තව ද යම් කෙනෙක් තදඞ්ගාදි විමුක්ති නමැති කෘෂිවණික් ආදී වූ කර්මාන්තයෙන් ශීල සමෘද්ධ්‍යාදි ගුණ නමැති සම්පත් ඇති කොට ගෙන ඇති කළ සම්පත් රැක ගන්ට නිසි උපදෙස් නො දැන හෝ දැන ත් ආලෙස්සම් ව රැක ගත නුහුණුව නම් උන්ට වන හානි ද සීල සමෘද්ධ්‍යාදි ගුණ නමැති සම්පත් ඇති කරණ සේ දැන රූපාදී ෂඩාලම්බන නමැති වල්හි හිඳ ලා චක්ෂුරාදී දොරවල් හැර ලා තිබූයේ වී නම් එයින් වැද කෙළෙස් සොරු සිත් සතන් නමැති නුවර තුබූ ගුණ බඩු හැර ගනිත් නමුත් ය යි චක්ෂු රාදි ස දොර සිහි නමැති දොර පියා ලා නුවණ නමැති අගුළු ලා ලා හුන්නවුන්ට වන අනුසසු ත් දක්වනු සඳහා ශීල සමෘද්ධ්‍යාදී අවශිෂ්ට ගුණ ධර්‍ම නමැති කෙ තෙක් ආභරණ ලා සිටිය ත් සදහම් නමැති රුවන් වැළ ය නැත් නම් නොහොබනා හෙයින් යම් කෙනෙක් එයින් ලා සැරහෙන්ට සිත ත් නම් ඔවුන් පළඳින්ට අප ගේ කථා ප්‍රබන්ද නමැති රන් කෙන්දෙහි මහාකාළ තෙරුන් වහන්සේ ගේ වස්තු නමැති රුවණ ත් අවුනමු.
හේ කෙසේ ද යත්:
දඹ දිව සෙතව්‍ය නම් නුවර කෙළෙඹි පුත්‍රයෝ තුන් බෑ කෙනෙක් ඇත. ඉන් වැඩි මාලු තැනැත්තෝ මහා කාළ නම් හ. මැදි බෑ තැනැත්තෝ මජ්ඣිමකාළ නම් හ. කුඩා තැනැත්තෝ චුල්ලකාළ නම් හ. ඒ තුන් දෙනා ගෙන් මැදි බැ තෙනැත්තන් නුවර රඳවා ලා වැඩි මාලු තෙනැත්තෝ බාල මලණුවන් කැඳවා ගෙන වෙළඳාමෙහි යෙති. ගෙනා දෙය රඳා හුන් මැදි බෑ මලණුවෝ බඩුවට බඩු ගැන්මෙන් වෙළඳාම් කෙරෙති. ඉක්බිත්තෙන් එක් සමයෙක වෙළඳාමේ යන දෙ බෑයෝ ගැල් පන් සියයකින් නො එක් බඩු ගෙන්වා ගෙන සැවැත් නුවර බොහෝ මිනිසුන් ඇති හෙයින් ගෙන ගිය බඩු ඔබ්බකට නොගොස් විකවා ගන්නා නිසා ඔබ ගොසින් සැවැත් නුවරට ත් දෙව්රමට ත් මධ්‍යයේ ගැල් රැඳ වූ හ. දෙ බෑයන් ගෙන් වැඩි මාලු මහා කාළ නම් කෙළඹියාණෝ සවස් වේලේ සැදි පැහැදී ගෙන සුවඳ මල් ආදිය ත් හැරගෙන බණ ඇසුම නිසා බොහෝ දෙනා යන්නවුන් දැක තමන් හිඳිනා තැන පසල් දනවුව තිබෙන හෙයින් නොදැන “මුන් හැම යන්නෝ කොයි දැ’යි විචාරා බණ අසන්නට විහාරයට යන නියාව උන් හැම අතින් ම අසා කෘත පුණ්‍ය හෙයින් සිත නැමී ‘මම ත් යෙමි’සිතා ලා මලණුවන් කැඳවා ‘මල, ගැල් බිය පත්ව ව, මම බණ අසන්ට මුන් හැම හා කැටි ව යෙමි’ කියා ගොසින් බුදුන් වැඳ අමුතු ව ලා ගිය හෙයින් මුල හිඳිනට නැති ව පිරිස් කෙළවර හුන්හ.
බුදුහු එ දවස් බණ වදාරණ සේක් රත්රන් රිදී මුතු මැණික් ආදී වූ සෙසු බඩුවෙහි ඇලුම් හැර දහම් බඩුවෙහි ඇවිටි වන ලෙසට දුක්ඛක්ඛන්ධ සූත්‍රාදී සූත්‍ර බණ එළවා ගිහි සම්පතෙහි බොහෝ ආදීනව වදාළ සේක. බණ අසා මහා කාළ උපාසකයෝ ලෙඩක් ඇති කෙනෙකුන් පිළියම් දන්නා වෙද කෙනකුන් කරා ගොසින් පිළියම් විචාරා මේ ලෙඩට මේ මේ දෙය නපුර. මේ මේ දෙය යහපත යි කියා ලූ දෙයක් කා පියන්ට බී පියන්ට ඉතා බැරි වුව ත්, කා පියන්ට බී පියන්ට පිළිවන් අපථ්‍ය දෙයෙහි ආල ය හැර පථ්‍ය දෙයෙහිම කරණ ආලයක් මෙන් ප්‍රතිපත්තිය රූක්‍ෂ වුව ත් කෙලෙස් ලෙඩ නැති ව යන්නා සේ අති මධුර වූ නිවන් රස අනුභව කට හැක්කේ මහණ වූ කල ය. මම ද මහණ වෙමි සිතා ලා හැම දෙනා වැඳ සමු ගෙන නික්මුණු කල්හි තමන් මහණ කරන්ට බුදුන්ට ආරාධනා කළ හ.
බුදුහු ‘තොප විසින් මහණ වන නියාව කියා ලන්ට නිසි ව සිටි නෑයෝ නැද්දැ’යි විචාරා ළඟ හුන් මලණුවන්ගේ ස්වරූප කී කල්හි උන් පමණකට ත් කියව යි වදාළ සේක. උයි ත් ගොසින් ‘මල, මේ සම්ප ත් මුළුල්ලම තොපට ය. තෙපි පිළිපදුව’යි කිවු ය. ‘නුඹ දැනැ’යි කියා මලණුවන් විචාළ කල්හි තමන් මහණ වන්ට සිතන නියාව කිවු ය. ඒ අසා නො එක් ලෙස බාධා කොට ත් මූදට නැමුණු මහ ගඟක් සේ මහණ වීමෙහි සිතාගත් සිතිවිල්ලට බාධා කොට නොහී යහපතැ’යි ගිවිස්සෝ ය. මහාකාළ උපාසකයෝ මලණුවන් ගෙන් අනුමැති ලැබ ගොසින් බුදුන් ළඟ මහණ වූහ. චුල්ලකාළ උපාසකයෝ ත් එක් ව හිඳ එක්වන කථා කිරීමෙන් මහණ වීමට නැමුණු සිත පෙරළා සිවුරු හැරීමට ත් නම්වා ගෙන එක් ව සිවුරු හළ හැක්කැයි යන සිතිවිලි සිතා උන් වහන්සේ සිවුරු හරිත ත් නො හරිත ත් තමන් සිවුරු හරින්ට ම සිතන හෙයින් වස්තුයෙහි ප්‍රයෝජන ලෙස කම් පිළිපැද ලා තුමූ ත් මහණ වූ ය.
මහණ වූ මහා කාළ තෙනත්තන් දෑ පසු ව උපසම්පදාව ත් ලැබ උපසම්පන්න වූ පසු බුදුන් කරා ගොසින් ශාසනික තෙනට වුවමනා ධුර විචාරා ග්‍රන්ථ ධුර-විදර්ශනා ධුර දෙක වදාළ කල්හි ‘ස්වාමීනි, අප වැඩි මාලු කල මහණ වූ හෙයින් බාල අවස්ථාවට වුව මනා දෙයක් හෙයින් ග්‍රන්ථ ධුර ය බැරි ය. විදර්ශනා ධුරය පුරමී” කියා ලා රහත් වීම දක්වා සොසානිකාදි ධූතාඞ්ගයෙහි සමාදාන විධාන ප්‍රභෙදානිංස සකසා සැක හැර බුදුන් ගෙන් ඉගෙන ගෙන පෙර යම දස පැය ගිය කල්හි මධ්‍යම රාත්‍රි වේලාවට හැම දෙනා නිදා වැතිර ගිය කල්හි අසුබ අරමුණු දක්නා නිසා සොහොන් බිමට ගොස් දුටු අරමුණක් විෂය කොට ගෙන භාවනා කොට අළු යම් වේලේ හැම දෙනා නැගී නොසිටින තෙක් වෙහෙරට වඩනා සේක.
එ කල මිනී දවා ඇවිදිනා කාළී නම් සොහොන් ගොවු දුවක් තොමෝ ත් තෙරුන් වහන්සේ වඩනා සොහොන් බිමට මිනී දවනු නිසා එළඹෙන්නී, තෙරුන් වහන්සේ භාවනා කොට කොට වැඩ සිටි බිම හෙළි වූ නියා ද, වැඩ හුන් තෙන ද, සක්මන් කරණ තැනද, දැක ‘මූ කවුරුදෝ හෝ’යි පරීක්‍ෂා කෙරෙමි සිතා නො එක් ලෙසින් පරීක්‍ෂා කොට දවස් මැද වඩනා හෙයින් වඩනා නියා වක් ම දැන ගත නො හී නියම කරණු ම පිණිස එක් දවසක් කිසි විටෙක රඳනු නිසා සොහොන්හි කරණ ලද කිළියෙක පානක් නඟා තබා දූන් පුතුනු ත් කැඳවා ගෙන ගොසින් සැඟවී වැද හිඳ එ දවස් මැද මෙ තෙක් දවසුත් වඩනා වේලාවට වැඩියා වූ තෙරුන් වහන්සේ දැක වැඳ ලා ‘ස්වාමීනි, මෙහි වසන සේක් මුඹ වහන්සේ දැ’යි විචාළෝ ය. ‘එ සේ ය. උපාසිකාවෙනි’යි වදාළ කල්හි ‘ස්වාමීනි, සොහොන්හි වසන කල නම් නො එක් ලෙසින් සොපද්‍රවස්ථාන හෙයින් උගත මනා වතෙක් ඇතැ’යි කිවු ය. තෙරුන් වහන්සේ ත් ‘තෙපි අප වත් උගන්ව වු දැ’යි නො වදාරා වින ය පිළි වෙතක් වී නමුත් මේ තමා සූත්‍ර පිළිවෙත හෙයින් අභ්‍යාස නැති හෙයිනු ත් කළ මනා කෙසේ දැ යි:
“තදහු පබ්බජිතො සන්තො – ජාතියා සත්තවස්සිකො,
සො ‘පි මං අනුසාසෙය්‍ය – සම්පටිච්ඡාමි මුද්ධනා”
යනු පැවිදි ලකුණු හෙයින් විචාළ සේක. ඌ ඒ අසා ‘ස්වාමීනි, සොහොන වසන කල තමා සොහොන්හි වසන නියාව සොහොන් ගොවුවන්ට ද, ගණ දෙටු මහ තෙරුන් වහන්සේට ද, යම් ගමක බද සොහොනෙක් වී නම් ඒ ගම ගම්මුදළියාට ද, වදාරන්ට වුව මැනවැ’යි කිවු ය, එ සේ කී කල්හි ‘යහපත, කියම්හ’යි ම නො වදාරා ‛උන් භැම තැනට කියන්ට කාරණා කිම් දැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, සොරු සොර කම් කොට ගෙන වස්තු ස්වාමීන් ලුහුබඳවා ගත් කල්හි සොහොන්හි හැසිරෙන තැන් පිට ලන්ට දෝ සොහොන් බිමට දමා පියා යෙති. වස්තු ස්වාමීහු එ තන තුබුවා දැක සොහොන්හි හැසිරෙන මුඹ වහන්සේලාට ගහට කෙරෙති. ඒ ඒ තෙනට කියා තබා ලූ කලට ‘අද මෙ තන පෙනුණු ගමණක් නොව ත් මේ මේ අවධියෙහි පටන් මුන් වහන්සේ මෙහි වසන නියාව දනුම්හ. තොපට මෙ තැන
කෙරෙහි සැක කරන්ට කාරණ නැතැ’යි කළ සැක හරවති. එසේ හෙයින් ඒ තුන් පක්ෂයට ධුතාඞ්ගප්පිච්ඡතාවට හානි නැති හෙයින් කිව යුතු ය’යි කිවු ය.
මෙ ම අවසරයේ තව ත් කළමනා දෑ ඇත් නම් විචාරමි සිතා ‘අනික් කළමනා කිම් දැ’යි විචාළ සේක. ස්වාමීනි, සොහොන්හි වසන කල නම් අමනුෂ්‍යයන්ට ප්‍රිය වූ දඩ මස්, කුඩමස්, පිටි, කැවුම්, තල මුරුවට ආදිය අනුභව නො කට යුතු ය. දාවල් නො නිදිය යුතු ය. කුසී නො විය යුතු ය. ශඨ ප්‍රයොග නැත මැනව. අදහසත් යහපත් වුව මැනව. රෑ සොහොන් බිමට වඩනා කල හැම දෙනා නිදා වැතිර ගිය වේලාවට වැඩිය මැනව. වෙහෙරට වඩනා කල නිදා නැඟී නොසිටිනා තෙක් වෙහෙරට වැඩිය මැනව.
“ස්වාමීනි, යම් සේ කොටළුවක් කසළ ගොඩ වුව ත්, වීථී කොන්වල වුවත්, තුන් මංසල වුවත්, ගම්දොර වුව ත් දසවේ ගොඩ වුව ත්, යම්කිසි තෙණෙක සැතපේද, සැතප ගන්නා පමණක් විනා බොහෝ කොට වැද නො හො වීද, ඔහු මෙන් මුඹ වහන්සේ ත් තණ ඇතිරියක වේව’යි, කොළ ඇතිරියක වේව’යි, දඬු මැස්සක වේව’යි, යම් කිසි තෙනක සම් කඩ අතුට ගෙන බොහෝ නො කොට මඳක් සැතපී ශරීර ය සතපා ගෙන මෙ තැන්හි රඳා මීට ඇවිදපු ගමන් මුත් සසර ගමන් නැති කොට ගෙන රහත් ව ගත හුණු සේක් වී නම් මුඹ වහන්සේ මළ කල ශරීරය පලසින් සෑදූ රුවන් මඩුවකට නංවාලා මහ පෙරහරින් දවමි. එසේ රහත් විය නුහුණු සේක් වී නම් කිසිත් පූජාවක් නැතිව දුක්ඛිතයන්ට කරණ ලෙසින් දර ගොඩක් පිට ලා පියා වසා ත් දර ල ලා දන අවස්ථාවෙහි හුලින් ඇණ දර සෑයෙන් පිටත හෙළා ගෙන පොරොවින් කප කපා ගින්නට දමමින් දවමි’යි කියා භාවනා ක්‍රම ය උගන්වා වදාළ බව මුත් බුදුන් නො වදාළ මෙ ලෙස අවවාද කිව.
ඒ තෙරුන් වහන්සේ ද, මූගපක්ඛ ජාතකයෙහි තෙමිය බෝසතුන් දෙවතා දුවණියන්ගේ අවවාද පිළිගෙන සැපතෙහි ආල ය හැර නිවන් සැප ත් පතා මහණවන්ට තර වූවා සේ ම, නිවන් රට සාධනු නිසා කෙළෙස් සතුරන් පරදවන්ට ධුතාඞ්ගායුධය තර කොට ගෙන ‘පිළිකුල් මෙනෙහි කරන්ට නිසි අරමුණක් සම්භ වූ දවසෙක මට කියව’යි නමින් කැලී නම් වුව ත් අදහසින් කැලි නො වන උපාසිකාවන්ට වදාළ සේක.
වදාරා ලා එ තැන් පටන්.යම් සේ කුකුළෝ ගොදුරු සොයා කා ලා වේලින් වේලාපස ම හැකිළ ගනිද්ද, එ පරිද්දෙන් වේලා පස මළුව හැමද පැන් පරහා තබා සිරුර පිළිදැග ඇඟ සිසිල් කොට පැන් සනහා මහ බෝ වැඳ මහලු සබ්‍රම්සරුන් වහන්සේත් වැඳ ගෙන හිඳ සිට සක්මන් කොට රිසියෙන කමටහනෙකින් දවස් යවා දෙ වන දවස් යම් සේ කුකුළෝ වේලින් වේලාපස ම ගසින් බසිද්ද, එ සේ ම වේලාපස ම වත් සපයා ගෙන වැඳ පුදා සිඟා නික්මෙන තෙක් විජන ස්ථානයෙක භාවනායෙහි යෙදී හිඳ සිඟුව මනා වේලෙහි ගොසින් යපෙන පමණක් සිඟා ගෙන ලද අහර යම් සේ කුකුළෝ පයින් සාර සාරා පරීක්ෂා කොට ලා ලත් ගොදුරක් කද්ද, එ මෙන් ම ඉණ පළිබෝධයෙන් මිදෙනු නිසා පස් විකා ගෙන වළඳා නැවත යම් සේ කුකුළෝ ඇස් ඇත ත් රෑ දවස් ඇස බැලුම් නැත්තෝ ද එමෙන් ඇසට පෙනුණු ඉෂ්ටාලම්බනයෙහි ඇල්මක් නැති හෙයින් අනිෂ්ටාලම්බනයෙහි ඝැටීමක් නැති හෙයිනු ත් ඇස් ඇත ත් නැත්තා සේ ව, එ.සේම කනට ඇසුණු යහපත් ශබ්දයෙහි ඇල්මක් නැති හෙයින් හා නපුරු ශබ්දයෙහි ඝැටීම් නැති හෙයින් කන් ඇත ත් නැත්තා සේ ව, එ සේ ම නාසයට විෂය වූ සුගන්ධ දුර්‍ගන්ධ දෙකෙහි ම අමුත්තක් නැති හෙයින් හා දිවට විෂය වූ යහපත් රසයෙහි ත් නපුරු රසයෙහිත් අමුත්තක් නැති හෙයින් හා කයට විෂය වූ යහපත් පහසෙත් නපුරු පහසෙ ත් අමුත්තක් නැති හෙයින් හා මනසට විෂය වූ යහපත් නපුරු දෙකෙහි ම අමුතු නැති හෙයින් නාසයත් දිවත් කයත් සිතත් නැත්තා සේ ම නැවත යම් සේ කුකුළෝ කෙ සේ මරා නෙරි ත ත් ආදියෙහි ලා ලූ තැන අත් නොහරිද්ද, එ මෙන් ම සිවුරු ගෙත්තම් කරත ත්, නව කර්‍මාන්තයක් කරත ත්, වත් පිළිවෙත් කරත ත් කරණ භාවනාභියෝග ව ම අත් නොහැර නො පමා ව වසන සේක.
චුල්ලකාළ තෙරුන් වහන්සේ ද හුන් තෙන ත් සිටි තෙනත් මහ සැපත් හා අඹු දරුවන් සලකුණු කොට ‘මේසා මහත් සම්පත් අනුභව නො කොට අපගේ බෑණන් වහන්සේ කුමක් කරණ නියා දැ’යි එක ගම දෙ වෙළඳාමක් සේ සහෝදර ව ඉපදත් වියවුල් සිත් සිත සිතා හිඳිනා සේක. ඉක් බිත්තෙන් එක් කුල දුවක් ඉතා කල් නොගිය ලෙඩකින් මිය ගියා ය. නෑයෝ සියෝ දවන්ට ගෙන ගොසින් කැළි නම් සොහොන් ගොවු දුවට දවන්ට කියා නිල කොට ලා නැගී ගියෝ ය. හො ද වැළිත් මූණ වැස්ම ඉවත් කොට ලා මිය කල් නො ගිය ජීවත් වෙමින් සිටි රුවක් සේ රන් වන් මිනිය දැක තෙරුන් වහන්සේ ට මේ මිනිය පෑම් නම් යහපතැයි සිතා තෙරුන් වහන්සේ කරා ගොසින් වැඳ ලා මළ හෙයින් නපුරු වත ත් මුඹ වහන්සේ ගේ භාවනාභියෝග ය නපුරු නො වන, නොදැ වූ කළ කුණු වත ත් සිතට වැටහුණු ආකාර ය කුණු නො වන, මිනිය තමා සිත් නැතත් මුඹ වහන්සේට නිකසළ සිත් ඇති කරවා ලන, භාවනානුරූප රහිත වුව ත් කුණප භාවයට පැමිණෙන, ඔබට විෂභාග වුවත් තමාට සභාග වූ මිනියක් දවන්ට ගෙනා නියාව කියා ලා අසුභ බලන්ට වඩනේ යහපතැ යි කිවු ය.
ඒ අසා තෙරුන් වහන්සේ ද එ තනට වැඩ, මූණු වැස්ම හරවා ලා පත්ලෙහි පටන් හිස දක්වා බලා තව මේ මිනි ය උද්ධුමාතකාදි අවස්ථාවට නො පැමිණි හෙයින් බලා සිතට වටහා ගන්නා ආකාරයෙක් නැත. එ සේ වන්නා. එ ලෙසට මිනිය ගින්නේ ලා ගිනි වැද ගත් කලට කියව යි වදා රා ලා වෙහෙරට ම ගොසින් වැඩ හුන් සේක. උපාසිකාව ද වදාළ ලෙසට මිනිය ගින්නේ ලා ලා ගොසින් කිවු ය. තෙරුන් වහන්සේ වැඩ බලා සිටි සේක. ගිනි දැල් වැද වැද ගත් තැන් කබර ඇති ගෙරි සරක් ගේ කබර ලා තැන් සේවි ය. පාත් දා නැමී එලෙන්ට වන. අතු ත් දා ව කැටි ගැසෙන්ට වන. නළල සම ත් දා ගියේ ය.
තෙරුන් වහන්සේත් බල බලා වැඩ සිටි සේක් ‘ආදි අප ආ වේලාවට ශෝභාමත් ව තුබූ රුව දැන් ම අනික් සැටියකට පැමිණියේය. මේ මෙ සේ වනැ’යි එ ම අරමුණු කොට විවසුන් වඩා සසර මහ මූද ට හඬා වඩනා තෘෂ්ණා නමැති ගඟ අවුරා විවසුන් වැටි බැඳ තෘෂ්ණා නමැති පැන් රඳවා ලා කෙලෙස් මහ වතුරෙන් පිරුණු සසර මහ මුහුද අර්හත් මාර්‍ග ඥාන නමැති වඩබා මුඛයට වද්දා සසර මුහුද නැති කොට සසර නමැති මහ මුහුදින් එ තෙර ව තුබූ නිවන් රට ලදින් අර්හත් ඵල සමාපත්ති නමැති රට බද්ද ලත් සේක.
මෙ සේ මහාකාළ තෙරුන් වහන්සේ සිව් පිළිසිඹියා පත් රහත් වූ කල්හි බුදුහු අත්‍යායික කට යුත්තක් ඇති දරු කෙණෙකුන්ගේ ඒ කට යුත්ත නිසා ගමන් බාධාවත් කටයුත්ත නිමි කලට උනු ත් කැඳවා ගෙන යන දෙ මවු පිය කෙනෙකුන් මෙන් මහාකාළ මහ තෙරුන් වහන්සේ රහත් වන තුරු වැඩ හිඳලා ඔබ රහත් වූ පසු ඔබ ඇතුළු වූ භික්ෂු සඞ්ඝයා වහන්සේ පිරිවරා සැරිසරා සෙතව්‍ය නුවරට වැඩ හීන්සළු වෙනෙහි වසන සේක. චූළකාළ වහන්සේගේ පුරාණ දුතියිකාවෝ බුදුන් වැඩි නියාව අසා ‘බුදුන් වැඩි පසු අපට පූර්‍ව ස්වාමීව සිටි තැන ත් එන සේක. ආ පසු රඳවා ගනුම්හ’යි උන්දෑ රඳවනු නිසාම බුදුන් ට ආරාධනා කොට යවු හ. බුදුන් නො වැඩි විරූ තෙන අසුන් පනවන ලෙස කියා ලන්ට පළමු කොට දන්නා නමක් ගිය මැනව. ආසන පනවන සැටි ය නමුත් බුදුන් වැඩ හිඳිනට මධ්‍යයෙහි ආසන ය පනවාලා බුදුන්ට දකුණ ත් පස සැරියුත් මහ තෙරුන් වහන්සේට හා වමත් පස මුගලන් මහ තෙරුන් වහන්සේ ට ආසන පණවා ලා එ තැන් පටන් දෙ ඇලයෙහි භික්ෂු සඞ්ඝයා වහන්සේ ට ආසන පැන විය යුතුය. එ හෙයින් මහාකාළ මහ තෙරුන් වහන්සේ සිවුරු වළඳිනා තෙන දී මලණුවන් වහන්සේට ‘තොපි පෙරාතු ව ගොසින් හසුන් පනවන ලෙස කියව’යි වදාළ සේක.
ඒ වහන්සේ ද එ තනට ගිය වේලේ පටන් ඒ ගෙවල මිනිස්සු ඒ වහන්සේ ගේ ත් අදහස දුර්වල නියාව දැන දෝ හෝ මුල් පාළියෙහි මිටි හසුන් පනවති. පාළි කෙළවර උස් අසුන් පනවති. චූළකාළ වහන්සේ ද තෙල සේ නො කරව. උස් අසුන් මුල් පාළියේ හා මිටි හසුන් අග පාළියේ පනව’යි කී කල් හි උන්දෑගේ පුරාණ දුතියිකාවරු ‘මුඹ කරන්නේ කුමක්ද? ආසන පනවා ලූ කල නපුරු ද? කවුරුන්ට කියා මහණ වූ ගමනෙක් ද? ගියෙත් හැයිද? පෙරළා ආයෙත් හැයි දැ’යි කියා ලා සුදු පිළි දී ලා සිවුරු උදුරා ගෙන හිස මල් වඩමක් සිසාරා ලා ‘හසුන් පනවන්ට ආ බැවින් අපගේ හස්නෙන් ගොසින් බුදුන් වඩා ගෙන ව මැන ව. අපි හසුන් පනවම්හ’යි කියා ලා, කිය කියා ලූ දෙයට ම නැමෙන වහන්සේ කෙනෙකුන් හෙයින් තමන්ගේ මෙහෙවර යවූහ. සිවුරු පෙරවියා ත් බොහෝ කල් නො වන හෙයින් ලජ්ජා නැති ව, භව පෙරළියක් හඟවන්නා සේ එ ම ලෙසින් ගොසින් බුදුන් වැඳ ආරාධනා කොට ලා සඟපිළිවෙළින් වඩා ගෙන ගියා හ.
වැඩ දන් වැළඳු කල්හි, වළඳා අන්තයෙහි මහාකාළ මහ තෙරුන් වහන්සේ ගිහි අවස්ථාවෙහි ඔබගේ පුරාණ දුතියිකාවරු ‘මූ හැම චූළකාළ වහන්දෑ සිවුරු හරවා ගමට හැර ගත්හ. අපි ත් මුන් වහන්සේ සිවුරු හරවා ගමට හැර ගනුම්හ’යි දෙවෙනි දවස් දන් තමන් ගෙනැ යි බුදුන්ට ආරාධනා කොළෝ ය. එ දවස් හසුන් පනවන ලෙස කියන්ට අනික් නමෙක් ගිය සේක. ඌ හැම එ වේලෙහි අවසරයක් ලැබ ගත නොහී බුදු පාමොක් සඟ රැස වඩා හිඳුවා දන් දුන්හ. චූළකාළයන් ගේ අඹුවෝ දෙන්නෙක. මජ්ඣිම කාළයන්ගේ අඹුවෝ අපායවල ගණනේ සතර දෙනක. මහාකාළ තෙරුන් වහන්සේගේ පුරාණ දුතියිකාවෝ ඔබ ලත් මාර්‍ග ඵල ගණනේ අට දෙනක. පිටත වළඳන්ට යනු කැමැති තැන් නැඟී සිට වැඩ පී සේක. වළඳනු කැමැති තැන් හිඳ වැළඳූ සේක. බුදුහු ත් වැඩ හිඳ වැළඳූ සේක. වළඳා අන්තයෙහි මහාකාළ මහ තෙරුන් වහන්සේ ගේ පුරාණ දුතියිකාවරු ‘ස්වාමීනි, මහාකාළ මහ තෙරුන් වහන්සේ රඳා අපට අනුමෙවෙනි බණ වදාරණ සේක. වදාරා ලා පසු ව වඩනා සේක. මුඹ වහන්සේ පෙරාතු ව වඩනේ යහපතැ’යි කිවු ය. බුදුහු ත් ඔබට උන් හැම කට හැක්කක් නැති නියා දැන ‘යහපතැ’යි වැඩ පී සේක.
ගම් දොර කරා වැඩි කලට වහන්දෑ ‘බුදුන් වහන්සේ දැන කළ නියාව ද? නො දැන කළ නියාව ද? චූළකාළයන් ඊයේ පෙරාතු ගිය හෙයින් බ්‍රහ්මචරියාව ට අන්තරාය වි ය. අද අනෙක් තෙනක් පෙරාතු ගිය හෙයින් මහාකාළ මහ තෙරුන් වහන්සේට වූ භානි නැත. සිල්වත් කෙණෙක. ආචාරශීලි කෙණෙක. ඔබට කුමකින් කුමක් කරත් දැ’යි කී සේක. බුදුහු ඒ අසා ‘මහණෙනි, කුමක් කියවු දැ’යි විචාරා වදාරා එ පවත් දැන ‘කුමක්ද මහණෙනි, තෙපි මහා කාළයනු ත් චූළකාළයන් සේ ම නිස්සාර කොට සිතවු දැ’යි විචාළ සේක. ‘එ සේ ය, ස්වාමීනි, චූළකාළයන්ගේ අඹුවන් දෙන්නකු පමණ උන් රඳවා ගත් කළ මුන් වහන්සේගේ පුරාණ දුතියිකාවන් අට දෙනෙකු හෙයින් වළකිත් ද? වලු වසා ලා ගසා අල්වා ගෙන රඳවා ගනිති’යි සිතම් හ’යි කී සේක.
බුදුහු එසේ කී වහන්දෑට “මහණෙනි, එක විටෙක ත් එ සේ නො කියව. චූළකාළයෝ නම් තමන් ධර්‍ම තත්‍ව ය නො දන්නා හෙයින් යම් රුවෙක් පුරුෂයන්ගේ සිත් ගෙන සිටින්නේ වී නම් ඒ ස්ත්‍රී රුවට වටනා[1] නැති හෙයින් එ සේ වූ ස්ත්‍රීන් දුටු කල මුන්ගේ අත යහපත, පය යහපත, ඇඟිලි යහපත, නිය යහපත, සිඟු වලඟ යහපත, හිණ බඩතුර යහපත, ඇස් කන් යහපත, මුව මුහුණු යහපතැ’යි අසුභ මනසිකාරයට අවසරයක් නො පෑ සිහි නැමැති දොර නො පියා කෙළෙස් සතුරන්ට ම අවසර හැර සිඟී මෙහි ත්, පිළි ගැන්මෙහිත්, වැළඳීමෙහි ත්, පමණ නැති වීමෙන් භෝජනයෙහි ත්, පමණ නො දැන පිළිවෙත් පිරීමෙහි ත් කුසීත ව, වීර්‍ය්‍යය ත් නැතිව සස්නෙහිත් පසු බට සිත් ඇතිව විසූය. එ සේ හෙයින් බලවත් හුළඟක් හමාලා ඉවුරු අසෙක සිටි මුළු ගසක් හෙළන්නා සේ තුලුන් සේ වූවන් සස්නෙන් පිරිහෙළා ගනිති.
මේ මහාකාළ මහ තෙරුන් වහන්සේ කවර ලෙසකිනුත් කෙලෙස් සතුරන්ට අවසරයක් නොපෙනෙන ලෙසට කෙස් ආදි වූ දෙ තිස් කුණු කොටසුත් පිළිකුල් විසින් මෙනෙහි කොට චක්ෂුරාදි වූ ස දොරින් සිහි නමැති දොර පියා ලා කෙලෙස් සතුරන් නො වැද්ද දී භෝජනයෙහි ත් පමණ දැන මාර්‍ග ගත ශ්‍රද්ධාවගේ වශයෙන් සැදැහැ ඇති ව වඩනා ලද වීර්‍ය්‍ය ඇති ව, සිවු පිරිසිදු සිල්හි පිහිටා ගෙන වෙසෙති. එ සේ හෙයින් මහා පර්‍වත ගලකට එක් තරම් පවනක් කට හෙන දෙයක් නැත්තා සේ මුන්ට කවුරු කුමක් කට හෙද්දැ’යි වදාළ සේක.
ඒ පුරාණ දුතියිකාවරු අට දෙන ද උන් වහන්සේ වට කොට ගෙන පෙරාතු දවස් අර මුන් දෙන්නා චූළකාළයන්ට කියා ලූ විකට ය. විකා ගියා සේම මෙයි ත් වික යි සිතා සිංහ රජ්ජුරු කෙනෙකුන් පොළඹා ගනුම්හයි සිතා කැනවිල් දෙනුන් කැණවිල් හඬ හඬන්නා සේ නොඑක් දෑ කිවු ය. තෙරුන් වහන්සේ උන්ගේ ආකාරය සලකා ලා රහත් වීම හා සමගම ලද්දා වූ ආනුභාව ය හෙයින් හුනස්නෙන් නැඟී කැණිමඬල පලා ගෙන අහසින් ගොසින් බුදුන් වදාළ තරම හඟවා බුදුන් වැඳි සේක. මේ බණ වදාරා අන්තයෙහි වළඳලා එන ගමනේ බුදුන් දැන කළ නියා ද නොදැන කළ නියා දැ යි කීමෙන් නොදැන්මේ වැවුණු වහන්දෑ සෝවාන් පමණෙකින් ම තෙලෙස් සැක නැති වන හෙයින් සෝවාන් ඵලාදියට පැමිණ නිසැක වූ සේක.
නුවණැත්තා වූ සත් පුරුෂයන් විසින් චූළකාළයන් මෙන් කෙලෙසුන් කරා නොවැද, මහාකාළ තෙරුන් වහන්සේ මෙන් කෙලෙසුන් කෙරෙන් දුරු ව තුන් සුසිරි පුරා අධිමුක්ති වූ ලෙසින් ත්‍රිවිධ බෝධීන් එක්තරා බෝධියකට පැමිණිය යුතු.
__________
-
වඩනා - වටනා - වැඩිය ↑