111. ලද දෙව් දුවගේ වත

star_outline

තව ද යමෙක් තෙමේ නිරවද්‍ය වී නමුත් ඒ නිසා පරූපවාද ඇති වේ නම් එයි ත් නො කළ මනා නියාව දක්වන්ට ලද දෙව් දුවගේ වත කියමු.

කෙසේ ද යත් -

මෙහි වත්මනු කථාව රජගහ නුවර පහළ වි ය. ආයුබොහෝ වූ මහසුප් මහ තෙරුන් වහන්සේ රජගහා නුවර ගාවා පුළිල ලෙණ වසන සේක් නිරෝධ සමාපත්තියට සම වැද සත් දවසක් නිරාහාර ව වැඩ හිඳ ලා සත් වන දවස් බත් නොලැබීම යුක්ත නො වන හෙයින් හා යම් කෙනෙක් තමන් වහන්සේට යමක් දුන්නු නම් උන් මහා සම්පත් ලබන හෙයින් බතක් දී ලන්ට නිසි කෙනකුන් දිවසින් බලන සේක් එක් ගැල් සේනක් රක්නා ගෑනියක හැල් කරල් කඩා ගෙන වී හැර ගෙන විළඳ බඳනා නියාව දැක සිඟා ගිය කල දී ලන්ට නිසි සැදෑ ඇත්තෝ දෝ හෝ යි විමසා සැදෑ ඇති නියාව ත් දැන ‘මට සංග්‍රහ කට හේ දෝ නො හේ දෝ යි විමසා ‘ඒ කුල දූ තොමෝ මට සංග්‍රහ කෙරෙයි. සංග්‍රහයක් කොට මෙම ජාතියෙහි සම්පත් ලබන්ට ආයු ශක්ති ය නැතත් දෙ වන ජාතියෙහි බොහෝ සම්පතුත් ලබන්නීය’යි දැන ගැටවටු ගන්වා සිවුරු වැළඳ ගෙන පාත්‍ර ය පටවා ගෙන හැල් සේන බඩ සිටි සේක.

කුල දුවණියෝ ද මහ තෙරුන් වහන්සේ දැක පහන් සිතැති ව පස්වනක් ප්‍රීතීන් පිනා ගොසින් ‘වැඩ සිටිනේ යහපතැ’යි කියා ලා විළඳ හැර ගෙන වහා අවු ත් මහ තෙරුන් වහන්සේට පිළිගන්වාලා පසඟ පිහිටුවා ලා වැඳ ගෙන ‘ස්වාමීනි, මේ විළඳ ඇට බැදී සැහැල්ලු වූවා සේම කෙලෙස් බරින් සැහැල්ලුව නිවන් දකිම්ව’යි පතා ගත්හ. මහ තෙරුන් වහන්සේ ද දානමය කුශල ය තොපට සිද්ධ වූවාසේ ම භාවනාමය කුශලය ත් සිද්ධ වේවා’යි වදාරා අනු මෙවෙනි බණ වදාළ සේක.

උයි ත් මහ තෙරුන් වහන්සේ වැඳ ගෙන තමන් දුන් දන් සලකමින් පූර්‍ව චෙතනා මධ්‍ය චෙතනා සේම අපර චේතනාත් ශුද්ධ කොට ගෙන රැඳුණවු ය. ඒ සේනෙ ත් යන එන මඟ එක් බිලයෙක නයෙක් ඇත. ඒ මහ තෙරුන් වහන්සේගේ සිවුරෙන් වැසී තුබූ කෙණ්ඩ මැඬ පිය නො හින. කුල දුවණියෝ ද තමන් දුන් දන් සලකමින් එ තැනට පැමිණියහ. සර්පයා ද බිලයෙන් නික්ම දුන් දන අනුහසින් දෙව් සැප උදවු කොට ලබ්බවන්ට කරන්නාක් මෙන් දෂ්ට කොට එ තැන ම හෙළා පී ය. ඌ ද විෂ වේගයෙන් අන්‍යථාත්‍වයකට නොපැමිණ පහන් සිතින් මිය ගොසින් තවුතිසා දෙව් ලොව එක් සිය විසි ගවුවක් පමණ රන් විමනෙක නිදා පුබුද් කෙනකුන් මෙන් සව් බරණින් සැදුණු තුන් ගවුවක් පමණ දිව අත් බවකින් යුක්ත ව දෙවතා දූව උපන්හ.

ඌ තුමූ අට සාළිස් ගවුවක් පමණ දිග ඇති හකුළුවා ලූ කලට තුඹ මලක් සා හෝ පෝටා මලක් සා මහත ඇති සළුවක් හැඳ එ සේ ම සළුවක් පෙරව දහසක් පමණ දෙවඟනන් පිරිවරා පූර්‍ව ජාතියෙහි කළ කුශල ය හඟවනු නිසා රන් විළඳින් පුරා මුතු සාළුවල තබන ලද රන් තැටිවලින් හොබනා විමන් දොර කඩ සිට තමන්ගේ දිව සැප ත් බලා පියා ‘කුමන පිනක් කොට මේ සැපත් ලදිම් දෝ හෝ යි දිවසින් බලන්නෝ මහසුප් මහ තෙරුන් වහන්සේට දුන්නා වූ විළඳෙහි අනුහසින් දිව සැප ත් ලත් නියා වත් දිවස් ඇති තැනට දුන් හෙයින් දිවස් ලත් නියාව ත් දැන ‘ලඝු කුශලයෙන් මේ සා මහත් සම්පතක් ලදින් මේ දෙව් ලොව තුන් කෙළ සැට ලක්‍ෂයක් හවුරුදු පමණ නො ව සසර ඉතා දික් ව තිබෙන හෙයින් පමා වීම නපුර. මහසුප් ස්වාමීන්ට වත් පිළිවෙත් කිරීම නම් ලඝු පින් කමක් නො වන හෙයින් බැරෑරුම් වූ ඒ පින්කම කොට උගත් ග්‍රන්ථයක් ප්‍රගුණ කොට තර කරන්නා සේ තවත් තවත් පින් කිරීමෙන් සම්පතත් තර කෙරෙමී’ සිතා උදෑසන ම දෝ නොහොත් පාන්දර ම මවා ගන්නා දේ හෙයින් රන් මුස්නක් ද කසළ ගොටුවක් ද ගෙනවුත් මහ තෙරුන් වහන්සේගේ වෙහෙර මළු හැම ද පියා කසළ ත් දමා පියා නහන පැන් බොන පැන් පරහා තබා ලූය.

මහ තෙරුන් වහන්සේ ඒ හැම දැක වත් පිළිවෙත් සරු කෙනකුන් වේලා පස ම අවුත් වත් සපයා ලා ගිය නියා ය යි ආවර්ජනා නො කළ හෙයින් සිතු සේක. දේවතා දුවණියෝ දෙ වන දවසු ත් වත් පිළිවෙත් එ ලෙස ම කළහ. මහ තෙරුන් වහන්සේ ත් ආදි දා සිතු ලෙස ම සිතූ සේක. තුන්වන දවස් මහ තෙරුන් වහන්සේ උන් හමදනා හඬ ත් අසා කෙසිවීත්[1] ආදියෙන් ඇතුළු ගෙට වන් ශරීරාලෝක දැක දොර වැරලා[2] හමදනේ කවුරුදැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, මුඹ වහන්සේට උවැසි ව සිටි ලද දෙව් දූ නම් මම ය’යි කිවු ය. ‘අපගේ එ නම් උවැසි කෙනෙක් ඇද්දැ’යි විචාළ සේක. “මම, ස්වාමීනි, මීට පෙරාතු ජාතියෙහි හැල් සේනක් රක්නෙම් කන්ට බැද ගෙන හුන් විළඳ සුඟක් තමා සුභ වුව ත් බොහෝ දවසකට වුවමනා වේදැ’ යි මුඹ වහන්සේට දන්දී ලා සිත පහදවා ගෙන නැවත එන්නෙම් ‘තොප කළ පින් රකවල් පළට වදනා තරම් ද? දෙව් ලොව රන් විමන්වලට එව’යි කැඳවා ආ මේ වර කරන්නකු වැනි නයකු අත මිය තව්තිසා දෙව් ලොව උපනිමි. ස්වාමීනි, මේ සම්පත මුඹ වහන්සේ නිසා ලදිමි. දැනුත් මුඹ වහන්සේට වත්පිළිවෙත් කොට සම්පත් තර කරන්ට සිතා අයිමි’ කිවු ය.

‘ආදී දෙ දවසුත් වත් පිළිවෙත් කොළෝ තෙපි දැ’යි විචාරා ‘එසේ ය, ස්වාමීනි’යි කී කල්හි ‘දේවතා දුවණියෙනි, තොප කළ වත් පිළිවෙත් කෙළේ ය. මෙ වක් පටන් එ බන්දක් නොකරව’යි වදාළ සේක. ස්වාමීනි, එ සේ නො වදාළ මැනව. මුඹ වහන්සේ වැනි පින් කෙතත් ලබන්ට බැරි වුව සිද්ධ වන කුශලය ත් ලඝු නො ව ත්, ලඝු නො වන කුශලයෙන් ලබන සම්පතු ත් ලඝු නොවත් මා ලබන වැඩියුරු සම්පතට හානි නො කොට වදාළ මැන වැ’යි කිවු ය. ඔබ ඒ අසා ‘දේවතා දුව, සම්පත් තර කරන උපදෙස් මේ විනා නැද්ද? නස්නා සම්පත් කෙ සේ තර කරන්ට සිත යි නමුත් ඒ තර නො වෙයි. තර නම් නො නස්නා බැවින් නිවන. නිවන් පතා අනික් කරන යම් පිනක් කරව. මතු එන දවස් විජිනි පත්‍ර හැර ගෙන ධර්මාසනවල වැඩ හිඳ බන කියන්නවුන් ලවා බුදුන් සමයෙහි මහසුප් මහ තෙරුන් වහන්සේට එක් දෙව් දුවණි කෙනෙක් අවුත් මළු හැමද පැන් පරහා තුබූ ය යි නො කියවව. එ බන්දෙක් ඇසිණි නම් බුදුන් ගෙන් අප ලත් ප්‍රශංසාවට ඒ පිටි පෑ තිබෙයි. මෙ වක් පටන් පිළිවෙත් තබා මේ දසාවෙ ත් නො එව’ යි වදාළ සේක.

එ සේ වදාළ ත් දේවතා දුවණියෝ තමන්ට සිද්ධ වන කුශලය මුත් මුඹ වන්නා වූ අසාරුප්පය ය සැදෑ වේගයෙන් සලකා ගත නො හී තවත් නො ගොස් සිටිත් ම ය. මහ තෙරුන් වහන්සේ ද මෝ අප කියත ත් සිටීම ය’යි කිපි ලෙසක් මෙන් ‘තිගේ තරම් නො දන්නී දැ’යි වදාරා ලා අසුර ගසා ලූ සේක. ඌ එ වේලෙහි එ තැන රඳා සිටිය නො හී අහසට පැන නැඟී ලා දෝත් මුදුනේ තබා ගෙන ‘ස්වාමීනි, මා ලත් සැපත තර කොට ගත දුන මැනවැ’යි කිය කියා හඬමින් වලපමින් අහස සිටියහ.

බුදුහු රජගහා නුවරට එක් සිය අසූ ගවුවක් විතර තිබෙන දෙව්රම ගඳ කිළියේ වැඩ හිඳ ම දෙව් දුවණියන් හඬන හඬ අසා රස් කඳක් විහිදුවා තැන වැඩහුන්නාක් මෙන් පෑලා ‘හෙම්බා දෙව් දුව, ම පුත් මහසුප් මහ තෙරුන්ට තෙල ලෙස කරන දෙය අසරුප් බැවින් නැවතීම යහපත. පින් කරනු කැමැත්තවුන්ට තව ත් තව ත් පින් ඇති බැවින් අපට ප්‍රයෝජන නම් මෙ ම වේදැ’යි සලකා පින් කිරීම වලක් ව වලක්වා ත් කන බතින් බඩ පිරෙන්නා සේ යහපතැ’යි වදාරා ‘හෙම්බල දේවතා දුව, පින් කරන කල නම් ‘එක් වරෙක පින් කෙළෙමි. එ තෙක් මට සෑහෙයි’ ඒ පින් කම නො පසු බැස වඩ වඩා පින් කළ මනා ම ය. ‘පින්කම් කරනට ඉදින් විභව නැත් නමුත් කවර විටෙක ය පින් කමක් කොට ගන්නේ ය යි හැම වේලේ ම උත්සාහ කටයුතු. කුමක් නිසා ද යත්-කිරීමෙන් වුව ත්, සිතීමෙන් වුව ත් කුශලය රැස් කිරීම මෙ ලෝ – පරලෝ දෙකට ම යහපත, ඒ හෙයිනැ’යි වදාළ සේක.

දේශනා කෙළවර දෙව් දුවණියෝ එක් සිය අසූ ගවුවකින් ඈත සිටියෝ ත් සෝවාන් ව ලොවී සැපත් කුම් වුව ත් අනුපධිශේෂ නිර්‍වාණ ධාතුව දක්වා තිබෙන හෙයින් ලොවුතුරා සම්පත් තර කොට සසර දුක් අත් හළහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් කරණ බාධා කළ කෙනෙක් ඇත් නමුත් කළ කුශලයෙන් සිද්ධවන ඉෂ්ට විපාකයන්ට උන් බාධා කොට නො හෙන හෙයින් එ ම සිත්හි තබා කුශලයෙහි හැසිර අස්ථිර වූ සැප ත් හැර ස්ථිර වූ නිවන් සාදා ගත යුතු.

________

  1. කෙසිබීත

  2. ඇරලා-හැරලා.