තව ද කවරේට ත් නුවණම පිහිට වන නියාව හඟවන්ට කිසාගොතමීන්දෑ ගේ වස්තුව දක්වමු.
කෙසේ ද යත්-
සැවැත් නුවර එක් සිටාණ කෙනකුන් ගේ ගෙයි සතළිස් කෙළක් පමණ වස්තුව උන්ගේ එ බඳු අකුශල කර්‍ම ශේෂයකින් අඟුරුව පියා සිටියේය. සිටාණෝ ඒ දැක මුසුප්පු බලවත්ව ගොසින් බත් කෑමුත් නැති ව හැඳට නැඟී ලා වැද හොත්තෝ ය. උන්ගේ යාලුවාණ කෙනෙක් උන්ගේ ගෙට අවුත් ‘සබඳ, මුසුප්පු හැයිදැ’යි විචාරා එ පවත් අසා ‘සබඳ, ඒ නිසා මුසුප්පු නො වව, අඟුරු වූයේ ත් සම්පත් ම වේද, උපදෙසකින් සම්පත් ම වේ නමුත් ඵ ම අඟුරු වේ ද, ඒ අඟුරු සම්පත් වන්ට නිසි උපදෙසක් දනිමි රත්රන් රිදී නො වන දෙය පවා උපදෙස් බලයෙන් රත්තරනු ත් කෙරෙති. රිදීත් කෙරෙති. තොපිත් මා කී උපදෙස කරව’යි කිවුය. කුමක් කෙරෙම් දැ’යි විචාළ කල්හි ‘තොපගේ සල්පිල්වල කළාල් පැදුරු අතුරුවා ලා ඒ අඟුරු ගෙන්වා ගොඩ කරවා ලා අඟුරු විකුණන කෙනකුන් මෙන් හිඳුව එතැනට ආ ආ කෙනෙක් සෙස්සෝ තෙල් මී සකුරු පිළී ආදිය තබා ගෙන විකුණති. තෙපි අඟුරු තබා ගෙන විකුණව’යි කියත් නම් තොපි උන්ට ‘මට ඇති දෙය නො විකොට කුමක් විකුණෙම් දැ’යි කියව.
යම් කෙනෙක් ආ කල ‘සෙස්සෝ පිළී ආදිය තබා ගෙන විකුණති. තෙපි රන් රිදී තබා ගෙන විකුණව’යි කිවු නම් ‘රන් රිදී කොයි දැ’යි උන් අතින් විචාරා මේ මේ ය යි කී කල්හි ‘ඒ මෙ සේ දෙව’ යි උන් ලවා ගෙන්වා තොප අතට ඇර ගනුව. එසේ උන් දෙන දෙන දෙය තොප අතට පැමිණ ත් තරයේ ප්‍රසිද්ධ විය නො හෙන්නා සේ රත්රන් රිදී ම වෙයි. ඉදින් තොප අතට දුන් තැනැත්තෝ කුමාරිකා කෙනෙක් වූ නම් උන්ගේ වසයෙනුත් සම්පත තරවනු නිසා උන් ගෙන්වා තොපගේ පුතණුවනට පාවා දෙවා ලා සතළිස් කෙළක් වස්තුව ත් ඒ කුමාරිකාවන්ට ම නතු කොට දෙවා ලා උන් දුන් දෙයක් ප්‍රයෝජන විඳුව. ඉදින් තොපට රත්රන් ආදි ය දුන් තැනැත්තෝ කුමාර කෙනෙක් වූ නම් තොපගේ වැඩිවිය පැමිණි දුවණියන් උන්ට පාවා දෙවා ලා සතළිස් කෙළක් වස්තුව ත් යේළණියන්ට පාවා දුන්නා සේ බෑණනුවන්ට ත් පාවා දෙවා ලා උන් දී ලූ දෙයක් හැර ගෙන ප්‍රයෝජන විඳුව. මෙ ලෙසින් මු ත් තොප සන්තක කොට තබා ප්‍රයෝජන විඳිනට නො සිතව’ යි කිවු ය.
උයි ත් උපදෙස් යහපතැ යි සල් පිළ පිට අඟුරු ලවා ලා විකුණන බඳු ව ලා හුන්න. එ කල ශරීර ය අතිදුර්‍වල හෙයින් නමින් කිසාගෝතමී නම් වුවත් පිණින් දුර්‍වල නො වන ඉතා දුප්පත් කුමාරිකා කෙනෙක් එක්තරා කටයුත්තක් නිසා සල් පිළ කරා ගිය තැනැත්තෝ සිටාණන් දැක ‘සෙස්සන් පිළි ආදි ය තබා ගෙන විකුණන කල මුඹ දැන් රත්රන් තබා ගෙන විකුණන්නේ හැයි ද? සෙස්ස විකොටත් එවා ගත මනා දෙය වේ දැ’යි කිවු ය. ‘පුතණ්ඩ, රත්රන් කොයි දැ’යි විචාළ කල්හි ‘මඟ යෙමින් සිට ම මඟ කොයි දැ යි තමන් විචාරන්නා සේ තෙලෙ තබා ගෙන හිඳිනා ගොඩවල් රත්රන් වේ දැ’යි කිවු ය. ‘එ සේ වී නම්, පුත, ඉන් යමක් ගෙනවුත් මා අතට දෙන්නැ’යි කිවු ය.
ඉන් අඟුරු මිටක් කුමාරිකාවන් අතට හැර ගන්නා ම පිළින්දිවච්ඡ සාමීන්ගේ ඍද්ධ්‍යානුභාවයෙනු ත් ආරාමිකයන්ගේ කුශලානුභාවයෙනු ත් ඈ තමා අතට හැරගත් සුම්මාඬිය රන්මාලා වූවා සේ ම කුමාරිකාවන්ගේ කුශලානුභාවයෙන් රත්රන් විය. සිටාණන් අත ලූව ත් අඟුරු නොව රත්රන් විය. සිටාණෝ ද ‘පුත, තොපගේ ගෙය කොයි දැ’ යි විචාරා ලා අසවල් ගේ ය යි කී කල්හි සරණ විචාළවුන් ඇති නැති නියාව ත් විචාරා විවාළවුන් නැති නියාව ත් දැන අය වියදම් කරවා උන් තමන්ගේ පුතණුවන්ට ගෙන්වා පාවා දී සතළිස් කෙළක් වස්තුව ත් දායාද කොට උන්ට ම දුන්හ. අඟුරු ගොඩවල් රත්රන් රිදී ගොඩවල් වී ය.
සරණ ආ නොබෝ කලකින් උන් බඩ අල්පායුෂ්ක දරු කෙනෙක් පිහිටා දස මස් අයාමෙන් දවස් ගත ව ආ කෙනකුන් මෙන් පුතණු කෙනෙක් උපන්හ. ඌ පියවර ඔසවා ඇවිදිනා අවධියේ මළෝ ය. කිසාගෝතමීන් තමන් පෙර මළ කෙනකුන් නුදුටු විරූ හෙයින් දවන්ට හෝ වළලන්ට හෝ ගෙන යන පුතණුවන් රඳවා ලා ‘ම පුතුන්ට බෙහෙදක් විචාරමී’ මළ දරුවන් කර හොවා ගෙන ‘කුමක් ද? ම පුතුන්ට බෙහෙත් දනු දැ’යි ගෙයක් ගෙයක් පාසා විචාරා ඇවිදිති. ‘මළ දරුවන්ට බෙහෙත් විචාරන්නේ පුත තොපට විකාර ඇති නියා දැ’ යි ඇසු ඇසුවෝ විචාරති. කවුරුන් කුමක් කීව ත් ඌ තමන් විචාරන බෙහෙත් ම විචාරති.
එක් නුවණැති කෙනෙක් මුන් දැක ‘කුළුඳුල් දරුවන් හෙයින් දෝ මුන් මළ දරුවන් නුදුටු විරූ නියාය. මා මුන්ට පිහිට වුව මනා වේ දැ’ යි සිතා ‘මම, පුත, එ බඳු බෙහෙත් නො දනිමි. බෙහෙත් දන්නා තැනක් දනිමී’ කිවු ය. ‘පියාණන් වහන්ස, බෙහෙත් දන්නෝ කවුරුදැ’යි විචාළෝ ය. ‘පුතණ්ඩ, තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සියල්ල දත්තෝ බෙහෙත් පිළියම් හැර නො වන්නෝ වේ ද? ඔබ සියල්ලකට ම බෙහෙත් දන්නා සේක. ඔබ ගොසින් විචාරව’ යි කිවු ය. යහපතැ යි කියා බුදුන් කරා එළඹ වැඳ ලා එකත් පස් වසිට ‘ස්වාමීනි, මුඹ වහන්සේම පුතුන්ට බෙහෙත් දෙන්නා සේක් දැ’යි විචාළෝ ය. ‘සියලු ලෙසින් නො මීයන ජාති ජරා ව්‍යාධි නැති වන බෙහෙත් දන්නමෝ තෙල විතරක් නො දනුමෝ ද? දනුම්හ’යි වදාළ සේක.
වුව මනා කුමක් දැ යි විචාරා ‘හබ අඩ කුළුඳුල්ලක් විතර වුව මැනැවැ’යි වදාළ කල්හි’ ඒ වන්නා සෙවිය හැක්කේ වේ ද? කෙ සේ වූ තැනෙකින් ගෙනෙම් දැ’යි විචාළෝ ය. මුන්ගේ ඥාන ශක්ති ය හබ ගෙනෙන්ට වදාළ බස් පමණකින්ම හබ සොයා නො ගොසින් ආද්‍යන්ත විචාල ගමනින් ම දත යුතු ය. ‘හෙම්බා ගෝතමීනි, දුටු පාඩු ගෙවලින් නො කැමැත්තේ ය. යම් කෙනකුන්ගේ ගෙයි දුවණි කෙනෙක්වත් පුතණු කෙනෙක් වත් නො මළෝ නම් එසේ වූ ගෙයකින් ගෙනෙව’යි වදාළ සේක. උයි ත් යහපතැ’යි ගිවිස බුදුන් වැඳ ලා මළ දරුවන් කර හොවා ගෙන ඇතුළු ගමට වැද ලා පළමු වන ගෙ දොර සිට ‘මේ ගෙයි හබ ඇද්ද? ම පුතුන්ට ඉන් බෙහෙත් ඇතැ’යි කියා ඒ ගෙයි ඇත්තවුනු ත් ඇතැ’යි කී කල්හි ‘එ සේ වී නම් දුන මැනැවැ’යි කිවු ය. උන් හබ ගෙනා කලට ‘මේ ගෙයි පුතණු කෙනකුන්වත් දුවණි කෙනකුන් වත් මළ විරූ නැද්දැ’යි විචාරා ‘පුත. කුමක් කියවුද? ජීවත් වූවන් විතරට මළෝ ම බොහෝ වෙත් දැ’යි කී කල්හි ‘එසේ වී නම් තෙල හබ ම පුතුන්ට බෙහෙත් නො වෙයි’ කියා ලා පෙරළා දුන්හ.
මෙ ලෙසින් ගම මුළුල්ලේ ම විචාරා ඇවිද එක ගෙයකිනු ත් වදාළ ලෙසට හබ නොලදින් සවස් වේලේ දී ‘අනේ කටයුත්තක් බැරි නියාය. මම, ම පුත්තු ම මළෝ ය’යි සිතා හිඳිමි. ගම මුළුල්ලේ ම හුන් දූන් පිතුන්ට වඩා මළෝ ම බොහෝ ල’යි සිතන කලට ඒ ලෙඩට බෙහෙද විනා අනික් බෙහෙදක් නැති බැවින් පුත්‍ර ස්නේහ නැමැති ලෙඩත් යන්තම් විතරක් තබා සන්හුණ. ප්‍රේම මූලික වූ ශෝක සන්හිඳෙත් සන්හිඳෙත් ළය ත් තද වී ය. ඌ තුමූ උද්ධු මාතක පිළිකුල ඒ අවස්ථාවෙන් පැන පු කලට හරනා යෝගාවචරයන් මෙන් පුතණුවන් වල දමා පියා බුදුන් ළඟට ගොසින් වැඳ එකත් පස් ව සිටියෝ ය. බුදුහු ත් නො ලැබෙන නියාව දැනෙතත් ‘හබ සුඟක් ලදු දැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, නො ලද්දෙමි. ගම මුළුල්ලේම නොමළ දුන් පුතුන් විතරට මළෝ ම බොහෝ ය’යි කිවු ය.
‘අප කියා ලූ බෙහෙත් බඩු සපයා දී ලිය නො හෙන කල අප කරන්නේ කිම්ද? යම් සේ එ බඳු හබයක් ලද නොහැකි ද-එලෙසින් මළවුන්ට ත් කළ මනා බෙහෙත් නැත. කරතොත් කළ මනා තමා නො මියන්ට බෙහෙදෙකැ’යි වදාරා විසි වන මග්ග වගින් ගාථාවක් වදාළ සේක. ගාථා කෙළවර කිසාගෝතමී සෝවාන් වීමෙන් නිවන් බෙහෙත් අනුභව කොට සත්කායදෘෂ්‍යාදි වූ ලෙඩ තුන ත් නැති කළහ. සෙසු ත් බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියහ. සෝවාන් ව ජාති දුක්ඛාදි රෝග පිළියම් ශාසනික ව කරණු කැමති ව මහණ කරන්ට ආරාධනා කළහ. බුදුහු මෙහෙණින්නන් ළඟට යවා මහණ මහලු පැවිදි කැරවූ සේක. මාලු පැවිදි ලදින් කිසාගෝතමී ස්ථවිරින්දෑ ය යි ප්‍රසිද්ධ වූ දෑ ය.
උන්දෑ එක් දවසක් පොහෝ ගෙයි වත් මුර ය පැමිණ පාන් පුදා ලා හුන්දෑ පහන් දැල් සිඳෙන නියාව ත් ප්‍රබන්ධෝත්පත්ති වශයෙන් උපදනා නියාවත් දෑක ‘මේ සත්‍වයෝත් භවොත්පත්තිය නවතා ගත නුහුනු නම් උපදිති. උපන්නවුන්ට මරණ එකාන්ත භාවී හෙයින් මියෙති. අනුපධිශෙෂ නිර්‍වාණ ධාතුයෙන් නිවියාහු ම නො පෙනෙති. ඇවිළෙන පහන ම පෙවූ අතට සම්භ වූ ආයුධයක් මෙන් අරමුණු කළහ.
බුදුහු ත් ගඳ කිළියේ වැඩ හිඳ ම රස් කඳක් අභිමුඛයට විහිදුවා ලා ළඟ වැඩ හිඳ කථා කරන්නාක් මෙන් ‘ගොතමීනි, ඒ එ සේ මය “මේ සත්‍වයෝ නම් විඥප්තිරූප හා ලක්‍ෂණරූප හැර සෙසු රූපයන් චිත්තක්‍ෂණ සතළොසකට මුත් වඩා ආයු නැති හෙයිනු ත් අරූප ධර්‍මයන් උත්පාද, ස්ථිති, භඞ්ග සඞ්ඛ්‍යාත ත්‍රිලක්‍ෂණයෙහි මුත් වඩා නො පවත්නා හෙයිනු ත් ක්‍ෂණික මරණිනු ත් සන්තති මරණිනු ත් මියෙති. මළාහු උපදිති. නිවනට පැමිණියන්ට කලෙක දී වුවත් ඒ නැත. එ හෙයින් යම් කෙනෙක් නිවන් නො දැක මෙ වක පරමායු වශයෙන් සියක් හවුරුදු ජීවත් වත් නමුත් ඉන් ප්‍රයෝජන නැත. එක දවසක් වුව ත් නිවන් දැක ජීවත් වීම ම අපාය භය නැති හෙයින් සංසාර භය තුනී හෙයින් එ ම යහපතැ’යි වදාළ සේක. දේශනා කෙළවර කිසාගෝතමීන්දෑ හුන් තැන හිඳ ම පිළිසිඹියා පත් රහත් ව ශරීර ය කිස වුව ත් ගුණ පුෂ්ටි ය එවා ගත් දෑ ය.
එහෙයින් සත්පුරුෂයන් විසින් ශරීර පුෂ්ටි ය නැත ත් චිත්ත පුෂ්ටි ය ඇති ව අකුසලින් දුරු ව කුසල්හි පිහිටා ගුණපුෂ්ටි ය එවා ගත යුතු.