124. විශාඛාදී උපාසිකාවරුන්ගේ පෙහෙවස් විචාළ වස්තුව

star_outline

තවද නො එක් දෙනාගේ නො එක් සිතිවිල්ල තරම හඟවන්ට විශාඛාදි උපාසිකාවරුන්ගේ පෙහෙවස් විචාළ වස්තුව කියමු.

කෙසේද යත් -

සැවත් නුවර බොහෝ දෙනා පෙහෙ වන දවසෙක පන් සියයක් විතර උපාසිකාවරු පෙහෙ ව ගෙන වෙහෙරට ගියහ. විශාඛාවෝ ඒ පන්සියෙන් මැහැලි උපාසිකාවරුන් කරා ගොසින් ‘අම්මාවරිනි, පෙහෙ වූයේ කුමක් පතා දැ’යි විචාළෝ ය. මැහැලි උපාසිකාවරුන් ‘අපට සෙස්සෙන් කම් කිම් ද? දිව සැපත් පතා ය’යි කී කල්හි ඒ තමන් සිත් නො වන් හෙයින් මධ්‍යම තරම් ස්ත්‍රීන් ළඟට ගොසීන් ‘නැඟෙණි-බූනැණියෙනි, මුඹ හැම පෙහෙ වූයේ කුමක් පතා දැ’යි විචාළෝ ය. උන් හැම සපත්නි රෝෂයෙන් මිදෙනු නිසා ය’යි කී කල්හි එයි ත් තමන් සිත් නොවන් හෙයින් සග බාල ස්ත්‍රීන් කරා ගොසින් ‘යෙහෙළිණියෙනි, තෙපි හැම කුමක් පතා පෙහෙ වූ දැ’යි විචාළෝ ය.

උන් ‛ආදියෙන් පිරිමි පුතුන් ලබනු නිසා ය’යි කී කල්හි ඒ ප්‍රාර්ථනාව ත් හීන හෙයින් කුමාරිකාවරුන් ළඟට ගොසින් ‘දරුවෙනි, තෙපි කුමක් නිසා පෙහෙ වූ දැ’යි විචාළෝ ය. උන් ගෙයි හිඳ ම මූකුරා නො ගොසින් බාල කලම සරණ යෑම පිණිස ය’යි කී කල්හි වයස් ගතයන්ගේ ත්, මධ්‍යම තරමුන්ගේ ත්, සග බාලයන්ගේ ත් කථා හැම ම අසා හැම දෙන ම කැඳවා ගෙන බුදුන් කරා ගොසින් එ පමණක් තබා වඩා වුවත් කියා ලන්ට පිළිවන් හෙයින් පිළිවෙළින් කිවු ය.

බුදුහු ඒ අසා වදාරා ‘විශාඛාවෙනි, මේ සතුන්ගේ ජාති ආදීහු කෙවිටි දඬු ගත් එඬේරන් වැන්නහ. ජාති තොමෝ ජරාව කරා පමුණුවා ලයි. ජරාව ව්‍යාධිය කරා පමුණුවාලයි. ව්‍යාධිය මරණය කරා පමුණුවා ලයි. පොරොවින් කපන්නා සේ හැම එක් ව ගෙන සිඳිති. එතකුදු වුවත් මෝහ බලයෙන් තෙමේ පතන ලෙසය. නිවන් පතන කෙනෙක් නැතැ’යි වදාරා ලා ‘විශාඛාවෙනි, යම් සේ ගෙරි රැකීමෙහි දක්‍ෂවූ එඬේරෙක් ඉවත්ව යන සරක් දණ්ඩෙන් ගසා ඉවත ගමන් වලකා ලා එ ම දණ්ඩෙන් ගසා තණ පැන් ඇති තැනකට නමා ලා ද, එ මෙන් ජාති ය හා ජරාව හා එඬේරකු මෙන් ව ඒ ගෙරි සමූහයක් වැනි ජීවිතේන්ද්‍රිය ගොදුරු බිමක් වැනි මරණට පමුණුවයි. ඉන් ජාති තොමෝ රූ අරූ දුවිදු ජරාව කරා පමුණුවාලයි. ජරා තොමෝ ව්‍යාධි ය කරා පමුණුවා ලයි. ව්‍යාධිය ඇළින් හොයින් ගඟට පැමිණියා මුහුදට පමුණු වන්නා සේ මරණට ළං කොට ලයි. මරණ තෙමේ වඩබා මුඛයට සම්භ වූවාක් මෙන් සියලු ලෙසින් නැති කෙරෙයි. මේ භව සම්පත් පැතූවන්ට වන දෙය ය. නිවන් පතා වී නම් යහපතැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ‘ජරාව ත් ව්‍යාධියත් මරණයත් ඇති වන්නේ ජාති ය නිසා ය. මූල කාරණ වූ ජාති ය නැතිවන්නේ රහත් වීමෙනැයි’ රහත් වීමට උත්සාහ කට යුතු.