තව ද යම් කෙනෙක් නිරපරාධයන්ට අපරාධ කළෝ නම් උන් ආදීනව දසයකට හෝ ඉන් එකකට වුව ත් පැමිණෙන නියා ව හඟවන්ට මුගලන් මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.
කෙසේ ද යත්-
එක් සමයෙක තීර්ථකයෝ එක් තැන් ව පියා ඔවුනොවුන් හා කථාකරන්නාහු ‘මහණ ගොයුම් හට ලාභ-සත්කාර බලවත් වන්නට කාරණ දනු දැ’යි විචාළෝ ය. ‘අපි නො දනුම් හ. තෙල ලෙස විචාළේ තොප හැම දන්නා නියා දැ’යි කිවු ය. ‛එ සේ ය, අපි දනුම්හ. එක මුඟලන් තෙරුන් නිසා උපදනා ලාභසත්කාර ය. උන් නිසා උපදනේ කෙසේදයත්-ඌ තුමූ දෙව් ලොවට ගොසින් මිනිස් ලොව සිටිනා කල දේවතාවන්ට නිසි ව කළ පින් විචාරා ගෙන උත්සාහ වඩනා නිසා මේ මේ පින්කම් කළාහු දෙව් ලොව ඉපැද දෙව් සැපත් ලැබෙතී’ මිනිසුන්ට කියති.
‛කලෙක නරකයට ගොසින් හැසිල්ලකට නරක ගිනි නිවා ලා නිරා දුකට කාරණ වූ පවුකම් විචාරා ගෙන අවුත් මේ පවුකම් කොළෝ නරකවල ඉපැද මේ මේ දුක් විඳිති’යි කියති. මිනිස්සු ඒ අසා පවින් දුරු ව පින්කම හැසිරෙන්නාහු බොහෝ වූ ලාභ සත්කාර එළවති. මිනිසුන් දෙව් සැපතේ ආලය කරන්ට ඒ විස්තර කොට කියන්නෝ ත් ගොසින් බලා ආ හෙයින් ඌ ම ය. පවෙහි ආල ය හරවන්ට එයි ත් බලා ආ හෙයින් නරක දුක් කියන්නෝ ත් ඌ ම ය. දෙලෙසින් ම ලාභයට මං කළහ. ඉදින් උන් මරා පීමෝ නම් ඒ ලාභ සත්කාර යටගං බලා යන දිය වඩදිය වේ ලාට උඩු ගං බලා යන්නා සේ තවත් එ බඳු කෙනකුන් පෙනෙන තෙක් අප කරා එයි’ කිවු ය.
ඒ උපදෙස යහපතැ යි හැම දෙන ම එක් සිත් ව ගෙන මරණ උපදෙස් සිතන්නාහු තමන්ගේ උපාසකවරුන් සමාදන් කරවා ගෙන මසු දහසක් ලදින් මිනී මරා ඇවිදිනා සොරුන් කැඳවා ගෙන්වා ගෙන මඟ මුගලන් තෙරහු කළුගල වෙසෙති. එ තැනට ගොසින් උන් මරා පියව’ කියාලා අත්ලසට මසු දහසක් දුන්හ. සොරු ත් වස්තු ලෝභයෙන් නො ගිවිසි මනා දෙය ගිවිස ගෙන මහ තෙරුන් වහන්සේ මරනු නිසා ගොසින් ඔබවැඩ හිඳිනා තැන් වටකොට ගත්හ. මහ තෙරුන් වහන්සේ ත් උන් වට කළ නියාව දැන කෙසි සිදුරෙන් නික්මලා කැමති තැනකට වැඩි සේක.
සොරු ත් එදවස තෙරුන් වහන්සේ නොදැක අනික් දවසෙකත් අවු ත් ගල් ලෙන රැක ගත්හ. මහ තෙරුන් වහන්සේ දැන ලා ආදි දවස් ගිය මඟ රැක ගත්හ යි අනික් මඟක යන කෙනකුන් මෙන් කැණි මඬල පලා ගෙන අහසට නැඟි සේක. මෙ ලෙසින් දෙ මසක් විතර ම මහ තෙරුන් වහන්සේට කුමකු ත් කොට ගත නුහුනු වූ ය. තුන් වන මස දී මහ තෙරුන් වහන්සේ සොරුන්ට වැළහෙන්ට පිළිවන් වුව ත් තමන් වහන්සේ කළ අකුසල කර්‍මයට වැළහෙන්ට තමන් වහන්සේ තබා බුදුන්ටත් බැරි බැවින් එ දවස් නො ගොසින් වැඩ හුන්සේක. සොරු ත් ගසා අල්වා ගෙන සියල් සිරුරෙහි ඇට තළා පයියක පුරා ලූ සාල් මෙන් බිඳ සුණු කොට පියා මළ යි සිතා එක් කැලයකට දමා පියා ගියහ.
මහ තෙරුන් වහන්සේ ‘බුදුන් දැක ම පිරිනිවන් පයිමි[1]’ යි තමන් වහන්සේගේ අත් බැව බුන් වළඳක් වැලි ත් වෙළා තර කරන්නා සේ ධ්‍යානයෙන් වෙළා තර කොට ගෙන අහසින් බුදුන් ළඟට ගොසින් බුදුන් වැඳ ලා ‘ස්වාමීනි, පිරිනිවන් පයිමී’යි කී සේක. පිරිනිවන් පවු දැ’යි බුදුන් විචාරා ‘එසේය, ස්වාමීනි’යි කී කල්හි කොයි දී දැ යි විචාළ සේක. ස්වාමීනි, කළු ගල් ලෙන දී ය’යි කී කල්හි ‘එ සේ වී නම් අපට බණක් කියා ලා යව. මෙ වක් පටන් තොප වැනි සවු කෙනකුන් දක්නට ත් නැත්තේ වේ දැ’යි වදාළ සේක. ‘යහපත, ස්වාමීනි, එ ලෙස කෙරෙමි’යි කියා ලා බුදුන් වැඳ ගෙන අහසට නැඟී සැරියුත් මහ තෙරුන් වහන්සේ පිරිනිවන් පානා දවස් පෙළහර දැක්වූවා මෙන් පෙළහර දැක්වීමට තමන් වහන්සේ බුදුන්ට ඉක්බිති හෙයින් විශේෂ කොට පෙළහර දක්වා බුදුන්ගේ ආරාධනාවෙන් බණත් වදාරා අහසින් බැස කළුගල් ලෙනට වැඩ පිරිනිවි සේක.
සොර කෙනෙක් මුගලන් මහ තෙරුන් වහන්සේ මැරූ ය යි යන කථා ඔබ ත් ප්‍රසිද්ධ ව සිටි හෙයින් සියලු දඹදිව විස්තීර්‍ණ වි ය. අජාසත් රජ්ජුරුවෝ ත් සොරුන් හසු කරන්ට මිනිසුන් විධාන කළහ. ඒ සොරුනුත් රා විකුණන තැනින් රා හැර ගෙන බොන කලට එකෙක් එකකුගේ රා ඔඩම ගසා හෙළා පී ය. ඒ ඕ හට කිපී ගොසින් ‛හැයි කොල මාගේ ‘රා ඔඩම ගසා කුමට හෙළී ද. මුගලන් මහ තෙරුන්වහන්සේට පළමු කොට ගැසූයේ තෝ ද? මා ත් ගැසුව’යි කියා මෙ ලෙසින් ඔබ මැරීමට එක් වූ හැම දෙන තම තමන්ගේ බසින් ම පෙනෙනවු ය.
හසු කරනට සිටියෝ ත් උන් තම තමන් ම කියා සිටිය හෙයින් සොරුන් හැම ගසා අල්වා ගෙන රජ්ජුරුවන්ට පෑවුය. රජ්ජුරුවෝ ද ‘මහ තෙරුන් වහන්සේ මැරුවෝ තෙපි දැ’යි විචාරා එ සේ ය යි කී කල්හි ‘තෙපිම සිතා ගෙන මැරූ ද? ඔබ්බේ විධානයකින් ‘මැරූදැ’යි විචාළෝ ය. නිවටුන්ගේ විධානයෙනැ’යි කී කල්හි රජ්ජුරුවෝ පන් සියයක් නිවටුන් ගෙන්වා ගෙන පන්සියයක් සොරුනු ත් උනුත් දහස සෙඬුලුවෙහි[2] පෙකිණි පමණට වළ ගස්වා ලා ඊ සිටුවා පස් තළවා ලා පිදුරෙන් වස්වා ලා උදේනි රජ්ජුරුවන් මාගන්‍දිය නම් බැමිණියගේ නෑයන් ලා කැර වූ ලෙසට ම ගිනි ගැස්වූහ. ගිනි ගසා දා ගත් නියාව දැන ය නඟුල් බා ලා සාවා පියා හිරි හිරි කොට පෑළුහ[3].
ධම් සෙබෙහි රැස්ව හුන් වහන්දෑ ත් ‘ඇවැත්නි, මුගලන් මහ තෙරුන් වහන්සේ පිරිනිවි ලෙස ඔබට කරම් නොවෙ’යි කී සේක. බුදුහු ඒ අසා වදාරා ‘මහණෙනි, මේ වක මෙලෙස මිය යාම උන්ට තරම් නො වන පමණක් මුත් සක්ලේශී ව සිටියෝ වූ නම් පෙර උන් කළ ලෙසට තරම් ම ය ‘යි වදාරා පෙර කළ අකුශල ය කවරේදැ යි විචාළ කල්හි විස්තර විසින් වදාරන සේක්-
‘යට ගිය දවස බරණැස් නුවර වසන එක් කුල දරුවාණ කෙනෙක් තුමූ ම පරමන්-පිසමන් ආදිය කෙරෙමින් දෙ මවු පියන් රකිති. උන්ගේ දෙමවුපියෝ ද ‘පුත, තොප තනි ව ම ගෙයිත් දඩත් මෙහෙවර කොට තොපට ආයාස මහත. දීග පමණක් විතාරන්ට සුදුසු තැනකින් සරණක් ගෙන්වා දෙමෝ දැ’යි විචාරා ‘මට ඉන් ප්‍රයෝජන නැත. යම් තාක් මුඹ දෙන්න ජීවත්වන දෑ වී නම් ඒ තාක් සිය අතින් උපස්ථාන කෙරෙමී’යි කියා සරණ ගෙන්වීමෙහි රුචි නැත ත් නැවත නැවත පැරැත්ත කියා කුමාරිකා කෙනකුන් සරණ ගෙන්වා දුන්හ.
කුමාරිකා ද තමා පය ඔබා ගන්නා තෙක් දවස් ගණනක් නැඳි මයිලන්ට කළ මනා උපස්ථාන අඩුවක් නැතිව කොට ලා පසු නැදි මයිලන්ගේ දැකීම පමණකුත් නො කැමැතිව ‘මුඹට ගන්නා දීග මුත් මුඹගේ දෙමවුපියන්ට මෙහෙ මට බැරි ය’යි කියා උන් තමන් කුමක් කීවත් නො ගිවිස්නා හෙයින් සමුණන් පිටතට ගිය කලට නර කෙස් නියාවක් හඟවන්ට නියඳ කෙඳිත් සොටු සෙම් මාරුවට කැඳ පෙණත් හැර ගෙන ඒ ඒ තැන තබා පියා සමුණන් අවුත් මේ කිම් දැයි විචාළ කල්හි ‘මේ මුඹගේ ඇස් කන් නැති දෙමවුපියන්ගේ කට යුතු ය. හිස කේ පීරන කල කඩා ලති. සෙම් කාරා ඒ ඒ තැන ලති. සූරා සොටු දමති. කසළ කළ කළ සේ දමා කී විටෙකැ යි කියා ගේ දොර පිසීම්ද? මුන් දෑ හා මා හා එක් ව රඳා ලන්ට නො පිළිවනැ’යි එක් වන් කිය යි. මෙ සේ උන් කියන කලට එකාසඞ්ඛ්‍ය කප් ලක්‍ෂයක් වමත් සවුවන්ට පතා ආ මහා පුරුෂයාණෝ දෙ මවු පියන් කෙරෙහි බිඳී ගත්හ. බිඳී ලා ‘ඊට නිස්ස දනිමි’ කියාලා දෙමවුපියන් කවා පොවා ලා ‘දෙ මවු පියෙනි, මුඹගේ අසවල් තැන හිඳිනා නෑයෝ මුඹ දක්නා කැමැත්තෝ ය.
‘ඔබ යම්හ’යි කියා ලා ගැලකට නංවා ගෙන යන තැනැත්තෝ අඩෙවි මහ වලකට ගිය කලට ‘මුඹ දෑ හැම මේ රැහැණ අල්වා ගෙන පයින් සන් කොට ලන්නා ගොන් යෙති. මේ තැන සොරු ඇත. මම බැස ලා සොරුන්ගේ සඤ්චාර ය දැන ගෙන යෙමි” කියා ලා දෙමවුපියන් අතට රෑණ දී ලා බැස පියා මඳක් තැන් ගොසින් තබා ලා කට හඬ ත් පෙරළ ලා කෙලෙස් සොරුන් විනා අන් සොර කෙනකුන් එ තැන නැතත් සොරුන් අවුත් වන් සැටියක් කළහ. දෙමවුපියෝ ත් අරගල අසා ලා සොරු දෝ හෝ’යි සිතා ලා ‘පුතණ්ඩ, අපි මාලු ව ගියම්හ. අප මළත් මළේ ය. ගැළවුණු ගමන් මුඹ ගැළවෙන්නේ ය’යි කිවු ය. ඌ තුමූ දෙමවුපියන් එ ලෙස කී කල සොරුන් පලවා පියා ආ ලෙසක් සේ අවුත් ලා මොළොක් සිත් ඇති ව දෙමවුපියන් කැඳවා ගෙන පෙරළා ගෙට යන ලෙසකු ත් නො කොට-
“බලවන්තො දුබ්බලා හොන්ති – ථාමවන්තොපි හායරෙ,
චක්ඛුමන්තොන්ධිතා හොන්ති මාතුගාම වසංගතා”
යන්නෙහි පිහිටා ඥාන ශක්තිය නැති වීමෙන් දුර්‍වල ව නුවණැස නැති වීමෙන් අන්ධ දෙමවුපියන්ට වඩා අන්ධව රක්‍ෂා කළ ඇඹේණියන්ගේ අදහස ම රැකී පමණක් මුත් පරලොව නසා සොරුන් ලෙසට අරගල කෙරෙමින් අවුත් ලා තළා පියා වල දමා පියා ගෙට ගියහ.
බුදුහු ඔබගේ මේ අකුශල කර්‍ම ය වදාරා ලා, ‘මහණෙනි, මුඟලන් මහ තෙරහු මේ පව් කම කොට නොඑක් හවුරුදු ලක්‍ෂ ගණන් නරකයෙහි පැසී පියා තවත් අකුශල විපාකය නො ගෙවුණු හෙයින් අත්බැව් සියයෙක මේ ලෙසම තැළුම් කා මරණයට පැමිණියහ. මෙ සේ මුගලන් මහ තෙරුන්ට පැමිණි මරණ දැන් උන්ගේ තරමට තරම් නො වතත් නොඑක් ලෙසින් නිකෘෂ්ට අදහස් ඇති ස්ත්‍රීන්ගේ බසින් දෙමවුපියන්ට කොට ලූ ලෙසට තරම් ම ය. සොරුන් හා නිවටුන් හා දහසක් නිරපරාධ වූ පුතුන්ට වැරදැ ලද මනා ලෙස ලත්හ’යි වදාරා බණ වදාරණ සේක් ‘යම් කෙනෙක් මුගලන් මහ තෙරුන් මෙන් නිරපරාධයන්ට සොරු-නිවට දෙ පක්‍ෂය කළ අපරාධය සේ අපරාධ කෙරෙත්ද, මරත් ද, තළත් ද ඌ තුමූ හිස රුජා ආදී වූ බලවත් වූ දුකට ද, දුක සේ සොයා උපයා ගත් වස්තුව යම් කිසි ලෙසකින් අත මිට නැති විමට ද, නැවත අත් පා කැපීම් ආදි වූ අඞ්ග භානියට ද, නැවත කුෂ්ඨ රෝග පාණ්ඩුරෝගාදී වූ අසාධ්‍ය රොග ඇති වීමට ද, යක්‍ෂොන්මාද පිත්තොන්මාදාදියට ද පැමිණෙති.
‘නොයෙක් ලෙසින් ඒ ඒ තැන පතල කීර්තියෙක් ඇත් නම් එයි ත් පරිවාර සම්පතුත් නස්සි. සෙනෙවිරත් තනතුරු ආදියෙන් හෝ පිරිහෙති. කරන්නා තබා නොසිතූත් විරූ උමං බිඳීම් ආදි වූ නො කළ නොපිළිපන් දෙයත් ඔවුන් කරා පැමිණෙයි. නොබෝ හෝ කලකින්ම පිහිට ව සිටිනට නිසි නෑ කෙනෙක් ඇත් නම් ඌ හෝ නසිති. නැවත ගෙයි විකෙක් සාලෙක් ඇත් නම් නිෂ්ප්‍රයෝජන ලෙසට ඒ බොල් වෙයි. රත්රන් ඇත්නම් ඒ අඟුරු වෙයි. මසුරනෙක් ඇත් නම් කැබිලිති වෙයි. වාල් සරක් කණ පිළී වෙති, තව ද හිඳිනා ගෙවල් හවුරුද්දකට දෙ තුන් වරෙක ගිනි වැද ගෙන දයි. මෙ ලොව මේ දසයකට ම හෝ මෙයින් එකකට වුව ත් පැමිණ පරලොව බාධා නැති ව නරකයට පැමිණ බොහෝ දුක් ගනිති’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් සත් පුරුෂයන් දුක් වේදනා නො කැමැතොත් වස්තු හානි අඞ්ග හානි නො කැමැතො ත් රෝගි වීම නොකැමැතොත් යක්‍ෂොන්මාදාදි ය නො කැමැතො ත් උපන් කීර්ති හා පරිවාර සම්පතත් නොනට මනා වී නම් නැති දෙයින් අභ්‍යාඛ්‍යාන නොලද මනා වී නම් නැවත නෑයන් සියන් නො නට මනා වී නම් වී සාල් ආදි ය බොල් නො වුව මනා වී නම් හිඳිනා ගෙවල් කවර ලෙසිනුත් නො දැව මනා වී නම් ඒ හැමට ත් වඩා නරක දුක් නු වුව මනා වී නම් බණ වූ ලෙසින් වූ නම් සාපරාධයන්ට ත් අපරාධ නො කළ මනා තැන නිරපරාධයන්ට අපරාධ කරන්නට තබා සිතිනු ත් නො සිතිය යුතු යි.