තව ද ප්‍රතිපත්ති පූරණයෙහි උත්සාහ වඩනු නිසා බහුපුත්තික ස්ථවිරීන්දෑ ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
සැවැත් නුවර එක් කුල ගෙයක පුතුන් සත් දෙනකුන් හා දූන් සත් දෙනෙක් ඇත. ඌ හැම දෙන ම වැඩි විය පැමිණ ගෙවල් දොරවල් ඇති ව සුවෙන් ජීවත් වෙති. කල් යෑමක දී පියාණෝ මළෝ ය. මෑණියෝ තුමූ සම්පත බෙදා නො දෙති. දරුවෝ තුදුස් දෙන ‘මෑණියන් වහන්ස, අපගේ පියාණන්දෑ නට පසු මේ සම්පත මුඹ දෑ ම තබා ගෙන හිඳීමෙන් ප්‍රයෝජන කිම්ද? සම්පත බෙදා දුන ත් ගිනි පිඹගෙන පෙනෙල්ල දැමුවා සේ කරමෝද? නො රකු
මෝ දැ’යි කිවු ය. ඌ උන් හැමගේ කථා අසාත් බැණ නො නැඟී හිඳ එක්වන් ම බෙදීමේ දෑ කියන හෙයින් සම්පත නො බෙදා තබා ජීවත් වන්ට ගන්නා ආයාස බලා ත් බෙදා දී ලා දරුවන් නිසා ම ජීවත් වෙමී සිතා සියලු සම්පත් දෙකක් කොට බෙදා ලා එක් කොටසක් පුතුන්ට දී ලා, එක් කොටසක් දූන්ට දුන්හ.
කීප දවස ක් ගිය කලට කරණ සංග්‍රහ දක්නා නිසා වැඩි මාලු පුතණුවන්ගේ ගෙට ගියහ. ගිය නැන්දණියන්ට යේළණියෝ ‘අපගේ නැන්දණියන් දෑ වැඩි මාළු පුතණුවෝ ය යි වඩා දීලූ දෙයක් ඇති සැටියේ තෝරා ලා මේ ගෙට ම එන්නේ ඉන් වේ දැ’යි කිවුය. සෙසු පුතුන්ගේ අඹුවෝ ත් තම තමන්ගේ ගෙවලට ගිය කල කථා කොට ගත්තා සේ එ සේ ම කිවු ය. පුතුන්ගෙන් ලද සාද පමණක් හෙයින් දූන්ගෙන් සාද විඳිනා නිසා දූන් සත් දෙනාගේ ගෙවලට ගොසිනු ත් මූණු ගසා කියන බස මු ත් සංග්‍රහයක් නො ලත්හ. ඌ තුමූ ලත් සංග්‍රහ නැත ත් ලජ්ජා ඇති ව ‘මුන් ළඟ රඳා කිම් ද? මෙහෙණි ව ජීවත් වෙමී’ සිතා මෙහෙණවරට ගොසින් තමන් මහණ කරන්ට කිවු ය. උයි ත් උන් මෙහෙණි කළහ. උපසම්පදාව ත් ලදින් බහුපුත්තික ස්ථවිරී යි ප්‍රසිද්ධ වූහ.
මෙහෙණිණිවත් ‘මම වැඩිමාලු කල මහණ වීමී. නොපමාවුව මනා වේ දැ යි වත පිළිවෙත ත් නො පමාව තුන් යම් රාත්‍රි ය මුළුල්ලෙහි ත් මහණ ධම් කෙරමී’ කියා යට මාලේ ටැඹක් අතින් අල්වා ගෙන වට කොට ඇවිද මහණ ධම් කරණ දෑ ය. සක්මන් කරන කලත් රුක්වල ඉස ඇනී යේ දෝ හෝ යි රුක අතින් අල්වාගෙන සිසාරා ඇවිද ථිනමිද්ධයට අවසර නො පා භාවනා කරන දෑ ය. බුදුන් වදාළ පිළිවෙත් ම කරන ඇල්මක් මිස ශරීර ඵාසුවට ආල ය නැති ව මහණ ධම් කරණ දෑ ය. බුදුහු ත් ගඳ කිළියේ වැඩ හිඳ ම භාවනාවෙහි පවත් විචාරන්ට යවන කෙනකුන් මෙන් රස් කඳක් විහිදුවා ලා ළඟ වැඩ හිඳ කථා කරන්නාක් මෙන් ‘බහුපුත්ති කාව, යම් කෙනෙක් පර්යාප්ති - ප්‍රතිපත්ති - ප්‍රතිවෙධ වශයෙන් ත්‍රි විධ ධර්‍ම ය නො සලකා ඒ වූ ලෙසින් නො පැවත හවුරුදු සියයක් ජීවත් වත් නමුත් ඊට වඩා එක ඇසිල්ලෙක වුව ත් සියල්ලක් ම මුල් එම හෙයින් ම ධර්‍මය වූ ලෙස පවති ත් නම් එ ම යහපතැ’යි වදාළ සේක. දේශනා කෙළවර බහුපුත්තික ස්ථවිරීන්දෑ පිළිසිඹියා පත් රහත් ව පුත්‍ර ධන ය හැර අවුත් ආර්‍ය්‍ය ධන ය ලත් දෑ ය.
එ හෙයින් නුවණැත්තවුන් විසින් කෙතෙක් ධන ධාන්‍ය සම්පත් වුව ත් උපද්‍රවයක් විනා නිරුපද්‍රතාවක් ඉන් සම්භ නොවන හෙයින් එහි ඇලුම් හැර යම් සේ වේයෝ ගොදුරු සොයා යන කල තමන් වසා වේ පස් බැඳීමෙන් සැඟවි ගෙන භෙද්ද-එමෙන් දාන ශීලාදී සුචරිතයෙන් අකුසල් වසා-තවද යම් සේ බළල්ලු, කොතැනකට ගියත් මීයන් ම සොයද්ද උන්ට සිතිවිලි නම් ඒ මද, එ පරිද්දෙන් කවර කො තැනක දී ත් කුසල් අදහස් ඇති ව, තව ද යම් සේ ගෝනුස්සෝ තමන්ගේ නඟුට ම ආයුධ කොට තකත් ද, එ මෙන් නුවණ ම අත ආයුධයක් සේ සිතා ගෙන, තව ද යම් සේ මුගටියෝ නයින් කරා වදනා කල බෙහෙත් ගස්වල ගෑවී පියා යෙත් ද, එ මෙන් ක්‍රෝධ නමැති සර්පයන්ට මෛත්‍රී නමැති බෙහෙත් ඇති ව, තව ද යම් සේ කැණහිල්ලු කුමන අපවිත්‍රයක් ලද ත් පිළිකුල් නැත්තෝ ද එ මෙන් කවුරුන් කෙරෙහි ත් හීලන ය නැති ව -
තව ද යම් සේ මුවෝ අඩ යටි ආදිය දමා ලූ කළ වලහා පියත් එ මෙන් අවුත් වදනා අකුසලින් වැළහී, තව ද යම් සේ මුවෝ මඳ දෙයකට ත් බත් ද, එ මෙන් මඳ වරදට ත් භය ඇති ව, තව ද යම් සේ ගෙරි සරක් තමන්ගේ පට්ටිය නො හරිත් ද, එ මෙන් හැසිරිය යුතු කුසල් අත් නො හැර, තව ද යම් සේ එ ම ගෙරි සරක් යත යොදා ලූ කල උනා හරනා තෙක් අත් නො හරිත් ද, එ මෙන් මිය සැව වන තෙක් ශීල සංරක්‍ෂණ ය අත් නො හැර, තවද යම් සේ හූරෝ ගිම් තද වේලේ ඇඟ සීල් කරන්ට පැන් ඇති තැනකට යෙත් ද, එ මෙන් ක්‍රෝධ නමැති ගිම් දැඩි වී නම් මෛත්‍රී නමැති පැන් කරා එළඹ ක්‍රෝධ ගිම් සන්හිඳුවා, තව ද යම් සේ ඇත්තු යන ගමනින් පොළොව දැදුරු කෙරෙත් ද, එ මෙන් අකුසල් මැඬ මිරිකා, තව ද ඇත්තු බලන බලන දෙයක් ඉඳුරා ම බලත් ද, එ මෙන් දක්නා යම් දෙයක් නුවණින් ම බලත් මුත් නුනුවණින් නො බලා, තව ද යම් සේ ඇත්තු නෙළුම්-ඉපුල් මහනෙල් ආදිය ඇති විල්වලට බැස පියා කෙළිත් ද, එ මෙන් අති පවිත්‍ර වූ සදහම් දියෙන් පිරුණු විමුක්ති නමැති පස් පියුමෙන් සුසන් සිහිවටන් පොකුණට බැස නුවණ කෙළි කෙළ, තව ද යම් සේ ඇත්තු සිහි ඇති ව ම පා තබත් ද සිහි ඇති ව ම පා උදුරත් ද, එ මෙන් හැම වේලෙහි ම සිහි නුවණ ඇති ව ම -
තව ද යම් සේ සිංහයෝ පවිත්‍රශීලීහු ද එ මෙන් නිරන්තරයෙන් ම, පවිත්‍ර වූ අදහස් ඇති ව, තව ද යම් සේ සිංහයෝ තුමූ නසිත් නමුත් අනුන්ට යටත් නො වෙත් ද, මෙන් කවර ලෙසිනු ත් අකුසලයට යටත් නොව, තව ද යම් සේ සිංහයෝ ගොදුරු නිසා යම් තැනකට පිනූ නම් කුමක් වුව ත් එ තැනින් සම්භ වූ දෙයක් අනුභව කෙරෙත් මුත් තුල් තුල් දෙයක් නිසා එ දවස් අනික් තැනට නො යෙත් ද, එ මෙන් දෛවානුරූප ව නිර වද්‍ය ව සම්භ වූ දෙයකින් ජීවත් වත් මුත් අත්‍රිච්ඡතාදි ය නිසා අකුසල්හි නොහැසිර, තව ද යම් සේ සක්වා ළිහිණියෝ දිවි හිමියෙන් දෙන්නෙක් මුත් තනි ව නොඇවිදිත් ද එ මෙන් දිවි හිමියෙන් කුසලින් වෙන් නො ව, තව ද යම් සේ එ ම සක්වා ළිහිණියෝ ප්‍රාණ වධ නො කෙරෙත් ද එ මෙන් ප්‍රාණ වධ මුඛයෙන් පස් පව්හි නො හැසිර, තව ද යම් සේ පරවියෝ කවර ගෙයක හුන්න ත් ඒ ගෙයි සම්පත ඇලුම් නැත්තෝ ද, එ මෙන් අනුන් සන්තක දෙයෙහි ආල ය නැති ව, තව ද යම් සේ බකමූණෝ කවුඩන් හා වෛර ඇති ව රෑ දවස් කවුඩන් කරා ගොසින් බොහෝ කවුඩන් මරත් ද, එ මෙන් නුවණින් නුනුවණ නසා, තව ද යම් සේ කෑරලු හැඬීමෙන් අනුන්ට වන වැඩ අවැඩ හඟවත් ද එ පරිද්දෙන් ලාභ සත්කාර නිරත නො ව බණ කියා පින් පව් හඟවා, තව ද යම් සේ වවුලෝ ගෙවලට වන් කල ඇවිද පියා නැඟී යෙත් ද, ඒ ගෙයි කිසිවෙක ඇලුම් නැත්තෝ ද, එ මෙන් දුටු දෙයක් දුටු පමණකින් හරුත් මුත් එහි ගෙධ නූපදවා-
තව ද යම් සේ වවුලෝ අනුන්ගේ ගෙවල හිඳිනා කල ඊට හානි නො කෙරෙත් ද එ මෙන් ඇසිරු කළවුන්ට හානි නො සිතා, තව ද යම් සේ පූඩැල්ලෝ යම් තැනක් ඩෑ ගත්තු නම් ඒ තැන ම ඩෑ ලේ බොත් මුත් ඒ ඒ තැන් නො ඩාත්ද, එ මෙන් යම් යම් තැනක් භජන ය කළොත් නො නිසි තරමක් දුටොත් මුත් අන් භජන ය නැති ව, තව ද යම් සේ සර්පයන් ගමන් යන කල බඩගා යෙත් ද අන් ගමනෙක් නැද්ද එ මෙන් නුවණින් යන ගමන් මුත් අන් ගමන් නැති ව, තව ද යම් සේ සර්පයන් යන කල බෙහෙත් වළහා යෙද්ද එමෙන් සතර ඉරියවුවෙන් ම පව් වළහා, තව ද යම් සේ සර්පයන් මිනිසුන් දුටු කල බත් ද එ මෙන් පාපයෙහි ආදීනව දැක පවු බා, තව ද යම් සේ පිඹුරෝ මහකුස් ඇති හෙයින් කුස පුරා ලබන්ට නැති වන්නා මඳෙකින් ම යැපෙත් ද, එ මෙන් තෘෂ්ණාව නුපුරා, තව ද යම් සේ දිවි මකුළුවෝ මඟ අවුරා දැල්බැඳ ලා මැසි මදුරු ආදීන් ඊ බැඳුණවුන් ම කත් ද එ මෙන් චක්ෂුරාදි වූ ස දොර සිහිවටන් නැමැති දැල බැඳ ලා කෙලෙස් නමැති මැසි-බූවණු ආදීහු බැඳුණ වු නම් භාවනා මුඛයෙන් සපා කා නිමවා කෙළවර නිවන් රස අනුභව කට යුතු.
________