තව කුශලයන් ලඝු කොට සිතා යමෙක් පින්කම පමා වෙත් නම් ඔවුන් නො පමා වනු නිසා බිළාල පාදක සිටාණන්ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
එක් සමයෙක සැවත් නුවර ඇත්තෝ මුළු මුළු ව ගෙන තමන් හැමට ආයාස ත් නොවනු නිසා වහන්දෑටත් අඵාසු නො වන ලෙසට දසෙන් විස්සෙන් පනසෙන් සීයෙන් එක් ව දන් දෙති. බුදුහු එක් දවසක් අනුමෙවෙනි බණ වදාරණ සේක් ‘උපාසකවරිනි, යම් කෙනෙක් තමන් සන්තක යමක් දන් දෙත් මුත් අනුන් සමාදන් නො කරවත් නම් උන්ට භෝග සම්පත් විනා පරිවාර සම්පත් නැත. තමන්ගෙන් දීමක් නැති ව අනුන් ම සමාදන් කරවා ඇවිදිත් නම් උන්ට පරිවාර සම්පත් මුත් භෝග සම්පත් නැත. යම්කෙණෙක් දෙක ම නො කෙරෙත් නම් සම්පත් දෙක ම නැත. තමන්ගෙනුත් දන් දී අනුනු ත් සමාදන් කරවන්නවුන්ට සම්පත් දෙක ම ඇතැ’යි පණ්ඩිත සාමණේර වත කසුප් බුදුන් වදාළ ලෙස ම පරම්පරාගත ව පැවති කථාවක් වදාරන්නා සේ ම වදාළ සේක.
එක් නුවණැති කුල දරුවාණ කෙනෙක් ඒ බණ අසා වදාළ ලෙස ඉතා ම යහපත. සම්පත් ඇති ව පරිවාර නැත ත් නපුර. පරිවාර ඇති ව සම්පත් නැත ත් නපුර. දෙක ම නැති කලට ඊ ම තබා නපුර. සම්පත් ඇති ව පරිවාර ත් ඇත් නම් පරිවාර ඇති පමණින් යසස් වඩ්ඩි. මම දෙක ම නො වරදවමී’යි සිතා බුදුන් වළඳා ලා වඩනා වේලේ ‘ස්වාමීනි, සෙට දවස මට කරුණා කොට වදාළ යහපතැ’යි කිවු ය. ‘කෙතෙක් භික්ෂූන් වුවමනා දැ’යි විචාළ කල්හි හැම තැන්ම ය’යි කිවු ය. බුදුහු ත් උන්ගේ ශක්ති ය දැන ඉවසා වදාළ සේක.
උයිත්නුවර ඇතුළට වැදලා ‘මවු පියෙනි, නං මල් බෑයෙනි, සෙට දවසට බුදු පාමොක් වහන්දෑට ආරාධනාවක් කෙළෙමි. යම් කෙනෙක් යම් විතරකට දන් දී ලිය හෙත් නම් කැඳට අවුළු පතට බතට සාල් එක් කළ මැනව. එක් කොට ලා එක් තැනක දී පිසවා දෙම්හ’යි හඬගා කියති. ඉක්බිත්තෙන් එක් සිටාණ කෙනෙක් එ ලෙස කිය කියා තමන්ගේ සල්පිළ කරා ආ තැනැත්තන් දැක ‘මූ තුමූ තමන්ට පිළිවන් විතරෙක දනක් දී නො ගෙන ගම මුළුල්ලේ හෝ ගා[1] ඇවිදිති’යි කිපී පියා තොප සාල් සොයා ගෙනා වළන් මුබ ගෙනෙව’යි කියා ලා ඇඟිලි තුනක් අගින් වෙන විතර සාල් සුඟක් ගන්වා ගෙන දුන්හ. මුං සුඟකු ත් උඳු සුඟකු ත් එ සේ ම දුන්හ. එ වක් පටන් ඇඟිලි අක් තුන එක් වූ තැන් බළල් පියක් වැනි හෙයින් දෙන දීමන ඉන් දුන් හෙයින් බිළාල පාදක සිටාණෝ ය යි ප්‍රසිද්ධ වූහ. ගිතෙල් උක් පැණි ආදිය ත් දෙන්නෝ සිත ලෙසට ම කුඩා වූ කරඬු සුඟක් කළ ඇතුළට බාලා එක් කෙළවරකින් උකා ගන්වතොත් බොහෝ වෙයි යන සිතින් පෙතින් පෙතින් කරඬුවට වගුරුවා සුඟ සුඟ ම දුන්හ. විධාන කළ තැනැත්තෝ ත් සෙස්සවුන් දුන් දෙය එක් කොට ලා ගෙන බිළාලපාදක සිටාණන් දුන් දෙය වෙන වෙන ම හැර ගත්හ.
සිටාණෝ ත් එලෙස දැක’මා දී ලූ දෙය වෙන් කොට හැර ගන්ට කාරණ කිම්දැ’ යි සිතා උන් පසු පස්සෙහි ‘තුලුන් තෙලෙට කරණ ලෙසක් දැන ගෙන එව’යි බුලත් කවන්නාහු යවු ය. උයි ත් ගොසින් දී ලූ දෙය මඳ වුව ක් ලබන විපාක බොහෝ වුව මනා වේ දැ යි සාලට දෙක තුන ඔබාදීන් හා මුං උඳු ත් බොහෝ කොට ලන්ට මඳ හෙයින් දෙක තුන ඔබාදීන් හා ගිතෙල් සකුරු ආදියත් සෑහෙන ලෙසින් කැඳ අවුළු පත් බත් පිසන වළන් මුළුල්ලෙහි ලුව මනා ලෙසින් ලවා ලූය. බුලත් කවන්නෝ ද ගොසින් සිටාණන්ට එ පව ත් කිවු ය. ඒ අසා සිටාණෝ ‘තෙල ලෙස කොටා ලා බොහෝ දෙනා මැදයේ මාගේ මසුරුකම සුරු කම සේ කියා නම් මා හෙළි බා කී කලට කොටා මරා පියමී’ කලවයේ සිරියක් බැඳ ගෙන දෙවන දවස් ගොසින් වළඳන තැන සිටියෝ ය.
උයි ත් බුදු පාමොක් වහන්දෑ වළඳවා ලා බුදුන්ට ‘ස්වාමීනි, මම බොහෝ දෙනා සමාදන් කරවා දන් දෙවීමි. විධාන ලත් මිනිස් සුන් තමන් බල වූ පරිද්දෙන් මඳ වුවත් බොහෝ වුවත් හාල් ආදිය දුන්හ. මඳ කොට දුන්නවුන්ට ත් බොහෝ කොට දුන්නවුන්ට ත් විපාක බොහෝ ම වේව’ යි කිවුය. ඒ අසා බිළාල පාදක සිටාණෝ ‘මම මෙ තැනට එන්නෙම් ‘අසවල් තැනැත්තෝ අසුරු මිටි ලූ ය’යි මා තෝරා ගතු කිවු නම් මරමී සිතා අයිමි. මූ සාමාන්‍යයෙන් නැළිය පත දුන්නවුන්ට ත් අසුරු මිටි දුන්නවුන්ට ත් උමං දායෙහි ඒළක ප්‍රශ්න ය සියලු ලෙසින් දත් මහෞෂධ පණ්ඩිතයන් වහන්සේටත් උන්දෑගෙන් උගෙන කියා ලූ සේනකාදී පණ්ඩිතවරුන්ට ත් ලාභ ය සම වූවා සේ ම විපාකයෙන් සමවන්ට කියති. ඉදින් මම මෙ තරම් කෙනකුන් ක්‍ෂමා නො කරවීම් නම් මා හිස සෙණ හිණි නමුත් නපුරැ”යි පා මුල වැඳ ගෙන හෙව ‘ස්වාමීනි, ක්‍ෂමා කළ මැනැවැ’යි කිවු ය. ‘කුමක් දැ’යි විචාළ කල්හි සියලු පවත් ම කිවු ය. බුදුහු ත් උන් දෙන්නා කියන කරන දෙය අසා මේ කිම් දැ යි දන් විධාන කළ තැනැත්තවුන් අතින් විචාළ සේක. උයි ත් ඊයේ පටන් පැවැති සියල්ලක් ම නිශ්ශෙෂ කොට කිවු ය.
බුදුහු ත් ‘එ සේ ද, සිටාණෙනි’ විචාරා එ සේ ය යි කී කල්හි ‘සිටාණෙනි, පින් කම් නම් මඳ දෙයෙකැ යි නො සිතිය යුතු ය. නුඟ ඇට ය කුඩා වුව ත් ඉන් නැඟි ගස මහත් වන්නා සේ විපාක මහත. එහෙයින් පින් කරන කල ‘මා කළ පින් කම බොහෝ නො වත් කූඹුවකු තමාගේ ආයු පමණින් නැඟී ත් මහ මෙර උඩට නැඟ නො හෙන්නා සේ මේ ලඝු කුශලයක් කවර කලෙක විපාක දී පිය හේ දැ’යි හෙළා නො සිති ය යුතු ය. යම් සේ එක් වන් වැසි වැසීමෙන් මුණින් නො නමා වැස්සේ තුබූ වළන් පිරේ ද, එ මෙන් නුවණැත්තෝ එක විට කොට ගන්ට නැත ත් වේයන් බඳනා තුඹස් සේ සුඟින් සුහින් පින් කෙරෙත් නම් අඞ්ගුලිමාලයන් පළමු කැපූ ඇඟිලි කුණු වන්නා සේ ආදි ආදි කළ පින් නැති නො වන හෙයින් හැම පින් එක් ව කුශල ය බොහෝ වෙයි” වදාළ සේක. දේශනා කෙළවර බිළාලපාදක සිටාණෝ සෝවාන් ව පළමු ලොවී සැපතට ලෙටි වූවා සේ ම දැන් නො ලෙටි ව සියලු සැපත් බුදු සස්නට වියදම් කළහ.
එහෙයින් නුවණැත්තන් විසින් සැපතෙහි ලෙටි වීමට වඩාත් පින් කමෙහි ලෙටි ව පින් පුරා ලොවී ලොවුතුරා සැපත් සිද්ධ කට යුතු.
-
ඕ ගා - ඇතැම් ↑