110. සෙය්‍යසක තෙරුන් වහන්සේගේ වස්තුව

star_outline

තව ද පව් කම්හි හැසිරීම මෙ ලෝ පර ලෝ දෙකෙහි ම අනභිවෘර්ධි කාරණ වත් මුත් අභිවෘද්ධි කාරණ නො වන නියා ව දක්වන්නට සෙය්‍යසක තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙසේද යත් -

ලාලුදායී තෙරුන් වහන්සේගේ සද්ධි විහාරික වූ සෙය්‍යසක තෙරුන් වහන්සේ තුන් මසක් මං මුළා වූ කෙනකුන් ස මසක් මං මුළා වූ කෙනකුන් ගෙන් මං විචාරන්නා සේ කෙලෙස් පිළියම් විචාරා රාග ප්‍රතිපක්‍ෂ වූ අසුභ භාවනා තිබිය දී හුණ ඇත්තවුන්ට තියඹරා කන්ට කියන්නා සේ, සෙම් ඇත්තවුන්ට උක් සකුරු කන්ට කියන්නා සේ, මේහ ඇත්තවුන්ට තෙල් අනුභව කරන්ට කියන්නා සේ, වණ ඇත්තවුන්ට මීවිනි මස් අනුභව කරන්ට කියන්නා සේ, රාග වර්ධනයට නිසි වූ පළමු සඟ වෙසෙස් සමාදන් කැරවූ හෙයින් අනභිරතියක් උපන් කල ම මෙවුන් ධම් හා සම කොට දැක්වූ ඒ විකුම් කරණ දෑ ය. බුදුහු එ පවත් අසා ඒ වහන්සේ ගෙන්වා ලා ‘තෝ එ බන්දක් කෙරෙයි දැ’ යි විචාරා බුදුන් හමුවෙහි දී වළහාලීම බැරි හෙයින් ‘සැබවැ’ යි කී කල්හි මාගේ නිර්‍මල වූ ශාසන ය කෙලෙසා, සිස් තැනැත්ත ව, තෙල ලෙස කෙලෙසින.

‘තා ආදිකර්මික හෙයින් තට ඇවැත් නැතත් මෙ වක් පටන් යම් භික්ෂු කෙනෙක් මෙ බන්දක් කොළෝ නම් උන්ට සඟ වෙසෙස් වන්නේ ය’ යි සිඛ පද පනවා ලා ‘මෙ බන්ද නම් මෙ ලොව නින්දාවට ත් කාරණ ය. පර ලොව අපාය දුකටත් කාරණ’ ය යි වදාරා ‘ඉදින් යම් කෙනෙක් අනන්ත කාලයක් පුරුදු කොට ආ හෙයින් එක විටක ත් පවක් කොළෝ නම් කල් යවා නො තබා එක විට ම සලකා පියා බුදුන්ගේ අනුශාසනාවෙහි පාපයෙන් වැලැක්මක් මුත් පවෙහි හැසිරීමක් කිසි තැනෙකත් නො ආ හෙයින් වැරද වුව ත් මෙවක් පටන් කළ මනා දෙයක් නොවෙයි සිතා පාපය හළ යුතු පව් කිරීම තබා පව් කිරීමට මුල් ව සිටිනා අදහසුත් විෂ ඵල පලගන්නා ගස මුලින් ම කපා දවා නැති කරන්නා සේ හළ යුතු ය. කුමක් නිසාද යත් - පව් විෂය සිතින් සිතීම ත් මැරූ කුඩ මසු කෙනකුන් නැතත් මරා රැස් කළ කුඩ මස්සන් දැක සතුටු වූ පමණකින් බුදු වුවත් ප්‍රවෘත්ත විපාක ය නැති වන්ට නොව හිසරුජා ඇති හෙයින් න්මෙ ලොව ත් පරලොවත් දුක් එළව’ යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් ගඟක් බැඳ රඳවන්ට කරණ යත්නයක් සේ පවින් දුරු වන්ට උත්සාහ කටයුතු.