112. අනාථ පිණ්ඩික සිටාණන්ගේ වස්තුව

star_outline

තව ද දඬු පතින් හා ගලින් කර්‍මාන්ත කළ කල දඬුපත් දිරා ගිය ත් ගල් තිබෙන්නා සේ සැදෑ ඇත්තවුන්ගේ සම්පත් නටත් සැදෑ සිතෙහි අඩුවක් නැති නියාව දක්වන්ට අනාථ පිණ්ඩික සිටාණන්ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

අනේපිඬු මහා සිටාණෝ දෙව්රම් වෙහෙර නිසා සූ පනස් කෙළක් ධන වියදම් කළහ. මේ සිටාණන්ගෙන් අටළොස් කෙළක් විතර නයට හැර ගෙන දෙන විටක දෙන තෙක් උන් ගෙන් එළවී මක් නු වූ හෙයින් නුදුන්න. තව ත් මුන් සන්තක අටළොස් කෙළක් වස්තුව ගං බඬ නිධාන කොට තුබූවා වතුර ඊමෙන් ගං ඉවුර බිඳී සැළ පිටින් ම මුහුදට වන. මෙ සේ කල් යෑමකින් වස්තුව මඳවිය. යමල ගෑවෙ ත් ගෑවෙත් මුවාත් බලවත් වන්නා සේ වස්තු ගෙවෙත් ගෙවෙත් කුසල් අදහස නයට නුදුන් හෙයිනු ත් මූදට නොවන් හෙයිනුත් බොහෝ වෙයි. එහෙයින් දන් දෙත් ම ය. දෙතත් අදහස් පවිත්‍රයා සේ විභව ය නැති හෙයින් පවිත්‍ර කොට දිය නො හෙති.

එක් දවසක් බුදු රජාණන් වහන්සේ ‘සිටාණෙනි, තොපගේ නිරන්තර දෙන දනු ත් පවතීදැ’යි විචාරා වදාළ කල්හි පවතී ම ය. හෙද වැළිත් නිමුඬු සාලේ බත් හා කාඩි මය’යි කිවු ය. බුදුහු ඒ අසා-

“නත්‍ථි චිත්තෙ පසන්නම්හි - අප්පිකා නාම දක්ඛිණා,

තථාගතෙ වා සම්බුද්ධෙ - අථ වා තස්ස සාවකෙ”

යනු හෙයින්’සිටාණෙනි, සිත ප්‍රසන්න වී නම් පරිත්‍යාග චේතනයත් ප්‍රසන්න හෙයින් දෙය්‍ය ධර්‍මය කුමක් වුවත් කිම? අපර චෙතනාව නපුරුවේ නමුත් දන් නපුරැ යි නො සිත ව. තෙපි තව ත් දන් නපුරු වුව ත් යහපත් වූ අරී අට පුඟුලන්ට දෙන්නා ව ද? එ හෙයින් සරු කෙතක නැඟී ගොයම් අසු පැවත ද වන සේ[1] විපාක බලවත් වේ ද ? මා වේලාම නම් බමුණු සමයෙහි නඟුල් උඩ බඳවා දඹ දිව් වැස්සන්ට බොහෝ කලක් දන් දෙන ගමනේ ත් අරී අට පුඟුලන් තබා සරණ සීලයෙහි පිහිටි කෙනකුන් පමණත් සම්භ නුවූවෝ ය. එ හෙයින් ප්‍රතිග්‍රාහක සමෘද්ධි ය හැම කල ම සම්භ නො වෙයි. සම්භ වූ අවධියෙහි දෙන්නා වූ දන් අදහස් සේ ම යහපත් කොට සිතත් මුත් ලඝු කොට නොසිතව. වේලාම බ්‍රාහ්මණ සමයෙහි දන් දෙන්නා වූ මම ද මට ශිෂ්‍ය ව සිටි රජ දරුවන් ගෙනුත් වස්තුවක් එක් කොට ගන්නා නිසා ආදර්ශ කොට පාත්‍රයක් කරවන්නෙම් පාත්‍ර පත්ලේ සිට මුව විට නියමයට උසින් වඩුයෙන් අට රියනක්, මුඛ පළල නව රියනක් හා ඝන ය අටඟුල් කොට පාත්‍ර පත්ල බිජුවට අමුණක් වපයන තැන් වැසෙන විතර කොට පාත්‍ර මුවවිට අසුන් තුන් දෙනකු යෙදූ රථ ය සිසාරා යා හැකි ලෙසට කරවා සුවාසූ දහසක් රජුන් කරා යවූ යෙමි.

උනුත් එ පමණ වූ රන් පාත්‍ර කරවා රිදී පුරා, රිදී පාත්‍ර කරවා රන් පුරා, තඹ පාත්‍ර කරවා සත් රුවන් පුරා, එ කි එකී රජ්ජුරු කෙනකුන් ගෙන් රිදී පිරූ රත්රන් පාත්‍රයක් හා රන් පිරූ රිදී පාත්‍රයක් හා සත් රුවන් පිරූ තඹ පාත්‍ර තුනක් වන නියායෙන් සුවාසූ දහසක් රජුන් ගෙන් එවා ලූ දෙ ලක්ෂ දෙ පනස් දහසක් පාත්‍ර හා සුවාසූ දහසක් ඇතුන් හා සුවාසූ දහසක් අසුන් හා සුවාසූ දහසක් රථ හා සුවාසූ දහසක් ස්ත්‍රීන් හා වස්තුව දැක ලෝභ සිත් නූපදවා දඹදිව් වැස්සන්ට දන් දුනිමි. ඒ මාගේ දනට එක ද සිල්වත් කෙනෙක් සම්භ නුවූවෝ ය. මාගේ ඒ සා මහත් පරිත්‍යාග ය තොපගේ නිමුඬු සාලේ බත් හා කාඩි වටීද? යනාදීන් දන් දීමෙහි උත්සාහ වඩනු නිසා වේලාම සූත්‍රය ප්‍රතිග්‍රාහක ශුද්ධියෙන් විපාක ම සමෘද්ධි ය වන නියා ව හඟවන්ට වදාළ සේක.

ඉක් බිත්තෙන් සිටාණන්ගේ වාසල වසන දේවතා දුවක් බුදුනුත් බුදු සවුවනු ත් එක් වන් දන් වළඳන්ට සිටාණන්ගේ ගෙට වඩනා හෙයින් බුද්ධ තේජසිනුත් සංඝතේජසිනුත් තමාගේ විමන හින්ද නො හී ‘යම් ලෙසකින් මූ හැම මේ ගෙට නො එත් නම් ඒ සිටාණන්ට එ ලෙසක් කියා බිඳුවා පියමී’ සිතා ත් සිටාණන් පොහොසත් අවධියේ මුහුද පැන් ඉස නිමවා ලිය නොහැක්කා සේ උන්ගේ අදහසත් පසු බස්වා ලිය නො හැකි හෙයින් කුමකු ත් කියා ගත නො හී, දැන් සම්පත් නැති ව දුක් පත් ව ගත්හ. මාලු කම් පිට ලා කියා ලූ දෙයක් ගිවිස ගනිති’යි රෑ දවස් සිටාණන් සැතපෙන ශ්‍රී යහන් ගබඩාවට වැද අහස සිටියා ය. සිටාණෝ ත් දැක ‘තොප කවුරු දැ’යි විවාරා ‘සතර වන දොරටුවේ වසන දේවතා දූ නම් මම ය. දේවතා ව ඉපැදත් මුඹගේ නවාතැනේ ඉන්නා බැවින් ආපදා ත් නො සලකා වරදවා කරණ දෙයට මාලු කමක් කියන්ට අයිමී’ කිවු ය. ‘එ සේ කල කියව’යි සිටාණන් කී කල්හි ‘මහ සිටාණෙනි, මුඹ එන දවස නොසලකා ම මහණ ගොයුම්හුගේ සස්නට බොහෝ දෙය වියදම් කළ දෑ ය.

‘පෝසත් අවදියේ කුමක්කළත් දුක් පත් අවස්ථාවෙහි ත් කට යුතු නො දන්ට කාරණ කිම් ද? මහණ ගොයුම්හු හා ඔහුගේ සවුවන් අනුන්ගේ දුක් මුළා නොදනිතත් තමා ජීවත් වන ලෙසක් දතමනා වේද? මෙ ලෙස දන් දෙතො ත් දවස් ගණනකින් සෙසු සම්පත් තබා බත් පිළී පමණකුත් ඇති වන්ට කාරණ නැත. මහණ ගොයුම්හුගෙන් ප්‍රයෝජන කිම් ද? ඕ හට දෙන දෙයක් කර්මාන්තයෙක යොදා සම්පත් ඇති කරවන බව ය. දානවිෂයෙහි වියදමක් නො කරණ බව ය’යි කිවු ය. සිටාණෝ ද කියා නිමවන තෙක් අසා පියා මේ අපට කරන අවවාද දැ’යි විචාරා ‘එ සේ ය’යි කී කල්හි ‘තොප සේ වූ එක දේවතා දුවණි කෙනකුන් තබා දේවතා දූ ලක්‍ෂයකු ත් වඩා ත් එ බඳු තර අදහසක් ඇති හෙයින් මා දෙන දන් නවතා ලිය නොහෙති. කියා ලූ ලෙස යහපත් නො වෙයි. තොප වැන්නවුන් අප ළඟ රඳන්ට බැරි ය. තොපි මහලු කම් ලෙස කීවා ව ද? අප මාලු කම් ලෙස කියන දෙයක් නො වෙයි. වහා අප ගෙන් නික්ම යව’යි කිවු ය. සෝවාන් සිටාණන්ගේ බස් අසා රඳා ගත නො හී දරුවන් වඩා ගෙන අනුන්ගේ සම්පත් රකින්ට කියා තුමූ තමන්ගේ සම්පතු ත් තබා ලා නික්මුණවු ය.

ගොසින් ඔබ්බෙන් නවාතැන් පමණකුත් නො ලදින් සිටාණන් ක්‍ෂමා කරවා ගෙන සිය පළ ම හිඳිමී’ සිතා නුවර රකවල සිටි දෙවියන් කරා ගොසින් තමන්ගේ වැරැද්ද කියා ලා ‘සිටාණන් ළඟට මා කැඳවා ගෙන ගොසින් ක්‍ෂමා කරවා ලා වසන තැන ඉල්වා දෙවුව මැනැවැ’යි කිවු ය. ‘තොප මාලු කම් කියා ලූ ලෙස බුදුනු ත් බුදුසවුවනු ත් සිටාණන්ගේ ගෙට වැද්ද නො දෙන ලෙසට කී හෙයින් තොප තොපගේ ගෙට වැද්ද දෙන්ට අප මාලු කම් කී කල නපුරු ලෙසින් තොපගේ මාලු කම ත්, අපගේ මාලු කම ත් වෙනස නැත. ඉදින් තොපි බුදුන්ට ත් බුදු සවුවන්ට ත් වඩනා තරමක් ඇත් නම් තවත් අප මාලු කම් කිය හැක්ක. තොපගේ වඩනා තරම් තබා තමා ම තරමක් නැත. අපි උන් ළඟට මේ නිසා නො යම්හ’යි කිවු ය.

දේවතා දූ ද නවාතැන් මුට්ටු බලවත් හෙයින් සතර වරම් රජුන් කරා ගොසින් උනු ත් බැරි ය’යි කී කල්හි සක් දෙවිඳු තමන් හැමට ම නායක හෙයින් උන් කරා ගොසින් තමන්ගේ වැරැද්ද කියා ලා ‘මම, ස්වාමීනි, වසන තැනක් නැති ව දරුවන් වඩා ගෙන මුළාව ඇවිදිමි. මා වසන තැනක් එ ම වේව යි අනික් තැනෙක් වුවත් දෙවුව මැනවැ’යි තමාට සහාය කට හැකි ඔබ්බක් නැති හෙයින් තර ව කීව. සක් දෙවිඳු ත් ඒ අසා ‘තොප තරමුන් නිසා ඒ සා තරමුන් ළඟට අප තරමුන් යන්ට නො පිළිවන. බල, තොපට එක් උපදෙසක් කියමී’ කිවු ය. ‘යහපත, වඩිනට මැළි බැවින් උපදෙස වුවත් යහපත, වදාළ මැනැවැ’යි කිවුය. ‘තොපි පලා ගොසින් සිටාණන්ගේ ගෙයි ලියා සිටිනා ලියනා වෙස ගෙන - සිටාණන් ගෙන් අටළොස් කෙළක් වස්තු පත් ලා ලා නයට හැර ගත්තෝ ඇත - තොපි තොපගේ ආනුභාවයෙන් එයි ත් එළවා ගෙන - නිධාන ගත ව තුබූ අටළොස් කෙළකු ත් වතුරේ ගොසින් මූදට වන්නා ඇත. තව ත් අසවල් තැන හිමියන් නැති ව තිබෙන අටළොස් කෙළක් පමණ වස්තු ඇත - මෙ සේ තුනින් කැටි ව සූ පනස් කෙළක් හැරගෙන පෙර වස්තු තිබෙන ගබඩාවල් පුරා ලීමෙන් දඬුවම් කොට ගෙන ක්‍ෂමා කරවා ගනුව’යි කිවු ය.

උයි ත් ‘යහපතැ’යි ගිවිස සක් දෙවිඳු කී ලෙස ම කොට ලා සිටාණන්ගේ ශ්‍රී යහන් ගබඩාවට වදනට ශක්ති ඇති ව වැද අහස බබළ බබළා සිට ‘කවුරු දැ’යි විචාළ කල්හි ‘ස්වාමීනි, සතර වන දොරටුයෙහි හිඳිනා නුවණක් නැති පිණු ත් නැති දේවතා දූ නම් මම ය. නුවණ නැති ව එ බන්දක් මුඹ වහන්සේ ළඟ දී කියා පීමි. එයි ත් ක්‍ෂමා කරණ බව ය. සක් දෙවිඳුගේ බසින් සිවු පනස් කෙළක් වස්තු ගෙනාමි. ඉන් අටළොස් කෙළක් මුඹ වහන්සේගෙන් නයට ගත් දෑ ය[2]. අටළොස් කෙළක් මුඹ වහන්සේ ගෙන් ම අපවත් ව මූද තුබූවා ය. අටළොස් කෙළක් හිමියන් නැති දෙයෙක. ඒ හැම ගෙන භාණ්ඩාර පුරා දඬුවමුත් මුඹ වහන්සේගේ අදහස් කුම් වුව ත් මාගේ බල තරමට කෙළෙමි. දරුවනුත් ඇති හෙයින් හිඳිනා තැන් මුළා මහතැ’යි කිවු ය. අනේ පිඬු මහ සිටාණෝ ද “ශක්‍රයන් ළඟට ගොසින් කන්නලවු කියා ගත හෙන දේවතා දුවණියෝ ‘දඬුවමුත් කෙළෙමී’ කියති. වරදත් ගිවිස සිටිති. දඬුවමට ත් සිවු පනස් කෙළක් පමණ වස්තු ගෙනවුත් දුන්හ. ලොවී සම්පත් දුන් තැනැත්තවුන් බුදුන්ට දක්වා ලා ලොවුතුරා සම්පතුත් දෙවමි” සිතා ලා බුදුන් කරා කැඳවා ගෙන ගොසින් දේවතා දුවණියන් කියා ලූ වරදත් තමන්ට දඬුවම් පිට ලා ලා කළ යහපත ත් කිවු ය.

දේවතා දුවණියෝ ද බුදුන් වැඳ ලා ‘ස්වාමීනි, මුඹ වහන්සේගේ ගුණානුභාවය නො දැන කියා ලූ දෙයට ක්‍ෂමා කරණ බව ය’යි බුදුන් ක්‍ෂමා කරවා ගෙන පසු ව සිටාණනු ත් ක්‍ෂමා කරවා ගත්හ. බුදුහු කුසල් අකුසල් දෙකෙහි ඉෂ්ටානිෂ්ට විපාක දැක්වීම් වසයෙන් සිටාණන්ට ත් දේවතා දුවණියන්ට ත් බණ වදාරණ සේක් ‘පව් කම හැසිරීමෙන් පවිටු සත්‍වයෝ තුමූ කළා වූපාප ය යම් තාක් අනිෂ්ට විපාක දීලන්ට අවසරයක් ලද නුහුනු යේ වී නම් ඒ තාක් පුරාකෘත සුචරිතානුභාවයෙන් සිද්ධ වූ ඉෂ්ට විපාකය ම දකිති.

යම් කලෙක අනිෂ්ට විපාක දී ලන්ට අවකාශයක් ඒ තෙමේ ලැබ පී නම් එ කල පවිටු පුඟුලෝ හමු වපුටවුන් හමු ම දක්නා සේ අනිෂ්ට විපාක ම දකිති. පින්කම් කරන්නා වූ සත්‍වයෝ ත් යම් තාක් කළා වූ කුශල ය ඉෂ්ට විපාක දී ලන්ට අවසරයක් නො ලද්දේ වී නම් ඒ තාක් ම පුරාකෘත දුශ්චරිතානුභාවයෙන් අනිෂ්ට විපාක ය ම, ‘සිටාණෙනි, සම්පත් නැති වී මෙන් තොප දුක් දුටුවා සේ දකිති. යම් දවසෙක කළ කුශල ය ඉෂ්ට විපාක දානයට අවසරයක් ලත් නම් තොප දැන් පෙරළා ත් සිවු පනස් කෙළක් වස්තු ලද්දා මෙන් යහපතක් ම දකිතී’ යි වදාළ සේක. දේශනා කෙළවර දේවතා දුවණියෝ සෝවාන් ව බුදුන්ගේ දැක්මෙහි ආදි අප්‍රිය තැනැත්තෝ පසු ව දැක්මෙන් තෘප්තියක් නැති වූ ය.

එ හෙයින් සත් පුරුෂයන් විසින් නො සලකා කියා ලූ දෙයට දේවතා දුවණියන් ගත් අට්ටල් සලකා බුද්ධාදීන් කෙරෙහි ආදර භක්ති ඇති ව ඓහලෞකික වූ ත් පාරලෞකික වූ ත් ප්‍රයෝජන සාදා ගත යුතු.

_________

  1. අසු පෑ වන සේ - අසු පැවත් වන සේ.

  2. ගත්තාය.