තව ද නූපන් අකුසල් නූපදනා පිණිස හා උපන් කුසල් වැඩි යුරු වීම නිසා වීර්ය වැඩීමෙහි අනුසස් දක්වන්නමෝ සප්පදාස තෙරුන් වහන්සේ ගේ වත දක්වමු.
කෙ සේ ද යත් -
සැවැත් නුවර කුල දරුවාණ කෙනෙක් බුදුන්ගෙන් බණ අසා ශාසනාභිරති ය ඇති ව මහණ ව උපසම්පදාව ත් ලදින් කල් යෑමකින් සස්නෙහි උකටලීව ගිහි වියටි ව ‘අප වැනි කුල දරුවන් ශක්‍රාත්ම භාවයකින් බ්‍රහ්මාත්මභාවයකින් චුතවන්නා සේ ගිහි වීම රජව සිට ඇඟ මඬ ගා සී සාන්නා සේ තරම් නො වෙයි. මෙසේ සිතන්නේ ජීවත් ව සිටිනා හෙයින් වේ ද? ගිහි බවට නොපැමිණ මේ ලෙසින් ම මෙළෙම් නම් යහපතැ’යි සිතා මියන්ට උපදෙස් සිත සිතා ඇවිදිනා සේක. එක් දවසක් වහන්දෑ සිඟා වළඳා ලා විහාරයට අවුත් ගිනි හල් ගෙයි හොත් නයකු දැක ඔහු ඔබා අල්වා ගෙන එක් කළයෙක ලා ගෙන දුර ලන්ට ය යි කළ ය පිටින් නයි හැර ගෙන වෙහෙරින් නික්මුණු සේක. උකටලී තැනන් වහන්සේ ද සිඟා වළඳා ලා විහාරයට එන සේක් ඒ වහන්දෑ දැක ‘කුමක් ද ?, ඇවැත්නි’යි විචාරා නයෙකැ’යි කී කල්හි ‘මූ කුමක් කරන්ට දැ’යි විචාළ සේක.
‘දමන්ට ගෙන යම්හ’යි කී කල්හි ඔහු ලවා තමන් වහන්සේ කවා ගෙන මියෙමී සිතා මෙ සේ දෙවන[1] බව ය. මම දමමි’යි කියා ලා ඒ වහන්දෑ අතින් කළ ය හැර ගෙන එක් තැනක හිඳ ඌ ලවා කවන්ට උත්සාහ කළ සේක. සර්පයා ඔබ කන්නා තබා කළයෙනු ත් මෑත් නො වෙයි. උන්වහන්සේ කළයට අත බා ලා අත ඈත මෑතත් ඇවිදුවන සේක. නයින්ගේ කට දල්වා ලා බිළිඳු[2] නො වත ත් නයින් කටට අත් දෙන සේක. ඔබ කෙ සේ කළ ත් ඩෑ පියන්ට කාරණයක් නැති හෙයින් මෙ තෙමේ ඩෑ නො පිය යි. ‘මේ නයෙක් නො වෙයි. විෂ නැති එකෙකැ’යි ඔහු හැර පියා විහාරයට වැඩි සේක. වහන්දෑ ත් සර්පයා හැරපූ දැ’යි විචාරා ‘ඒ සර්පයෙක් නොවෙයි. විෂ නැති එකෙකැ’යි කී කල්හි ‘ඇවැත්නි, ඒ නයා ම ය. අල්වන වේලේ පෙණය ත් කෙළේ ය. සුස්මනත් හෙයින් අල්වා ගත්තෙත් දුකින “නයකු නොවෙතී” කුමක් නිසා කියවු දැ’යි විචාළ සේක. ‘ඇවැත්නි” ඌ ලවා මා කඩා කවා ගන්ට නො එක් ප්‍රයෝග කළ ත් ඒ නො කෑයේ ය. එ සේ හෙයිනැ’යි කී සේක. ඒ අසා වහන්දෑ මුඛයෙනු ත් නො බිණු සේක. බුදුන්ට ත් දැන්වූයේ නැත.
එක් දවසක් කරනවෑමියෙක් කර සඟලක් හැර ගෙන විභාරයට අවුත් එක් කරයක් බිම තබා ලා අනික් කරයෙන් වහන් දෑගේ හිස කේ බායි. සසුනේ උකටලී තැනැත්තන් වහන්සේ බිම තිබූ කර ය අතට හැර ගෙන ‘මින් බොටුව කපා ගෙන මිය යෙමී’ එක් ගසෙක හිස ඔබා ගෙන කර ය බොටුව තබා ගෙන සිටි සේක් උපසම්පදා මාලකයෙහි පටන් තමන් වහන්සේ රක්‍ෂා කරණ දෑරඟ මිණක් වැනි වූද පඤ්චොපක්ලෙශයෙන් විනිර්මුක්ත සඳ මඬලක් වැනි වූ ද අත්‍යන්ත පරිශුද්ධ ශීලය සිල් බැලීමෙන් දුටු සේක. නිර්‍මල වූ ශීලය දකුත් දකුත් සක් විති රජ්ජුරු කෙනකුන් සක් රුවනෙහි ආනුභාවයෙන් අහසට නැඟී හෙළ පියුම් විල්සෙ කො දිව් පිරිවැරූ මහ දිවයින් බලන්නවුන්ට උපදිනා ප්‍රීතියට ත් වඩා බලවත් ප්‍රීති උපන. උපන් ප්‍රීති පමණෙක නො රඳා ප්‍රීති ය විකඹමින් විවසුන් වඩා සිවු පිළිසිඹියා පත් රහත් ව කර ය හැර ගෙන විහාරයට ආ සේක.
වහන්දෑ ද ‘කොයි ගියා දැ’යි විචාරා ‘මේ කරයෙන් බොටුව කපා ගෙන මියන්ට ගියෙමි’ කී කල්හි නො මලේ හැයි දැ’ යි විචාළ සේක. ‘එ ලෙසක් කරන්ට අයෝග්‍ය වීමි. මේ කරයෙන් බොටුව කපන්ට ගොසින් අර්හත් මාර්‍ගඥාන නමැති කරයෙන් කෙලෙස් සතුරන්ගේ බොටුව කැපීමි’ යි වදාළ සේක. වහන්දෑ ඒ අසා ‘මූ උත්තරිමනුෂ්‍යධර්‍මාරොචනය කෙරෙති’යි බුදුන්ට දැන් වූ සේක. බුදුහු වහන්දෑගේ බස් අසා ‘මහණෙනි, රහත්තු සියතින් අනුන්ගේ ජීවිත ය නොනස්නා සේ තම තමන්ගේ ජීවිතත් නො නසති’ යි වදාළ සේක. ‘ස්වාමීනි, රහත් වන්ට නිසි ව සිට සස්නෙහි උකටලී වූයේ හැයි ද? රහත් වන්ට නිසි පිනුත් කවරේද? කුමක් නිසා ත් සර්පයා නො කෑ දැ’යි විචාළ සේක. ‘මහණෙනි, ඒ නයා නම් මෙයට තුන් වන අත් බැව දී මුන්ගේ කොල්ලෙක. ස්වාමි පක්‍ෂපාත ව කා පිය නො හිනැ’යි විචාළ කාරණයෙන් එකක් වදාළ සේක. එ තැන් පටන් ඒ තෙරුන් වහන්සේ සප්පදාස තෙරුන් වහන්සේ ය යි ප්‍රසිද්ධ වූ සේක.
“උකටලී වන්ට කාරණ කවරේ ද යත් - කසුප් බුදුන් සමයෙහි එක් කුල දරුවාණ කෙනෙක් බුදුන්ගේ කර්ණරසායන වූ බණ අසා සසර කළකිරී මහණ ව උපසම්පන්න වූ සේක් උකටලියක් උපන් තැන දී එක් යාළු මිත්‍ර නමකට කී සේක. උන් වහන්සේ ද ඒ අසා එක් වන්ම ගිහි වීමෙහි ආදීනව කියන සේක. උකටලී නම ද ඒ අසා ශාසනාභිරති ය ඇති ව සිට සස්නෙහි ඇලුම් නැති අවධියේ පිරිමැස්මක් නැති වූ පුස් කා ගිය සිවුරු ආදී වූ මහණ පිරිකර ගල් කෙමක් බඩ තබා ගෙන පවිත්‍ර කෙරෙමින් හුන් සේක. යාළු මිත්‍ර නම ත් ළඟ ම හුන් සේක. ආදි උකටලී ව පසුව ශාසනාභිරති ය ඇති වූ නම මම සිවුරු හලිම් නම් මේ මහණ පිරිකර විකොට නො කා මුඹ වහන්සේට දෙන්ට සිතීමි’ කී සේක.
උන් වහන්සේ ද ඒ අසා මුන් ශාසනයෙහි සිට ත් ගිහි වත් මට ප්‍රයෝජන කිම් ද? තව ත් සිවුරු හළවූ නම් මේ පිරිකර මට ලැබෙ’යි සිතා පිරිකර ම සලකා පර ලොව නො සලකා එ වක් පටන් මඟුලට ගැසූ බෙර මිනී බෙර කොට ගසන්නා සේ ආදි වැඩට කියා ලූ අවවාද අවැඩෙහි යොදා කියන සේක් ‘ඇවැත් නි, සුව සේ උපයා සොයා කා ලා අඹුවන් දරුවන් ඇති ව වසන විසීම් තබා පියා කබල් හැර ගෙන දොර දොර සිඟා කා රැකෙනු සෑහෙනු කිම් ද’ යනාදීන් ගිහි වීමෙහි ගුණ කියන සේක. අර මුන් වහන්සේ ද ඒ අසා පෙර ත් උකටලී ව පියා නැවත සිතන සේක් ‘පළමු මා උකටලී වීමි කී කල්හි ගිහි වීමෙහි ආදීනව කියා දැන් මා එ බන්දක් නොකීව ත් එක් වන් ගිහි වීමෙහි ගුණ කියන සේක.
‘කාරණ කිදෝ හෝ’යි සිතා ‘මේ මහණ පිරිකරෙයි ලෝභයෙන. අනිකකින් නො වෙ යි’ දැන තමන් වහන්සේ ම අනික් කෙනකුන්ගෙන් මහලුකම් නැතිව උකටලී වීමෙන් නැවති සේක. මහණ පිරිකර නිසා උකටලී ඉපැදවූවෝ අනික් කෙනෙක් නො වෙති. මෙ සප්පදාස තෙරහු ය. කසුප් බුදුන් දවස නිස්සාර පිරි කරක් නිසා උකටලී හැර උන්නවුන්ට උපදවා ලූ උකටලිය නිසා දැන් උකටලී ඇති වී ය. මුන්ගේ බසින් අරුන් ශාසනයෙන් නො පිරිහුණු හෙයින් මුනු ත් ශාසනයෙන් පිරිහෙන්ට නු වූයේ ය. විසි දහසක් හවුරුදු මුළුල්ලෙහි කළා වූ මහණ ධම් රහත් වීමට මුල් වී ය’යි වදාළ සේක.
වහන්දෑද සර්පයා මුන් වහන්සේදෂ්ට නොකරන්ට කාරණයත් උකටලීවන්ට කාරණයත්, රහත් වන්ට කාරණ ය ත් බුදුන්ගෙන් අසා ශේෂව තුබූ සුඟක් ඇති හෙයින් ඒ විචාරණ සේක් ‘ස්වාමීනි, මුන්වහන්සේ කරය බොටුවේ තබාම නොකැපෙන තෙක් රහත් වූ සේක. මෙවිතර උදවුවෙක ත් රහත් විය හැකි දැ’යි විචාළ සේක. ‘එ සේ ය. මහණෙනි, වඩනා ලද වීර්‍ය්‍ය ඇත්තවුන් යන්ට ඔබා ලූ පය බිම නො තබන තෙක් අර්හත්ව ය සිද්ධ වෙ යි’ වදාරා ගිහි ව කළ මනා නිරවද්‍ය කෘෂි වණික් ආදියෙහි ද ශාසනික ව පිරුව මනා වින ය ප්‍රතිපත්ති සූත්‍ර ප්‍රතිපත්තියෙහි ද කුසීත ව කිසියම් කෙනෙක් අවුරුදු සියයක් ජීවත් වත් නමුත් ඉන් ප්‍රයෝජන නැත. උභය පක්‍ෂ ය ම එක දවසක් වුව ත් සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍ය වශයෙන් වඩනා ලද වීර්‍ය්‍ය ඇති ව විසීම යහපතැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ තැන් සෝවාන් ඵලාදියට පැමිණි සේක.
එ හෙයින් සත් පුරුෂයන් විසින් වීර්‍ය්‍ය වඩා අකුසලින් දුරු ව කුසල් පුරා ත්‍රිවිධ බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණිය යුතු.
_________