127. බහුභාණ්ඩික නම් තෙරුන් වහන්සේගේ වස්තුව

star_outline

තව ද ප්‍රත්‍යබාහුලික වීමෙහි නපුර හඟවන්නට බොහෝ භාණ්ඩ ඇති හෙයින් බහුභාණ්ඩික නම් තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්-

සැවැත් නුවර වසන කෙළෙඹියාන කෙනෙක් ඇඹේණියන් මියන්නා ම මහණ වූ ය. මහණ වන ගමනේ ම තමන් වසන්ට පිරිවෙණක් ද ගිනි හල් ගෙයක් ද පිරිකර තබන්ට ගබඩා ද කරවා ලා ගබඩාවල ගිතෙල් මී සකුරු ආදි ය තබා ලා මහණ වූ කලත් පිළිවෙත් පිරීමට ත් වඩා කුක්ෂි පූරණයට ම උත්සාහ ඇත්තා සේ මුළුල්ල ම පිරිමස්වා ගෙන මහණ වූහ. මහණ ව තමන්දෑගේ කෙල්ලන් කැඳවා ලා විධාන කොට රුචි ලෙසට බත් මාළු ඉදිකරවා ගෙන වළඳනදෑ ය. මහණ වූ ගමන නම් කර්මාන්තයට මැළි ව මහණ වූ ගමනක් වැන්න. පිරිකර ත් බොහෝ ව ම ඇත. රෑ දවස වෙන ම තුන් සිවුරක් වළඳන දෑ ය. දාවල් අත් ගා සිලුටු කළ තුන් සිවුරක් වළඳින දෑ ය. දන් පිස්වා ගෙන්වා වළඳනු නිසා විහාර කෙළවර වසන දෑ ය.

එක් දවසක් සිවුරු හා ඇතිරි ඒ මේ අවු ගස්වන කලට විහාර බලා ඇවිදිනා වහන්දෑ රදා තොටෙක පිළි වනා පියා තුබුවා සේ බොහෝ සිවුරු හා පිළි වනා පියා තුබුවා දැක ‘ඇවැත්නි, මේ හැම කාගේ දැ’යි විචාරා ‘අනික් කාගේද? අපගේ ය’ යි කී කල්හි ‘ඇවැත්නි, බුදුන් අනුදැන වදාළේ තුන් සිවුරු පාත්‍ර පමණෙක. තුමූ වැළි ත් අපිස් සතොස් බුදුන්ගේ සස්නෙහි මහණ ව බොහෝ පිරිකර ඇති ව වෙසෙති. ඊට කාරණ කිම් දැ යි නො කැමැති කර වා ම බුදුන් ළඟට ගෙන ගොසින් පිළිපදිනා ලෙස ත් පිරිකර බොහෝ ව ඇති නියාව ත් කී සේක. බුදුහු ත් සැබෑ දැ’යි විචාරා ‘සැබව, ස්වාමීනි’යි කී කල්හි ‘මහණ, තෝ කුමක් නිසා අපිස් සතොස් වන්ට මා කියමින් සිටිය දී ලත් ලත් දෙයක් දන් නොදී පිරිකර බොහෝ කෙළෙනැ’යි වදාළ සේක.

කන ඕනා සේ, බුදුන් වදාළ එ විතර බස් පමණකු ත් ඉවසා ගත නො හී ‘මෙ ලෙස නිෂ්පලිබොධ වීම යහපත් දැ’ යි පොරෝනා ගළවා දමා පියා පර්‍ෂත් මධ්‍යයෙහි ලජ්ජා නැති නියා ව කියා හඟවා ලන්ට බැරි හෙයින් කොට හඟවන්ට කළා සේ හඳන ය පමණකින් සිටි දෑ ය. එ වේලෙහි බුදුහු හෙන ගෙට දෙන රුකුලක් සෙයින් උන්දෑට ම උපස්තම්භක ව ‘හැයි’ මහණ. තෝ පෙර දිය රකුසුව උපන් කල පවා හිරි-ඔතප් රැක ගෙන දොළොස් හවුරුද්දක් විසී ය. දැන් මෙ වෙනි බුදු සස්නෙක මහණ ව සිවු වනක් පිරිස් මැඳයේ පොරෝනය ත් දමා පියා පොරෝනයෙන් වැසී තුබූ විලිලජ්ජා ත් හැර සිටියෙනැ’යි වදාළ සේක. උන්දෑත් බුදුන්ගේ බස් අසා හිරි-ඔතප් එළවා ගෙන පොරෝන ය වැළඳ ගෙන බුදුන් වැඳ ලා එකත් පස් ව හුන් සේක. වහන්දෑ ත් දේවධර්‍ම ජාතක කථා ව අසනු කැමැති ව බුදුන්ට ආරාධනා කළ සේක.

බුදුහු වදාරන සේක් ‘මහණෙනි, යට ගිය දවස බරණැස් රජ්ජුරුවන්ගේ අග මෙහෙසුන් බිසොවුන් කුස මහ බෝසත්හු පිළිසිඳ ගත්හ. උපන් කුමාරයන්ට මහිංසාසක කුමාරයෝ ය’ යි නම් තුබූහ. ඉක් බිති ව උපන් කුමාරයන්ට චන්ද්‍ර කුමාරයෝ ය’යි නම් තුබූහ. ඒ කුමාරවරුන් දෙන්නා වදා ලා ඒ බිසොවුන් මළ කලට රජ්ජුරුවෝ අනික් කෙනකුන් අග මෙහෙසුන් කළහ. උයිත් පුතණු කෙනකුන් වැදූහ. උන්ට සූර්‍ය්‍ය කුමාරයෝ ය’යි නම් තුබූහ. ඒ පුතණුවන් දැක රජ්ජුරුවෝ සතුටු ව බිසොවුන්ට ‘වරයෙක් දෙමි’ කිවු ය. බිසොවුන් ‘පසු ව හැර ගනිමී’ කියා එවක තබා පියා පුතණුවන් වැඩි විය පැමිණි කල්හි ‘රජ්ජුරුවන් වහන්ස, ම පුතුන් උපන් කල දී වරයක් දුන්නේ ඇත්තේ වේද? සෙසු වරයකින් කම් නැත. ම පුතුන්ට රාජ්‍යය දුන මැනැවැ’යි කිවු ය. රජ්ජුරුවෝ ‘මළ බිසොවුන් ගෙන් පෙරාතු උපන් පුත් දෙ බෑයෝ තේජසින් ගිනි කඳ පරිද්දෙන් බබළති. එ සේ හෙයින් තොපගේ පුතණුවන්ට රාජ්‍ය ය දෙන්ට බැරි ය’යි කිවු ය.

රජ්ජුරුවන් එ සේ කීවත් බිසොවුන් පසු ව උපන් පුතණුවන්ට රාජ්‍යය දෙන්ට කියන හෙයින්, ‘පෙරාතු උපන් පුතුන් දෙන්නකු හින්ද දී උන්ගේ මෑණියන් නැති පමණකට තමාගේ පුතුට රාජ්‍යය ඉල්වයි. රාජ්‍ය ලෝභයෙන් ම පුතුන්ට අනර්ථයක් කළ නමුත් නපුරැ’යි පුතුන් කැඳවා ලා දරුවෙනි, මම තෙල තොපගේ වෙන මවුන් දරු මලණුවන් උපන් සමයෙහි නොසලකා වරයක් දිනිමි. දැන් උන්ගේ මෑණියෝ රාජ්‍ය ය ඉල්වති. මමත් තොප දෙ බෑයන් හින්ද දී උන්ට රාජ්‍ය ය නො දෙමි. ගෑනු නම් අනර්ථකාරී හෙයින් ගස්වල වළඳිනා ලිය ගසට නො සිතා තමාට පිහිට නිසා වළඳිනා සේ කවුරුන් වුව ත් භජනය කෙරෙති.

“නත්‍ථිත්‍ථිනං පියො නාම - අප්පියොපි න විජ්ජති,

ධනං තා පතිවෙල්ලන්ති - ලතාව දුම නිස්සිතා”

යනු හෙයින් වස්තු විනා අනික් තැකිවිල්ලක් නැති හෙයින් තොපට අනර්ථයක් කොළෝ නමුත් නපුර. තෙපි වලට පලා ගොසින් මා අයාමෙක අවුත් රාජ්‍ය ය හැර ගනුව’යි විධාන කොට ලා යැවූහ.

උයි ත් පියාණන් වැඳ ලා මාළිගාවෙන් බටවු ය. බට කලට සෙණ්ඩුලුවේ[1] කෙළිමින් සිටි වෙන මවුන් දරු සූර්‍ය්‍ය කුමරුවෝ දෙබෑයන් වලට නික්මුණු නියාව දැන උන් හා සමඟ තුමූ ත් නික්මුණාහු ය. ගොසින් හිමවතට වන් කල්හි බෝසත්තු මගින් ඉවත්ව රුකක් මුල ඉඳ බාල ව සිටි සූර්‍ය්‍ය කුමාරයන්ට ‘මල, තෙල විලට ගොසින් නා පියා පැනු ත් බී පියා නෙළුම් පතෙකින් පැන් මුළකු ත් අපට ගෙනෙව’යි කිවු ය.

ඒ විලත් වෙසවුණු රජ්ජුරුවන් ගෙන් එක් දිය රකුස්සකුට ‘දෙව් දහම් දන්නා කෙනකුන් හැර සෙසු කෙනෙක් මේ විලට බටවු නම් උන් හැර ගෙන කව’යි විධාන කොට දෙවූ විලෙක. එවක් පටන් ඒ රකුසු ඒ විලට බට කෙනෙක් ඇත් නම් දෙව් දහම් විචාරා පියා දන්නවුන් හැර නො දන්නවුන් කයි.

සූර්‍ය්‍ය කුමාරයෝ ත් රාක්‍ෂස පරිගෘහිත නියාව නො දැන ඒ විලට බටුවු ය. රකුස්සා ත් දෙව් දහම් විචාළ කල්හි ‘දෙව් දහම් නම් හිර-සඳ ය’යි කිවු ය. ‘තොප දන්නා දෙව් දහම් නැතැ’යි කියා ලා දිය තුළට ගෙන ගොසින් තමාගේ විමන හිඳුවා ලී ය.

බෝසත්තුත් සූර්‍ය්‍ය කුමාරයන් කල් යවන්නා සඳ කුමරුන් යවූහ. උයිත් ගොසින් විලට බැස දිය රකුස්සා දෙව් දහම් විචාළ කල්හි ‘දෙව් දහම් නම් සතර දිග ය’යි කිවු ය. දිය රකුසු උනු ත් දෙව් දහම් නොදන්නා නියාව දැන හැර ගෙන ගොසින් තමාගේ විමන හිඳුවා ලී ය.

බෝසත්තු උනු ත් කල් යවන්නා උවදුරක් ඇති නියා ය යි තමන්දෑ ගොසින් දෙන්නා ම බට පිය මුත් නැඟි පිය නො දැක මේ විල රාක්‍ෂස පරිගෘහිත විලෙක් වනැ යි දැන කඩුව කර එවා ගෙන නිර්භීත ව වසවත් මරු කෙරේ භය නැති වීමට කරන අභියෝගයක් මෙන් තර ව සිටි දෑ ය. රකුස්සා ත් බෝසතුන් බුදු බව නිසා සසරට බටුවා සේ විලට නො බස්නා නියාව දැන වල කර්මාන්ත කරන මිනිසකු ලෙසින් අවුත් ‘පින්වත, තෙපි ගමනේ විඩා විය. විලට බැස ගිම් නිවා නො නාන්නේ ත් හැයි ද, පිපාසා නිවා පැන් නො බොන්නේ ත් හැයි ද, බැස ලා නා ත් පියා පැනුත් බී පියා නෙළුඹල ත් කා ගෙන මල් පැළඳ ගෙන යව’යි කීය. බෝසත්තු ඌ දැක ම යම් රකුස්සෙක් මේ විල වෙසේ නම්මේ ඒ ම ය’යි සියල්ල ම දන්නා නුවණින් දන්නා සේ ම අනු මාන ඥානයෙන් දැන ‘තෙපි මේ විල වසන රකුස්සාණෝ දැ’ යි නො විචාරා ‘අපගේ මල් බෑයන් දෙන්නා හැර ගත්තෝ තෙපි දැ’යි විචාරා ‘එ සේ ය’යි කී කල්හි ‘කුමක් නිසා දැ’යි විචාළහ.

‘මම මේ විලට බට කෙනෙක් ඇත් නම් ලැබෙමී’ තමාගේ බසින් ම රකුසු නියාව දැන ගත හෙන මහ බෝසතුන්ට හැඟවීය. ‘කුමක් ද, බට යම් කෙනකුන් ම ලබවු දැ’යි බෝසත්තු විචාරා ‘දෙව් දහම් දන්නවුන් හැර සෙස්සන් ලැබෙමී’ කී කල්හි ‘තොපට දෙව් දහමින් ප්‍රයෝජන ඇද්දැ’යි විචාරා ‘එ සේ ය’යි කී කල්හි බෝසත්තු ත් ‘ඒ මම දනිමි’ කිවු ය. ‘එසේ කල කිව මැනැවැ’යි කී කල්හි ‘ධර්‍ම ය නම් සත්‍ව සන්තානයේ අපවිත්‍ර නො වත් අපවිත්‍ර දෙයක් වී නම් දේ ද අපවිත්‍ර ශරීර ය හැර ගෙන කිව මනා ය. නොඑක් ලෙසින් සැරහී සිටිනා ධර්‍ම ය. ඉස් සෝධා නා සැරහී මුත් කියන්නට බැරි ය’යි බෝසත්තු කීහ. රකුසුත් මහ බෝසතුන් ඉස් සෝධා නාවා පියා පැන් පොවා ලා මලින් ගඳින් සරහා ලා සරහන ලද රුවන් මඬුවෙක පනවන ලද හස්නෙක හිඳුවා ලා තුමූ පා මුල හුන, බෝසත්හු ද-

“හිරිඔත්තප්පසම්පන්නා - සුක්කධම්මසමාහිතා,

සන්තො සප්පුරිසා ලොකෙ - දෙවධම්මාති වුච්චරෙ”

යනු හෙයින් ‘යම් කෙනෙක් අමෙධ්‍යයෙහි ග්‍රාම සූකරයා මෙන් නො ව පාපයෙහි ජුගුප්සාකාරයෙන් පවත්නා ලජ්ජාව හා වහ්නියෙහි සලභයා මෙන් නො ව පාපයෙහි භයාකාරයෙන් පවත්නා ඔතපු ත් ඇත්තෝ ද, එයින් අවශිෂ්ට වූ ත් ශීලසමෘද්ධ්‍යාදී ගුණයෙන් යුක්තයෝ ද, නැවත රාගාදි එකොළොස් ගින්න තදඞ්ගාදි වශයෙන් නිවා ගත් හෙයින් සන්හුන්නු ද බුද්ධාදී වූ සත්පුරුෂයන්ගේ ස්වභාවයෙහි පිහිටි හෙයින් සත්පුරුෂයෝ ද ඒ හිරි-ඔතප් ආදීහු සංවෘති ආදි වූ දේවත්‍වයට කාරණ හෙයින් දේවධර්‍ම හ’යි තුණ්ඩිල ජාතකයෙහි හූරු ව උපන් බෝසතුන් ධර්‍ම ය නම් මඬ නැති විලෙක යනාදීන් කියා ලූ බණ සේ ම රකුස්සාට දෙව් දහම් කීහ.

රකුසු ද මහ බෝසතුන්ගේ බණ අසා පැහැද ගොසින් බෝසතුන්ට ‘පණ්ඩිතයෙනි, මම තොප කෙරෙහි පහනිමි. පහන් මම එක් මලණු කෙනකුන් දෙමි. කවර මලණුවන් දෙම් දැ’ යි විචාළහ. කාර්‍ය්‍ය ශක්ති ය හඟවන බෝසත්හු බාල මලණුවන් ගෙනවුත් දෙන්ට කීහ. ඒ අසා රකුසු තෙමේ ‘පණ්ඩිතයෙනි, තෙපි නුවණැති හෙයින් දේව ධර්‍මය දනුව. දන්නා පමණක් මුත් තොප ඊ පවන්නේ නැතැ’යි කී ය. ‘කාරණ කිම් දැ’යි විචාළ හෙයින් වැඩි මාලු තැනැත්තවුන් හින්ද දී බාල මලණුවන්ගෙන් වන හෙයින් කුල දෙටුවන් පිදීම නැති නියා වේ දැ’යි සිතා ය’යි කීය. “හෙම්බා රකුස්සාණෙනි, මම දේව ධර්‍මය ත් දනිමි. ඊ ත් පවතිමි. එතකුදු වුවත් අපි මේ වලට එන්නමෝ ත් මුන් නිසා ආම්හ. උන් නිසා ආයේ හැයි දැ’යි යත හොත් මූ වෙන මෑණි කෙනකුන්ගේ පුතණු කෙණෙක. මුන්ගේ මෑණියෝ වර ඉල්වන ගමනේ මුන්ට රාජ්‍ය ය ඉල් වූ ය. අපගේ පියාණන් වහන්සේ එලෙස නොකොට මුන්ගේ මෑණියන්ගෙන් අපට උවදුරක් වෙතී සිත: අප රක්නා නිසා වලට එවූ සේක.

මේ කුමාරයෝ ත් අප නොකැඳවා ම අප හා කැටි ව අවු ය. ඔබ ගිය කල මුන් විචාළවුන්ට ‘වල යකෙත්හැර ගතැ’යි කීමෝ නමුත් අප ගැළවී ගිය කලට කිසි කෙනකු ත් හදහා නො ගනිති. රාජ්‍ය ලෝභයෙන් මරා පුව යි ම සිතති. අනික් තැනත් තවුන් එක් කුසේ උපන් හෙයින් යකෙක් හැර ගතැ යි කී කල ‘ඵ සේ ව ත් මුත් මුන් එන කල අරුන් අනික් ලෙසකට නස්නට කාරණ නැතැ’යි ඒ හදහති. නින්‍දා පරිභවයෙන් මිදෙනු නිසා මුන් ගෙන්වමී’යි කිවු ය. බෝසතුන් කෙරෙහි රකුසු තර ව පැහැද ‘සත් පුරුෂයාණෙනි, දෙව් දහම් දන්නා නියා ත් එහි පවත්නා නියා ත් යහපතැ’යි දෙ බෑයන් ම ගෙනවුත් ආළවක නම් යක් සෙනෙවියා හත්‍ථාළවක කුමාරයන් බුදු වූ අවස්ථාවෙහි දුන්නා සේ ම දුන්හ. මහ බෝසත්හු ද රකුසු වීමෙහි බොහෝ ආදීනව කියා පන්සිල් පිහිටුවා ලා ප්‍රාණ වධ හැර වූහ.

මහ බෝසත්හු ද රකුස්සාගේ සහායෙන් කිසි ත් උපද්‍රවයක් නැති ව වල රඳා හිඳ ලා පියාණන් මළ කල රකුස්සා ත් කැඳවා ගෙන බරණැසට අවුත් රාජ්‍යයෙහි පිහිටා සඳ කුමරුන්ට යුවරජ තනතුරු දීලා, සූර්‍ය්‍ය කුමරුන්ට සෙනෙවිරත් තනතුරු දී ලා රකුස්සාණන්ට ත් සිත් කළු තැනෙක දෙවොලක් කරවා ලා බොහෝ ලාභ සත්කාර ලබන ලෙසට ප්‍රසිද්ධ කළහ.

බුදුහු මේ ජාතක දේශනාව ගෙන හැර වදාරා ‘එ කල බොහෝ පව් රැස් කළ දිය රකුසු නම් මෙ කල බොහෝ පිරිකර රැස් කළ මහණ ය. එ කල සූර්‍ය්‍ය කුමාරයෝ නම් දැන් අනඳ මහ තෙර හු ය. එ කල සඳ කුමරු නම් දැන් සැරියුත් මහ තෙරහු ය. එ කල මහිංසාසක කුමාරයෝ නම් මම් ම ය’යි ජාතක ය වදාරා ‘මහණ, තෝ පෙර දෙව් දහම් සොයමින් හිරි–ඔතප් ඇතිව යක්‍ෂ ව පවා වැස දැන් බුදු හමුවෙහි සිවුවනක් පිරිස් මැඳට පැමිණ පොරෝනය දමා පියා හඳන ය පමණකින් සිටි නියාව යහපත් නොවේ’යි වදාරා බණ වදාරණ සේක් ‘මෙලෙසින් සංසාර සුද්ධි ය කරම්හ’යි පිළි නො හැඳ හැවිදීමෙනු ත් දළ මඬුලු දැරීමෙනු ත්, දැවිටි නො කෑමෙන් මැලි හුන් දත් ඇති වීමෙනුත්, නැවත කුදු මසුරු දෙයක් මුත් බත් අනුභව නොකිරීමෙනුත්, හැඳ කළාල් ආදියෙහි වැදහෙවීම් හැර බිම හෙවීමෙනු ත්, තව ද ඉස් සේදීම් නෑම් නැති වීමෙන් තුඹස් ගොඩවල් සේ ධූලි තැවරීමෙනු ත්, එලිල්ලෙන් හිඳ ප්‍රධන් වීර්‍ය්‍ය කිරීමෙනු ත්, පිළිවෙත් නොපිරෙයි. හුදෙක් මිථ්‍යාදෘෂ්ටි ය ම ප්‍රකාශ වෙ යි. තව ත් අනිකෙක් වේ නම් ශරීර පීඩා පමණෙක. මෙ සේ කළ පමණෙකින් සත්කායදෘෂ්ටි ය වඩිතොත් මුත් ප්‍රහීණ වන්ට නැති හෙයින් මෙ ලෙස කොට ඇවිද්දහු නිවනට පමුණුවා නො ලයි’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ. පරිෂ්කාර බාහුලික නමට පෙනුණ අධිගමයෙක් නැත. දේශනාව වාසනාභාගිය නො වන්ට කාරණ නැත.

එ හෙයින් සත් පුරුෂයන් විසින් ෂඩ්විශුද්ධි පරම්පරාවෙන් ගොසින් සත් වැනි වූ ඥානදර්‍ශන විශුද්ධියට පැමිණිය යුතු.

_________

  1. සෙණ්ඩුවාළුවේ - ඇතැම්.