තව ද උපද්‍රව සහිත මඟක් සියලු ලෙසින් හළ යුතු වන්නා සේ අකුසලු ත් අවශ්‍යයෙන් හළ යුතු නියාව දක්වන්නට මහධන වෙළඳාණන්ගේ වස්තුව කියමු.
මහධන වෙළඳාණන් ගෙන් යමක් පැහැරගන්ට සොරුන්පන් සියයක් අවසර බලා කුසල් සිතින් අතුරු නැත්තවුන් ගෙන් අවසරයක් ලැබ ගත නුහුණුවු ය. එක් සමයෙක වෙළඳාණෝ පන් සියයක් ගැල්වල බඩු පුරාගෙන වහන්දෑට කියා යවන්නෝ ‘මම අසවල් තැනට වෙළඳාමට යෙමි. යම් කෙනකුන් වහන්සේ ඔබ වඩනා කැමැත්තෝත් වැඩිය මැන ව. මඟ දී සිවු පසයෙන් අඵාසුවක් නොකෙරෙමි’යි කිවු ය. ඒ අසා පන් සියක් දෙනා වහන්සේ උන් හා එක් ව නික්මුණු සේක. පළමු අවසර බලා ඇවිදි සොරු වෙළඳාමට නික්මුණු නියාව අසා ගොසින් අඩෙවි[1] මහ වල[2] පහරින්ට සිටියහ. වෙළඳාණෝ ද ගොසින් වන දොර කඩ එක් ගමෙක රඳා දෙ තුන් දවසක් තුමූ ත් සැත පී ගොනුනුත් සතපා ගත්හ. කැටි ව ගිය සඟ පන් සියයට ත් නිරන්තර දන් දෙති. සොරුන් ගෙන් වන උපද්‍රවයට රකවල් හා සරිය සොරු පන් සියයත් වෙළෙඳාණන් කල් යවන්නා ‘යව, ගොසින් නික්මෙන දවස දැන ගෙන එව’යි එක් සොරකු යවු ය. එයි ත් ඒ ගමට ගොසින් ‘වෙළඳාණෝ කවරදා යෙත් දැ’යි යාළුවකු අතින් විචාළහ.
උයිත් යූහු ව, දෙ තුන් දවසකිනැ’යි කියා පියා පසුව සලකා පියා ‘කුමක් නිසා විචාළා දැ’යි විචාළෝ ය. එයි ත් ඔහු තමාට මිත්‍ර හෙයින් ‘අපි පන් සියයක් විතර සොරුම්හ. උන් අත මිට තුබූ දෙය උදුරන්ට අඩෙවි මහ වල සිටීයම්හ’යි කී ය. ගම් වැසි තැනැත්තෝ ත් ‘එසේ වී නම් යව. වහා යෙතී’ කියා ලා ඔහු යවා පියා ‘කුමක් දෝ සොරුට සහාය වෙම් දෝ නොහොත් වෙළඳාණන්ට සහාය වෙම් දෝ හෝ’යි සිතා ‘සොරුන්ගෙන් මට ප්‍රයෝජන කිම්ද? වෙළඳාණන් නිසා පන්සියයක් දෙනා වහන්සේ ජීවත් වන සේක. වෙළඳාණන්ට සහායක් වීම් නම් වහන්දෑට ත් සහාය වූ නියා ම ය. වන සහායක් වෙළඳාණන්ට ම වෙමි’ කියා වෙළඳාණන් ළඟට ගොසින් ‘යන්නේ කවරදා දැ’යි විචාරා ‘අනික් දා ය’යි කී කල්හි ‘මා කියා ලූ දෙයකු ත් කළ මැනව. අඩෙවි වල සොරු පන්සියයක් මුඹ ගෙන් කොල්ල නිසා රැක සිටියෝ ය. තව යන්ට නො කැමැත්තේ’යි කිවු ය. ‘මුඹ දත්තේ කෙසේ දැ’යි විචාළ කල්හි සොරුන් ළඟ අප මිත්‍රයාණ කෙනෙක් ඇත. උන්ගේ කථායෙන් දතිමී’ කිවුය. එ සේ වී නම් මා ඔබ යෑමෙන් කම් කිම් ද? වෙළඳාම් තබා සිය රට ම යෙමී’ සිතූ ය.
දෙතුන් දවසකිනැ’යි කියා තව ත් කල් යවන හෙයින් නැවත සොරුන් ළඟ සිටි ආදි එකා ම අවුත් ආදි විචාළ මිත්‍රයා අතින් ම විචාළහ. උයිත් ගමන බාධා ව සිය රටට නික්මෙන නියාව කිවු ය. ඒ ගොසින් සොරුන්ට කී ය. සොරු ඒ අසා අඩෙවියෙන් නික්ම සිය රටට යන මඟ රැක ගත්හ. ඌ තුමූ සොරුන්ට වඩා සැදැහැ ඇති හෙයින් වෙළඳාණන්ට ම පක්‍ෂ ව ඒ උන්ට පක්‍ෂ නියාව සොරුන්ටත් නො හඟවා සිය රට යන මඟ ත් සොරුන් රැකි නියාව ත් වෙළඳාණන්ට කිවු ය. වෙළඳාණෝ නො පෙනී සිට ගුණ බඩු පහරිනා කෙලෙස් සොරුන්ට පවා නුවණැත්තෝ වැළහෙති. පෙනී සොරකම් කරන සොරුන්ට වැළහෙන්ට බැරි කිම්ද? මෙ තැනත් මට අඩුවක් නැත. එ හෙයින් ඔබ ත් නො යමි. මෙ තැන ම රඳමි, සිතා ගෙන වහන්දෑ ළඟට ගොසින් ‘ස්වාමීනි, මා වෙළඳාමේ යන නියාව අසා සොරු ඒ මඟ රැක ඒ දැනි ලා නැවත සියරට යන නියාව අසා ඒ මඟ ත් රකිත්ල. මම ඔබ ත් මොබ ත් නො ගොසින් අපෝ කොට මී ම රඳමි. ස්වාමීන්ලා ත් රඳනු කැමැති තැන් මෙහි ම රඳන බව ය. වඬනා කැමැති තැනක් වඩනා බව ය’යි කිවු ය. වහන්දෑ ‘එසේ වී නම් අපි යම්හ’යි වෙළඳාණන්ට කියා ලා නැවත සැවැත් නුවරට ගොසින් බුදුන් වැඳ ගෙන වැඩ හුන් සේක.
බුදුහුත් කුමක්ද, මහණෙනි, මහධන වෙළඳා හා කැටිව ගියා දැ’යි විචාරා, එසේ ය, ‘ස්වාමීනි, උන් අත මිට තුබූ දෙය උදුරන්ට යන මඟ ත් එන මඟත් සොරු සිටියෝ ය. එ හෙයින් ඌ ඔබට ත් නො ගොසින් මොබත් නො අවුත් හුන් මඟ රැඳුනාහ. අපි පෙරළා ආම්හ’යි වදාළ කල්හි, මහණෙනි, යම් සේ මහධන වෙළඳා ජීවත් වනු කැමැති ව උවදුරු සහිත මඟ වළහා ද, තව ද යම් කෙනෙක් ආදීනව සලකා ජීවත් වීමේ රුචි ඇති ව විෂද හරිත් ද, එ පරිද්දෙන් නුවණැත්තෝත් නිවන් පුර වැද ජීවත්වනු නිසා ස්වල්ප වුවත් පව් හරනාහු ය’යි වදාළ සේක. දේශනා කෙළවර පන්සියක් දෙනා වහන්සේ මහධන වෙළඳාණන් හා කැටි ව ගොසින් ලැබ්බ යුත්තෙන් ලත් කිසිවක් නැතත් පිළිසිඹියාව හා සමඟ රහත් ඵල නැමැති මහධන ලත් සේක.
එ හෙයින් නුවණැත්තවුන් විසින් වල් සොරුන් පිහිටි මං හළුවා සේ කෙලෙස් සොරුන් පිහිටි අකුසල් මං හැර නිරුපද්‍ර වූ නිවන් මඟට පැමිණිය යුතු.
_________