තව ද සෝවාන් වුව ත් සංසාර දෝෂ ය රහත් වීමෙන් මුත් නො නිමෙන නියාව දක්වනු පිණිස කුක්කුට මිත්තයන් ගේ වස්තුව කියමු.
කෙසේද යත් -
රජගහා නුවර සිටු දුවණි කෙනෙක් විය පැමිණ සත් මාල් මාළිගාවේ සත්වන මාලේ ශ්‍රී යහන් ගබඩාවේ ලා ලා රකවලට කෙල්ලක ත් පාවා දෙවා ලා දෙ මවු පියන් විසින් රක්නා ලබනුව වෙසෙති. එක් දවසක් සවස් වේලෙහි සී මැඳුරු කවුළුවෙන් ඇතුළු වීථිය බලන්නෝ පන් සියයක් මළ ද පන් සියයක් හුල් ද හැර ගෙන මුවන් මරා ජීවත් වන කුක්කුට මිත්ත නම් මුව වැද්දහු පන්සියයක් මුවන් මරා මස් කොට ගෙන ඒ මසින් ගැලක් පුරාගෙන ගැල් හිස හිඳ ගෙන මස් විකුණනු නිසා නුවරට එන්නහු දැක කාම තෘෂ්ණාව මුත් ජාති නොසලකා උන් කෙරෙහි පිළිබඳ සිත් ඇති වූ බැවින් කෙල්ල අත රනක් යවා ලා තුලු මස් විකුට පියා යන වේලාව දැන ගෙන එවයි විධාන කළහ. උයි ත් ගොසින් ගෙන ගිය රන් දී ලා යන වේලාව විචාරා ‘අද දඩ මස් විකොට ගෙන උදාසන ම අසවල් වාසලින් පිටත් ව ලා යෙමී’ කී කල්හි කෙළීත් ඒ අසා ගෙන ගොසින් ස්වාමි දුට කීව.
සිටු දුවණියෝ ද තමන් ගෙන යා යුතු වූ පිළි හා ආභරණ ආදිය නිල කොට ගෙන උදාසන ම කිලිටි කඩක් හැඳ ගෙන පැනට යන කළ මිඬියක මෙන් කළයක් හැර ගෙන අර මුන් කියා ලූ ඉද්දට ගොසින් පෙර මං බලා සිටියෝ ය. උයි ත් උදාසනම ගැල පැද ගෙන නික්මුණවු ය. සිටු දුවණියෝ ත් පසු පස්සේ නික්මුණවු ය. කුක්කුට මිත්තයෝ ත් සිටු දුවණියන් පසු පස් සේ එන්නවුන් දැක පෙරාතු දවස් දුටු කෙල්ලත් යන වේලා විචාළා පමණක් මුත් මුන්ගේ ගමන කියා නූ ලූ හෙයින් ‘මම් මුඹ කාගේ දුවණි කෙනකුන් බවත් නොදනිමි. මා හා කැටිව එන්ට නො කැමැත්තේ ය’යි කිවු ය. මුඹගේ විධානයකින් මා එන ගමනක් නො වත් සිත් හොස්සේ යන ගමන් වුව. මුඹ නොදොඩා මුඹගේ ගැලම පදිනැ’යි කිවු ය. එසේ කීවත් කුක්කුට මිත්තයෝ රඳන්ට ම කියති. එ සේ කියන කලට සිටු දුවණියෝ-
‘හත්‍ථගතං පත්තගතං - සබ්බං තං ඛාදිතුං වරං,
මාදණ්ඩෙන සිරිං පත්තං - කාමාසා තං පිහීයසෙ’
යනු හෙයින් ‘තමා කරා එන ශ්‍රී කාන්තාව ගසා පලවන්නෝ ඇද්ද? නොදොඩා නොබැණ තමා යන ගමන්ම යන්ට බැරි නියා දැ’යි කිවුය. උන් එන්ට තර නියාව දැන ගැලට නංවා ගෙන නික්මුණවු ය. සිටු දුවණියන්ගේ දෙමවුපියෝ ත් ඒ ඒ තැන බලා නොදැක මළ නියා වනැ’යි සිතා පින් පෙත් දුන්හ. උයිත් කුක්කුට මිත්තයන් හා බැඳී හිඳ පිට පිට හෙළා පුතුන් සත් දෙණකු වදා වැඩි විය පැමිණියවුන්ට සරණ ගෙන්වා දුන්හ.
ඉක්බිත්තෙන් දවසක් බුදුහු අලුයම් වේලේ කුක්කුට මිත්තයන් අනුන්ට දැල් ගසන්නවුන් පුතුන් හා යේළීන් හා සමඟ තමන් වහන්සේගේ නුවණ දැළ ඉස් වසා ලා ගත්තවුන් දැක ‘උන් හැමට වන්නේ කුමක් දෝ හෝ’යි සලකන සේක් මේ පාතියෙහි සතුන් මැරුවත් නිවන් පතා පින් කළ හෙයින් පුතුන් සත්දෙනා ත් යේළීන් සත් දෙනා ත් කුක්කුට මිත්තයනු ත් පසළොස් දෙනා සෝවාන් වන්ට නිසි නියාව දැන දෙවන දවස් උදාසන ම සඟළ සිවුරු හා පාත්‍ර ය හැර ගෙන කුක්කුට මිත්තයන් මළ ලූ තැනට බුදුහු වැඩි සේක. එ දවස් තෘෂ්ණා නමැති මළ නො බැඳෙන බුදුන්ගේ ආනුභාවයෙන් එක ද සත් කෙනෙක් මළ නොබැඳුණ වුය. බුදුහුත් උන්ගේ මළ ඇළයේ පදලසක් දක්වා ලා ඔබ්බට වැඩ ලා කුක්කුට මිත්තයන් මුවන් රැක හිඳිනා සේ ම එක් කැලයක් යට වැඩ හුන් සේක.
කුක්කුට මිත්තයෝ ද උදෑසන දුන්න හැර ගෙන මළ ලූ තැනට අවුත් මළ ත් පන් සියයක් හෙයින් මළ මුළුල්ල ම බලන්නෝ මළ වල බැඳුණු එක ද සත් කෙනකුනු ත් නො දැක මුවන්ගේ පිය නුදුට ත් බුදුන්ගේ පදලස දැක කිසි කෙනකුන් බැඳුණු සතුන් ගළවා ඇවිදිනා නියා වේ දැ’යි බුදුන් කෙරෙහි වෛර කොට ගෙන යන තැනැත්තෝ කැළය යට වැඩ හුන් බුදුන් දැක ‘මාගේ මළ බැඳුණු සතුන් ගළවා හළුවෝ මූ වන. සතුන් විදිනට නූව ත් මුන් විදිමී’ දුන්න ඇද ගත්හ. බුදුහු ත් දුන්න අදනා තෙක් හිඳ ලා හී දණ්ඩ අතින් නො හැරෙන්ට ඉටා වදාළ සේක. ඌ තුමූ විද ගත ත් නො හී. නො විදගතත් නො හී පතු ඇට බිඳී යන කලක් මෙන් ඇඟ ත් තද ව දඩ මස් කන්නට උනන කෙළක් මෙන් කටින් කෙළ වගුරුව වගුරුවා මතු විදමනකට රිසි යන තරම් ව සිටියෝ ය.බුදුහුත් බැණනො නැගී ම වැඩ හුන් සේක.
උන්ගේ පුත්තු ගිය තැනින් අවුත් පියාණන්ට කල් යන හෙයින් මේ කිම් දැ යි කියා මෑණියනු ත් පවත් දන්නට යන්ට විධාන කළ හෙයින් දුනු හැර ගෙන ගොසින් පියාණන් ඇදගතත් විද ගත ත් නො හී නිශ්චල බුදුන් වැඩ හුන් සේ ම නිශ්චල ව සිටියවුන් දැක ‘මුන් අපගේ පියාණන්ට සතුරු නියා වේ දැ’යි සත් දෙනා ම දුනු ඇද ගෙන බුද්ධානුභාවයෙන් විද ගත
නො හී පියාණෝ යම් ලෙසක සිටියෝ වී නම් උන්ට දා දරුවන් හෙයින් උන් සිටි ලෙස ම කටින් කෙළ පෙර පෙරා සිටියහ. පියාණන්ට කල් යන හෙයින් පවත් දන්නට ගිය පුතුන්ට ත් කල් යන්නා පුතුන්ගේ පවත් දන්නා නිසා මෑණියෝ යේළීන් කැඳවා ගෙන තුමූ ත් ගොසින් එ ලෙස සිටියවුන් දැක මුන් දුනු ඇද ගෙන සිටින්නේ කාට දැ’යි ඈ ත් මෑ ත් බලා රුවිනු ත් ගුණෙනුත්, බබළ බබළා වැඩ හුන් බුදුන් දැක ‘මාගේ පියාණන් වහන්සේ නො නසව’යි මහ හඬින් මුර ගෑවූ ය.
කුක්කුට මිත්තයෝ ඒ අසා ‘මුන් වහන්සේ අපගේ මයිලණුවන් වහන්සේ ල. නැඳි මයිලන් දැක ගෙනා සරණක් නො වන හෙයින් ආදි හඳුනන්ට නු වූ හෙයින් අද දැක ලා හැඳින ගන්නේ ත් කෙසේ ද? ආද්‍යන්ත නො සලකා කළ දෙය වැරද ගියේ ය’යි කෝප වේගය හැර මොළොක් සිත් ඇති වූහ. කුක්කුට මිත්තයන් ගේ පුත්තු ත් ‘අපගේ මුත්තණුවන් වහන්සේ නියා වේ දැ’යි ඌ හැම ත් නැඟු දුනු සේ තද නො ව මොළොක් වූහ. මොළොක් සිත් ඇති ව ලා කුක්කුට මිත්තයෝ ත්. පුත්තු ත් නො නෑ කමෙහි නෑ කම් සිතා මෛත්‍රි ඇති වූහ. සිටු දුවණියෝ ද ‘වහා දුනු දමා පියා මාගේ පියාණන් වහන්සේ ක්‍ෂමා කරව යි විධාන කොළෝ ය. බුදුහු ත් උන් හැමගේ අදහස් මොළොක් නියාව දැන දුනු බා ගත දුන් සේක. ඌ හැම දෙන ම බුදුන් වැඳ ක්‍ෂමා කරවා ගෙන එකත් පස් ව හුන්හ. බුදුහු ත් බෙදාදීලුව මනා දෙයක් ලැබ්බ යුත්තන් එක්තැන් කොට ගෙන දී ලතොත් ඵාසු බව මුත් සිටි සිටි තැනට ගොසින් දෙන කලට අට්ටල් සේ ම ඒ ඒ දෙනා සිටි තැනට -
“බොධනෙය්‍යං ජනං දිස්වා - සතසහස්සෙපි යොජනෙ,
ඛණෙන උපගන්ත්‍වාන - බොධෙති තං මහාමුනිං”
යනු හෙයින් කරවන අවබෝධ බල ත් හැම දෙන ම එක් තැන් කරවා ගෙන උන් හැම දෙනාගේ අදහස් බලා බණ වදාළ සේක. බණ කෙළවර කුක්කුට මිත්තයෝ පුතුන් සත් දෙනා හා ත් යේළීන් සත් දෙනා හා ත් සමඟ තමන් ඇතුළු ව පසළොස් දෙන සෝවාන් ව සිතා ගෙන උන් නෑ කම් කුම් වුව ත් බුදුන්ට දරු වූහ. බුදුහු ත් සිඟා වළඳා ලා පස්වරු විහාරයට වැඩි සේක.
අනඳ මහ තෙරුන් වහන්සේ ‘ස්වාමීනි, වැඩියේ කොයි දැ’යි විචාළ සේක. බුදුහු ත් ‘කුක්කුට මිත්තයන් ළඟට ගියම්හ’යි වදාළ සේක. නො කරුණෙක වඩනට කරුණු ත් නැති බැවින් ‘ප්‍රාණවධ ය හරවා වදාළ නියා වේ දැ’යි කී සේක. ‘එ සේ ය. ආනන්‍දයෙනි. ඌ තුමූ ත් උන්ගේ පුත්තු සත්දෙනත් යේළියෝ සත් දෙනත් එක් ව පසළොස් දෙන ප්‍රාණ වධ ත් හළහ. ඒ තබා අයිනා දනු ත් හළහ. පරදාර පරිග්‍රහය හා පරපුරුෂ සේවා ත් හළවු ය. බොරු කීමුත් හළහ. සියලු ම අකුශලයෙන් අපායගාමී බව ත් හළවූ ය යි වදාරා සෝවාන් වූ නියාව හැඟ වූ සේක. කුක්කුට මිත්තයන් සෝවාන් වන්ට පෙරාතු දඩ ගිය කල සමහර දවසෙක ලා නො යත ත් බුදුන්ගේ ගමන නො ලා යෑමෙක් නැති හෙයින් වඩනා යම් ගමනෙක් ම සිස් නො වෙයි බුදුන් වදාළ බස් අසා වහන්දෑ ‘හැයි ‘ස්වාමීනි, කුක්කුටමිත්තයන්ගේ ඇඹේණියෝ ත් ඇත්තෝ වේ ද? උන් නිවන් නුදුටු නියා දැ’යි විචාළ සේක.
‘ඌ තුමූ අද නිවන් දක්නට හුන්නෝ නො වෙති. දෙමවුපියන්ගේ ගෙයි දී බාල අවස්ථාවෙහි ම සෝවාන් වූහ’යි වදාළ සේක. ඒ අසා කුක්කුටමිත්තයන්ගේ ඇඹේණියෝ බාල කල සෝවාන් ව උන්ගේ ගෙට සරණ ගොසින් පුතුන් සත් දෙනකු ලද. ඌ මෙතෙක් කල් මුළුල්ලෙහි සමුණන් ‘දුන්න ගෙනෙව, හී තල ගෙනෙව, අඩයටි ගෙනෙව, හුල් ගෙනෙව, මළ ගෙනෙව’යි කී කල ගෙන ගොස් දෙති. උයි ත් උන් දී ලූ දෙය ගෙන ගොස් පණිවා කෙරෙති. කුමක්ද? සෝවාන්නු ත් පණිවා කෙරෙත් දැ’යි කථා ඉපැදවූ සේක.
බුදුහු ඒ අසා ‘මහණෙනි, සෝවාන්නු පණිවා තබා පස් පව් නොකෙරෙති. එතකු දු වුවත් ඒ සිටු දූ තොමෝ ‘සමුණන් කියා ලූ දෙය කෙරෙමි’යි සිරිත් විසින් කළා ය. මේ හැර ගෙන ගොසින් මුන් ප්‍රාණ වධ කළ මැනැව’යි යන අදහස් උන්ට නැත. ඉදින් යම් කෙනකුන්ගේ අත වණයෙක් නැත් නම් හැර ගත් වස ය වණ මුඛයෙන් වැද ඇඟ ව්‍යාප්ත වන්ට නැති හෙයින් ඒ අතින් වස ය අනුභව කිරීම් නැත ත් අනික් ප්‍රයෝජනයකට වුවත් හැර ගන්ට පිළිවන් ද, වණ නැත්තවුන් ඇඟ විෂ ය නො පැතිරෙන හෙයින් එසේම පවු අදහස් නැති ව විෂ අනුභවයෙහි අදහස් නැති ව අල්වන විෂයක් මෙන් දුනු ආදි ය දුනැ’යි කී කල සුශික්ෂිත තරම ප්‍රකාශ නො වන හෙයින් ඒ ප්‍රකාශ කරන්ට හෙයින් පවු නැතැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ආදියට පැමිණියහ.
තව ත් කලක දී වහන්දෑ ‘කුක්කුටමිත්තයන් හා පුතුන් හා යේළීන් හා සමඟ සෝවාන් වන්ට කාරණ කිම්ද? එබඳු පින් ඇති කල වැදි කුලේ ඉපැද සත්‍ව මාරණ කාරණ ත් කිම් දැ’යි කථාවක් ඉපැද වූ සේක. බුදුහු ඒ අසා ‘මහණෙනි, ගිය දවස කසුප් බුදුන්ගේ ධාතු වඩා දා ගැබක් කරණ ගමනේ මිනිස්සු කථා කරන්නෝ ‘මේ දාගබට මැටියට කුමක් ගනුමෝ ද? නිකම් මැටි හා නිකම් පැන් හැර ගත් කලට අමුත්ත කවරේ ද? මැටි වන් කලට යහපතත් කවරේ දැ’යි කියා ලා මැටියට සිරියෙල් හැර ගෙන පැනට බද්ධයකු ත් ඇති ව තිබෙන හෙයින් තල තෙල් හැර ගෙන සිරි යෙල් සුණුකොට ගෙන තල තෙලින් හනා ගෙන උළු ගසා වියලා ගෙන රන් ගාවා පියා ඇතුළ බඳිති. පිටත ඝන රත්රන් උළින් ම බඳිති. එකි එකී උළෙක් ම ලක්‍ෂයක් අග්ගි. තුන්මාලේ පිය වස බැඳ නිමවා පුෂ්කල විධි කරන තැන් දක්වා බැඳි කල්හි ‘ධාතු පිහිටුවන කල බොහෝ වස්තු ඇත මැනව. කවුරුන් නායක කරමෝ දැ’යි හැම එක් ව කථා කළහ. ඉක්බිත්තෙන් පිටිසර වසන සිටාණ කෙනෙක් ‘මම නායක වෙමි’ කියා ලා ධාතු පිහිටු වන තැන මසුරන් කෙළක් ලූ ය. ඒ දැක රට වැස්සෝ ‘මේ නුවර හිඳිනා සිටාණෝ තෘෂ්ණාවට ගැති ව පියා වස්තු රැස් කරණ පමණක් මුත් මෙ බඳු පින් කමෙක නායක විය නො හෙති.
‘පිටිසර සිටාණෝ මසුරන් කෙළක් විතර ධාතු නිධානයෙහි ලා එයිත් අනුගාමික නිධි කොට කරන පින් කමට නායක වූහ’යි කී ය. නුවර සිටාණෝ සෙවිතව්‍ය මානයක් හෙයින් මන් වඩා සකෙළක් දුන්හ. පිටිසර සිටාණෝ සත් කෙළක් දුන්හ. නුවර සිටාණෝ ඊට වඩන්ට අට කෙළක් දුන්හ. පිටිසර සිටාණන්ගේ ගෙයි වස්තුව අය මුඛය ත් පිටිසර ව හිඳිනා හෙයින් බොහෝ නො වන්නා නව කෙළකින් වඩා නැත. නුවර සිටාණන්ගේ ගෙයි නිධාන ගභ වස්තු ව සතළිස් කෙළක් ඇත. එහෙයින් පිටිසර සිටාණෝ තමන් පිටිසර වුව ත් නුවණ පිටිසර වැසි නො වන හෙයින් ‘ඉදින් මුන්ට වඩන්ට ඇති නව කෙළක් දිනිම් නම් මූ දස කෙළක් දෙති. මා එකොළොස් කෙළක් දී ලන්ට නැති වන්නා පින්කම නිසා ත් මාගේ අධනීකම ත් පෙනෙයි. කවර කල ත් සධනී කම ම හඟවා සිටිනා පින්කම් මාගේ නො දැන්මෙන් එ ලෙසක් හඟවන්ට කාරණ කිම් ද? යනා දී නො එක් දෑ සිතා ‘මම තෙල සිටාණන් ගෙන් දී ලූ තරමට වස්තු දී නො වඩමි. දුන් සත් කෙළක් දුන්නේ යි. එයි ත් දාගබ සන්තක ම ය මම ත් අඹුදරුවන් සහිත ව දාගබ සන්තක වෙමි’ කියා ලා පුතුන් සත් දෙන ත් යේළීන් සත් දෙන ත් ඇඹේණියනු ත් හැර ගෙන තුමූ ත් එක් ව සොළොස් දෙන චෛත්‍ය සන්තක වූ ය.
රට වැස්සෝ ත් ‘වස්තු නම් පිළිවන් දෙයෙක. මේ සිටාණෝ අඹු දරුවන් පිටින් වාල් වූහ’යි උන්ම නායක කළහ. දේවතා බලයෙනුත් උන් ගේ සහායෙනු ත් බැඳ නිමිකලට සතරගවුවක් උස රන් දා ගබ් වහන්සේට අයිති වූ ය. ‘බුදුන්ට, අයිති නොවන්නෝ කවුරු ද? මුන්ට අඩු නැතැ’යි උන්ම නායක කළ හ. මෙ සේ ඒ සොළොස් දෙන දාගබ සන්තක වූහ. රට වැස්සෝ දාගබ් වහන්සේට උන් වටනා මිලදී ගළවා ගෙන නිදහස් කළහ. එ සේ වුවත් දා ගබ ම පිළිදැග ආයු පමණින් රඳා සිට ලා එයින් සැව දෙව් ලොව ඉපැද දහසක් හවුරුද්දෙන් අඟලක් වඩනා පොළොව සත් ගවුවක් වඩනා තෙක් දෙව් ලොව රඳා හිඳ මේ අපගේ බුදුන් සමයෙහි ඇඹේණියෝ දෙව් ලොවින් චුත ව රජ ගහා නුවර සිටාණන් පින් කරන අවධියේ ත් සිටු දුව දැනු ත් දූ ව උපන්හ. බාල කල සරණ යන්ට පෙරාතු ව සෝවාන් වූහ. පෘථග්ජන ගති ය නම් අනියත හෙයින් දාගබට වාල් වීම හැම කලට නියත නුවූවා සේ ජාති නියමයක් නැති හෙයින් ඒ සිටු දුවණියන්ගේ තුන් වන ජාතියෙහි ස්වාමියාණෝ ද දෙව් ලොවින් චුත ව වැදි කුලයෙක උපන්හ. එ හෙයින් සිටු දුවණියන්ටත් -
“පුබ්බෙ ව සන්නිවාසෙන – පච්චුප්පන්න හිතෙන වා
එවං තං ජායතෙ පෙමං - උප්පලංව යථොදකෙ”
යනු හෙයින් කුක්කුටමිත්තයන් දැක ම ප්‍රේමය උපන. ඌ තුමූ සිටු කුලයෙහි ඉපැදත් වාසනා බලයෙන් වැදි කුලයට ම සරණ ගියෝ ය. තුන් වන ජාතියෙහි පුතුන් දෙව් ලොවින් චුත ව අවුත් උන්ට ම පුත් වූහ. යේළියෝ ත් උන්ට ම යේළි වූහ. ඵක් වූ මොහු හැම ම දා ගබට කළ මනා මෙහෙ කොට ඒ පින් කමින් සෝවාන් වූහ’යි වදාළ සේක. වැදි කුලයෙහි ඉපදීමට කාරණ අටුවායෙන් නො පෙනිණ. යම් කිසි අකුසල විපාක යෙකිනැයි දත යුතු.
එ හෙයින් නුවණැත්තවුන් විසින් කුක්කුටමිත්තයන් බුද්ධායත්තව ත් පින් කමට නායක වූවා සේ ම කවර කෙනකුන් කරන කවර පින් කමට ත් නායක ව පින් කම් හැසිර එයින් ජනිත කුශලානුභාවයෙන් භව සැප ත් වළඳා කෙළවර නිවන් සම්පත් අත්පත් කටයුතු.
_________