තව ද කරණ පින් කම් ලැසි ගෙන ගෙන කෙරෙත් නම් දන් හල් වලට යන ගමන ලැසි ගත් කල ලබන දෙයක් මඳ වන්නා සේ ලබන විපාක ත් ලැසි ගන්නා නියාව හඟවනු නිසා සුළු එක් සළු බමුණන් ගේ වත දක්වනු.
කෙ සේ ද යත් -
විදර්ශී නම් බුදුන් සමයෙහි මහ එක්සළු කෙනෙක් වූ ය. දැන් මේ අපගේ බුදුන් සමයෙහි සැවැත් නුවර සුළු එක් සළු නම් බමුණාන කෙනෙක් ඇත. උන්ට එ සේ කියන්ට කාරණ කිම් ද යත් - ජාති යහපත් වුව ත් දුක් පත් හෙයින් උන් තමන් හඳනට එක් කඩක් හා බැමිණියන් හඳනට එක් කඩෙක් ඇත. පිටත යන කල දසරුව වසා ගෙන යන්ට දෙන්නාට කැටි ව එක උතුරු සළුවෙක් ඇත. පිටත යන කල බමුණානන් ගෙයි රඳවා බැමිණියෝ හෝ යෙති. බැමිණිණියන් ගෙයි රඳවා බමුණානෝ හෝ යෙති. එක් දවසක් වෙහෙර බණ අසන්ට හඬගෑ කල්හි සුළු එක් සළුවෝ බැමිණිණියන්ට’පින්වත, වෙහෙර බණ අසන්ට හඬ ගෑ හඬ ය. කුමක් ද? රෑ ත් දාවලු ත් පවත්නා බණ හෙයින් බණ අසන්ට දාවල් යවු ද නොහොත් රෑ යවු දැ’ යි විචාළෝ ය.
බැමිණිණියෝ ත් උතුරු සළුව එක ම හෙයින් දෙන්නා එක විට ගමන බැරි නියාව දැන ‘බමුණානෙනි, රෑ දවස් බණ අසන්ට ගමන මට බැරි ය. දාවල් යෙමී’ කියා ලා උතුරු සළුව පෙරවගෙන යන්නවුන් හා කැටි ව දාවල් ගියහ. බමුණානෝ උන් බණ අසා ලා ආ කලට දාවල් දවස යවා පියා රෑ දවස් ගොසීන් බුදුන් ඉදිරි ව ලා කොතැන හුනත් පෙනෙන මුහුණක් හෙයින් මුහුණ බල බලා ඉඳ බණ අසති. සොඳ මුහුණත් දැක, මිහිරි බණ ත් අසා සියල් සිරුරු පිනවමින් ප්‍රීති උපන. උපන් ප්‍රීතීන් පෙරව ගෙන ගිය උතුරු සළුව පුදනු කැමති ව ‘ඉදින් පුදාපීම් නම් මට ත් බැමිණියන්ට ත් උතුරු සළු නැතැ’යි සිතූ ය.
එසේ සිතත් සිත ත් පුදන්ට සිතා ගත් කුසල් සිත පසුබස්වමින් දහස් ගණන් මසුරු සිත් ඇති වීය. නැවත එ ම අතුර පුදන්ට ත් සිතෙක් සිතිණ. නැවත එයි ත් පසු බස්වා මඟ යන කෙනකුන් ලුහුබඳවා වල් නංවන්නා සේ ‘මේ ඓශ්වර්‍ය්‍ය ය අනුන්ට නො වේව යි මට ම වේව’යි යන ආකාරයෙන් පවත්නා දහස් ගණන් මසුරු සිත් ඇති විය. නැවත බලසම්පන්න කෙනකුන් දුර්‍වලයන් කෙතෙක් දෙනා පටහැණි ව ලා ආව ත් පසු නො බස්නා සේ පුදනු කැමති ලෙසින් සැදැහැ සිතෙක් ඇති ව ලා මසුරු සිත් මුළුල්ලම තනි බුදුන් මර සෙනඟ පසු බැස්වූවා සේ පසු බස්වයි. දෙම් දෝ නො දෙම්දෝ හෝ යි ඔහු සිතිය දීම පෙර යම් දස පැය පලා ගොසින් මධ්‍යම රාත්‍රි ය පැමිණියේය. දෙම් දෝ නො දෙම් දෝ හෝ යි සිත සිතා හින්ද දී ම මධ්‍යම රාත්‍රිය ත් ඉකුත් ව අලුයම් දසපැය පැමිණියේ ය. අළුයම දස පැය සුළු එක් සළු බමුණානෝ සිතන්නෝ ‘මා ගේ සැදෑ සිත ත් මසුරු සිතත් උනුන් හා දබර වැදගත් හෙයින් ඒ දෙපක්‍ෂයේ ඇත්තවුන්ගේ තරම් බල බලා විසි පෑ විතර පලා ගියේ ය.
රැයින් තුබූයේ දස පැයෙක. ඒ දෙපක්‍ෂයේ ඇත්තවුන්ගේ විවාද කවර කලෙක සන්හිඳුවිය හැකි ද? මා තර ව එකක් කොට පී කලට උනුන් කැණිවිලි සන්හිඳෙත් මුත් තුමූ තමන් ම කවර කලෙක සන්හිඳෙත් ද? උන් දෙපක්‍ෂයෙන් දෙනු කැමති ව පවත්නා තැනැත්තෝ ඉතා යහපත්හ. මට කවර තරම් වැඩකු ත් සාධා දී ලති. නො දෙනු කැමති ව පවත්නා තැනැත්තෝ නම් මහා නපුරු කෙනෙක. උන්ට ආශ්‍රය ව සිටිනා ප්‍රතිඝ චිත්තයාණෝ නම් උන්ට ත් වඩා නපුරු වූ ය. මා මුන්ට නැමුණොත් දෙ පක්‍ෂ ම එක් ව සතර අපායේ හෙළා ලා මා ඉස් නඟාලිය නො දෙති. එ හෙයින් උන්ගෙන් මට ප්‍රයෝජන නැත. දෙනු කැමති ව පැවති සැදෑ සිතට ම නැමී කෙරෙමි. දහස් ගණන් මසුරු සිත් පරදවමින් ආදියෙන් පැවැති සැදෑ සිත ම පළමු කොටලා උතුරු සළුව හැරගෙන බුදුන් පා මුල තබා ලා මසුරු සිත් පැරදි නියාවට ‘දිනා ගියෙමි’යි තුන්විටක් කිවු ය.
කොසොල් රජ්ජුරුවෝ බණ අස අසා හුන්නෝ එ බස් අසා එ සේ වූ බස් රජ ව සිටියවුන්ට අප්‍රිය හෙයින් දිනා ගියේ කාටදැ’යි විචාරව’යි කිවු ය. රාජ පුරුෂයන් ගොසින් විචාළ කල්හි මසුරු සිත් පරදවා සිටි හෙයින් ඒ නිසා කී නියා ව කිවු ය. රජ්ජුරුවෝ ඒ අසා තමන් අරුමය දන්නා හෙයින් කළ දෙයට සතුටු ව සංග්‍රහ කෙරෙමින් පිළී සඟළක් යවූහ. ඌ ඒ පිළී සඟලත් බුදුන්ට ම දුන්හ. පැරද සිටි මසුරු සිත් තරයේ ම පැරද ගත් හෙයින් ඊට අවුලක් කට නුහුනු වූ ය. රජ්ජුරුවෝ ඒ අසා පිළී දෙ සඟළක් යවූහ. බමුණානෝ එයි ත් බුදුන්ට ම දුන්හ. ඒ අසා සතර සඟළක් යවූහ. ඒත් බුදුන්ටම දුන්හ. නැවත අට සඟළක් යවූහ. එයි ත් බුදුන්ට ම දුන්හ. රජ්ජුරුවෝ නැවත සොළොස් සඟළක් යවූහ. දෙනු කැමති ව පවත්නා චිත්තයාණන් බලී ව මසුරු සිත් වැදගත නො හෙන හෙයින් ඒ සොළොස් සඟළ ත් බුදුන්ට ම දුන්හ.
රජ්ජුරුවෝ බමුණානන් ගේ දානමය කුශලයෙහි දෘෂ්ට ධර්‍මවෙද්‍ය විපාක බලවත් නියාව හඟවන්නාක් මෙන් අජාසත් රජ්ජුරුවන් ධාතු නිධානයෙහි හැම කරඬුත් හැම දා ගබුත් වසා දෑවාණ දහගබ සිටුවූවා සේම දුන් හැම සඟළවලට මහත් කොට දෙතිස් සඟළක් යවූහ. එක උතුරු සළුව දන් දී බමුණානෝ එම ජාතියෙහි සඟළ ගණනින් තෙ සැට සඟළක් හා පිළී ගණනින් එක්සිය විසි සයෙක් පමණ පිළී ලත්හ. කෙළවර දෙ තිස් සඟළ ලැබ ලා යවා ලූ දෙය තුමූ මඳකුත් නො ගෙන දන්ම දෙති. වැඩියුරුවක් ලබන්ට නියා දෝ හෝ යි කියන උපවාදයෙන් මිඳෙනු නිසා තමන්ට පිළී සඟළක් හා බැමිණිණියන්ට පිළී සඟළක් තබා ගෙන අනික් තිස් සඟළ බුදුන්ට ම දුන්හ. එක් සිය ස විසි පිළීයෙන් බුදුන්ට එක් සිය දෙ විස්සක් හා තමන්ට සතරෙක් විය. රජ්ජුරුවෝ ද බමුණානෝ තුමූ හැර නො ගෙන සියක් වර දෙත් නමුත් දියුණා සියක් වර වුවත් දෙති. දෙතිස් සඟළින් බමුණන් දෙ සඟළක් හැර ගත් හෙයින් රජ්ජුරුවෝ දීමෙන් නැවත්තාහ. විදර්ශී බුදුන් සමයෙහි දී මහ එක් සළු බමුණානෝ කෙළවර වාරයේ පිළී සූ සැට සඟළක් ලදින් දෙ සඟළක් හැරගත්හ. මූ දෙතිස් සඟළක් කෙළවර දෙ සඟළක් හැර ගත්හ.
රජ්ජුරුවෝ රාජ පුරුෂයන් බණවා ලා ‘දුක් පත් ව සිට බමුණානන් කළ දෑ යහපත. රජ ගෙයි දී මා සඳහන් කරව’යි කිවුය. උයිත් සඳහන් කැරවූය. රජ්ජුරුවෝ ලක්‍ෂ වටිනා පලස් දෙකක් බමුණානන්ට දෙවූහ. බමුණානෝ ද දන් දීමට සිත නැමී ගොසින් ‘මේ පලස් මාගේ කුණු ශරීරයෙහි ගාන්ට තරම් නො වෙයි. බුදුන්ගේ සුගන්ධ ශරීරයට ම තරමැයි එක් පලසක් ගඳ කිළිය ඇතුළේ වියනක් කොට බඳවා ලූය. එකක් තමන්ගේ ගෙයි දී නිරන්තර වළඳන තැනැත්තන් වහන්සේ වළඳන්ට හිඳිනා තැන වියනක් කොට බඳවා ලූ ය. රජ්ජුරුවෝ සවස් වේලේ බුදුන් ළඟට අවුත් පලස හැඳින ගෙන ‘ස්වාමීනි, මේ පලස පිදුවෝ කවුරුදැ’ යි විචාරා එක් සළු බමුණානන් නියා ව වදාළ කල්හි ‘බමුණානෝ මා පහන් තැනම පහන්නු ය’ යි උන් කෙරේ පැහැද ඇතුන් සතර දෙනකු ය, අසුන් සතර දෙනකු ය, මසුරන් සාර දාසෙක, පාදපරිචාරිකා කොට ගෑනුන් සතර දෙනකු ය, කෙල්ලන් සතර දෙනකු ය, කොල්ලන් සතර දෙනකුය, ගම්වර සතරෙකැයි යමෙක් යමෙක් මිනිසුන්ට ප්‍රයෝජන වී නම් ඒ සියල්ලෙන් සතරක් ඔබාදීන් දෙවූහ.
ධම් සෙබෙහි රැස් ව හුන් වහන්දෑ ත් ‘සුළු එක් සළුවන්ගේ කටයුත්තක් ඉතා ආශ්චර්‍ය්‍ය නියා ය. එක් උතුරු සලුව දී ලා පිළි එක් සිය ස විස්සක් ලදින් ඉන් එක් සිය දෙ විස්සක් බුදුන්ට දී ලා ගණනින් මඳ වුව ත් අගයෙන් බොහෝ ව තිබෙන පලස් දෙකක් ලදින් එය ත් ශාසනයට ම නිල කොට දී ප්‍රයෝජනවත් සියල්ලෙන් සතරක් සතරක් ලත්හ. තැන කොට ගත් කුසල හෙයින් අදම විපාක දිනැ’ යි කථාව ඉපදවූ සේක. බුදුහු එ තැනට වැඩම කොට නො නිමි කථාව විචාරා වදාරා මේ කථාව නියාව දැන ‘ඉදින් මේ එක් සළු බමුණු දෙන්ට සිතූ ගමනේ ලැසි නො ගෙන පෙර යම දී පි නම් සියල්ලෙන් සොළොස සොළොස ලද්දේ ය. එසේ දී ගත නොහී ඉන් පිරිහිණ. ඉදින් මධ්‍යම රාත්‍රියෙහි දී පි නම් සියල්ලෙන් අටක් අටක් ලද්දේ ය.
එ සේ දී ගත නො හී ඉන් පිරිහිණ. අළුයම ත් ගෙවා පාන්දඩ දී ලූ හෙයින් රාත්‍රි ය ගෙවුණා සේ අරත් ගෙවී සියල්ලෙන් සතර සතර ලද පින් කරන කළ නම් උපන් අදහස නො පිරිහෙළා එ විට ම කටයුතු ය. ගිහි වුවො ත් ලාබ ත් දීම් ආදි වූ පින් කම් සෙසු කෙනකුන් පෙරාතු නො වන ලෙසට මම පෙරාතු වෙමි’ යි වහ වහා කට යුතු ය. ශාසනික වුවත් අන් තැනකට අවසර නො පෑ උපාධ්‍යාය වත් ආදි ය වහා කට යුතු ය. පිනට මතු නො හිඳ පවකට නැමෙන සිතත් වැට කොට ගොයම් බිමින් සරක් නවතන්නා සේ නවතා කුසල්හි පිහිටවිය යුතු. සෙවෙල් ගලක යන ගමනක් සේ දෙම් දෝ නො දෙම් දෝ කෙරෙම් දෝ නො කෙරෙම් දෝ හෝ’යි ලැසි ගෙන පින් කරන්නවුන්ගේ සිත නම් ගෙවල් ඉදි කරන කල ආයාසය සේ පිනට සිත නමන්ට ආයාස බව මුත් නඟා ලූ ගෙයක් ගිනි ලන්ට පිළිවන් වන්නා සේ පවට සිත නමා ලීම නිරායාස හෙයින් වහා පවට සිත නැමෙයි. එ සේ හෙයින් පිනක් කරන්ට සිත නැමුණු කල එ සිත නොපසුබස්වා -
“අජ්ජෙව කිච්චං ආතප්පං - කො ජඤ්ඤා මරණං සුවෙ,
නහි නො සඞ්ගරන්තෙන - මහාසෙනෙන මච්චුනා”
යනු හෙයින් එ ම එක් වන් සඳහන් කෙරෙමින් ලැසි ගැන්මෙන් පවට නැමෙන සිත ත් පිනට නමා පින් කට යුතු ය’ යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එහෙයින් නුවණැත්තවුන් විසින් කරණ පින් කමට ලැසි ගැන්මෙක් ඇත් නම් ඒ එක් පවක් කොට සිතා ගෙන ඒ පවිනු ත් සෙසු පවිනුත් දුරු ව පින් කම් හැසිර ලොවී ලොවුතුරා සැපත් සිද්ධ කට යුතු.