තව ද අකුශල කර්‍මය කොතැනක වුව ත් නො නවත්නා නියාව හඟවන්ට තුන් දෙනකුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.
කෙසේ ද යත් -
බුදුන් දෙවරම් වෙහෙර වසන කල්හි බොහෝ වහන්දෑ බුදුන් දක්නට එන සේක් එක් ගමකට සිඟා වන් සේක. ගම් වැස්සෝ ද පාත්‍ර හැර ගෙන භෝජන ශාලාවේ වඩා හිඳුවා ලා කැඳ අවුළු පත් පිළිගන්වා ලා වළඳන වේලා එන තෙක් බණ අස අසා හුන්හ. එ වේලෙහි එක් ගෑනියක බත් පිස තබා ලා මාළු දුමන ගමනේ අක් පතලයෙහි ගිනි ඇවිල ඒ ගින්න නැඟී ගෙයි සෙවින්නේ වැද ගත. තණ කැරැල්ලෙක ඇවිළ ලා අහසට නැංගේ ය. එ වේලේ එක් කවුඩෙක් අහසින් යන්නේ ඒ ගිනි කැටියේ හිස ගන්වා ගින්නේ ම වෙළී දා ගොසින් ගම් මැඳ හිණ. වහන්දෑ ඒ දැක ‘ඇවැත්නි, බලව අහසින් යන කවුඩාට වූ මුළා ය. මොහු කළ අකුශල කර්‍ම ය බුදුන් විනා අනික් දක්නෝ කවුරුද? බුදුන් ම විචාරම්හ. විචාළ කල ඌ ගේ කර්‍මය ප්‍රකාශ කිරීම් මුඛයෙන් බණ කථාවක් වදාරණ සේක. එයි ත් බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වෙ යි’ සිතා ගෙන නික්මුණු සේක.
තව ත් වහන්දෑ ගණනක් දෙනා වහන්සේ බුදුන් දක්නට නැව් නැඟී එන කලට නැව මුහුද මැද දී නිසල ව සිට පී ය. නැව් නැඟී මිනිස්සු ත් ‘කාලකණ්ණි කෙනකුන් මේ නැව ඇති නියා වේ දැ’යි තළියෙක පැන් පුරා තබා ඒ ඒ දෙනාගේ නම් ලියා පත් කඩවල් තළියේ පැන හෙළූ ය. නැවියාණන්ගේ ඇඹේණියෝ ත් යෞවනයෙහි පිහිටා සිටියහ. ප්‍රසාදාවහයෝ ය. උන් නම පත ගිලිණ. අත් වැරැද්දකින් වී දෝ හෝ’යි තුන් විටක් දක්වා ම පත් හෙළා උන් නම පත ම තුන් විට ම ගිලුණු ඟෙයින් හැම දෙන නැවියාණන් මූණ බැලූ ය. නැවියාණෝ ද ඒ එක් තැනැත්ත වුන් නිසා බොහෝ දෙනා නස්නට පිළිවන් ද? තුලුන් දියට දමා හැම දෙනාට වැඩ කරව’යි කිවු ය. උයිත් දියට දමන්ට වදිනු දැන හඬා පූ ය.[1]
ඒ අසා නැවියාණෝ ‘මුන් හන් පළන් දෙය නැසීමෙන් කම් කිම්ද? ආභරණ ගළවා ගෙන කඩ රෙද්දක් දී ලා දියට දමව. මම වැළි ත් පැන් බී ඉපිලෙන්නවුන් බලා සිටිය නො හෙමි. එ හෙයින් දමා ලූ කල නොයිපිලෙන ලෙස වැලි කළයක් කර බැඳ ලා මුහුදට දමව’යි පුරාකෘත අකුශල කර්‍මයාගෙන් උගන්වා ලූ සැලැස්මක් මෙන් විධාන කළහ. උයි ත් එ ලෙස ම කළහ. දමා ලන්නා ගිලුණු ගමනේ ම මස් කැස්බෝ අනුභව කළහ. වහන්දෑ ද නැව ම හෙයින් එ පවත දැන ‘බුදුන් විනා අනික් කෙනෙක් මුන් කළ අකුශල කර්‍ම ය නො දනිති. බුදුන් විචාරම්හ’යි සිතා ගෙන බට මනා තොටකට බැස පී සේක.
අනිකුත් සත් දෙනකුන් වහන්සේ බුදුන් දක්නට වඩනා සේක් සවස එක් විහාරයකට වැඩ සැතපෙන තැන් විචාළ සේක. එක් ගල් ලෙනක ත් ඇඳ සතෙක් ඇත. ඒ ගල් ලෙන ම සත් දෙනා වහන්සේ සැතපුණු කලට රෑ දවස කුළු ගෙයක්සා ගලෙක් හෙන්නේ ලෙන දොරකඩ වසා ගෙන හින. නේවාසික වහන්දෑත් ‘අපි ගල් ලෙන ආගන්තුක වහන්දෑට හැඳ සතක් ඇති හෙයින් පමුණුවා ලුම්හ. මේ ගල ත් ලෙන දොරකඩ වසා හින. ගල ඉවත් කර වුව මනාවේ දැ’යි අවට ගම්වල මිනිසුන් රැස් කරවා ගල ඉවත් කරවන්ට උත්සාහ කොටත් තව කර්‍මයාණන් ඉවත් වන්ට නැති හෙයින් ගල ඉවත් නුවූයේ ය, ඇතුළත සම්භ වූ වහන්දෑ ත් පිළිවන් යත්න කළ සේක.
උදවුව ඉවත් වන ලෙසට ආදි කළ දෙයක් නැති වන්නා සේ ඉවත් නොව සතිය මුළුල්ලේ නිශ්චල ව සිටියේ ය. ඇතුළට හසු වූ වහන්දෑ සතිය මුළුල්ලෙහි බත් නොලදින් දුර්‍වල වූ සේක. ඒ සතියෙන් අකුශල කර්‍මය දුර්‍වල වි ය. සත් වන දවස් දුර්‍වල වූ අකුශලයාණන් රඳවා ලන්ට බල නැති හෙයින් දොර අවුරා හුණු ගල කිසි කෙනකුන් ගෙනුත් ප්‍රයෝග නැති ව තෙමේ ම ඉවත් වි ය. වහන්දෑ ත් මෑත් ව ගොසින් ‘අපගේ මේ පාපය බුදුන් විනා අනික් දන්නෝ කවුරු ද, බුදුන් විචාරම්හ’යි නික්මුණු සේක.
කවුඩා මළ පවත්, මුහුදට ස්ත්‍රි ය දැමූ පවත් දෙක විචාරන්ට නික්මෙන වහන්දෑ හා අතුරු මඟ දී එක් තැන් ව බුදුන් කරා ගොසින් වැඳ එකත් පස් ව හිඳ බුදුන් ගෙන් සාද සාමීචි විඳ ගෙන තම තමන් වහන්සේ දුටු කාරණ පිළිවෙළින් ම විචාළ සේක. බුදු හුත් පිළිවෙළින්ම ප්‍රකාශ කරන සේක් ‘මහණෙනි, ඒ කවුඩා තමා කළ ලෙස ම දැන් ලද යට ගිය දවස බරණැස් නුවර සී සානා එකෙක් තමාගේ ගොන් සාන සේ කෙසේ උගන්වා ත් උගන්වා ගත නො හින. එ සේ නො හික්මුණු ගොන් සාන්ට යොදා ගන්නා මඳක් ගොසින් ලා ම වැතිරෙති. සානා සීයට වඩා වැද හෝනා වැදහෙවී මම බොහෝව. කෙසේ නමාත් නමා ගත නොහී උරණ ගොන් නො සානා නියාව සැලකූ බව මුත් තමාගේ සසර රැඳීම නො සලකා මෙවක් පටන් සුවසේ වැද හොවිති. පිදුරු වසා පිදුරු ගොඩක් මෙන් කොට ලා පිදුරු වෙණියෙන් වෙළා ගිනි ගසා පියා කර්මය ඇඟ ලා ගත. ගොන් එ තැන ම දා මළහ.
කවුඩුවා කළ පව තෙලේ ය. ඒ තෙමේ ඊ විපාකයෙන් බොහෝ කලක් නිරෑ දුක් විඳ ඉතිරි ව සිටි විපාකයෙන් සියක් වරෙක කවුඩු ව ඉපැද මෙ ලෙසින් ම ගෙවල වැදගත් ගින්නෙන් අහස දී දා මළේ ය’යි කවුඩුවාගේ පවත වදාරා ලා ‘මහණෙනි, ඒ මූදුබත් වූ ස්ත්‍රී තමා කළ ලෙසට ම මඳ වරදකු ත් නැතු ව විපාක ලද, ඔයිත් ගිය දවස බරණැස් නුවර එක් ගැහැවියකුගේ අඹුවක් ව පැන් ගෙනීම්, දර ගෙනීම් ආදී සියල්ලක් ම අනික් කරන කෙනකුන් නැති හෙයින් සියතින් ම කෙරෙයි. ඈ ගෙ ත් එක් බල්ලෙක් ගෙයි සියලු මෙහෙ කරන නියාව බල බලා ම හිඳී. කුඹුරට-සේනට බත් ගෙන යන කල ත්, දර පලා ආදිය නිසා වලට යන කල ත් කැටිව ම යෙයි. ඒ දැක වෙළෙඹියෝ ‘හෙම්බා, බලු වැදී දඩ නික්මිණ. අද දඬුමස් හා බත් කම්හ’යි වෙහෙසති. උයි ත් ලජ්ජා ව ගොසින් බල්ලා දඬු පත් බා ලා මරා නෙරති. බලු තෙමේ මඳක් රඳා ලාත් පසු පස්සේ යේමය.
මැරීම් තැලීම් කාත් පසු පස්සේ යන්ට කාරණ කවරේ ද යත්: ඒ බලු තෙමේ උන්ට ඊට තුන් වන අත් බැව ස්වාමී වි ය. එ හෙයින් එ වක ඇති වූ ස්නෙහ ය සිඳ ගත නො හෙයි. අක්මුල් නැති සසර ස්ත්‍රී ව උපදිනවුන්ට ස්වාමි නු වූ කෙනකු ත් පුරුෂ ව උපදිනවුන්ට අඹු නුවූ කෙනකු ත් නැත. එ හෙයින් ඔහු උන්ට ස්වාමි වීම විස්ම නො වෙයි. තුන් වන ජාති ය නම් මීට ආසන්න හෙයින් ප්‍රේම ය සිඳ ලිය නො හැක්ක. එ හෙයින් බලු ප්‍රේමය සිඳ ගත නො හෙයි.
ඌ තුමූ ඔහුගේ ස්නේහ ය තරමේ ම ඔහු කෙරේ ක්‍රෝධ ය ඇතිව කුඹුරු මෙහෙකරන සමුණන්ට උළු කැන් ගෙනයන්නෝ ලණුවක් හිණ තබා ගෙන ගියහ බලු ත් කැටි ව ම ගියේ ය. ඌ සමුණන් උළු කැන් පොවාලා උළුකැන් ගෙනගිය කළ ය හෙයින් සිස් කළය හැර ගෙන පැන් වළක් කරා ගොසින් වැලි කළ ය පුරා ලා ළඟ බල බලා සිටි බල්ලාට හඬ ගෑ ලූය. බලුත් ‘නැතක් දවසින් මිහිරි බසක් අසා පීමි’යි සිතා නො මිහිරි නියාව නො දැන වෙණිය සල සලා ළඟට ගියේ ය. ඒ උපාසිකාවෝ ත් බල්ලා ගේ බොටුව තරයේ අල්වා ගෙන එක් ලණු කෙළවරකින් වැලි කළය බැඳ ලා අනික් කෙළවරින් බල්ලාගේ බොටුව බැඳ ලා වැලි කළ ය දියට පෙරළා පුව. බලු ත් වැලි කළ ය ලා කැටිව ම දිය යට වැද ගොසින් මිය ගියේ ය. ඒ උපාසිකාවෝ ඒ අකුශල කර්‍ම විපාකයෙන් බොහෝ කලක් නරකයෙහි පැසී පියා තව විපාක ඇති හෙයින් අත් බැව් සියයෙක වැලි කළ බැඳ ලා මෙලෙසින් ම දමන ලදැ’ යි මුහුදට දමන ලද තැනැත්තන්ගේ කර්මයත් වදාරා ලා ගල්ලෙණ දොර කඩ වහසල්හි සතියක් බත් නො ලදින් දුක් වුන් වහන්දෑගේ කර්මය ත් වදාරණ සේක් ‘මහණෙනි, තෙපිත් තොප කළ ලෙසට ම ලදුව.
යට ගිය දවස බරණැස් නුවර වසන්නා වූ එඬේර සුඟු සත් දෙනෙක් එක් වලෙක සරක් කවා ඇවිදින්නෝ එක් දිගකට නැමූ කල ඒ දිග සතියක් කවා අනික් දිගකට නැමූ කල ඒ දිග ත් සතියක් කවති. මේ නියායෙන් එක දවසක් ගෙරි සරක් තණ කවා ගෙන එන්නෝ එක් මහ තලගොයකු දැක ලුහු බඳවා ගත්හ. ගොයාත් පලා ගොසින් තුඹසකට වන. ඒ තුඹසේත් සිදුරු සතෙක් ඇත. එඬේර සුඟු ද ‘අපි දැන් අල්වා ගත නො හෙම්හ. සෙට අවුත් අල්වා ගනුම්හ’යි සත් දෙන කොළ කැටි සතක් කඩා ගෙන කුසල් මඟ හකුල් හෙළනුවන් මෙන් තුඹස් සිදුරු සතෙහි ම කොළ ගන්වා ලා පලා ගියෝ ය. දෙවන දවස් ගොසින් සලකුණු නො කොට අනික් අතෙක සතියක් සරක් කවා සත් වන දවස් සරක් නමා ගෙන එන්නෝ ඒ තුඹස දැක සලකුණට ගැන් වූ කොළ කැටියේ කොළත් දැක ගොයි සලකුණු කොට ගොයා කුමක් කොට හුන්නේ දෝ හෝ යි තම තමන් ගැන් වූ කොළකැටි හළවූ ය. ගොයා ත් ඇට සම් පමණක් ව ගොසින් වෙවුල වෙවුලමින් මෑත් වි ය.
ඔහු ද ගොයි දැක කරුණා ඇති ව ‘ගොදුරු නැති ව දුර්‍වළ වි ය. මරා ඇට සම් ගන්නා පමණක් මුත්, පව් ලබත් මුත් මස් ලබන්ට නැත. ඌ නො මරම්හ’යි සිතා ගෙන ගොයිගේ පිට ත් අල්වා පියා ‘සුව සේ පලා යව’යි කියා හළවු ය. ගොයි මරා නූපු හෙයින් නරකයේ නො පැසුණවු ය. සත් දවස දියුනා තුදුස්, ජාතියෙක සත් සත් දවස බත් නො ලත්හ. ‘හෙම්බා මහණෙනි, එවක එඬේර ව ඉපැද තෙලේ තොප කළ පව්කමැ’ යි තුන් පක්‍ෂයෙහි පව් ම ප්‍රකාශ කළ සේක.
එක් කෙනකුන් වහන්සේ ‘කුමක් ද ස්වාමීනි, පව් කළවුන් අහසට නැඟී ත් මුහුදට පැමිණ ත් ගල් හස්සට වැදලා ත් ගැලවීම් නැති නියා වේ දැ’යි විචාළ සේක. ‘එ සේ ය. මහණ, යම් කිසි කෙනෙක් ‘මේ උපදෙසින් කළ පවින් මිදෙම්හ`යි අහසට නැඟී ලා ඉඳිත් නමුත්, සුවාසූ දහසක් යොදුන් ගැඹුර ඇති මහ මුහුදට වන්නෝ නමුත්, ගල් හස්සට වැද ලා හිඳිත් නමුත් කළ පවින් මිදීමෙක් නැත. යම් තැනෙක රඳා කළ පවින් මිදෙ තොත් එ සේ වූ බිම් පියසෙක් දස දිග ම නැතැ’යි වදාළ සේක. දේශනා කෙළවර කර්‍ම ස්වරූප විචාරන්ට ගිය තුන් පක්‍ෂයේ වහන්දෑ ම සෝවාන්ඵලාදියට පැමිණ අකුසලින් දුරු ව ලොවී ලොවුතුරා කුසල්හි පිහිටි සේක.
එ හෙයින් සත් පුරුෂයන් විසින් ගොන් ගිනි ගසා දවා, වැළි කළ බැඳ බල්ලා දියට දමා, බොහෝ කලක් නිරෑදුක් ගෙන එක මුරයේ ගින්නේ දවා සියක් වර ගින්නේ දැවුණු නියාව ත්, එක වර වැලි කළ කර බැඳ බල්ලා දියට දමා සියක් වර වැලි කළකර බැඳ දියට දැමුම් ලත් නියාව ත් සිත්හි තබා පණිවායෙන් දුරු ව සෙසු ත් පවින් දුරු ව, ගොයි නොමැරූ පමණින් නරක දුක් නැති වූ නියාව දැන පණිවායෙන් දුරු වීමේ අනුසසුත් සලකා, තුඹස ඇතුළත් සත් දවසක් නිරාහාර ව හොත්තාට තුදුස් ජාතියෙක නිරාහාර වූ නියාව සලකා ලඝු වූ පව ත් නො හැසිර පිළිවෙත් ලෙසින් පින ම හැසිර නිවන් පුර අත් පත් කට යුතු.
-
දියට දමන්ට වඳිනා හඬා පූ ය. දියට දමන්ට කරණ වග දැන හඬා පූ ය. ↑