තව ද අකුසලින් දුරු වන්නවුන් විසින් එහි ආදීනව දතමනා හෙයින් ඒ දක්වන්ට කුණ්ඩධාන තෙරුන් වහන්සේ ගේ වස්තුව කියමු.
කෙසේ ද යත්-
එ තෙරුන් වහන්සේ මහණ වූ දවස් පටන් එක් ගෑනු රුවෙක් තෙරුන් වහන්සේ හා කැටි ව ම ඇවිද්දි. තෙරුන් වහන්සේ උන් නො දක්නා සේක. ඔබ හැර සෙසු හැම දෙනා ම දකිති. ඇතුළු ගමට සිඟා වැඩි කල ත් මිනිස්සු ඔබට බත් සැන්දක් පිළිගන්වා ලා ‘තෙලේ අපගේ යේළිණියන්ට ය’යි කියා ලා අනික් බත් සැන් දකු ත් පිළිගන්වති.
මෙ ලෙස වන්ට කාරණ කවරේද යත්; කසුප් බුදුන් සමයෙහි යාළු මිත්‍ර දෙ නමක් එක මෑණියන් දරුවන් මෙන් ඉතා සමගි සේක. බොහෝ ආයු ඇති බුදුන් වහන්සේ ලා සමයෙහි හවුරුද්දෙන් හවුරුද්දේ හෝ ස මසින් ස මස හෝ පොහොයට රැස් වන සේක. එ හෙයින් ඒ දෙනම ත් ‘පොහොයට යම්හ’යි වසන තැනින් නික්මුණු සේක. තවුතිසා වැසි දෙවතාවාණ කෙනෙක් ඒ දෙදෙනා වහන්සේ දැක ‘මේ දෙ නම ඉතා සමගි සේක. ඒ වහන්දෑ බිඳුවා පියන්ට පිළිවන්දෝ හෝ යි සිතා කළ පින් ඇතිව දෙව්ලොව ඉපැද දිව සැප ත් ලත් පමණක් මුත් නුවණක් ලද නුහුනු හෙයින් සිතා පූ සිතිවිලි පමණකින් හැර නො පියා දෙ නමින් එක් කෙනකුන් වහන්සේ ‘ඇවැත්නි, මඳක් සිටිය මැනව.
‘ශරීර කෘත්‍ය ය කරනට යම්හ’යි වදාළ කල්හි ඒ දේවතාණෝ ගෑනු වෙසක් මවා ගෙන ශරීර කෘත්‍යයට වැඩි තෙරුන් වහන්සේ වලට වැඩ ලා වලින් මෑත් වන වේලාට එක් අතකින් හිසකේ ගවස ගවසා එක් අතකින් හිණ කඩ හැඳ හැඳ වලින් මෑත් වන තැනැත්තන් වහන්සේ පසු පස්සෙහි මෑත් වූ ය. පසු පස්සේ මෑත් වුව ත් ඔබ උන් නුදුටු සේක. රැක සිටි තෙරුන් වහන්සේ දේවතාවාණන් ගෑනු වෙසක් මවා ගෙන අර ලෙසින් එන්නවුන් දුටු සේක. ඒ දේවතාවා ද උන් වහන්සේ තමා දැක සැක කළ නියා ව දැන ලා සැක උපදවා ලීමට එ විතරක් ම සෑහෙන හෙයින් අතුරුදන් වී ය.
රැක සිටි තෙරුන් වහන්සේ ශරීර කෘත්‍යයට ගිය තෙරුන් වහන්සේ තමන් වහන්සේ ළඟට ආ කලට ‘ඇවැත්නි, දුටු ලෙස නපුර. විපන්න වූ දැ’යි විචාළ සේක. ‘ඇවැත්නි, එ බන්දෙක් මට නැතැ’ යි තමන් වහන්සේ අර ගෑනු රුවත් නුදුටු හෙයින් උන් වහන්සේට සංශ ය නැඟි නියාව නො දැන යුහු වම වදාළ සේක. ඒ අසා අනික් තැනැත්තන් වහන්සේ “කුමක් කියන නියා ද? දැන් මම මෙ තැන රඳා සිටි ගමනේ තමන් වලින් මෑ ත් වන්නා ම තමන් පසු පස්සෙහි එක් අතකින් හිස කේ ගවස ගවසා ලීල්ව ගිය පිළි ත් හැඳ හැඳ සග ගෑනියක එන නියාව දිටිමි. තුමූ ‘එ බන්දක් නො කෙළෙමි’ කියති. මා දුටු ලෙසට තෙල ලෙස කී ව යි මා හදහා ගන්නේ කෙ සේ දැ”යි කී සේක.
සිරුරු කිස සපයා ආ තෙරුන් වහන්සේ ද අර මුන් වහන්සේ කියාලූ බස හිස හුණු සෙණක් සේ සිතා ගෙන එ බන්දක් සීනෙනුත් වූව යි නියම නැති හෙයින් ‘ඇවැත්නි, කළ දෙයක් කියා මුත් මා නො නසව’යි කී සේක. අනික් තැනැත්තන් වහන්සේ ‘අනික් කෙනකුන්ගේ කීමෙකින් මා කරන සැකයෙක් නො වෙයි. ව්‍යභිචාරයේ හැසිර එන ලෙස මාගම සිය ඇස පුරා මම් ම දිටිමි. තමන් කුමක් කියත ත් මා හදහා ගන්නේ කෙ සේදැ’යි කියා ලා අර මුන් වහන්සේ ගෑනු රුවක් නුදුටු හෙයින් එ බන්දක් නැති නියාවට තර ව සිටිනා සේ ම අර මුන් වහන්සේත් එ ලෙසින් එන නියාව දුටු හෙයින් දිවස් ඇත්තෝ ත් දිවසින් දැක සැක හරුත් මුත් සෙසු ලෙසින් සැක ය හැර ගත නොහැකි හෙයින් නො හදහන සේක. එසේ කියා ලා දර දණ්ඩක් බිඳී ගියා මෙන් බිඳී ගොසින් නැතක් කල් පැවති මිත්‍රකම් හැර පියා නැඟී. ගිය සේක.
‘පොහෝ කරන තැන දී ත් මම මුන් හා එක් ව පොහෝ නො කෙරෙමී’ කියාලා පොහෝ කරන්ට ත් මැළි වූ සේක. අනික් තෙරුන් වහන්සේත් ‘මාගේ සීලයට හානි නැතැ’යි වහන්දෑට කී සේක. අනික් තෙරුන් වහන්සේ ද ‘වරදක් කළ කෙනෙක් විචාරයෙන් එවා ගනු ත් මුත් තුමූ ම කියා ලන්නෝ ඇද්ද? තමන් කුමක් කියත ත් තමන් පසු පස්සෙහි මාගම එක් අතකින් හිසකේ ගවස ගවසා, එක් අතකින් හින කඩ හැඳ හැඳ එන නියාව මම දිටිමී’ දුටු ම හෙයින් තර සේක. උන් වහන්සේ එ ලෙසින් තර හෙයිනු ත් අරුන් වහන්සේගේ නො ගිවිස්ම නිසාත් දෙ තැනට ම පරලොවින් හානි නැත.
දේවතාවා ත් එක් ව පොහෝ කරන්ට මැළි නියාව දැන ‘මා කළ දෑ නපුරැ’යි සිතා ලා ‘ස්වාමීනි, උන් වහන්සේ ගේ සීලයට හානි නැත. මුඹ වහන්සේගේ මිත්‍ර කමෙහි තරම බලන්ට මෙලෙසක් කෙළෙම් මම ය. පොහෝ කළ මැනැවැ’යි කිවු ය. දේවතාවාණන් අහස සිට කියා ලූ හෙයින් හදහා ගෙන පොහෝ කළ සේක. පොහෝ කළ පමණක් මුත් දැක පූ ලෙස සිත වැද ගත් හෙයින් මෙත් සිත් ආදි ලෙසට ඇති නො වීම ය. දේවතා කළ පව් මෙ විතරෙක.
සිත එකඟ කිරීම බැරි ව ගොසින් තෙල දෙනම ම මොක්ෂයට පැමිණ ගත නො හී ස්වර්‍ගයට පැමිණි සේක. දේවතාවා අවීචියෙහි ඉපැද එක් බුදු අතුරක් එහි පැසී මේ අපගේ බුදුන් සමයෙහි සැවැත් නුවර ඉපැද මහණ වන වයස මහණ.ව මාලු පැවිදි වන වයස මාලු පැවිදි වූ සේක. උන් වහන්සේ මහණ වූ තැන් පටන් ගෑනු රුවක් පුරාකෘත අකුශලයෙහි වුන් අනිෂ්ට විපාකය කර්‍ම සාදෘශ්‍ය විපාක වශයෙන් එ ලෙස පෙනෙයි. ආදි නම කවරේ වුව ත් කුණ්ඩධාන නම ත් තබා ගත්හ.
මේ දැක වහන්දෑ අනේපිඬු සිටාණන්ට ‘සිටාණෙනි, තෙල දුශ්ශීලයාණන් තොපගේ විහාරයෙන් නෙරව. තුලුන් නිසා සාමාන්‍ය කොට සිතීමෙන් වහන්දෑට ත් අයස ඇතැ’යි කී සේක. වහන්දෑගේ දැන්ම තරමට ම තමන්ගේ දැන්ම වැඩී සිටි හෙයින් ‘බුදු සස්නට ත් මාගේ විධාන ද ? බුදුහු වෙහෙර නැද්ද’යි කිව් ය. ‘බුදුහු වෙහෙර ය’යි කී කල්හි ‘එ සේ වී නම් ඔබ දන්වන බව ය’යි කිවු ය. වහන්දෑ ද තමන් වහන්සේගේ නොදැන්ම අනේ පිඬු මහ සිටාණන් දන්නා මඳින් විසාඛාවන්ට ත් ගොසින් කී සේක. විශාඛාවෝත් සිටාණන් කී ලෙස ම දැන්ම එක තරම් හෙයින් කිවුය. වහන්දෑ ත් තව ම බුදුන්ට දන්වන්ට නො ගොසින් කොසොල් රජ්ජුරුවන් කරා ගොසින් රජ්ජුරුවන්ට ‘මහ රජ’ කුණ්ඩධානයෝ එක් ගැහැනියක හැර ගෙන ඇවිද වහන්දෑට අයස උපදවති. තොපගේ විධාන පවත්නා තැනින් නෙරුව’යි උන් වහන්සේගේ ම අකුශලයට සහාය වන්නා සේ කී සේක.
රජ්ජුරුවෝ බුදුන්ට ම භාර නො කොට ‘උන් වහන්සේ කොයි දැ’යි විචාරා ‘වෙහෙර ය’යි කී කල්හි ‘වැඩ හිඳිනා ගෙය කවරේ දැ’යි විචාළෝ ය. වෙහෙර අසවල් ගේ ය යි කී කල්හි ‘එ සේ වී නම් ඔබ හැම වඩනා බවය. මම නිස්ස දනිමී’ කියා ලා සවස වෙහෙරට ගොසින් උන් වහන්සේ සැතපෙත ගෙය වට කොට රකවල් ලවා ලා තෙරුන් වහන්සේ වැඩහුන් තැනට රජ්ජුරුවෝ ගියෝ ය. තෙරුන් වහන්සේත් අරගල අසා උඩු මාලෙන් පාත බැස ලා පෙර මාලේ සිටි සේක. ඒ ගෑනු රුව ත් තෙරුන් වහන්සේ පිටි පස්සේ සිටියවුන් රජ්ජුරුවෝ දුටුවු ය. තෙරුන් වහන්සේ රජ්ජුරුවන් ආ නියාව දැන උඩුමාලයට නැඟිලා වැඩ හුන් සේක. රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ නොවැන්දෝ ය. පසු ව බලා ගෑනු රුව ත් නුදුටුවු ය. නො දැක උන් ගිය තැන් අසු කරන්ට දොර බා මුල්ලත් යටත් බලවා නො දැක ‘ස්වාමීනි, එන ගමනේ මුඹ වහන්සේ පිටි පස්සේ ගෑනියක් සිටියා බල බලා ආමි. දැක වැඳ නො ගත්තේ ඉන. දැන් ඌ කොයි දැ’යි විචාළෝ ය. ‘මහ රජ නුදුටුම්හ’යි වදාළ සේක. ‘මුඹ වහන්සේ පිටි පස්සේ සිටි නියාව බල බලා ආමි’ රජ්ජුරුවන් කීව ත් කර්ම භවයෙහි දී ත් නො පැනීම කර්ම ය කළ හෙයින් නො දැක ම ‘නුදුටුම්හ’යි කී සේක.
රජ්ජුරුවෝ ත් කම් ස්වරූප ය නොදන්නා හෙයින් මේ කිම් දැ යි සිතාලා ‘ස්වාමීනි, පෙර මාලේ සිටිනා බව ය’යි සැකම හරනා නිසා කිවු ය. ඔබ ත් ගොසින් පෙර මාලේ සිටි කලට ඒ ගෑනු රුව පිටි පස්සේ පෙනෙයි. රජ්ජුරුවෝ දැක ලා තෙරුන් වහන්සේ උඩුමාලට වඩින්ට කියාලා උඩු මාල වට කොට ගෙන හසුකරන්ට තුමූ තෙරුන් වහන්සේලා කැටි ව ම උඩු මාලට නැංගාහ. තෙරුන් වහන්සේ ත් වැඩ හුන් සේක. රජ්ජුරුවෝ ළඟට අවුත් ගෑනු රුව නොදැක හැම තැන ම බලවා ත් නො පෙනෙන හෙයින් ‘ස්වාමීනි, මෙ තැන සිටි ගෑනි කොයි දැ’යි විචාළෝ ය. එ විට ත් ‘නුදුටුයෙමි’යි වදාළ සේක. ‘ස්වාමීනි, කුමක් කියන නියා ද? මුඹ වහන්සේ පිටි පස්සේ සිටි නියාව මා දුට, පාන් කන්ද මුල අඳුර නො හැරෙන්නා සේ මුඹ වහන්සේ ම නො දකින්ට කාරණ කිම් දැ’යි කී කල්හි ‘එ සේ ය, මහරජ, බොහෝ දෙනත් මා හා කැටිව ගෑනියක් ඇවිදිති කියති. මා උන් දක්නේ නැත. ඊට කාරණ ත් බුදුන් ම දනු ත් මුත් මම නො දනිමි’ වදාළ සේක.
රජ්ජුරුවෝ කාරණයක් වුව මැනැවැයි සිතා ‘ස්වාමීනි, තෙල තැන සිටිය මැනැවැ’යි කියා නැවත ත් තෙරුන් වහන්සේ පෙර මාලේ සිටි වේලාට ගෑනු රුව පිටි පස්සේ සිටියා දැක උඩු මාලට නැඟි කලට හැම වේලේ ම තෙරුන් වහන්සේ මුත් ගෑනු රුව නො දැක තව ත් තෙරුන් වහන්සේ අතින් විචාරා ‘ඔබ නුදුටුයෙමි’යි වදාළ කල්හි ‘මුන් වහන්සේ පෙර මාලේ සිටි කල පෙනෙන්ට ත් මුන් වහන්සේත් මා ත් උඩු මාලට නැඟි වේලාට මෙ තෙක් රකවල් ඇති ව තුබූ තැන අනික් සැඟවෙන තැන ත් නැති ව නො පෙනෙන්ට ත් නැවත පෙර මාලේ සිටි වේලාට පෙනෙන්ට ත් අප දැන ගත, සොයා ගත නො හැකි කාරණයක් වුව මැනැවැ’යි සිතා ලා තෙරුන් වහන්සේට ‘ස්වාමීනි, තෙල සේ වූ කිලිටක් මුඹ වහන්සේ කැටි ව ආ කලට තත්ව ය දත් මා විනා අනික් කෙනකුන් මුඹ වහන්සේට දන් දෙන්ට නොසිතති. එක් වන් මාගේ ගෙට ම සිඟා වඩනා බව ය. මම සිවු පසයෙන් උපස්ථාන කෙරෙමි’යි කියා ලා ගියෝ ය.
වහන්දෑ ත් ‘ඇවැත්නි, රජ්ජුරුවන්ගේ පවිටු කමක් බලව. රටින් නෙරිනට කියා ලූ ගමනේ පවිටු අදහසින් සරි හෙයින් දෝ දන් දෙන්ට පවරා ගත් හ’යි රජ්ජුරුවන්ට ත් දෙඩූ සේක. කුණ්ඩධාන තෙරුන් වහන්සේට ත් ‘දුශ්ශීලය, තෝ දැන් රාජ කුලුපග වී දැ’යි කී සේක. කුණ්ඩධාන තෙරුන් වහන්සේ ආදි කුමක් කියා ගත නුහුන ත් රජ්ජුරුවන්ම තමන් වහන්සේ සුශීල නියාව දත් හෙයින් උනු ත් පෘෂ්ටී බලකොට ගෙන ‘දුශ්ශීල වත ත්, කුමක් වත ත් තමන් වුව මැනව. තට ඒ හැම හැයි දැ’යි කියන සේක. ඒ වහන්දෑ ගොසින් බුදුන්ට එ පවත් දැන්වූ සේක. ඒ පවත් නම් ගෑනු කෙනකුන් කැටි ව ඇවිදිනා නියා නො වෙයි. දුශ්ශීල වාද කියා ලා බණන නියා ය. බුදුහු ත් ඔබ කැඳවා ලා සැබෑදෑ යි විචාරා සැබව යි කී කල්හි ‘කුමක් නිසා බණවු දැ’යි කී සේක.
‘මා දුශ්ශීල නො වන්නවුන්ට එ ලෙස කියන හෙයින් ආදි ඒ කීම නිසා බැණ නො නැඟී හුන ත් රජ්ජුරුවන් මගේ තත්‍වය දත් පසු සුශීලයන්ට එ ලෙස කීම යුක්ත නොවන හෙයින්
ඉන් නවතනු පිණිස එ ලෙස ම කියමී’ කී සේක. ‘මහණෙනි, තොප මුන්ට එ සේ කියන්ට කාරණ කිම් දැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, මුන් වහන්සේ පසු පස්සෙහි ගෑනු කෙනකුන් යන නියාව දැක ය’ යි කී සේක. එවිට බුදුහු ‘කුණ්ඩධානයෙනි, මූ වන්නා තොප හා කැටි ව යන එන ගෑනු කෙනකුන් දැක එබන්දක් ඇති නියා ය’ යි සිතා එ ලෙස කියති. ඉන් උන්ට වරද කිම් ද? තොපි මුන් ගෙන් කුමක් දැක දුශ්ශීලවාදයෙන් කථා කරවු ද? පෙරත් නපුරු අදහසින් කළ කට යුතු නිසා මෙ සේ වුව. දැන් මෙ ලෙස දොඩා කුමක් වවු දැ’ යි වදාළ සේක. වහන්දෑ පෙර කළ පවු විචාළ සේක.
බුදුහු කසුප් බුදුන් සමයෙහි කළා වූ ඒ පාපය වදාරා ලා ‘මහණ, තා ම කළ ලෙසට මේ සා මහත් අයසකට පැමිණියෙහි. දැනුත් සිල්වතුන්ට දොඩා බැණ තවත් අයස ලබන්ට ද, මෙ වක් පටන් කවුරුන් කුමක් කීවත් අසහන වශයෙන් බැණ නො නැඟෙව’ යි වදාරා ලා බණ වදාරන සේක් ‘කිසි කෙනකුන්ට ත් සිත් ගැටෙන ලෙස රළු පරළු බස් නො කියව. එ සේ කී කල උයි ත් පෙරළා එසේම තොපට කියති. තෙපි ත් පෙරළා දොඩව. මෙ ලෙස කරන කලට දෙපක්‍ෂයට ම දුක. මුව විටි නැති තළියක් කෙසේ ගසා ලුව ත් නො හඬන්නා සේ කවුරුන් කුමක් කීව ත් නොදොඩවු නම් එ ම යහපත. එ ලෙස කට හුනු නම් නිවන් නුදුටු නමුත් නිවනට පැමිණියා හා සරි ය. එ සේ කලට ‘තෙපි දුශ්ශීලය. අපි සුශීලයම්හ’ යි පවත්නා කරණුත්තරිය කරුණ ත් නැතැ’ යි වදාළ සේක. දේසනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ. කුණ්ඩධාන තෙරුන් වහන්සේ ද බුදුන්ගේ අවවාදයෙහි පිහිටා රහත් වූ සේක. රහත් වීමෙන් කර්‍ම ය ගෙවුනා සේම කර්‍ම විපාක ව පෙනෙන්නා වූ ගෑනු රුව ත් නො පෙනෙ යි දත යුතු.
එ හෙයින් සත් පුරුෂයන් විසින් ක්‍රෝධයෙහි ආදීනව සලකා ක්‍රෝධය හැරීමෙන් රළු පරළු තෙපුලුත් හැර මෛත්‍රියෙහි අනුසසුත් සලකා සියල්ලවුන් කෙරෙහි මෛත්‍රීත් ඇති ව කුසල් පුරා අධිමුක්ති වූ ලෙසින් තුන් බෝධින් එක් බෝධියකට පැමිණිය යුතු.