තවද වැද ගත් ගිනි දාරු පර්ණාදී ඉන්ධන රහිත වීමෙන් හෝ පටග්ගි දානයෙන් මුත් එක් තරම් දෙයකින් තො නවත්නා සේ කළ පාප කර්‍ම ක්‍ෂයයෙන් හෝ අනුපධිශෙෂ නිර්‍වාණ ධාතුවට පැමිණ මුත් කො තැන රඳා ත් නො නවත්නා පරිදි හඟවන්ට සුප්‍රබුද්ධ ශාක්‍ය වස්තුව දක්වම්හ.
කෙසේද යත්-
ඒ ශාක්‍ය රජ්ජුරුවෝ තමන් දූ වූ බිම්බා බිසොවුන් වැන්දඹු කොට මහණ ව බුදුවන්ට ගිය හෙයිනු ත් තමන්ගේ පුත් දෙවිදතුන් මහණ කොට ලා උන්ට වෛරීව සිටි යයි යන්නකුත් අස්ථානයෙහි සිතා ගෙන බුදුන් කෙරෙහි ගල් නියෙන් කනන්නා සේ වෛර කොට ගෙන එක් දවසක් ආරාධනා කළ තැන දන් වළඳා පිය නො දෙමි’යි වඩනා මඟ අහුරා හිඳ රායක් බොති. ‘ශාක්‍ය රජදරුවන් පන්සිල් රකිති’කීයේ භිය්‍යො වෘත්තීන. බුදුන් එතැනට මහණගණ පිරිවරා වැඩි කලට ‘බුදුහු වැඩි සේකැ’යි කිවු ය. ඒ අසා සුප්‍රබුද්ධ ශාක්‍යයෝ වයසින් අපට වැඩි මාලු නොවත් වයසින් වැඩි මාලු වුව ත් නෑ කමින් බාල ව සිටි පසු ඉවත් ව ලා යන්ට කියව. මම ඉව ත් නො වෙමී’ කිවු ය. තවත් තවත් එ ලෙස ම කියා ලා ඉවත් නො ව ම හිඳිති. අකුශල මාර්‍ගයෙන් ඉවත් නුවූවා ත් කුශල මාර්‍ගයෙන් ඉවත් වූ ම ය. බුදුහු මයිල් ශාක්‍ය රජ්ජුරුවන් ගෙන් අවසර නො ලද ත් ඊ රොසයක් නැති බැවින් නැවතී සේක. උයිත් ‘යව, ගොසින් කියන බණන දෙයක් ඇත් නම් අසා ගෙන එව’යි කියා ලා එකකු යවු ය. බුදුහු සසර ගමනින් නවත්නා දවස සිනා පහළ නො කළ ත් එ දවස් සිනා පහළ කළ සේක.
සිනා පහළ කිරීම් නම් දත් දල්වා කල බිඳිනා හඬ සේ මහත් කොට සෙන සිනා නො වෙයි. සිනා සෙන්ට සිතා වදාල කලට සතර දළදාවෙන් සුදු රස් මෑත් ව ලා ඉඳුනිල් මිණිමුවා දාගබක් වටා රිදී උළින් පවුරක් බඳනා සේ තුන් විටක් පැදකුණු කොට ලා රත් පියුම් ගබකට වදනා සුදු හස් පෙළක් මෙන් ශුභ්‍ර වූ රශ්මි පුඤ්ජය මුඛ ගර්භයට ම දන්ත ශ්‍රේණි නමැති හංසාංගනාවන්ගේ වියෝගය ඉවසිය නො හෙන්නාක් මෙන් වැද යෙයි.
අනඳ මහ තෙරුන් වහන්සේද ‘ස්වාමීනි, සිනා පහළ කිරීමට කරුණු කිම්ද? නො කරුණෙක සිනා පහළ නො කරවු ම ය’යි වදාළ සේක. කාරණ වදාරණ සේක් ‘ආනන්දයෙනි, සුප්‍රබුද්ධ ශාක්‍යයන් දුටුදැ’යි විචාරා ‘එ සේ ය’ ස්වාමීනි, දුටුම්හ’යි කී කල්හි ‘උන් කළ දෑ නපුර. මා වැනි බුදු කෙනකුන් සිඟා යන්ට අවසර නො හැර නිවන් පුර වදන කුසල් මඟ අකුසල් හෙළා ගත්හ. මෙයට සත් වන දවස් ඒ කළ අකුශලයෙන් දෙව් ලොවට යන මඟු ත් ඇස් සුණු හෙයින් තමන්ගේ මාළිගාවේ යට මාලේ හිණි පා මුල දී නිරෑමඟ අගුල් අළ හෙයින් පොළොවට වදිතී’ වදාළ සේක. කියන බණන බස් අසන්ට ගිය තැනැත්තෝ ඒ කථාව අසා ‘අපගේ බෑනණුවන් යන ගමනේ කීයේ කිම්දැ’යි විචාළ කල්හි බුදුන් වදාළ ලෙස අවික්ෂිප්ත ව ත් අසා ගත් හෙයින් එ ලෙස ම කියා ලී ය.
උයි ත් ඔහුගේ බස් අසා ‘අප ගේ බෑනණුවන්ගේ කථා වෙන් වරදනා දෙයෙක් නැත. යමක් ඌ කිවු නම් වන්නේ ඵ ම. එ සේ වුව ත් බොරුවකින් හසු කෙරෙමි. මූ තුමූ සත්වන දවස් පොළොවට වදනා නියාව කියන තැනැත්තෝ සාමාන්‍යයෙන් නො කියා යට මාලේ හිණ මුල දී පොළොව වදිති’යි බිම් නියමය ත් කියා ලූ ය. සත් වැනි දවස ය යි දවස් නියමය ත් කියා ලූය. මෙවක් පටන් සත් වන දවස ඉක්මෙන තෙක් යට මාලේට නො බසිමි. යටමාලයට නො බව කලට හිණි පා මුලත් නැත. මේ අතුරු සිතා ගත හෙන නියාව නොදත් වන. උඩු මාල්වලට පෝරු විනා පොළෝත් නැති බැවින් භූමි නියම ය වැරදීමෙන් ම කාල නියමය ත් වැරද ගිය කලට උන්ගේ බස බොරු ය.
එකල බොරුවෙන් හසු කෙරෙමි’යි සිතා තමන්ට අනුභවයට නිසි සියල්ලක් ම සත් මාල් මාළිගාවේ උඩු මාලට නංවා ගෙන හිණි ත් උගුලුවා හරවා පියා මාලින් මාලේ ම දොරවලුත් අගුළු ලවා ගෙන එකි එකී දොරකඩක් පාසා මල්ලවයන් දෙදෙනෙකු රඳවා ලා ‘ඉඳින් සිහි නැති ව යට මාලේට බසිම් නම් අල්වා රඳවව’යි මල්ලවයන්ට තර ව සම්මත කොට ලා සත් වන මාලේ ශ්‍රී යහන් ගබඩාවේ හුන්නේ ය.
බුදුහු එ පව ත් අසා ‘මහණෙනි, මාළිගාවේ මතු මාලේ තබා සුප්‍රබුද්ධයෝ ආසට නැඟී ලා ආස හිඳිත්ව’ පඩව් නැඟී ලා මුහුදට යෙත්ව යි ජීවත් වනු නිසා ගල් හස්සට වදිත්වයි බුදුවරුන් විවරණ ලත් තැන් පටන් අත්‍ථි භඤ්ජක බොරුවක් නො කියන හෙයින් බුදු වූ අවස්ථාවෙහි දෙබස්ම නැත. මා කියාලූ තැනින්ම පොළොවට වද්දී. පව් කළවුන් ආස හුන්න ත් මූදට පැමිණිය ත් ගල් හස්සක රඳා ත් කළ පවින් ගැළවීමෙක් නැත. යම් තැනක සිටි කල මරණ නවතා පියා නම්එසේ වූ බිම් පියසෙක් දස දිග ම නැත. නිවනට පැමිණියෝ නම් ඒ නිවන මරණ නැති හෙයින් නිවන් කරා පැමිණ ක්‍රමයෙන් මරණ නවත්තී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණීමෙන් කළ පවින් මිදෙන තැන් ලත්හ.
සත් වන දවස් බුදුන් සිඟා වැඩ ලා විහාරයට වැඩ පී කල වහන්දෑගේ ත් සිඟා ගමන් නිමි කලට සුප්‍රබුද්ධයන්ගේ මඟුලසා යට මාලේ සිටියේ මත් ව ගොසින් ඒ ඒ භිත්ති පහරනේ ය. උඩු මාලේ හුන් සුප්‍රබුද්ධයෝ ඒ අරගල අසා කුමක් දැ යි විචාළෝ ය. මඟුලසු මත් වූ නියාව කිවු ය. ඒ අසා ද වැළි ත් සුප්‍රබුද්ධයන් දැක ම සන්හිඳෙයි. ඔහු සන් හිඳුවනු නිසා හුන් තැනින් නැගිට දොරකඩවල් කරා ගියහ.
දොරත් බෑනණුවන් වහන්සේ මහභිනික්මන් නික්මෙන දවස් ඔබගේ කුශලානුභාවයෙන් වාසල් දොර ඇරුණා සේ ම මුන්ගේ අකුශලානුභාවයෙන් තෙමේ ම හැරිණ. ඉවත් කරවා පී හිණ ත් යථා ස්ථානයෙහි ම සැලසී සිටිය. දොර කඩවල රකවල සිටි මල්ලවයෝ උඩට යන කෙනකුන් නවත්නා සේ සුප්‍රබුද්ධයන් බොටුව අල්වා ගෙන පාත් බලා දමා පුය. ඉක්බිත්තෙන් යට මාලේ හිණි පා මුල කරා පැමිණි කලට ලා ලූ නකතක වේලා නුගුළු වන්නා සේ මහ පොළොව නව ලක්‍ෂ සැට දහසක් පමණ ගවු බොල ඇත ත් අකුශල කර්‍ම නමැති සෙණ පහරින් පැළිණ. සුප්‍රබුද්ධයෝ ත් ඒ සිදුරෙන් ගොසින් අවිචියෙහි උපන්හ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් සුප්‍රබුද්ධයන් මරණ දුකින් වැළහෙන්ට සත්මාල් මාළිගාවේ උඩු මාලට නැඟී ත් ඉන් නොමිදුණු නියාව සලකා නව ලොවුතුරා දහම් නමැති නව මාලේ පායෙන් නව වැනි වූ උඩ නිවන් මාල් තිබිය දී ම අට වැනි වූ අර්හත් ඵල සමාපත්ති මාලට නැගෙන්නා ම, ක්‍ෂණික මරණ විනා සෙසු මරණ නැති නියාව ත් යට මාලේ වූ ශ්‍රෝත ආපත්ති මාර්‍ගයේ පටන් මරණ තුනී වන නියාව ත් දැන මාළිගා ලබතොත් වන මාල් වූ ලොවුතුරා මාළිගාව ම ලබන්ට උත්සාහ කට යුතු.
__________