118. මණිකාර කුලුපග තිස්ස තෙරුන් වහන්සේ ගේ වත

star_outline

තවද නිරපරාධයන්ම සලකා ගත නොහී කළ අපරාධයෙහි ම ආදීනව දක්වන්ට මණිකාර කුලුපග තිස්ස තෙරුන් වහන්සේ ගේ වත කියමු.

කෙ සේ ද යත්-

ඒ තෙරුන් වහන්සේ එක් මැණික් සැට්ටරකුගේ ගෙයි දී දොළොස් හවුරුද්දක් විචර වැළඳූ සේක. මැණික් සැට්ටර දෙ මාල් ලෝ දෙමවු පිය තරමේ සිට තෙරුන් වහන්සේට උපස්ථාන කළෝ ය. එක් දවසක් මැණික් සැට්ටරාණෝ තෙරුන් වහන්සේ ළඟ හිඳ දඩ මසක් කපති. ඒ වේලාට කොසොල් රජ්ජුරුවෝ ‘තෙලේ ගිනිවර කොට ගාවිද ලා එවාලව’යි එක් මැණිකක් යවූ ය. මැණික් සැට්ටරයාණෝ ද ලේ වැකි අතින් ම මැණික හැර ගෙන පෙට්ටියක් පිට තබා ලා අත සෝධන්ට ඇතුළු ගෙට වන්හ. ඒ ගෙයි වඩන කොස්වා ළිහිණියෙක් ඇත. ඒ තෙමේ ලෙයේ ගඳින් මස් කැටියෙකැ යි සිතා තෙරුන් වහන්සේ බල බලා හින් දදී ම මැණික ගිලී ය. මැණික ගලන නියාව ඔබ ත් දුටු සේක. මැණික් සැට්ටරා අවුත් මැණික නො දැක ‘මැණික ගතු දැ’යි අඹුවන් අතිනු ත් දූ දරුවන් අතිනුත් පිළිවෙළින්ම විචාරා උන් දෙ පක්‍ෂය ම ‘හැර නො ගතුම්”යි කී කල්හි තෙරුන් වහන්සේ හැර ගත් නියා ය යි සිතා ගෙන ඇඹේණියන්ට කිවු ය. ඌ ඒ අසා ‘එ සේ නො කිව මැනව. දොළොස් අවුරුද්දෙක් මුළුල්ලෙහි එ බන්දෙක් ඇත් නම් හැඟී නොයේ ද? ඔබ එ බන්දක් නො කරන සේකැ’යි ඔබගේ තරම දැන ම කිවු ය.

එ සේ උන් කී වත් මැණික් සැට්ටරා මැණික්වල තරම් දනී. නමුත් ඔබගේ තරම් නො දැන ‘ස්වාමීනි, මෙ තැන තුබූ මැණික ගත්තේ ඇද්දැ’යි විචාළේ ය. ‘උපාසකයෙනි, අපි නො ගතුම්හ’යි වදාළ සේක. ‘ස්වාමීනි, මුඹ වහන්සේ විනා අනික් කෙනකුත් නැත. ගනිත ත් මුඹ වහන්සේ ම ය. ‘මැණික වහා දුන මැන වැ’යි කිවු ය. තෙරුන් වහන්සේ හැර නො ගත් ම හෙයින් තර ව සිටිනා ඇඹේණියන්ට තව ත් කියන්නෝ ‘සොරා හැර ගත් දෙයක් ‘හැර ගතුම්හ’ යි කියන්නෝ ඇද්ද, නිකම් නො කියන බැවින් ගහටයක් කොට ත් විචාරමෝ දැ’යි කිවු ය. උපාසිකාවෝ තමන් සැදැහැ ඇති හෙයිනු ත් ඔබගේ එ බඳු තරමක් නැති නිසා ඉඳුරා දන්නා හෙයිනුත් අප නො නැසුව මැනව. මැණික නිසා අපි ගැති මිඬිවමෝ නමුත් සඳ මඬල ගොම ගානා සේ මුන් වහන්සේට තෙල ලෙස කීම නපුරැ’යි කිවු ය. ‘අපි හැම දෙන ම මිල කළ ත් මැණික නො අගුම්හ’යි කියා ලා ලණුවක් හැර ගෙන තෙරුන් වහන්සේගේ හිස වෙළීමෙන් කර්‍මයා වෙළා ගෙන දණ්ඩ කින් මිරිකා ලී ය. තෙරුන් වහන්සේගේ හිසින් ද කනින් ද නාසයෙන්ද ප්‍රවෘත්ති විපාක වශයෙන් ශේෂ ව සිටි අකුශල විපාකයන් බාහ්‍ය වන්නා සේ ලේ වැගිරෙන්ට වන. ඇස් දෙක ත් පිටත් වන්නා සේ වි ය. වේදනා බලවත් ව බිම වැටී හුණු සේක.

කොස්වා ළිහිණියා ත් ලේ ගඳින් අවුත් ලේ බොයි. මැණික් සැට්ටරා ත් තෙරුන් වහන්සේ කෙරෙහි වූ උරණින් ‘තොප කරන්නේ කිම් දැ’යි කියා පයින්ම කොස්වාළිහිණියා ගසා දැමී ය. එ යි ත් එක පහරින් ම තෙරුන් වහන්සේට බිලි වූවා සේම මළේය. තෙරුන් වහන්සේත් පාර කා හුණුවා වූ ළිහිණියා දැක ‘උපාසකයෙනි. මා හිස වෙළුව ලිහිල් කොට ලා තුලූ මළ නො මළ නියාව බලව’යි කී සේක. ‘ඌ වන්නා මෙ වකට මළෝ ය. උන් තබා මුඹ ත් මැණික නො දී මියන දෑ වේ දැ’යි කිවුය. ‘උපාසකයෙනි, ලේ වැකි මැණික දැක ගිලූයේ තෙලේ ය.

‘මැණික ගලන නියාව මම දිටිමි. තුලු මළ හෙයින් මූත් නො මළ නම් කර්‍මානුරූප ව මම මියෙම් නමුත් නො කියමි’ වදාළ සේක. එයි ත් ළිහිණියාගේ බඩ පළා පියා කහළ ගොඩක සඟවාලූ මැණිකක් මෙන් මැණික දැක තමා කළ අකාරිය බලවත් හෙයින් වෙවුලා තෙරුන් වහන්සේ වැඳ ගෙන වැද හෙව ස්වාමීනි, නොදැන කළ දෙයට ක්‍ෂමා කළ මැනැවැ’යි කිවු ය. ‘උපාසකයෙනි, තොපගේ වරදකුත් නො වෙයි. මෙ වක මාගේ වරදකුත් නො වෙයි. සසර සිටිනා කල එක් වැරැද්දෙක. අක්‍ෂමාවත් තමා ම නැති හෙයින් ක්‍ෂමා කෙළෙමී’ වදාළ සේක. ‘ස්වාමීනි, ක්‍ෂමා වී නම් ආදි ලෙසින් ම අපගේ ගෙයි දී ම නිරන්තර ව වළඳන්ට වුව මැනැවැ’යි කිවු ය. තෙරුන් වහන්සේත් -

“පච්චති මුනිනො භත්තං - ථොක ථොකං කුලෙ කුලෙ,

පිණ්ඩිකාය චරිස්සාමි - අත්‍ථි ජඞ්ඝාබලං මම”

යනු හෙයින් ‘ උපාසකයෙනි, මෙ වක් පටන් ගිහි ගෙයක සෙවින්නක් ඇතුළතට නො වදිමි. මේ වූයේ ගෙවල හිඳවැළඳීමේ දෝෂ ය. පය බල ඇත් නම් සිඟා ගොසින් පත් දොර සිට ලත් දෙයක් සරුප් තැනක හිඳ වළඳිමි යි කියා ලා තෙරුන් වහන්සේ වූ පීඩාව මුල් ව නො බෝ කලකින් සසර දුක් ගෙවා පිරිනිවි සේක. කොස්වාළිහිණියා ත් මැණික් සැට්ටරුගේ අඹුවන් බඩ පිළිසිඳ ගත. මැණික් සැට්ටරා අරහන්ත ඝාතක කර්‍ම ය සිද්ධ වූ හෙයින් අවීවියෙහි උපන. මැණික් සැට්ටරාණන්ගේ අඹුවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පහන් සිතින් මිය දෙව්ලොව උපන්හ. එක තැනක රඳා හිඳලා ඒ ඒ කටයුත්තේ වෙන වෙන කඩා ගියා සේ ඒ ඒ-තැන උපන මනා ව උපන්හ.

වහන්දෑ ද බුදුන් අතින් උන් හැම උපන් තැන් විචාළ සේක. බුදුහු “හෙම්බා මහණෙනි, මළ සතර පක්‍ෂයෙන් කොස්වාළිහිණියා මවු කුස උපන. මැණික් සැට්ටරා නරකයේ උපන. ඔහුගේ අඹුවෝ රහත් සඟුන් කෙරෙහි කළා වූ චිත්ත ප්‍රසාදයෙන් හා දොළොස් හවුරුද්දක් විතර කළ උපස්ථානයෙහි විපාකයෙන් දෙව්ලොව උපන්හ. ජාති කාරණ වූ භව නැසූ හෙයින් උන්ගෙන් උපස්ථාන ත් විඳ ගහට ත් වූ[1] රහත් සඟුන් පිරි නිවිය හයි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ගර්භාවක්‍රාන්ති දුඃඛ ය බලවත් දුක් හෙයින් එයිත් හැර, නරක දුක් නම් පමණ ඇති දුකක් නො වන හෙයින් එයි ත් හැර, දෙව් සැප ත් නම් ප්‍රමාද කාරණ හෙයින් ඊට ත් ආලය නො කොට, සියල්ලකට ම උතුම් ව සිටිනා නම් අනුපධිශෙෂ නිර්‍වාණ ධාතුව හෙයින් ඊට ම උත්සාහ කට යුතු.

_________

  1. ගහට ත් විඳි.