තව ද කළ පින් ඇත්තවුන්ට ත් අවසර ලත් අකුශලයාගේ වශයෙන් වන ආපද් දක්වනු නිසා පටාචාරා වහන්දෑ ගේ වස්තුව කියමු.
කෙ සේ ද යත් -
සැවත්නුවර සතළිස් කෙළක් විචර වස්තු ඇති සිටාණ කෙනකුන්ගේ දුවණි කෙනෙක් ඇත. මනහර වූ රූ ධරති. උන් සොළොස් හැවිරිදි වයස දී මිථ්‍යාචාරයෙන් නවතනු නිසා සත් මාල් පායේ උඩු මාලේ ශ්‍රී යහන් ගබඩාවෙක ලා රකිති. එ සේ වුව ත් ඌ තුමූ තමන්ගේ ම ගෙයි කොල්ලකු හා බැඳී වෙසෙති. උන්ගේ දෙමවුපියෝ ජාතීනු ත් සම්පත්තීනු ත් සම තරම් වූ සිටු පුත්‍රයාණ කෙනකුන්ට සරණ දෙන්ට නියම ව දවස් නියම කළහ. නකත් දවස් උදවු කලට සිටු දුවණියෝ බැඳී වසන කොල්ලාට කියන්නෝ ‘මා අසවල් දවස් අසවල් සිටු පුත්‍රයාණන්ට සරණ දෙති. මා උන් කරා සරණ ගිය කල පඬුරක් හැර ගෙන ගිය නමුත් ඔබිනු ත් වෙන ම රකවල් හෙයින් දක්නා පමණකට ත් නොලබව. ඉදින් මා කෙරෙහි ප්‍රේමයෙක් ඇත් නම් ඔබ නොයන තෙක් දැන් ම මා කැඳවා ගෙන කැමති තැනකට යව’යි කිවු ය. උයි ත් යහපතැ යි ගිවිස ‘එ සේ වී නම් මම සෙට දවස් නුවර වාසල කෙරේ අසවල් තැන සිටිමි. මුඹත් එක් උපදෙසකින් කාට ත් නො හැඟෙන ලෙස එ තැනට අව මැනැවැ’යි කියාලා දෙ වන දවස් කියා ලූ තැන ම සිටියහ.
සිටු දුවණියෝ ද දෙ වන දවස් කිලුටු අදහස් සේ ම කිලුටු කඩරෙද්දක් කොයින් දෝ සොයා හැඳ ගෙන මිඬියන්ගේ ලෙසට ලීල් කොට හිස කේ බැඳ ගෙන රෑ දෙ වරු වී පෑරියා සේ ඇඟ මුළුල්ලේ ධූලි ගා ගෙන කළයක් හැර ගෙන පැනට යන කෙල්ලක මෙන් කෙල්ලන් හා එක් ව ගෙන් පිටත් ව මිඬි වෙස් ගත් ලෙසට කොල්ලා සිටින තැනට ගියහ. ඒ කොලු ද ක්‍රියාවෙන් කුමක් වුව ත් ජාතීන් හා සම්පත්තීන් උතුම් තරම් ඇති සිටු දුවණියන් රෙදි කඩකින් වසා ලූ මැණිකක් පරිද්දෙන් කැඳවා ගෙන දුරට ගොසින් එක් ගමෙක රඳා හිඳ අයට අඳයට සී සා ගෙන, වප් වපුට ගෙන දර පලා ගෙනවුත් ජීවත් වෙති. සිටු දුවණියෝ ද කුස රජව උපන් බෝසතුන් ප්‍රභාවතියන් නිසා නිකෘෂ්ට ලෙසින් හැසුරුණු නියාවට හුදෙක් පිරිමිහු ම ගෑනුන් නිසා නිකෘෂ්ට ලෙස ඇවිදිනෝ නොවෙති. ගෑනුත් පිරිමින් නිසා නිකෘෂ්ට ලෙසින් හැසිරෙති යන්න හඟවන්නාක් මෙන් කළයෙන් පැන් ගෙනවු ත් තබමින් සිය අතින් ම පරමන් පිසමන් ආදි ය කෙරෙමින් තමන් යට කළ අකුශලයෙහි අනිෂ්ට විපාක ය වී බත් කමින් සිට, හමු බත් කන්නා සේ අනුභව කරන්ට පටන් ගත්හ.
ඉක් බිත්තෙන් උන්ගේ බඩ දරු කෙනෙක් ඇති වූ ය. වදන අවස්ථාවෙහි දී ‘මෙ තැන අපගේ නෑසිය කෙනෙක් නැත. දෙමවුපියෝ නම් දරුවන් ගේ කවර තරම් වරදක් ඇත ත් තමන් දරුවන්ට පදමානවක ජාතකයෙහි තමන් යකිණි වුව ත් අත හැර යන පුතණුවන් කෙරෙහි කළා වූ ශෝකයෙන් ළය පැළී මළ හෙයින් මොළොක් අදහස් ඇත්තෝ ය. දරුවන් වදන්ට මා ඔබ ගිය මැනැවැ’යි සමුණන්ට යාච්ඤා කොළෝ ය. ඌ ඒ අසා ‘කුමක් කියන නියා ද? මුඹ දුවණියන් හෙයින් මුඹට කරණ කියන දෙයක් නැත ත් මා අයති හෙයින් කළ අපරාධ තරමට මරවා පියන සේක.
‘මා ඔබ යන්ට බැරි ය’යි කී ය. සිටු දුවණියෝ තව ත් තව ත් කියා ත් උන් මැළි හෙයින් උන් කර්මාන්තයට ගිය දී ඉක් බිති ගෙවල ඇත්තවුන්ට ‘ඉදින් අවුත් මා නොදැක විචාළෝ නම් දෙමවුපියන්ගේ ඔබ මා ගිය නියාව කියා ලුව මැනැව’යි කියා ලා ගෙයි දොර පියා නික්මුණවු ය. උයි ත් අවුදින් සිටු දුවණියන් නොදැක ඉක් බිති ගෙවල ඇත්තවුන් විචාරා එ පවත් අසා රඳවන්ට යයි ලුහුබඳවා ගොසින් දැක නො එක් ලෙස යාච්ඤා කොට ත් රඳවා පිය නුහුනුවුය. යන ගමනේ දී එක් තැනක දී විළි පහරන්ට වන. ඌ එක් කැලෑ හස්සකට වැද ලා සමුණනු ත් එ තැන දක්වා ගිය හෙයින් විළිපහරන නියාව කියා ලා ප්‍රසව වෙදනා බලවත් හෙයින් හැසී වැසී දුකින් පුතණු කෙනකුන් වදා පියා ‛යම් කටයුත්තෙක දෙමවුපියන් ළඟට යමෝ නම් ඒ සමෘර්ධ වී ය’යි නැවත ත් රඳා හුන් තැනට ගොසින් රඳා හුන්හ.
කල් ගිය සේ තව ත් බඩ දරු කෙනෙක් ඇති වු ය. දෙවන වරෙහි ද වදන අවස්ථාවෙහි දී දෙමවුපියන් ළඟට කැඳවා ගෙන යන්ට පැරැත්ත කියා පියා උන් නො ගිවිස්නා හෙයින් ආදී උපන් දරුවන් පයින් යන්ට අබල හෙයින් උනු ත් වඩා ගෙන බඩ දරුවනු ත් බඩින් හැර ගෙන නික්මුණාහ. සමුණන් ලුහුබඳවා ගෙන ගොසින් රඳවන්ට උත්සාහ කොටත් නොරඳා නික්මුණ වු ය. සමුණෝ ත් කැටි ව නික්මුණවු ය. මෙ සේ එක් ව යන කලට නො කල් නො වේලා කොට ලා මහ වැස්සෙක් නැඟී ය. ඒ වේලාට ගසන විදුලියෙන් හා මේඝ නාදයෙන් හා වස්නා වැස්සෙන් ආකාශ ය අතුරු සිදුරු නැති වි ය. ඒ වේලාවට ම පිට පිට හෙළා විදුලිය ගසන්නා සේ විළි ත් පහරනට වන. ආස ගුගුරන්නා සේ හඬ ගසන්ට ත් වන. වස්නා වැසි බෝවා සේ ම ප්‍රසව දුකු ත් බෝ වී ය. සමුණන් බණවා ලා විළි ත් පහරනට වන. ශීත පීඩා බලවත් හෙයින් ඇල් වැද පියා විළි ගත නොහෙමි. නොතෙමී වදා පියන තැනක් ඉදිකරව’යි කිවු ය. උයි ත් දණ්ඩක් පතක් කපා ගන්ට නිසි යකඩක් හැරගෙන දඬු පත් බලා ඇවිදිනෝ තුඹසක් පිට සිටි කැලයක් දැක දණ්ඩක් පතක් කපන්ට වන්හ. කපන සොල්මනට තුඹසින් නයෙක් අවුත් ලා දඬු කපන තැනැත්තවු කාපී ය.
එ වේලෙහි ම මරා ලූ ගසෙක වැද ගත් ගින්නක් මෙන් දෂ්ට මුඛයේ පටන් විෂ ය නැඟි ලා ලේ ගුණ ය නැවත ලා, ගත නිල් ව ගොසින් මිය වැටී ගියේ ය. සිටු දුවණියෝ ද මහත් දුක් විඳිමින් දඬු කපා ගිය තැනැත්තවුන් නඟන ගෙවල් තබා උන් තමනුත් නොලැබ අනිකුත් පුතණු කෙනකුන් වදා පූ ය. දරුවෝ දෙන්න සුළං ශීත ඉවසා ගත නො හී හඬති. සිටු දුවණියෝ ද දරුවන් දෙන්නා බඩතුරෙහි ලා ගෙන දෙ දත් දෙ වැළ මිට ත් බිම ඔබා ලා නැඹුරු ව ගෙන සිට තුන් යම් රාත්‍රි ය ගෙවා පීහ. රාත්‍රි ය මුළුල්ලේ තෙමී ලා සුදුමැලි ව පාන් වූ කලට එ දවස් උපන් දරුවන් උකුළෙහි හිඳුවා ගෙන වැඩි මාලු පුතණුවන් ඇඟිල්ල අල්වා ගෙන ‘වරෝ දරුවෙනි, තොපගේ පියාණෝ තෙල සේ ගියෝය’ යි කියා ලා තුඹස දක්වා ගොසින් තුඹස් බඩ මිය පියා හොත්තවු දැක, ‘මා නිසා සමුණෝ අතුරු මඟ දී මළෝ ය’ යි හඬමින් වලපමින් දෙමවුපියන්ගේ ඔබ යන්ට නික්මුණවු ය.
රෑ වැසි වැස ලා අචිරවතී නම් ගඟ දණ පමණ, තන මතු පමණ වතුරු යන්නා දැක තමන් මන්‍දබුද්ධි හෙයින් සිතා ගත නො හී දරුවන් දෙන්නා ම බර නොවතත් වඩා ගෙන එක විට ම ගෙන යන්ට හැකිව ත් ජීවත් වන්ට උන්ගේ දෛව නැති හෙයින් වැඩිමාලු පුතණුවන් මෙතෙර සිටුවා ලා බාල දරුවන් වඩා ගෙන එ තෙරට ගොසින් කොළ අතු බිඳ ලා ලා ඒ දරුවන් ඊ මැද හොවා ලා මෙතෙර සිටි දරුවන් කැඳවා එමි කියා ත් සිතා ත් බාල දරුවන් හැර පියා යත් නො හී ගොසිනු ත් බලා සිට ත් බලා මෙ තෙර දරුවන් ළඟට යන්ට නික්මුණවු ය. ඉක් බිත්තෙන් දෙ දරුවන්ට ම නුදුරු ව ගං මැඳට ගිය කලට එක් උකුස්සෙක් ලේ මස් ගඩුවක් සේ අතු මත්තේ හොත් දරුවන් දැක මස් වැදැල්ලෙකැ’යි සිතා අහසින් බට.
සිටු දුවණියෝ ත් පුතණුවන් ගසා ගන්ට බස්නා උකුස්සා දැක අත්ලෙන් අත්ල ගසා අරගල කළහ. උකුස්සා ත් අරගල අසා ගත නො හී අලුත උපන් කුමාරයන් ගසා ගත. ඔබින් දරුවෝ ත් නැත. මෙතෙර සිටි කුමාරයෝ මෑණියන් ගං මැද සිට අත ඔසවා ලා අරගල කළා දැක අසා තමන් කැඳවතී යන්නක් කම් බලයෙන් සිතා ගෙන මෑණියන් එන තුරුත් නො රඳා වහා දියට බටවු ය. බැසත් තමන්ට, දිය බොහෝ හෙයින් වතුරේ ගිය හ. එලෙසින් මෙ ගොඩ සිටි පුතණුවෝ ත් නැත. සිටු දුවණියෝ ද අතුරු මඟ දී රක්‍ෂා කළ සමුණෝ මළෝ ය. බාලදරුවත් උකුස්සෙක් ගසා ගත වැඩි මාලු දරුවෝ දියෙන් ගියෝ ය’යි හඬමින් වලපමින් යන තැනැත්තෝ සැවැත් නුවර සිට එන කෙනකුන් දැක කොයි සිට එවු දැ’යි විචාරා සැවැත් නුවර අසවල් වීදියේ මෙ නම් සිටු කුලයෙක් ඇත. හඳුනන්නේ ඇද්දැ’ යි විචාරා ලා ‘උන්දෑ ලා හඳුනෙමි. අනික් පවතක් විචාර ත් මුත් උන්දෑගේ පවත් මා අතින් විචාරන්ට නො කැමැත්තේ ය’යි කී කල්හි ‘සෙසු පවතින් මට ප්‍රයෝජන නැත. මට වුව මනා ඒ පවත ම ය’යි කිවු ය.
‘මුඹ තත්පරව විචාරන පසු කිව මනා වේ ද? ඊයේ රෑ දෙවරු වැසි වට නියාව දුටුවේ ඇද්දැ’ යි විචාළෝ ය. ‘එ සේ ය, ඒ වැස්ස අනුන්ට වට වැස්සෙක් ද? මට ම වට වැසි වේ ද? ඒ කාරණය පසු ව කියා ලමි. මා විචාළ සිටාණන් වහන්සේගේ පවත කථාවෙන් වසා ලූ පමණක් මුත් කියා ලූයේ නැත්තේ වේද, ඒ කියන්ට වුව මැනැවැ’යි කිවු ය. එසේ වී නම් ඊයේ රෑ සිටාණනු ත් සිටු දුවණියනු ත් සිටාණන්ගේ පුතණුවනුත් තුන් පක්‍ෂය තනා ගෙන හිඳිනා මාළිගාව හුණු හෙයින් මිය ගියවුන් එක දර සෑයට නඟා ලා දවති. තෙල පෙනෙන දුම ඒ ය’යි කිවු ය. ඌ එ වේලෙහි ශෝක ය බලවත් ව සැලී පෙළෙන්නෝ තමන් හන් පිළි හෙන නියා ත් නො දැන උමතු බවට පැමිණ -
“උභො පුත්තා කාලකතා – පථෙ මය්හං පතී මතො
මාතා පිතා ච භාතා ච - එකචිතකස්මිං ඩය්හරෙ”
යනු හෙයින් ‘දරු දෙන්නත් මළෝ ය. සමුණෝ ත් මළෝ ය. මුඹ රැකෙන්ට අවුත් මවුපිය දෙදෙනා ත් බෑණෝ ත් එක සෝනේ දවති’යි හඬමින් වලපමින් හුණු පිළීත් අඳිනට නැති හෙයින් උපන් වතින් ම හඬා ඇවිදිති. මිනිස්සු උන් දැක සසර දෝස නො සලකා වියරු හුණු එකෙකැ’යි කිය ගෙන කසල ත් පසු ත් හැර ගෙන හිස ඕනෝ කැට කැබලිති බාලා ගසති.
බුදුහු දෙව්රම් වෙහෙරදී උපාසක පර්ෂද ය-උපාසිකා පර්ෂද ය-භික්ෂු පර්ෂද ය භික්ෂුණී-පර්ෂද ය යි සිවු වනක් පිරිස් ද තවත් සවු මහ රජයෙහි පිරිස-තව්තිසා පිරිස-රජ පිරිස-බමුණු පිරිස- මාර පිරිස-ගොවි පිරිස-මහණ පිරිස-බඹ පිරිස යන අට වනක් පිරිස් පිරිවරා බණ වදාරණ සේක් එන සැටි ය නපුරු වුව ත් කප් ලක්‍ෂයක් පෙරුම් පුරා ආ හෙයින් ඒ ලෙසින් යහපත් ව එන හිරි ඔතප් සළු නො ලදින් උපන් වතින් ඵන සිටු දුවණියන් පෘථග්ජන ලෙසින් තව බිළිඳී තැනැත්තවුන් දුටු සේක. ඌ වැළි ත් පියුමතුරා නම් බුදුන් සමයෙහි ඒ බුදුන් එක් විනයධර මෙහෙණී කෙනකුන් උඩ ඔසවා නඳුනුයන සිටු වන්නා සේ විනයධර මෙහෙණින්නන්ට අග තැන් තබන්නා දැක ‘මමත් මුඹ වහන්සේ වැනි බුදු කෙනකුන් වහන්සේ සමයෙක මේ තනතුරු ලැබෙම්ව’යි පැතූහ. පියුමතුරා බුදුහු ත් එන දවස බලා පැතීම සමෘර්ධ වන නියාව දැන ‘මතු එන දවස ගොයුම් බුදුන් සමයෙහි විනයධර මෙහෙණින්නන්ට අග්‍ර ව පටාචාරා ස්ථවිරි ය යි ප්‍රසිද්ධ වව’යි වදාළ සේක.
මෙ සේ පැතූ පැතීම් ඇති මහ පිණැති තැනැත්තවුන් එන්නන් දුර දී ම දැක ‘මුන්ට මා විනා අනික් පිහිට විය හෙන කෙනෙක් නැත. පිහිට ත් වුව මනා වේ දැ’යි යම් ලෙසක ඉවත නො ගොසින් වෙහෙරට ම එත් නම් එලෙසට කළ සේක. පර්ෂදත් උන් එන්නවුන් දැක ‘තෙල වියරු හුණු තැනැත්තිය මෙයට වැද්ද නො දෙව’යි කිවු ය. බුදුහු ත් ‘උන් නො නවතව’යි වදාරාලා ළඟට ආ කලට ‘තොප ශෝක මහත් ව මෙ ලෙසක් වූ බව මුත් සිහි නුවණ නැති කෙනකුන් නො වත් සිහි ලබව’යි වදාළ සේක. උයිත් ඒ ඇසිල්ලෙහි බුදුන්ගේ ආනුභාවයෙන් සිහි නුවණ ලත්හ. හිණ පිළී නැති නියාව එ වේලෙහි සලකා හිරි ඔතප් එළවා ගෙන එළිල්ලෙන් හුන්හ. එක් කෙනෙක් තමන් පෙර ව සිටි උතුරු සළුව දමා ලූ ය.
ඌ ඒ හැඳගෙන බුදුන් ළඟට ගොසින් පැමිණි බොහෝ අවමඟුලෙන් මිදී මඟුල් නිසා අටතුරාසියක් මඟුල් ලකුණෙන් විසිතුරු වූ ඇඟිලි නමැති පෙත්තෙන් හා තඹවන් නිය නමැති කෙසුරෙන් හොබනා වූ සක් නමැති පියුම් කෙමි ඇති බුදුන්ගේ පා පියුම් පසඟ පිහිටුවා වැඳීමෙන් හිස පැළඳ ‘සියල්ලවුන්ට පිහිට ව සිටි ස්වාමි දරුවාණන් වහන්ස, රක්‍ෂා කොට ගෙන හුන් සමුණන් ගෙන් නොව අසරණ වූ වදා ගත් දරුවන් ගෙන් නු වූ හෙයින් දරු පිහිටකුත් නැති. දෙමවුපියනුත් නො ලත් හෙයින් මවුපිය සහායක් නැති, මල් බෑයන් නොලත් හෙයින් බන්ධු සහායකුත් නැති වාසය නිකෘෂ්ට වූ හෙයින් ක්‍රියා දෝෂ ය නිසා ජාතීන් නසා ගත් මා උතුම් වූ ආර්‍ය්‍ය ජාතියෙහි පිහිටුවා ලොව් සැපතින් පිරිහුණු මිඬිය ලොව්තුරා සැපතෙහි පිහිටුවා සහාය ව වදාළ යහපතැ’යි කිවු ය.
බුදුහු උන්ගේ බස් අසා පට ය යි කියා වස්ත්‍රයට නම් හෙයින් වස්ත්‍ර නැති වීමෙන් නට ආචාර එ ම වස්ත්‍ර ය නිසා පෙරළා ත් ඇති වූ හෙයින් පටාචාරාවෝ ය යි පසු ව ප්‍රසිද්ධ වන හෙයින් පටාචාර නම තමන් වහන්සේ ගෙන්ම උන්ට දෙන සේක් ‘පටාචාරාවෙනි, තෙපි මුසුප්පු නොවව. ආයේත් පිහිට වන්ට බල ඇති තැනක් කරා මය. යම් සේ මේ ජාතියෙහි තොපගේ බාලදරුවන් උකුස්සා ගසා ගත් ද, අනික් දරුවෝ දියෙන් ගියෝ ද, මඟ දී සමුණෝත් මළෝ ද, මවුපියොත් බෑණෝත් හිඳින ගෙය කඩාගෙන හී මළෝ ද, එ පරිද්දෙන් මේ සසර සිටිනා තෙක් කල් දෙමවුපියන් ආදීන් නට කල හඬා වගුළ කඳුළු -
“චතුසු සමුද්දෙසු ජලං පරිත්තකං,
තතො බහුං අස්සුජලං අනප්පකං;
දුක්ඛෙන ඵුට්ඨස්ස නරස්ස සොචනා,
කිං කාරණා සම්ම තුවං පමජ්ජසි.”
යනු හෙයින් සතර මහ මුහුද පැන් විතරට ත් බොහෝ ව යනාදීන් අනමතග්ගපරියාය සූත්‍ර ය වදාර ත් වදාර ත් මුවහත් තබන යකඩෙක මල කඩ ඉගිලෙන්නා සේ සෝක දුක්ඛ ය තුනී විය. සෝක දුක්ඛය තුනී නියාව දැනලා බුදුහු පටාචාරාවන් බණවා ලා ‘හෙම්බා පටාචාරාවෙනි, දෙමවුපිය ආදීහු මිය පර ලොව යන්න වුන්ට තුමූ ජීවත් ව හිඳ ත් පිහිට විය නොහෙති. නුවණැත්තවුන් විසින් සීල විසුද්ධි ය කොට ගෙන තම තමන්ට පිහිට විය යුතු ය’යි වදාරා විසි වන මග්ග වග කෙළවර ගාථා දෙකින් බණ වදාළ සේක. දේශනා කෙළවර පටාචාරාවෝ පොළව පස් විතරටත් බොහෝ කෙලෙසුන් ගෙවා සෝවාන් වීමෙන් ආර්‍ය්‍ය ජාතියෙහි පිහිටා ජාතීන් ශුද්ධ කළහ. සංසාර දෝෂය නිසා ඇති නුගුණ ත් හළහ. නටුවා වූ ලොවී සැපට ලොවුතුරා සැපතු ත් යන්තම් විතරක් ලත්හ. සෙසු ත් බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.
පටාචාරාවෝ ද සෝවාන් වලා ගිහි ගෙයි රඳා හිඳ දුටු සැපයක් ම නැති හෙයින් මහණ කරන්ට ආරාධනා කළහ. බුදුහු උන් මහණ කරන්ට මෙහෙණින්නන් ළඟට යැවූ සේක. මෙහෙණින් නෝත් මහණ මාලු පැවිදි කළහ. ආචාර්‍ය්‍ය උපාධ්‍යාය තැන් ඇති ව මහලු පැවිද්ද ලත් හෙයින් නැති වූ දෙ මවුපියන්ට ශාසනයෙන් දෙ මවුපියනු ත් ලැබ පටාචාරා ස්ථවිරී යයි ප්‍රසිද්ධ වූහ.
එක් දවසක් කළයකින් පැන් හැර ගෙන පය සෝදන්නාහු පයට පැන් වත් කළහ. ඒ පැන් බිම මඳ තැනක් ගොසින් ලා බී ගියේ ය. දෙ වන දවස් පය සේධූ පැන් ආදී දවස් පැන් ගිය තැන පැන් බී යන්ට මඳ හෙයින් ඒ පන් වා මඳක් දුරු වැ ගොසින් ලා බී ගියේ ය. තුන් වන දවස් පය සේධූ පැන් දෙ දවස ගිය තරමින් වඩා ගොසින් ලා බී ගියේ ය. පටාචාරා වහන්දෑ ද විවසුන් වැඩීමට අනික් අරමුණක් නො සොයා තුන් දවස් පය සේදූ පැන් ගොසින් සුන් ලෙසම අරමුණු කරණ දෑ ආදියෙත් දවස් මඳක් ගොසින් ලා සුන් පැන් සේ මේ සත්තු ආදි වයස උපන් තැන් පටන් තෙ තිස් අවුරුද්ද ඇතුළත ත් මියෙති. දෙ වන දවස් මඳක් දුරට ගොසින් සුන් සේ මධ්‍යම වයස් වූ තෙ තිසේ පටන් සත් සැට දක්වා මේ අතුරෙ ත් මියෙති. තුන් වන දවස් සුන් පැන් මෙන් කෙළවර වයස් වූ සත් සැට පටන් සීයේ දක්වා මේ අතුරෙත් මියෙති. එ හෙයින් උපන් සතුන්ට මරණ නියත ය යි සිත සිතා හුන්දෑ ය.
බුදුහු ගඳ කිළියේ වැඩ හිඳ රස් කඳක් විහිදුවා ලා ළඟ වැඩහිඳ කථා කරන්නාක් මෙන් ‘එම්බා පටාචාරාවෙනි, යම් කෙනෙක් රූ අරූ පස් කඳින් අවිද්‍යා ප්‍රත්‍යයයෙන් රූ උපද්දී, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් රූ උපද්දී කර්‍ම ප්‍රත්‍යයයෙන් රූ උපද්දී, ආහාර ප්‍රත්‍යයයෙන් රූ උපද්දී, උත්පත්ති ලක්ෂණය නම් උදය ය, අවිද්‍යාය, තෘෂ්ණාය, කර්‍ම ය, ස්පර්ශ ය යන චතුර්විධ ප්‍රත්‍යයෙන් වේදනා ය, සංඥාය, සංස්කාර ය යන ස්කන්ධයෝ තුන් දෙන වෙති. මුන් තුන් දෙනාගේ උත්පත්ති උදය ය, අවිද්‍යා ය, තෘෂ්ණා ය, කර්මය, නාමරූපයය යන චතුර්විධ ප්‍රත්‍යයයෙන් විඥාන ස්කන්ධය වෙයි. මොහුගේ උත්පත්ති උදය ය යි මෙ සේ පඤ්චස්කන්ධ විෂයෙහි එකකට එකකට ආකාර පසක් පසක් වන නියායෙන් ආකාර පස් විස්සෙකින් උදය ලක්‍ෂණය ද, එ සේම අවිද්‍යා නිරෝධයෙන් රූප නිරෝධය වෙයි යනාදීන් යොදා නිරෝධය දක්නේ ව්‍යයය දක්කි යි කියා සලකා පඤ්චස්කන්ධ විෂයෙහි පස් විස්සක් විතර මේ ආකාරයෙන් ව්‍යය දැ යි සම පණස් ලකුණෙන් උදාවිය[1] නො දකිත් නම් එසේ වූවන් අවුරුදු සියයක් ජීවත් වතත් ප්‍රයෝජන නැත. සම පනස් ලකුණෙන් උදාවිය1 දක්නවුන් එක දවසක් ජීවත් වත ත් එම යහපතැ’යි වදාළ සේක. දේශනා කෙළවර පටාචාරා වහන්දෑ පිළිසිඹියා පත් රහත් ව සෝක දුක් නැති වූවා සේ ම සසර දුක් නැති කළ දෑ ය.
එ හෙයින් සත්පුරුෂයන් විසින් අකුසලින් දුරු ව කුසල්හි පිහිටා හැම දුකට මුල් වූ ජාති දුක ම නසන්ට උත්සාහ කටයුතු.
________
-
උදය ව්‍යය - ඇතැම් ↑