග සම්පත් නො ලැබෙති. සමහර කෙනෙක් තුමූත් නොදෙති. තමන් ගෙන් දීම නැති හෙයින් අනුනු ත් සමාදන් නො කරවති. උන් උපනු’පන් තැන දෙක ම සම්භ නො වෙ යි. සමහර කෙනෙක් හැදහිලි සිතින් කම් පල හදහා තුමූ ත් දන් දෙති. කරුණා අදහසින් අනුනුත් සමාදන් කරවති, උන්ට උපනුපන් තැන ධනඤ්ජය-මෙණ්ඩක-ජොතියාදීන් මෙන් සම්පත් පරිවාර දෙක ම සම්භවෙ යි’ කියා බණ වදාළ සේක.

ළඟ සිටි නුවණැ’ති කෙනෙක් ඒ අසා ඒ සම්පත් දෙක ම මා ඇතිකොට ගන්ට වුව මැනැවැ යි සිතා දෙදෙනා වහන්සේට දෙ වන දවසට ආරාධනා කොළෝ ය. වහන්දෑ කෙතෙක් නමට දැ යි විචාරා පිරිවර වහන්දෑ කෙ තෙක් දෙනා වහන්සේදැයි විචාළ කල්හි දහසක් දෙනා වහන්සේ නියාව කී සේක. සමාදානයට ත් සිතැති හෙයින් ම ඒ උපාසකයෝ හැමදෙනාට ආරාධනා කොළෝ ය. දෙ දෙනා වහන්සේත් ඉවසා වදාළ සේක. උපාසක යෝ ද ආරාධනා කොටලා නුවරට ගොසින් හැම දෙනාත් සහාය වන්නෝ වේ දැයි සිතා තමන්ගේ පින් කමට හැම දෙනා ත් සහාය කොට ගන්නා නිසා ‘අග සවු දෙ දෙනා වහන්සේ මුල් කොට සඟ දහසකට සෙට දවසට ආරාධනා කෙළෙමි. හැම දෙනා ත් පොහෝනා පමණකින් සහාය ව දන් දුන මැනැවැ ‘යි සමාදන් කැර වූ ය.

මිනිස්සු ත් තම තමන් ගේ බල පමණින් ‘අපි නමකට දෙ නමකට දෙම්හ’ ‘අපි සතර පස් නමකට දෙම්හ’ අපි සත් අට නමකට දෙම්හ’ ‘අපි දස විසි නමකට දෙම්හ’ අපි තිස් ‘හතළිස් නමකට දෙම්හ’ අපි සැට සැත්තෑ නමකට දෙම්හ’ ‘අපි අසූ අනූ නමකට දෙම්හ’ ‘අපි සියයක් නමකට දෙම්හ’ යි නියමවා ලා වට්ටෝරු කොට දුන්හ. ඵ සේ කලට ඒ ඒ දෙනා ගේ ගෙවලින් දන් පිස ගෙනෙන්නට අට්ටාල් වේ ද? එක තෙනක දී දන් ඉදි කරම්හ. දානෝපකරණ එක තැන් කළ මැනව’යි කියා ලා එක තැන් කරවූහ. එක් කෙළෙඹි පුත්‍රයාණ කෙනෙක් මසු දහසක් වටිනා සුවඳැ’ති රන් වන කඬක් ගෙනවුත් දී ලා ඉදින් මේ දනට අඩු ව තිබෙන දෙයෙක් ඇත් නම් තෙල පිළිය වියදම් කොට අඩු ව සලසව. අඩු නැත් නම් අභිප්‍රාය තැනකට පිළිගන්වා පියව’ යි කිවු ය.

උන්ගේ දානොපකරණ ත් බොහෝ දෙනා එක් ව සපයන හෙයින් මඳ නො ව සෑහිණ. දන් විධාන කොට සමාදන් කැරැ වූ තැනත්තෝ ‘කෙළඹියාණ කෙනකුන් මෙ ලෙස් කියා දී ලු රන් වන් කඩෙක් ඇත. ඒ ඉතිරි ව තුබුයේ ය. ඒ දුන මනා කාටදැ’යි විචාළෝ ය. සමහර කෙනෙක් ඒ අසා ගොයම් බිමක් විචාළ වුන්ට සරු කුඹුරු දැන කියන්නවුන් මෙන් එකාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි අගසවු පැරුම් නමැති දිය කෑමෙන් සරු කෙත් වූ සැරියුත් මහ තෙරුන් වහන්සේට දෙන්ට කිවු ය. සමහර කෙනෙක් නිස්සාර හෙයින්ම කෙතෙක් කලෙක ත් අස්නොව ත් පුරදර ව[1] තිබෙන දෙනිකඩක් කියන්නවුන් මෙන් ‘මේ සැරියුත් මහ තෙරුන් වහන්සේ බත් වන් අවධියෙක මුබ වැඩ ලා මසක් පෝයක් රඳා ලා වැඩපියන සේක. දෙවිදත් තෙරුන් වහන්සේ නිරන්තර ව වැඩ හිඳිනා සේක. බෙහෙත් ගසක් පරිද්දෙන් ප්‍රයෝජනවත් ව සිටිනා සේකැ’ යි කවර කලෙක ත් කවුරුනු ත් රැස් වන ගුණයක් හෙයින් ඒ ගුණෙහි පහදනෝ දෙවිදත් තෙරුන් වහන්සේට දුන මැනවැ යි කිවු ය. දෙ ලෙසක පැවති කථාවෙන් දෙවිදත් තෙරුන් වහන්සේට දුන මැනැවැ’යි යන කථාව බොහෝ වි ය. ඔබට දෙන්ට කියන්නෝ නො බොහෝ වූහ.

එහෙයින් ඒ රන්වන් කඩ දෙවිදත් තෙරුන් දෑ ආර්‍ය්‍ය ජාතියට නොපැමිණි හෙයින් සැරියුත් මහතෙරුන් වහන්සේට ජාතීන් අඩු වුව ත් ශීල සමෘද්ධ්‍යාදී ගුණයක් තමා නැති හෙයින් ගුණෙන් අඩු වුවත්, ශ්‍රාවක කමකට නො පැමිණි හෙයින් තනතුරෙන් අඩු වුව ත්, පස් කපක් මුළුල්ලෙහි රන් තලියක් මුල් ව බැඳි වෛර ය නො සන්හිඳී පැවති නියාව සෙරිවාණිජ ජාතකයෙහි පෙනෙන බැවින්, ගුණෙන් ම දහමින් සිස් වූ නුගුණෙන් ම අඩුවක් ම නැති දෙවිදත් තෙරුන් වහන්සේට දුන්හ. උන්දෑ ත් ඒ කඩ කපා සිවුරු කොට ගෙන වළඳිනා දෑ ය. මිනිස්සු ත් ඒ දැක ‘මේ සිවුරු කටුකරඬු මල්දමක් සේ ශරීරයත්, රන්වන් කෙලෙස් මුසු නොවන හෙයින් සිත ත් රන්වන් ධර්‍ම සෙනෙවි ස්වාමීන්ට නිසි ය. කණුවෙක ලාපු පළඳනාවක් සේ මේ වහන්සේට නො නිසි යෙයි. දත් නැත්තවුන් කියන ගී සේම මේ මුන්දෑ පෙරව ගෙන හැවිදිනේ හැයි දැ’යි කියන්ට වන්හ.

රජගහා නුවර සිට සැවැත් නුවරට ගිය කෙනෙකුන් වහන්සේද බුදුන් වැඳ ලා අගසවු දෙ දෙනා වහන්සේගේ පවත් බුදු රජුන් වහන්සේ විචාළ කල්හි මේ කසා කඩෙහි පැවැති කථාව දක්වා මුළුල්ල ම බුදුන්ට දැන්වූ සේක. බුදුහු ඒ අසා වදාරා ‘මේ මුල් කොට ජාතක කථාවක් කීම් නම් පස්වාදහස මුළුල්ලෙහි බොහෝ දෙනාට බොහෝ ප්‍රයෝජන සාධා දීල’යි සිතා වදාරා ‘මූ තමා තමාට නො තරම් රන්වන් පිළි පෙරවියේ දැන් මතු නොවෙයි. යට ගිය දවස ත් පෙරවියේ ය’යි වදාරන සේක් යටගිය දවස බරණැස් නුවර බඹදත් නම් රජකු රජ කරන කල බරණැස් නුවර එකෙක් වලට ගොසින් ඇතුන් මරා ගෙන දළ ත්, ඇත් නිය ත්, ඝන ඝන තෙනින් මසු ත් ගෙනවුත් විකුට ගෙන ජීවත් වෙයි.

ඉක්බිත්තෙන් එක් වලෙක දහස් ගණන් ඇත්තු කොළ පත් කා ලා යන කල පසේ බුදුවරුන් වහන්සේ දැක දණ නමා වැඳ ලා යෙති. එක් දවසක් ඇතුන් මරා ජීවත් වන තැනැත්තේ මේ දැක ‘මම මුන් මරා ජීවත්වෙමි. මූ යන එන කල පසේ බුදුවරුන් වහන්සේ වඳිති. කුමක් නිසා වඳිත් දෝ හෝ’යි සිතා බලන්නේ පෙරෙවි සිවුරු නිසා වඳින නියාව දැන මුන් ගෙන් සම්භාවනා ලබන්ට මට ත් කසා කඩෙක් ඇත් නම් යහපතැ ‘යි සිතා එක් පසේ බුදු කෙනෙකුන් වහන්සේ විලකට බැස පැන් සැනහිය දී ගොඩ තුබූ සිවුරක් සොරා හැර ගෙන, පර ලොව අනන්ත කාලයක් පිළියක් නොලබනු ව ගොසින් ඒ ඇතුන් යන එන තැන අඩයටිය අල්වා ගෙන සිවුර ඉස වසා පෙර ව ගෙන හිඳ, ඇත්තු ඔහු දැක පෙර ව ගෙන හුන් ලෙසින් පසේ බුදුහු නො වන නියාව දැන ගන්නා තරම් පිළිසඳක් තමන් නොලත් හෙයින්, පසේ බුදු කෙනෙකුන් වහසේ ය යි සිතා වැඳලා යෙති. එ තෙමේ බල බලා හිඳ ලා හැම ඇතුන්ට පසු ව ලා යන ඇතු අඩයටියෙන් ඇණ මරා ගෙන දළ ආදි ය කපා හැර ගෙන ඉතිරි ව තුබූ දෙයක් ඇත් නම් සෙසු ඇතුන්ට පෙනී යෙතී සිතා දෝ බිම සාරා ලා පස් වසා පියා යෙයි.

එ කල බෝසත්හු එක් තරා අකුශල කර්‍ම බලයෙකින් ඇත් ව ඉපදී හැම ඇතුන්ට ම නායක වූහ. එ කල ත් ඒ අසත්පුරුෂයා එලෙස ම ඇතුන් මරා ජීවත් වෙයි. මහ බෝසත්හුද තමන්දෑගේ ඇතුන් දවසින් දවස අඩු වන නියාව ආනුභාව සම්පන්න මැණික කසළ ගොඩ තුබුවත් ආනුභාවයෙහි අඩුවක් නැත්තා සේ තිරිසන් ව උපන ත් නුවණෙහි අඩුවක් නැති හෙයින් දැන ‘මේ ඇතුන් කුමක් වූ නියා ද? මඳ වුනැ’යි විචාරා ‘නො දනුම්හ’යි කී කල්හි, අවස්ථා පිළියම් දන්නා වෙදවරුන් නිදන් දන්නා සේ ස්ථානෝචිත වූ නුවණ ඇති හෙයින් සිතන්නාහු-

තමන් ඉතා සුශික්ෂිත හෙයින් කොයි යත ත් මට නොකියා නො යෙති. එක් තරා උපද්‍රවයෙක් ඇති නියා ය’යි දැන උපද්‍රව කාරණ සලකන්නෝ ‘අනික් පෙනෙන උපද්‍රව කාරණයෙක් නැත. අසෝ තැන එක් මිනිස් කෙනෙක් කසා කඩක් පෙරවගෙන හිඳිති. උවදුරක් වතොත් උන් ගෙන් වුව මැනැවැ’යි සිතා විමසනු නිසා හැම ඇතුන් පෙරාතු කොට යවා ලා තමන් දෑ පසු ව ගෙන ලැසි ගෙන යන දෑ ය. අර මේ තෙමේ සෙසු ඇතුන් වැඳ ලා ගිය කල සෙමෙන් සිට එන මහබෝසතුන් දැක, උන්දෑ සෙමෙන් සිට එත ත් නුවණ දුව දුව එන නියාව නො දැන සිවුර කඩ හකුලා අල්වා ගෙන අඩයටිය මහ බෝසතුන් කරා දැමී ය. බෝසතාණෝ ද වසවත් මරහුගේ දහසක් ආයුධ වළහා පියන පින් ඇති හෙයින් පසු බැස ලා වළහා පියා ‘මූ නිසා වේ ද මෙ තෙක් ඇතුන් නැසුණේ යැ’යි ලුහුබඳවා ගත් දෑ ය. එ තෙමේ එක් ගසක් බඩ දී ලා මුවා වි ය.

ගසින් මුවා වුව ත් පවින් නුමුවාවූ ඔහු ගස හා එක් කොට සොඬින් බදා අල්වා ගෙන බිම ගසා මරමි සිතාත් ඔහු පෑ ලූ කසා කඩ දැක දිවන කෙනෙකුන් පෙරට උස් පවුරක් සම්භ වූවා සේ කසා කඩෙහි පැකිළ ‘සිවුරු කඩ බල බලා මූට අපරාධයක් සිතීම් නම් නිසි ව පොරෝනා බුද්ධ ප්‍රත්‍යෙක බුද්ධාදීන්ට ත් මා වැරදි නියා ය මැ යි’ සිතා ලා මරණ මැරීම තබා පියා ‘මාගේ මෙතෙක් නෑයන් මැරූයේ තෝ දැ’යි විචාරා එ සේ ය යි කී කල්හි ‘තෝ වන්නා තාගේ අදහස් නපුරු හෙයින් කුමක් කෙරෙහි නමුත් ඒ වන්නාට ය. වසුන් පයිවල දැළි විචාරන්නෝ ඇද්ද? සියලු ලෙසින් ම කසළ වූ තා නිකසළ වූ දෙයාසඞ්ඛ්‍ය කප් ලක්‍ෂයක් පැරුම් පුරා පසේ බුදු වූ මහතුන් ඇඟ වැකි මේ සිවුරු කඩ ඇඟ ලා ගෙන මෙ තරම් අපරාධ කරන කල කළ මනා නො කටයුත්තෙන් තා නො කළ දෙයකුත් ඇද්ද? කටයුත්තකින් කළ දෙයකුත් ඇද්ද? මේ සිවුරේ ආනුභාව ය අද තා ජීවත් වූ ගමනින් ම දැන ගනැ’යි අවවාද කළ දෑ ය.

බුදුහු මේ වදාරා ලා ‘එ සමයෙහි ත් තමාට නො තරම් සිවුරු පෙරවියේ මේ දෙවිදත. එ සමයෙහි උන්ට අවවාද කළ ඇතානෝ නම් මම ය’යි වදාරාලා ‘යම් කෙනෙක් සිත රාගාදි කෙලෙස් කසට ගුණ ඇති ව අසුචි පිරුණු කළයක් පිට සිත් කම් කරන්නා සේ සිවුරු පොරොවිද්ද, එ බඳු තරමක් නැති හෙයින් ඌ ගුණ ඇත්තවුන්ට ම තරම් සිවුරු පොරෝනට නිසි නො වෙති. නිස්සෝ කවුරුද යත හොත් යම් කෙනෙක් අධිගම කාලයක වී නම් චතුර්විධ මාර්‍ග ඥාන නමැති මුඛයෙන් රාගාදි කෙලෙස් කසළ වමාරා පූ ද, සෙසු කළ වූව ත් ඥාන නමැති මුඛයෙන් වමාරා පෙරළා ඒ අනුභව නො කෙරෙද්ද නැවත කිරලක බිජුවට රක්නා සේ, සෙමෙරක වාලධිය රක්නා සේ එක ම පුතණු කෙනෙකුන් ඇති පියාණ කෙනෙකුන් ඒ ඒ පුතණුවන් රක්නා සේ, එක ම ඇසක් ඇති කෙනෙකුන් ඒ ඇස රක්නා සේ, රක්‍ෂා කරණට නිල වූ ශීල ය ඛණ්ඩාදි භාවයට නොපමුණුවා සකසා රකිද් ද, සක් රුවන අනික් කෙනෙකුන්ට නිසි නොව සක්විත්තන්ට ම නිසි වන්නා සේ සිවුරු ත් උන්ට ම නිසි ය’ යි වදාළ සේක.

ඒ බණ අසා රජගහ නුවර සිට ගොසින් මෙහෙවර කී භික්ෂූන් වහන්සේ මෙහෙවරට ලබන ප්‍රසාදයක් මෙන් සෝවාන් වූ සේක. තවත් බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියහ.

එසේ හෙයින් නුවණැත්තවුන් විසින් සිත්හි හට ගත්තා වූ රාගාදි කෙලෙස් කසළ අධිගමාරොග්‍යතා නිසා විවසුන් බෙහෙත් කා ඥාන මුඛයෙන් වමාරා නිකසල වීමෙන් අකුසලින් දුරු ව ශීලාදී ගුණයෙහි පිහිටා සිත් සතන් පවිත්‍ර කට යුතු.

  1. පුරන් ව