125. අජගර ප්‍රේත වස්තුව

star_outline

තව ද පාපයෙහි ම ආදීනව දක්වන්ට අජගර ප්‍රේත වස්තුව කියමු.

කෙ සේ ද යත්-

එක් සමයෙක මුගලන් මහ තෙරුන් වහන්සේ ලක්‍ෂණ මහ තෙරුන් වහන්සේ හා සමඟ ගිජුකුළු පවුවෙන් බස්නා සේක් දිව සින් දකිනා සේක් ගවු සියයක් පමණ දිග ඇති පිඹුරු සටහන් වූ ප්‍රේතයකු දුටු සේක. උගේ හිසින් නැඟි ගිනි දැල් බඳ හොස්සේ ගොසින් ශරීර කෙළවරට යෙයි. ශරීර කෙළවරින් නැඟි ගිනි දැල් හිස කරා යෙයි. දෙ ඇළයෙන් නැඟි ගිනි දැල් ශරීර මධ්‍යයට යෙයි. මහ තෙරුන් වහන්සේ ඒ දැක තමන් වහන්සේ ඒ දුකින් මිඳුණු නියාව සලකා සිනා පහළ කොට වදාරා ලක්‍ෂණ මහ තෙරුන් වහන්සේ සිනාවට කාරණ විචාළ කල්හි ‘හෙම්බා ඇවැත්නි, මට දැන් කාරණ කියා ලන්ට සිඟා යන වේලාව හෙයින් බැරි ය. බුදුන් ළඟ දී විචාළ මැනව. නො කරුණෙක සිනා නැත්තේ වේ දැ’යි කියාලා රජගහා නුවර සිඟා පියා බුදුන් ළඟට ගිය ගමනේ සිනාවට කාරණ ය ලක්‍ෂණ මහ තෙරුන් වහන්සේ විචාළ කල්හි “හෙම්බා ඇවැත්නි, මම එ තැනදී පිඹුරකු වැනිවූ ප්‍රේතයකු දිටිමි. දැක ‘මෙ සේ වූ ආත්ම භාවයක් මා පෙරාතු දුටු විරූ නැත. මෙ සේ වූ ආත්මභාව පහළ වන්නේ භව ක්‍ෂය නො කළ වුන්ට ය. මේ ජාති ය හැර අනික් ජාතියක් මට නැති බැවින් මම ඉන් මිදිණිමී සිතා සිනා පහළ කෙළෙමි”යි වදාළ සේක.

බුදුහු ත් ‘මාගේ සවුවෝ ඇස් ඇති ව වෙසෙති’ යනාදීන් වදාරන සේක් මුගලන් මහ තෙරුන් වහන්සේගේ කථාව හදහන ලෙසට පිහිටුවා ලා ‘මහණෙනි, ඒ ප්‍රේතයා බුදු වූ දවස් බෝ මැඬදී මමත් දිටිමි. කියා ලූ කල යම් කෙනෙක් සියක් ගවු උසැති ප්‍රේතයන් ඇති නියා දැ’යි මාගේ බස් අදහා නොගත්තු නම් උන්ට බොහෝ අවැඩ වෙයි යන අදහසින් නො කීමී. දැන් මුගලන් මහ තෙරුන් දුටු හෙයින් උනුත් සාක්ෂි කොට කියමි. මමත් උන්ට සාක්ෂි වෙමි’ වදාරා ලා ඔහු කළ අකුසල කර්‍ම ය කවරේ දැ’යි වහන්දෑ විචාළ කල්හි ප්‍රකාශ කරන බුදුහු:

‘කසුප් බුදුන් සමයෙහි සුමඞ්ගල නම් සිටාණ කෙනෙක් ඇත. ඌ තුමූ මෙ කල අනේපිඬු සිටාණන් මසුරන් අටළොස් කෙළක් සුලසින් ඇතුට දෙව්රම් වෙහෙර විහාර බිම් ගත්තා සේ රන් උළු කරවා ලා ඒ උළු අතුරුවා ඉන් වැසුණු ඉසුබ් ගණනින් විසි ඉස්බක් විතර හා යට ගණනින් සාර සියයක් යට හා රියන් ගණනින් දෙ දාස් අට සියයක් රියන් විතර දිග පළල ඇති බිම වසා සිටි උළු දී ලා බිම ඇත්තවුන්ගෙන් හැර ගෙන එ තෙක් ම රන් උළු දී විහාර ය කරවා ලා නිමි පූජාවත් එතෙක් ම් රන් උළු දී කැරවූහ. ඒ උන් කරවා කසුප් බුදුන්ට පිළිගැන්වූ විහාර ය නම් මෙ ම දෙව්රම ම ය;

ඌ එක් දවසක් උදෑසනම බුදුන් ළඟට යන්නෝ නුවර දොර වාසල කෙරේ එක් ශාලාවෙක කළු දෑකඩෙකින් ඉස වසා පෙර ව පය බොර සෝධා නො පියා වැද හොත් එක් සොරකු දැක මූ රෑ දෙ වරු ඇවිද පය මඬ ගා ගෙන වැද හොත් මිනිසකු සැටි ය’යි කිවුය. සොරා ත් කර ඔසවා බැලූයේ සිටාණන් දැක ‘වන්නාට ඊට නිස්ස දනිමී’යි සිටාණන් කෙරෙහි වෛර බැඳ ගෙන සත් වරෙක පැසී තුබූ ගොයම් ගිනි ලා දවා පියා දෑකැත්තෙන් දවන්ට නොතුබූයේ ය. සත් වරෙක ගොවු ත් වල සිටි ගෙරින්ගේ කකුල් කපා පී ය. සත් වරෙක හිඳිනා ගෙවල් නංවා ගත් සේ ම ගිනිලා දමා පී ය. තව මෙ විතරෙකිනු ත් ක්‍රෝධ ය සන්හිඳුවා ගත නො හී උන්ගේ බුලත් කවන්නා කැටිව සාද ව ගෙන ‘තොපගේ සිටාණන්ට ප්‍රිය කවරේ දැ’යි විචාරා ‘බුදුන් වැඩ හිඳිනා ගඳකිළියට වඩා අනික් ප්‍රිය දෙයක් නැතැ’යි අසා ‘වන්නාට ය, ගඳකිළි ය දවා නිවෙන විටෙක. ඒ ගිනි නිවියා සේ ක්‍රෝධ ගින්නත් නිවා ගනිමි’යි බුදුන් සිඟා වැඩ පි වේලාට පැන් වළන් ගසා බිඳ පියා ගඳ කිළි ය ගිනි ලා නරක ගිනි තරයේ ම අත් කෙළේ ය.

සිටාණෝත් ගඳ කිළිය දන නියාව අසා නිවන්ට එන තැනැත්තෝ දා නිමා ගිය කලට අවුත් දා නිමී ගිය ගඳ කිළිය බලා කෙසහක් පමණ ත් දොම්නස් නූපදවා වමත හකුළුවා ගෙන දකුණතින් අපොළාපූ ය. ළඟ සිටි මිනිස්සු ස්වාමීනි. මෙතෙක් වස්තු වියදම් කොට කරවාපු ගඳකිළි ය දා ගිය කල තරව මුසුප්පු වත් මුත් මෙ සේ කරන්නට කාරණ කිම් දැ’යි කිවු ය. සිටාණෝ කියන්නෝ ‘හෙම්බා මේ ගඳකිළිය දැව ත් මෙයට මා වියදම් කළ වස්තුව නිකම් දමා පු යෙම් නො වෙමි. සොර සතුරු ආදීන් විසින් උවදුරක් කට නොහැකි බුදුසසුන් නමැති මහා ක්‍ෂෙමස්ථානයෙහි පින් නමැති පෙට්ටගම්වල, පත්තායම් වල ලා නුවණ නමැති යතුරු ලා තබා ලීමි. කෙතෙක් දෙනකුමක් කොට ත් ඒ මාගේ අනුගාමික නිධි ය නසා ගත හෙන කෙනෙක් නැත. තව ත් මෙ ම තෙක් ම වියදම් කොට විහාර ය කරවා ගනිමි සිතා සමාධි ව අපො ළා පී නියාව කිවුය. එ සේ කියා ලා දෙදාස් අටසියයක් රියන් විතර දිග පළල ඇති බිම වැසෙන විතර රන් උළු දී පෙරළා ත් බිම හැර ගෙන එ ම තෙක් ම වියදම් කොට විහාර ය කරවා ලා බුදු පාමොක් සඟනට දන් දුන්හ.

සොරා ඒ දැක, ‘මම මොහු මරා මුත් මුන්ට මුසුප්පුවක් නොහෙමි. කෙත් වතු දැවුව ත් ගෙවල් දැවුව ත් මුන්ට මුසුප්පු නැත. මුන් ම මරා මා සිත සතුටු කෙරෙමි’යි සිතා සිරියක් කළව යේ බැඳ ගෙන සතියක් මුළුල්ලෙහි විහාරයේ ඇවිද ත් පින් කමින් අවසර නො පෑ ඇවිදිනා සිටාණන් මරන්ට අවසරයක් ලද නො හිණ. සිටාණෝ ද සතියක් මුළුල්ලෙහි බුදු පාමොක් සඟනට මහදන් දී ලා බුදුන්ට දන්වන්නෝ ‘ස්වාමීනී, එක් මිනිසෙක් සත් වරෙක මාගේ පැසී තුබූ වෙල් වරු පෙත්[1] ගිනි ලා දවා පී ය. සත් වරෙක ගෙරි සරක්ගේ පා කැපීය. සත් වරෙක මා හිඳිනා ගෙවලුත් දැවීය. මේ ගඳකිළිය ත් දැවූයේ ඌ ම ය. අනික් කෙනකුන් වන්ට කාරණ නැත. ඒ කෙසේ ඌ කුමක් කළ නමුත් ගිනිවර කළ කළ පමණින් රත් රන් ඇණ වඩන්නා සේ මාගේ මෙත් සිත ත් වැඩුන මනා වේද? මේ මා කළ පින් පළමු කොට ඌට දෙමි. ඒ පින් අනුමෝදන් ව ලා වයිර හළ නම් යහපතැ’යි කිවු ය.

ඒ අසා සොරා ‘මා කළ දෑ ඉතා නපුර. මේ සා මහත් අනර්ථයක් කළ මා කෙරෙහි කිසි ත් මුසුප්පුවක් නැත්තෝ ය. මා ලූ ගින්නෙන් වෙල් වරු පෙත් ආදිය දා ගිය පමණක් මුත් ඒ ගිනි මුන්ගේ අදහස් නමැති රත්රන මෛත්‍රී නමැති ඇණ වඩන්ට කළ ගිනි වරක් වැන්න. තමන්ගේ මේ සා මහත් දනෙක පිනූත් පළමු කොට මට ම දුන්හ. මම මුන් ක්‍ෂමා කරවා නොගතිම් නම් ගෙවල් ගිනි ගත්තා සේ ම ගිනි සෙණෙක් හී ලා මා හිස ත් වැදගත් නම් නපුරැ’යි ගොසින් සිටාණන් වැඳ ගෙන වැද හෙව, ස්වාමීනි, ක්‍ෂමා කළ මැනැවැ’යි කියා ‘මේ කිම්දැ’යි විචාළ කල්හි ‘මෙ තෙක් අනර්ථ මුළුල්ල ම කෙළෙම්මම ය. ඊට යක්‍ෂමා කරන්නේ’යි කියා සිටාණෝත් මෙ කී සියල්ල කොළෝ තෙපිදැ’යි විචාරා එ සේ ය යි කී කල්හි ‘තොප මා දුටු විරූ නැත. කුමන මුසුප්පුවකින් කළාදැ’යි විචාළෝ ය. ‘මුඹ වහන්සේ නුවරින් නික් මුණු දවසෙක ශාලාවෙක ඉස් වසා පෙරව ගෙන මා වැදහොත් දවසෙක රෑ දෙ වරු ඇවිද පියා පය මඬ ගාගෙන වැද හෝනා එකෙ කැ යි මුඹ වහන්සේ කියා ලූ බසෙක් ඇත. ඒ නිසා වූ මුසුප්පු වෙකැ’යි සොර තැනැත්තෝ කීහ. සිටාණෝ ත් තමන් කී නියා ව සඳහන් කොට පියා ‘එසේ කීයේ සැබැව. තොපි ත් එබසට ක්‍ෂමා කරව’යි ක්‍ෂමා කරවා ගෙන එ විතර වරදට ඌ ගේ ක්‍ෂමා කිරීම විස්ම නොවතත් ඌ කළ ඒ සා මහත් අපරාධ මුළුල්ලට ම ක්‍ෂමා කොට ගෙන නැඟී සිට’පලායව’යි කිවු ය.

‘ඉදින්, ස්වාමීනි, ක්‍ෂමා කළ සේක් වී නම් අඹුදරුවන් පිටින් මා මුඹ වහන්සේගේ ගෙට වාලට හැරගත මැනවැ’යි කී ය. ‘කුඩෙනි, තෙපි මා කියා ලූ මෙ විතර බස් පමණකට මේ සා මහත් අනර්ථයක් කළව. ළං ව හුන් කළ නම් යමක් කියා නොලනට බැරි ය. දුර ව තුබූ ගිනි සෙණ ළං කළ මනා ද? ක්‍ෂමා ක්‍ෂමා මය. තෙපි යව’යි කිවු ය. සොර තැනැත්තෝ ත් ඒ පවු කොට ආයු කෙළවර මිය ගොසින් අවීචියේ ඉපැද බොහෝ කලක් පැසී පියා නරකයෙහි ආයු නිමිය ත් තව අකුශල විපාක නිමා වන්ට නු වූ හෙයින් දැන් ගිජුකුළු පව්වෙහි ප්‍රේත ව ඉපැද දුක් විඳි’යි. බුදුහු ඒ ප්‍රේතයාගේ අකුශල කර්‍මය වදාරා ලා බණ වදාරන සේක් ‘මහණෙනි, නුවණ නැති සත්තු පවු කරන කල තමන් කරන දෙය පවු නියාව දනිත් නමුත් පවින් සිද්ධ වන නපුර දත නො හෙති’ නොදැන්ම නිසා නුවණ නැති සත්තු අනුන් කළ දෙයක් නො ව තමන් ම කොට ගත් දෙයින් නිරා දුකට ප්‍රේත දුකට පැමිණ පියා ගින්නේ පැළහී ගිය කෙනකුන් මහ අවුවේ ලා ලූවා මෙන් තැවෙතී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් පවට සිත නැමුණු කල දී පවින් සිද්ධ වන අනිෂ්ට විපාක දැන මිල බොහෝ දෙයක් මිල බොහෝ නියා ව දැන හැර ගන්ට මැළි වන්නා සේ පවෙහිත් හැසිරෙන්ට මැළි ව පිළිවන් ලෙසින් පිනෙහි හැසිර සසර විඳ ආ දුක් නිවන් පුර වැද ගෙවිය යුතු.

  1. වෙල් වරුකෙත්,