තව ද යම් කෙනෙක් නිරපරාධයන් කෙරෙහි සාපරාධ වූ නම් ගොන් මැස්සන් දැමූවන් කරා යන්නා සේ ඒ අපරාධ ය අපරාධ කළවුන් කරා ම යන පරිදි දක්වන්නට කෝක නම් වැද්දහු ගේ වස්තුව කියමු.
කෙසේ ද යත් -
ඒ වැදි තෙම එක් දවසක් පෙරවරු වේලේ දුන්න හැරගෙන තමා තරමට ම බලු මුළක් පස්සේ ලා ගෙන දඩයමට වල යන්නේ අතුරු මඟ දී සිඟා වඩනා කෙනකුන් වහන්සේ දැක කිපී ගොසින් කාළකණ්ණි කෙනකුන් දැක පීමි. අද මා ලබන කිසිවකුත් නැතැ යි සිතා නික්මිණ. උන් වහන්සේ ද මඟ සිඟා වළඳා පියා විහාර යට නික්මුණු සේක. වැදිත් වල මුළුල්ලේ ඇවිදත් කුමකුත් නොලදින් පෙර ලා එන්නා ම තෙරුන් වහන්සේ දැක දඩ යන ගමනේ ත් මේ කාළකණ්ණියා දැක ගිය හෙයින් ගෝ වළක් පමණකු ත් නොලද්දෙමි. දැනුත් ගෙට ගිය කල බතකු ත් නොලබන්ට දෝ අවුත් පෙනිණ. බල්ලන් ලවා කවමි’ සිතා බල්ලන් උනා හළහ. තෙරුන් වහන්සේ ද ‘එ සේ නො කරව, උපාසකයෙනි’යි පැරැත්ත ගත් සේක. උදෑසන දැක දඩ ගොසින් කුමකු ත් නො ලද්දෙමි. ගෙන් යමක් නො ලබන්ට දෝ දැනු ත් පෙනී ගියව. පැරැත්තයෙක නො නවතිමි, බල්ලන් ලවා කවමී” කියාලා බල්ලන් මෙහෙයාලී ය. තෙරුන් වහන්සේ ද වහ වහා ගසකට නැඟී ලා ජීවිත සංරක්‍ෂණයට ත් වඩා ශික්‍ෂා සංරක්‍ෂණ ය බලවත් හෙයින් බඹයක් පමණින් වඩා නො නැඟී වැඩහුන් සේක.
බල්ලෝ ත් නැඟී ගස වටකොට ගත්හ. බලු වැදි ත් ගසට නැඟ ත් තොපට ගැළවීමෙක් නැතැ’යි බිම හෙළනු පිණිස හී තලය අගින් යට පත්ලට අනිති. තෙරුන් වහන්සේ ආපදාවෙහි දී කෙ තෙක් උස් වූවත් ගස් නැඟීමේ වරද නැත ත් හීතලයෙන් කෙටීම ආපදා වතත් බඹයෙන් වඩා නො නැඟී ‘එ සේ නො කරව’යි. පෙරැත්ත ම ගත් සේක. බලු වැදි තෙම ඔබ කුමක් කීව ත් ඒ නො අසා තමා කරන දෙය ම කෙරෙයි. තෙරුන් වහන්සේ ද කොටන පත්ල උඩ ඔසවා ගෙන අනික් පත්ල පාත් කරන සේක. එයි ත් උන් වහන්සේගේ අකුසල් කැමැති ලෙස ත් ගසා හර නක්හු මෙන් ඔබගේ අකුසල් ගෙවෙන හෙයින් එල්වා ලූ පය කොට යි. ඒ පත්ල කොටන නියා තර කලට උඩ ඔසවා ගෙන අනිත් පය පාත් කරන සේක. ඒත් හී තල අගින් විද්ද වණ මුඛයෙන් ලේ උරා බොන්නා සේ අකුසලු ත් උන් වහන්සේගෙන් ගෙවුණා තමා ඇඟ ලයි. ඔබගේ බස් නො ගිවිස කිසි වරදක් නැති සිල්වතුන් වහන්සේගේ පතුල් දෙක ම තමා විදිනා විතරක් විද්ද. උන් වහන්සේගේ සකල ශරීරය මුළුල්ල ගිනි ගසා ලූවාක් මෙන් දාහ වැද ගත. වේදනා බලවත් ව සිහි එළවා ගත නො හී පොරෝනා සිවුර හෙන නියාව ත් නොදත් සේක.
ඒ සිවුර ද හෙන්නේ ‘වැද්ද, තෝ මුන් වහන්සේගේ සීල මහිම ය නොදත් නමුත් මම ත් නොදනිම් ද? අපරාධ කළවුන්ට අපරාධ නො කරන බුදුන්ගේ පුත් හෙයින් මුන් වහන්සේ තට කරන දෙයක් නැත ත් තෝ බල්ලන් ලවා යම්සේ මුන් වහන්සේ කවන්ට උත්සාහ කෙළෙහි නම් එම බල්ලන් ලවා තා කවන්ට මටත් පිළිවනැ”යි බස්නා කලක් පරිද්දෙන් බැස ලා බලු වැද්දහු හිස පටන් වසා ගෙන සිටි සේ ය. බල්ලෝ ද තෙරුන් වහන්සේ වැටී ගිය යි සිතා සිවුරු හස්සට වැද ලා මුදලියා ඇඟ මස් ලියා කන්නාහු මුදලියාගේ ඇඟ මස් තිත්ත රසයක් නැති බැවින් ඇට සැකිල්ල තබා ලා සතුන් මරා ලූ කල බඩපුරා ලබන දඩ මසක් නැත ත් මුදලියාගේ ඇඟ මස් බඩ පුරා කෑවු ය. කා නිමවා ලා සිවුර හස්සෙන් පිටත් ව ලා සිටියෝ ය. තෙරුන් වහන්සේ ද මළ දණ්ඩක් කඩා ගෙන දමා ලූ සේක.
බල්ලෝ තෙරුන් වහන්සේ දැක පදමානවක ජාතකයෙහි නැන්දණියන් දවන්ට සිතා තමන් ම දා ගිය යේළිණියන් මෙන් නිරපරාධ තෙරුන් වහන්සේට අපරාධ කොට මුදලියා ම නට නියාව දැන වලට පලා ගියහ. තෙරුන් වහන්සේ ද ‘මගේ සිවුර නිසා වැදි නට. මාගේ සීලයට හානි ඇද්දෝ නැද්දෝ හෝ” යි කුකුස් කොට ගෙන ගසින් බැස පියා බුදුන් ළඟට ගොසින් සියලු පවත ම වදාරා ලා ‘මාගේ සිවුර නිසා උපාසකයෝ නටවු ය. මාගේ සීලයට හානි ත් නැද් ද? භික්ෂුභාවය මට ඇත් දැ’යි විචාළ සේක. බුදුහු ත් ඔබගේ බස් අසා ‘මහණ, තාගේ සීලයට වූ හානි ත් නැත මිනිස් විකා පරිද්දට ත් ආපත්‍යඞ්ග මනුෂ්‍ය ප්‍රාණියකු බව හා ප්‍රාණියෙක යන සංඥා ඇති බව හා වධක චෙතනාව හා තදනුරූප ප්‍රයෝග ය හා ඉන් මිය යෑම ය. ඉන් එකකු ත් සිද්ධ නුවූ ය. කුකුස් නො කළ මනා තැන කුකුස් කිරීමෙන් වන දෙයක් විනා තොපගේ මහණ දමට හානි නැති. බල එකෙක් නම් - ඒ වැදි තෙමේ තොප නිරපරාධයන්ට අපරාධ කොට විනාශ යට පැමිණියේ ය. හුදක් දැන් මතු විනාශයට පැමිණියේ නො වෙයි. යට ගිය දවස ත් නිරපරාධයන්ට අපරාධ කොට විනාශයට පැමිණියේ ය’යි වදාරා ඒ කටයුත්ත විභුත කරන සේක්-
යට ගිය දවස එක් වෙදෙක් වෙදකම් සොයා ගම්වල ඇවිද වෙද කමක් කරවා ගන්නා කෙනකුන් නො ලදින් සාකුස් ඇත්තේ නික්ම ගම් දොර කඩෙක බොහෝ කුමාරවරුන් කෙළිනවුන් දැක ‘මුන් සර්පයකු ලවා දෂ්ට කරවා පියා විෂය බා පියා බතක් ලැබෙමී” සිතා එක් ගස් සිදුරෙක හිස පිටත් කොට ලා හොත් සර්පයකු දැක කුඩා සුඟුන්ට ඔහු පෑ ලා ‘හෙම්බා කුඩා කොල්ලනි, තෙලේ සැළළිහිණි පැටවෙක. ඌ අල්වා ගනුව’යි කී ය. එක් කුඩා කොල්ලෙක් සර්පයා සැලිය නො හැකි[1] ලෙසට බොටුව මිරිකා අල්වා මෑත් කොට ගෙන ඌ සර්පයා නියාව දැන භය ගෙන හඬමින් ලංව සිටි වෙද ඇඟට දැමී ය. නිරපරාධයන්ට කළ අපරාධයෙක් ඇත් නම් එයි ත් අපරාධ කළවුන් කරා යන්නේ මෙ ම ලෙස ය’යි හඟවන්නාක් මෙන් නයා ගොසින් එ තෙක් දෙනා ගෙන් වෙදා දසරුවේ ම හින. එ සේ හීලා ත් වෙදුගේ කරටිය ම කඩා කා එ තැන ම මරා හෙළා පී ය. එ වක ඒ වෙදා මෙ වක මේ වැදි ය. එවක එසේ විනාශයට පැමිණ මෙ වක මෙ සේ විනාශයට පැමිණියේ ය.
යම් කෙනෙක් තමන්ට වේව’යි අනුන්ට වේව’යි කිසි ත් වරදක් නැත්තවුන්ට එහි ආදීනව සලකා ගත නොහී හෝ සැලකුණ ත් තිරස්ථ ව ද්‍රෝහි කෙරෙත් ද, ඒ අපරාධ ය කළවුන් කරා ම එයි. කුමක් මෙන් ද යත් - තමා යට සුළඟ සිට උඩු සුළඟ සිටි කෙනකුන් ඇඟට දමා ලූ සියුම් රජසක් වේව’යි හළු වේව’යි උඩු සුළඟ සිටි උන් කරා නො ගොසින් පෙරළා තමන් යට සුළඟ සිටි හෙයින් එන නියා ව දැන දැන ම දැමූ හෙයින් තමන් ඇඟ ම වැද ගන්නා මෙනැ’යි වදාළ සේක. දේශනා කෙළවර ඒ තෙරුන් වහන්සේ වැද්දවුන්ගෙන් ලත් ගහට ලෙසට කෙළෙස් සතුරන් ගෙන් ලබන ගහට නැති ව රහත් වූ සේක. සෙසු ත් බොහෝ දෙනාට මේ දේශනාව සප්‍රයෝජන වි ය.
එහෙයින් නුවණැත්තවුන් විසින් නිරපරාධයන්ට තබා සාපරාධයන්ට ත් අපරාධ කිරීම් තබා සිතීමුත් මහා අපරාධ හෙයින් එයිත් හැර සෙසු ත් අකුසලින් දුරුව කුසල් පුරා නිවන් සාදා
ගත යුතු.
-
ඩෑලිය නො හැකි - ඇතැම්. ↑