122. බොහෝ කුමාරවරුන් ගේ වස්තුව

star_outline

තව ද හිංසා පීඩා කළවුන්ට පර ලොව සැප නැති නියාව ත් ඒ නො කළවුන්ට පර ලෙව්හි සැප ඇති නියාව ත් හඟවන්ට බොහෝ කුමාරවරුන් ගේ වස්තුව දක්වමු.

කෙසේද යත් -

එක් දවසක් බුදුහු සැවත් නුවරට සිඟා වඩනා සේක් අතුරු මඟ දී බොහෝ කුඩා සුඟුන් එක් කළු නයකු දඬු හැර ගෙන මරන්නවුන් දැක ‘කුඩා කොල්ලනි, කුමක් කරවු දැ’යි විචාරා සර්පයකු මරම්හ’යි කී කල්හි ‘කුමක් නිසා මරවු දැ’යි විචාරා ‘ඩෑපියති යි සිතා ය’යි කී කල්හි ‘තෙපි තොපට සැප කරම්හ’යි සිතා මූ මරා උපනුපන් තැන මූ දැන් සැප නොලද්දා සේ ම සැපයක් නො ලබව. තමහට සැපයක් පතතොත් අනුන්ට සැපයක් කොට මුත් අනුන්ට දුක් කොට වැල්ලෙන් තෙල් ලද නොහැක්කා සේ ලද නො හැක්කැ’යි වදාරා ලා බණ වදාරන සේක් ‘යම් කෙනෙක් තමන්ට සැප සිතා සැපයක් මකැමැති වත් මුත් දුක් නො කැමැති සතුන්ට හිංසා පීඩා කෙරෙද්ද, අනුන්ට කළ පීඩාව නිසා පරලොව දී ත් පීඩාවක් ලබතොත් මුත් හමු වපුළවුන් විකක් නො ලබන්නා සේ සැපයක් නොලබති.

‘යම් කෙනෙක් තමන්ට සැප සිතා අනුන්ට පීඩා නො කෙරෙද්ද දුක් නො කෙරෙද්ද දුක් නො කැමැති ව සැප කැමැත්ත වුන්ට සැප කළා වූ ඒ සත්‍වයෝ වී වපුට වීම ලබන්නා සේ, පරලොව බොහෝ සැප ලැබෙති” යි වදාළ සේක. දේශනා කෙළවර සර්පයා තළ තළා සිටි කුඩා සුඟු ඒ තැළීම හැරලා සත්කාය දෘෂට්‍යාදී වූ දෝෂයන් තළා මරා නිමවා සෝවාන් වූහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් කරන හිංසා පීඩාවක් කෙ ලෙසුන්ට ම කොට යම් සේ කිරි බොන දරු කෙනෙක් තමන් බොන කිරි මුත් මවුනට ඇති පීඩා නො සලකත් ද, එ මෙන් කෙ තෙක් පීඩා වුවත් පින් කිරීමෙහි ඇලුම් ඇති ව, තව ද යම් සේ මහ රුකෙක් පුෂ්ප ඵල පල්ලවයෙන් සමන්විත ද, එ මෙන් සීල සමෘධ්‍යාදී ගුණයෙන් යුක්ත ව - තව ද යම් සේ රුකෙක් තමා කරා එළඹියවුන්ට සීල් සෙවන ව සිටී ද-එ පරිද්දෙන් තමා කරා එළඹියවුන්ට ආමිෂ සංග්‍රහ දෙකින් සංග්‍රහ සීලී ව – තව ද යම් සේ මහ රුක පැමිණියවුන් ගෙන් උත්තමයන්ට එක් ලෙසක් හා මධ්‍යමයන්ට එක් ලෙසක් හා අධමයන්ට එක් ලෙසකැ යි වෙනසක් නැත්තේ ද, එ මෙන් සතුරු මිතුරු ආදීන් කෙරෙහි හිත අදහසින් වෙනසක් නැති ව දවස් යවා ලොවී ලොවුතුරා සැපත් සිද්ධකටයුතු.

_________