104. ඛාණු කොණ්ඩඤ්ඤ වස්තුව

star_outline

තව ද නපුරු තරම් ඇති ව කෙ තෙක් කල් ජීවත් වීමට ත් වඩා යහපත් තරම් ඇති ව හැසිල්ලෙක ත් ජීවත් වීම ම යහපත් නියාව හඟවන්ට ඛාණු කොණ්ඩඤ්ඤ වස්තුව දක්වමු.

කෙසේද යත් -

ඛාණු කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ බුදුන්ගෙන් කමටහන් උගෙන භාවනා කරණු නිසා වල වසන සේක් රහත්ව බුදුන්ගෙන් උගත් කමටහනින් සිද්ධ කළ මනා දෙය සිද්ධ වූ නියාව බුදුන්ට දන්වනු නිසා ඒ වලින් එන සේක් අතුරු මඟ දී විඩා ව, මගින් ඉවත්ව ගල තලක් පිට උන් සේක. පැන් වළඳා විඩා සන්හිඳුවන්නා ධ්‍යානයට සම වන් සේක. සොරුන් පන්සියයෙක් එක් ව ගමක් පැහැර පියා තමන් ගෙන යා හෙන තරමට පොදි බැඳ ගෙන හිස තබා ගෙන පිට බැඳ ගෙන යන්නාහු බරත් දැඩි හෙයින් විඩා ව ගොසින් ‘බරත් දැඩි ය. ගමනත් බොහෝ වි ය. තෙල තැන ගල තෙලෙක් ඇත්තේ වේ ද සැතපෙම්හ’යි ගම්වලට නුවර වලට දුරු හෙයින් නිරාශඞ්ක ව මඟින් ඉවත්ව ගල තල කරා ගොසින් තෙරුන් වහන්සේ දැක ‘මෙ තැන මේ වේලාට මිනිස්සු කොයින්ද? කණුවක් නියා ය’යි සිතා ගෙන එක් කෙනෙක් තමන් ගෙන ගිය පොදිය ඔබ හිස පිට තබා ලූ ය.

අනික් කෙනෙක් ඊ පිට තුබූ ය’යි පන් සියයක් දෙන පන් සියයක් පොදි ඔබ වසා තබා පියා තුමූ ත් ඊ වැතිර නිඳා පියා පාන් වන වේලෙහි පිබිද තම තමන්ගේ පොදි ගන්නාහු තෙරුන් වහන්සේ දැක කඳබර බා තබා පූ තෙරුන් වහන්සේ එ තෙක් බර ඔසවා ත් ධ්‍යාන බලයෙන් නො සෙල්වුණු හෙයින් යක් කෙනකු නැයි සිතාගෙන හැර ගන්නා කල උත්සාහවත් ව හැර ගත්තා සේ ම දමන ගමනේ ත් උත්සාහවත්ව ඔබගේ ගුණයට පූජා කොට දමන්නවුන් මෙන් දමා පියා දිවන්ට පටන් ගත්හ. තෙරුන් වහන්සේ ද ‘උපාසකවරිනි, නො බව. අපටත් භය නැත්තා සේ ම අනුන්ට ත් භය උපදවන පක්‍ෂයෙක නො වම්හ. බුදු සවු වම්හ’යි වදාළ සේක. ඌ හැම ත් තෙරුන් වහන්සේ වැඳ ගෙන හෙව ‘කණුවෙකැ’යි සිතුම්හ. මුඹ වහන්සේ නියාව නො දතුම්හ. ක්‍ෂමා කරණ බව’යි කියා ක්‍ෂමා කරවා ගෙන සොර දෙටුවාණන් ඔබ කෙරෙහි පැහැද ‘මහණ වෙමි’යි කී කල්හි සෙස්සෝ ත් ගිවිස මහණ වන්ට සිතා ගෙන පව්කමට එක් වූවා සේම පින් කමට ත් එක්සිත් ව පන්සියයක් දෙනාම පළමු කොණ්ඩඤ්ඤ නම් වුවත් කණුවෙකැ’යි සිතූ ද? එ තැන් පටන් ඛාණු කොණ්ඩඤ්ඤ නම් වූ තෙරුන් වහන්සේට තමන් මහණ කරන්ට ආරාධනා කළහ.

තෙරුන්වහන්සේද අටපිරිකර පමණකට හිස කේ බානා එක් කරයක් ම හෙයින් හී තලවලින් හිස කේ බා පඬුවෙන් රඳනට පඬු නැති හෙයින් වර්ණ භේද ය නිසා ගුරු මැටියෙන් රඳා සංකිච්ච තෙරුන්වහන්සේ මෙන් මහණ කොට ලා අතවැසි පන්සියය හැර ගෙන තමන් වහන්සේ ලත් ගුණවිශේෂ ය බුදුන්ට හඟවා ලා බුදුන් ගෙන් ඒ පන්සියයටත් ගුණ විශේෂ ය දෙවනු නිසා බුදුන් කරා වැඩි සේක. බුදුහු ත් මෙ තැන රඳා ලබන පර්‍ෂ ත් නැති හෙයින් පර්‍ෂත් සොයා ගියා සේ පර්‍ෂත් ලදුදැ’යි විචාරා තෙරුන් වහන්සේත් ආද්‍යන්ත මුළුල්ල වදාළ කල්හි බුදුහු ත් ඒ අසා ‘එ සේද මහණෙනි, විචාරා ස්වාමීනි, මෙසේ වූ ආනුභාව සම්පන්න තැනක් නුදුටු විරූම්හ. ඔබ කෙරෙහි පැහැද මහණ වූම්හ’යි කී කල්හි බුදුහු ත් ඒ අසා ‘මහණෙනි, උන් එ බඳු වූයේ තමන්ගේ නුවණින් වේ ද? යම් කෙනෙක් නුවණ නැති ව හවුරුදු සියයක් වේව යි වඩා වේව යි ජිවත් වෙත් නමුත් ඉන් ප්‍රයෝජන නැත. එක දවසක් වුවත් නුවණ නම් එ බඳු තරමක් ඇති හෙයින් නුවණින් යෙදී විසීම ම යහපතැ’යි වදාළ සේක. දේශනා කෙළවර ඛාණු කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේගේ අතවැසි පන් සියයක් දෙනා වහන්සේ මහණ වන දවස්ම වස්තුකාම වූ පොදි හළ හෙයින් එදවස් කෙලෙස් කම් හැර පිළි සිඹියා පත් ව රහත් වූ සේක. තව ත් බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් කෙ තෙක් කල් ජීවත් වත ත් නුවණින් යෙදී විසිය යුතු.

_________