තව ද අනුන්ට හිංසා පීඩා කිරීමෙහි නපුර දක්වන්ට සවග වහන්දෑ ගේ වස්තු දෙක දක්වමු.
කෙ සේ ද යත් -
එක් සමයෙක සතළොස්, වග වහන්දෑ සැතපෙන තැන් ඉදි කොට ගත් කලට, සවග වහන්දෑ ‘අප වැඩි මහලු වහන්දෑ සිටිය දී තොපට ත් සෙනසුන් ඇති නියා දැ’යි විනය ප්‍රතිපත්ති- සූත්‍ර ප්‍රතිපත්ති දෙක්හි ම ගෞරව නැති හෙයිනු දු දුහඟ පමණකුත් නොබලා ‘තෙල සෙනසුන් අපට පැමිණෙ’යි කියා ලා ‘අප ඉදි කොට ගත් තැන් අපි නො දෙම්හ’යි කී කල්හි සවග වහන්දෑ උරණ වලා සතළොස් වග වහන්දෑ මැරූ දෑ ය. සතළොස් වග වහන්දෑ ගෙඩි කා ලා ඒ විනා අනික් කට හැකි දෙයක් නැති බැවින් හැඬු දෑය. බුදුහු හඬන හඬ අසා වදාරා ඒ නියාව දැන ‘මහණෙනි, ආදී නො දැන කළ ත් මෙ වක් පටන් තෙල ලෙස කට නොහැක්ක. මා මෙ ලෙස කියවා ලා යමෙක් එ ලෙස කොළෝ නම් උන්ට විනය විරෝධ ඇතැ’යි වදාළ සේක.
නැවත එක් දවසක් ඒ සවග වහන්දෑ දෙ වරු හිඳ සතළොස් වග වහන්දෑ සැතපෙන තැන් ඉදි කළ කලට ‘අප වැඩි මහලු තැන් හින්ද දී තොපට ත් සැතපෙන තැන් ඇති නියා දැ’යි කියා ලා ඒ වහන්දෑ නො දෙන හෙයින් සික පදයේ පැකිළ ආදි ලෙසින් මැරිය නො හී භය ගන්වා නෙරන ලෙසට අත් එසවූ දෑ ය. සතළොස් වග වහන්දෑ එසවීමත් මැරුවා කොට ම සිතා ගෙන හැඬු දෑ ය. බුදුහු එ දවසුත් හඬන අඬ අසා මුන් හඬන්නේ හැයිදැ’යි විචාරා ‘සවග වහන්දෑගේ ගහටයෙනැ’යි කී කල්හි ‘මහණෙනි, මෙ වක් පටන් භය ගන්වා අත් සැත් ආදියත් එසවිය නො හැක්ක. යම් කෙනෙක් එ ලෙස කොළෝ නම් උන්ට විනය විරෝධ වෙයි. සේනාසන ලොලුප්ප ය නිසා ධුතඞ්ග භේදයත් වෙයි. ධුතඞ්ග භේදයෙන් සූත්‍ර විරෝධය ත් වෙයි’ වදාරා බණ වදාරණ බුදුහු ‘ආජානීය අශ්වයන් හා ආජානීය හස්තීන් හා වෘෂභරාජයන් හා රහතන් හැර. යම් සේ රජ දරුවන්ගෙන් හැම දෙන රැස් වන්ට විධාන ය කළ කල රාජාමාත්‍යයන් හැර සෙස්සෝ රැස් වෙත් ද, එ මෙන් සෙසු සියල්ලෝ මැරීම් තැළීම් ආදි වූ හිංසා පීඩා ලබති.
එ කී සතර පක්‍ෂ ය හැර සෙස්සෝ මරණට බති. මුන් සතර පක්ෂයෙන් රහතන් හැර අනික් තුන් පක්‍ෂය ඇතුළු වූ හැම දෙනාට ජීවිතය ත් ප්‍රිය ය. ආජානීය අශ්වාදී වූ සතර පක්ෂයෙන් රහතන්ට සත්‍වසංඥාව ම ප්‍රහීණ හෙයින් මියන සත්‍ව කෙනෙක් ම නො දන්නා හිංසා පීඩාවෙක්, මරණෙක්, භයෙක් නැත. අනික් තුන් පක්‍ෂයට සත්කාය දෘෂ්ටි ය බලවත් හෙයින් තමන්ට ප්‍රතිපක්‍ෂ සත්‍ව කෙනකුන් ම දක්නට නැති හෙයින් නො බති. තම තමා හිංසා බතො ත් පීඩා බතො ත් මරණ බතොත් මරණ බන නො බන ජීවිතයෙහි ඇලුම් ඇති නැති සියල්ලවුන් ම තම තමා ලෙසට සිතා ගෙන මැරීම් තැළීම් ආදිය කට යුතු නො වෙයි’ වදාළ සේක. මේ දේශනා කෙළවරත් බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.
එ හෙයින් සත්පුරුෂයන් විසින් හිංසා පීඩාදිය ත් නුවුව මනා වී නම් මරණෙහි ත් භය ඇත් නම් ජාති ජරා රහිත නිවන් ම සාදා ගන්නා ඉන් වන භය නැති බැවින් නිවනට ම උත්සාහ කට යුතු.