113. අසඤ්ඤත භික්ෂුන්වහන්සේගේ වස්තුව

star_outline

තව ද සඤ්ඤතකාරී නො වීමෙහි ආදීනව හඟවන්නට අසඤ්ඤත භික්ෂූන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

එක් භික්ෂු කෙනකුන් වහන්සේ හැඳ පුටු බිසි කන්වයින් ආදි ය පිටත තබා ප්‍රයෝජන විඳ ලා තැන් පත් කොට නොතබන සේක. ඒ සෙනසුන් පිරිකර ත්, වැස්සෙනු ත් තෙමි දිරා නස්සි. අවුත් කා, කරාවු ත් කා නස්සි. වේයෝ මීයෝ ත් කා නස්සි. සෙසු එ ලෙස නො කරණ වහන්දෑ ඒ දැක ‘මෙ ලෙසින් නස්නේ හැයි දැ’යි කී කල්හි ‘මේ හැඳ පුටු ආදි ය සිත්පිත් ඇති දෙයක් නොව ත්, මෙයින් සිද්ධ වත ත් යම් තම් පවෙක් වේ දැ’යි කියා ලා වෘද්ධ ගෞරව ය නැති ව ඒ ලෙස ම කරණ සේක. වහන්දෑ තමන් වහන්සේට නො නවත්නා හෙයින් ‘ඔබ ත් කියා නවතම්හ’යි බුදුන්ට දැන්වූ සේක.

බුදුහු ත් ඒ නම ගෙන්වා ලා ‘සැබෑ ද, මහණ, එ ලෙස තා කරන්නේ ය’යි විචාළ සේක. ‘ස්වාමීනි, එ විතරෙකින් කුමක් ද? එ විතර පවත් පවු වේ නම් පව් නොවන්නේ කිම්ද? හැඳ පුටු ආදි ය තෙමී ගිය යි දිරා ගිය යි ඒ ප්‍රාණඝාත වස්තුවක් නො වන බැවින් අපට වන පව් කවරේද? යනාදීන් අකාරණ ම කාරණ කොට කියා වෘද්ධ ගෞරව ය නැත්තා සේ ම බුද්ධ ගෞරව ය නැති නියාව ත් හැඟ වූ සේක. බුදුහු ඒ අසා ‘හෙම්බල, භික්ෂූන් විසින්

තෙල ලෙස කිරීම නපුර. පව් නම් ප්‍රාණ වධාදි ය ම ය යි සිත ගත්තුද? යමක් යමක් කරන්ට කීම් නම් ඒ චාරිත්‍ර ශීල ය ත් නො කළ කල පව් ය. යමක් මම නො කරන්ට කීම් නම් ඒ චාරිත්‍රයන් කළ කල නපුර. මේ පාපය ලඝු වුව. මේ කවර කලෙක මා කරා ඒ දැ’යි පාප ය හෙළා දැක්ක යුතු නො වෙයි.

“මුනින්‍දාණමතික්කම්ම - කුසග්ගච්ඡේදමත්තකං,

එරපත්තෙන යං ලද්ධං - තාදිසං දීපයිස්සති”

යනු හෙයින් එරුපත කැඩෙන නියාව දැන දැන අත නො හළ පමණකින් එරුපත කැඩී විසි දහසක් අවුරුදු කළ මහණ දමෙහි විපාක ය දෙවන ජාතියෙහි දී ලිය නො හී ඒරපත්ත නම් නාග ව උපදවා පියා අධිගම අන්තරාය ත් කළ නියාව නො ඇසී ද? යම් සේ වැසි වේලේ යම් කිසි වළඳක් මුණින් නො නමා තබා ලූ කල එක පෙදෙසකින් ම නො පිරේ ද? එක විට ම නො පිරේ ද, නො එක්විට වට නොයෙක් පොදින් පිරේ ද, එ මෙන් මඳ මඳ පවු ත් එක් වන් කිරීමෙන් ආසෙවන ලාභයෙන් බොහෝ වෙයි’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ. අසඤ්ඤත නමගේ සඤ්ඤම ය නොපෙනුණා සේ අධිගමයකු ත් නො පෙනිණ. රක්‍ෂා කල ශීල ය වාසනාභාගිය වත ත් වන්නා ම ය.

එ හෙයින් සත් පුරුෂයන් විසින් අගාරික වුව ත් අනගාරික වුව ත් අජව්‍රත ගොව්‍රත වශයෙන් බැණ නො නැඟීම් නො ව වාක් සඤ්ඤමයත් ඇති ව අසන්ත ගුණ සම්භාවනිච්ඡා වසයෙන් කරණ කාය සඤ්ඤම නොව සම්‍යක් ප්‍රතිපත්ති වශයෙන් කාය සඤ්ඤමය ත් ඇති ව ශ්‍රද්ධාදී වූ සෙසුත් ගුණයෙහි පිහිටා අධිගම සිද්ධිය කට යුතු.

________