තව ද කළ පින් ඇත්තවුන්ට කවර තරම් හානියක් වුව ත් ප්‍රහායක-ප්‍රහාතව්‍ය දෙකින් ප්‍රහායකයාගේ ම බලී කම දක්වන්ට සංකිච්ච සාමණේර වස්තුව දක්වමු.
කෙ සේ ද යත්-
සැවත් නුවර කුලදරුවෝ තිස් දෙනෙක් බුදුන්ගේ අතිමධුර බණ අසා සස්නෙහි ළ දී මහණව මාලු පැවිදි ව පස් වස් ගිය කලට වෙන වසන්ට නිසි ව ගෙන භාවනා උගන්නා නිසා බුදුන් කරා ගොසින් රහත් වීම දක්වා කමටහන් කියවා ගෙන භාවනා කරන්ට එක් වලකට යම්හ යි බුදුන්ට දැන් වූ සේක. බුදුහු ත් ‘කොතැනකට යවුදැ’යි විචාරා ‘අසවල් තැනට ය’යි කී කල්හි ‘එතැනට මුන් ගිය කලට එක් සිඟන්නකු නිසා භයෙක් උපද්දී. ඒ උපන් භය ත් සැරියුත් මහ තෙරුන්ගේ සද්ධිවිහාරික වූ සත් හැවිරිදි වසස් වූ සංකිච්ච සාමණේරයන් ගිය කලට උන්ගේ ගුණානුභාවයෙන් සන්හිඳෙයි’ දැන වදාළ සේක.
ඒ සාමණේරයන්දෑ ගේ උත්පත්ති කථාව කවරේ ද යත්-උන් දෑගේ මෑණියෝ නම් සැවත් නුවර පොහොසත් කෙනකුන්ගේ දුවණි කෙණෙක. උයි ත් උන්දෑ බඩ කල එක් බලවත් ව්‍යාධියක් ඇති ව ලා ඒ ඇසිල්ලෙහි ම මළහ. මළවුන් දවන ගමනේ ත් දරු වන් පිහිටි බඩ මස් තිබිය දී සෙසු මස් දා ගියේ ය. බඩ මස් නොදා තිබෙන්නා දවන පිණිස දර සෑයෙන් මෑත් කොට ගෙන විසුරු වනු නිසා හුළකින් දෙතුන් තැනකට ඇන ලූ ය. හුල් කෙළවර වැදෑ මසින් වැසී හොත් දරුවන්ගේ ඇතුළු ඇස නො ඇනී ඇස් කෙළවර ඇනිණ. මෙසේ ගබ්මස ගිනි වදිනා ලෙසට සිදුරු කොට ලා අඟුරු ගොඩ මත්තේ ලා අඟුරෙන් වසා ලා පලා ගියෝ ය. තව ඇණ ආදි වූ රත් රනෙක රිදී භාග ය දා නැතිව යන්නා සේ ගබ් මස ත් දෑ ය. අඟුරු මත්තෙහි ගිනිවර කළ රන් පිඩවැල්ලක්[1] වැනි දරුවෝ රත් පියුම් ගබකට වන් හංස පැටවකු මෙන් වැද හොත්තෝ ය. රහත් වන පින් ඇත්තවුන් රහත් වන ජාතියේ මහ මෙර බා ලා ගැසූවත් රහත් නො ව මිය යාමෙක් නැත.
දෙ වන දවස් අළු හස් කරන්ට ආ මිනිස්සු කොට නිමි පිළිමයක් ඔප් ලනු නිසා හුණුවන්ට අඟුරු මත්තේ තබා ලූ වා සේ අඟුරු මත්තේ හොත් දරුවන් දැක විස්ම පත් ව ගොසින් මෙ තෙක් දරින් මිනිය දන ගමනේ ත් මේ දරුවෝ දා නො ගියහ. කුමක් නිසා දෝ හෝ” යි නොදන්ට කාරණ ය දැන ගත නො හී දරුවන් හැර ගෙන ඇතුළු ගමට ගොසින් නිමිත්ත දන්නවුන් අතින් විචාළෝ ය. ඔහු තමන්ගේ ශාස්ත්‍රයෙහි එ බන්දක් ඇති හෙයින් හෝ නොහොත් විචාළ දෙයට එකක් කිව මනා හෙයින් ඉඳින් මේ දරුවෝ ගිහි ගෙයි රඳා හුන්නෝ වී නම් සත් වන කුල පරම්පරාව දක්වා නෑයෝ දුප්පත් වෙති. මහණ වූ නම් පන්සියයක් මහණුන් පිරිවරා ඇවිදිතී’ කිවු ය. රහත් වන නියාව තමන් නො රහත් හෙයින් දත නුහුනු වූ ය. හුළ ඇස් කෙළවර ඇති කැළැල් වූ හෙයින් සංකිච්ච ය යි නම් තුබූහ. උයිත් ඒ නමින් ප්‍රසිද්ධ වූහ. නෑයෝ ත් වැඩී ගත් කල සැරියුත් මහ තෙරුන් වහන්සේ ලඟ මහණ කරම්හ’යි වඩා වර්ධන ය කළහ.
කෙළි මඬලේ දී කුඩා කොල්ලන් මුන් තමන් සත් ඇවිරිදි අවස්ථාවෙහි ‘තොප බඩ කල තොපගේ මෑණියෝ මළෝ ය. උන් දවන ගමනේ ත් තොපි දා නො ගියව’යි කී කථාව අසා ‘මම මෙ සේ වූ දුකෙකින් ගැළවීණිම් ල. ගිහි ව සිටී මෙන් කම් නැත. මහණ වෙමි’ නෑයන්ට කිවු ය. උයි ත් තමනු ත් සිතන්නා එ ම හෙයින් යහපතැ යි ගිවිස සැරියුත් මහ තෙරුන් වහන්සේ ලඟට ගෙන ගොසින් මහණ කරන්ට පාවා දුන්හ. මහ තෙරුන් වහන්සේ තචපඤ්චක ය උගන්වා ලා මහණ කළ සේක උන්දෑ ද පිපෙන්ට මෝරා තුබූ පියුමක් හිරු රැස් ගැසීලා වහා පිපෙන්නා සේ කරගෙයි දීම සිවුපිළිසිඹියා පත් රහත් වූහ. සංකිච්ච හෙරණුන් දෑ නම් මුන්දෑ ය.
බුදුහු ද මේ තිස් දෙනා හා කැටි ව ගියොත් රහත් වීමෙන් කෙලෙස් ගිනි නිවුවා මෙන් සිඟන්නහු ගෙන් වන භය ත් සන්හිඳෙයි දැන ‘මහණෙනි, තොපගේ වැඩි මහලු බෑණන් වූ සැරියුත් මහ තෙරුන්ට ත් කියා ලා යව’යි වදාළ සේක. ඒ වහන්දෑ ත් යහපතැ යි ගිවිස මහ තෙරුන් වහන්සේ ළඟට ගොසින් ‘කුමක් ද, ඇවැත්නි’යි කී කල්හි ‘අපි බුදුන් ගෙන් කමටහන් ඉගෙන භාවනාවට වලට යනු කැමැත්තම්හ. බුදුහු නුඹ වහන්සේට ත් කියා යන්ට වදාළ සේක. එ හෙයින් අපි ආම්හ’යි කී සේක. මහ තෙරුන් වහන්සේද, යහපත, ගිය මැනැවැ’යි නො වදාරා බුදුන් කරුණක් නිසා මුඛ එවූයේ ය යි ඒ කාරණ ය කිම් දෝ හෝ යි සලකන සේක් කියා ලූ මඟෙක යන්නා සේ බුදුන් දුටුවා ම දැක ‘කුමක් ද, ඇවැත්නි, කැටි ව හෙරණ කෙනෙක් ඇත්තා දැ’යි විචාරා ‘නැතැ’යි කී කල්හි ‘කැපකරු කෙනකුන් නැති ව යන්නේ කෙ සේ ද? තෙල සංකිච්ච හෙරණුන් කැඳවා ගෙන ගිය මැනැවැ’යි කී සේක. ‘තෙල පැටවාණන් ගෙන ගිය කලට අට්ට ල ය. අප වල වසන්නවුන්ට හෙරණුන් හැයි දැ’යි කී සේක.
‛ඇවැත්නි, තමන් හැම නිසා මුන්ට අට්ටල් වතො ත් මුත් මුන් නිසා තමන් හැම දෙනාට අට්ටලෙක් නැත. බුදුහු ත් මා ළඟට තමන් හැම එවන සේක් මේ හෙරණුන් තමන් හැම හා කැටි ව යවනු පිණිස එවූ සේක. කැඳවා ගෙන ගිය මැන වැ’ යි කී සේක. ‘වහන්දෑ ත් යහපතැ’යි ඉවසා හෙරණුන් දෑ හා එක් ව එක් තිස් නම ම තෙරුන් වහන්සේගෙනුත් සමු ගෙන වෙහෙරින් පිටත්ව සැරිසරන සේක් සාරසිය අසූ ගවුවකින් ඔබ්බේ එක් ගෙවල් දහසක් ඇති ගමකට පැමිණි සේක. ඒ ගම මිනිස්සුත් ඔබ හැම දැක ආකල්ප සමෘද්ධීන් ම පැහැද ආරාධනා කොට දන් වළඳවා ලා ‘ස්වාමීනි, කොයට වඩනා සේක් දැ’යි විචාරා ‘ඵාසු තැනකට යම්හ’යි කී කල්හි බැස හෙව වැඳ ලා ඔබ හැමට ශරීර ඵාසු කොට ලා තමන්ට පරලොව වැඩ සාදනු නිසා වස් විසීමට ආරාධනා කළහ. ඔබ හැම ත් ඉවසූ සේක. උපාසකවරු ද වස් වසන්ට විහාර කරවා දී ලා අද අපි උපස්ථාන කරම්හ. හෙට අපි උපස්ථාන කරම්හ’යි නියම කොට ගෙන සැරහී ම උපස්ථාන කෙරෙති.
තෙරුන් වහන්සේ ත් වස් වසන දවස් ‘ඇවැත්නි, බුදුන්ගෙන් කමටහන් උගෙන භාවනාවට නියැළී මෙ තෙක් තැන් ආ බැවින් එ බඳු පිළිවෙතක් නැති ව බුදුන් සිත් ගත නො හැක්ක. සසර ත් ලුහුඬු කළ නො හැක්ක. එන ගමනේ ආ සාර සිය අසූ ගවුව මෙන් සසර ලුහුඩු වුවමනා වී නම් සිඟා නික්මෙන වේලාව හා වත්-පිරිත් වේලාවේ මුත් දෙ නමෙක් එක් තැන් නො වම්හ. යම් කෙනකුන්ට ලෙඩෙක් දුකෙක් ඇත්නම් උන් අවුත් ගෙඩිය ගසා ලන්නා ම උන් ළඟට අවුත්-ගිලන් වත් පුරා බෙහෙත් කරම්හ. මෙ වක් පටන් රෑ-දාවල් නොපමා ව භාවනාවෙහි යෙදී වසම්භ’ යි කතිකා කළ සේක.
මෙ සේ කතිකා කොට ගෙන වසන කලට එක් දුප්පත් එකෙක් දුවක දී ලූ දෙයක් කාලා රැකෙන්නේ එ තැන බත් නැති කලට අනික් දුවක නිසා ජීවත් වනු කැමති ව ඒ ගමට යන්ට මඟට පිළිපන. තෙරුන් වහන්සේ ද ගම සිඟා පියා වසන තැනට වඩනා සේක් අතුරු මඟ එක් ගඟක දී පැන් සනහා පියා වැලි තලා මත්තේ වැඩ හිඳ වළඳන සේක. ඒ වේලාවට දුක්පතියා වළඳන තැනට අවුත් එකත් පස් ව සිටියේ ය. තෙරුන් වහන්සේ ත් කොයි යවු දැ’යි විචාරා දුවකගේ ගම්ට රැකෙනු නිසා යෙමී’ කී කල්හි කරුණාව නම් දුඃඛිත සත්‍වයන්ගේ දුඃඛාපගම ය කටැටි හෙයින් ඔහු කෙරෙහි කරුණාවක් උපදවා ‘උපාසකයෙනි, තොප බඩ සා ය. ගොසින් පතක් ගෙනෙව. නමකට, ආලොපයක් දෙම්හ’යි කියා ලා උනුත් නොමැළි ව පතක් ගෙනා කල තමන් වහන්සේ වළඳන ලෙසින්ම හනා ලා එකි එකී ආලොපය දුන් සේක. දන් වුව ත් වළඳන තැනට ආවවුන්ට බත් දෙන කල අනුදත්තන්ට මුත් සෙස්සන්ට අගින් නො දී හෙවත් නො වළඳන තුරු නොදී තමා වළඳන ලෙසින් මඳක් වත් බොහෝ වත් බත් දීම වත. එ හෙයින් ඔබ හැම ත් වත් පිරෙනු නිසා දුන් සේක.
දුගියා ද බත් කාලා ‘ස්වාමීනි, ආරාධනා කොට දන් දුන් කෙනෙක් ඇද්දැයි විචාළෝ ය. ‘උපාසකය, ආරාධනාවෙක් නැත. මිනිස්සු දවස් පතා සිඟා ගිය කල මෙ ලෙස ම දෙතී’ වදාළ සේක. ඒ තෙමේ සිතන්නේ ‘අපි දවස් පතා ඇඟ වැර සිඳ සොයා උපයා ත් ලබන්ට නිසි දෛව නැති හෙයින් මෙ සේ වූ නිරායාස බතක් නො ලබම්හ. ඔබ ත් ගොසින් මෙ ලෙස ලබන්ට නැති පසු මේ වහන් දෑ ලඟ ම රඳමි, සිතා ගෙන ‘ස්වාමීනි, පිළිවන් අත් පා මෙහෙයක් කොට ලා ස්වාමිදරුවන් ළඟ ම වසනු කැමැත්තෙමි’ යි කිවු ය. “යහපත, උපාසක ය’යි වදාළ සේක. එහෙත් ඔබ හැම වසන තැනට ගොසින් යහපත් කොට ම වත් පිළිවෙත් කෙරෙමින් වහන්දෑ සිත් ගෙන සුව සේ ම රැකී ලා දෙ මසක් විතර ගිය කලට දුව දක්නා කැමැති ව ‘ඉදින් මේ ස්වාමි දරුවන්ට ඔබ යන නියා ව කීම් නම් තමන් වහන්සේට මා සුව ලද හෙයින් යා නො දෙන සේකැයි සිතා සුඛිත ගුණය නැත්තා සේ ම සුජන ගුණ යත් නැති හෙයින් නො කියා ම නික්මිණ. එ තැනට ආ දෙමසට නොකියා පලා ගිය ගමන් විනා අනික් අඩුවක් නො පැවසී ය.
ඔහු යන මහත් පන්සියයක් සොරුන් රඳා හිඳිනා අඩවි වලෙක් ඇත. ඒ සොරුත් තමන්ට ලාභ ය මඳ හෙයින් යම්, කෙනෙක් මේ වලට අවුත් සම්භ වූ නම් උන් මරා පියා උන්ගේ මස් ලෙයෙන් තොපට බිලියම් කරම්හ’යි ඒ වල දෙවියන්ට ආරාධනා කොළෝ, ඒ දවසට සත් වන දවස ය. එ හෙයින් සොර දෙටුවා ගසට නැගී ලා යන එන්නවුන් බලන්නේ ඔහු දැක සොරුන් කියා ලීය. උයි ත් ඔහු වල් මධ්‍යයට ආ නියා ව දැක ගසා අල්වා ගෙන තරයේ ම බැඳ ගෙන ගිනි ගා හෙළා ගෙන දර කඩා රැස් කොට පියා ගිනි මොළවා ලා හුල් හසිති.
එයිත් ඒ හැම දැන ‘ස්වාමිනි, මෙ තැන පලහා ගෙන කන්නට හූරු කෙනකුත් මුව කෙනකුත් නැති. මේ කුමක් නිසා කරණ නියා දැ’යි විචාළහ. ‘තොප මරා තොපගේ මසින් හා ලෙහෙයෙන් වන දෙවියන්ට බිලියම් කරම්හ’යි කිවු ය. ඒ මරණ භයින් තැති ගෙන ගැළවෙන්ට උපදෙස් මුත් වහන්දෑගේ උපකාර නො සලකා ‘ස්වාමීනි, මම සිඟන්නෙක්මි. ඉඳුල් උළු ගසා කා වැඩිණිමි. සිඟන්නෝ නම් කාළකණ්ණිහු ය. සශ්‍රීක වූ දෙවියන්ට නිශ්‍රීකයන් ගෙන් කම් නැත. වහන්දෑ නම් කොයින් අවුත් මහණ වුවත් උත්තම ගුණ යෝගයෙන් උතුම් සේක. අසවල් තැන එක් තිස් නමක් වසන සේක. දේව පූජාවෙන් අභිමතාර්ථ ය සිද්ධ වුවමනා වී නම් ඒ වහන්දෑ මරා බිලියම් කළ මැනව. දෙවියෝ ඉතා පහදිතී’ කිවු ය.
සොරුත් ඒ අසා කට යුත්තක් කොට සිතා ගෙන මූ කියන්නේ කට යුතු ය. මූ සිඟන්නවුගෙන් ප්‍රයෝජන නැත. උත්තමයන් මරා බිළී දෙම්හ’යි සිතා ඒ වහන්දෑ වසන තැන් කියව’යි මං කියන්ට ඌ නිළ කොට ගෙන එ තැනට ගොසින් වෙහෙර මැද වහන්දෑ නො දැක ‘වහන්දෑ කොයි දැ’යි ඌ අතින් විචාළෝ ය. එයි ත් දෙ මසක් විවර එ තැන රඳා උන් හෙයින් වහන්දෑගේ කතිකා වත දන්නේ ‘මේ වේලාට වහන්දෑ ගණ සඞ්ගණිකාවාස ය නැති හෙයින් තම තමන් වහන්සේ රෑ වසන තැන හිඳිනා සේක. එක කෙනකුන් වහන්සේ තෙල ගෙඩි ය ගසන්නා රැස්වන සේකැ’යි වළඳන තැන බලා සිට වහන්දෑට අඵාසු කරණ මනුෂ්‍ය ප්‍රේතයකු මෙන් කීය. සොර දෙටුවා ම ගෙඩි ය ගසාලන ක්‍රමය ත් අරූගෙන් ම දැන ගෙන ගෙඩි ය ගසාලීය. වහන්දෑ ත් ගෙඩියේ හඬ අසා ගෙඩි ය ගැසුව මනා වේලෙක ගැසූ ගෙඩියක් නො වෙයි. කිසි තැනකට අඵාසුවක් ඇති නියා දෝ හෝ’යි වෙහෙර මැදට අවුත් පන්තීන් ම පනවා තිබෙන ගල් ලෑලි වල වැඩ හිඳ වැඩි මහලු තෙරුන් වහන්සේ සොර දෙටුවා ගෙන් ‘මේ ගෙඩිය. ගැසුවෝ කවුරු දැ’ යි විචාළ සේක. සොර දෙටුවා ‘ස්වාමීනි, මම ය’යි කීයේ ය. කුමක් නිසා දැ’යි විචාළ කල්හි ‘සම්භ වූ කෙනකුන් මරා උන්ගේ මස් ලෙහෙයෙන් වන දෙවියනටත් පූජාවක් කරම්හ’යි කළ ආරාධනාවෙක් ඇත. ඒ නිසා එක් වහන්දෑ නමක් ගෙන යම්හයි සිතා ය”යි කිවු ය.
ඒ අසා වැඩි මහලු තෙරුන් වහන්සේ සෙසු වහන්දෑට කියන සේක් – ‘ඇවැත්නි, බාල මල් බෑයන්ට පැමිණි කටයුතු වැඩි මහලු බෑණන් විසින් පිරිමසා ලිය යුතු ය. මම මාගේ ජීවිත ය තමන් හැමට ම පරිත්‍යාග කොට මුන් හා කැටි ව යෙමි. හැම දෙන ම නො පමා ව මහණ ධම් කළ මැනවැ’යි කී සේක. ඔබට ඉක්බිති ව තෙරුන් වහන්සේ ‘ස්වාමිනි, වැඩි මාලු බෑණන්ට පැමිණි කටයුත්ත බාල මල් බෑයන් විසින් පිරිමසා ලිය යුතු ය. මම මුන් හා කැටිව යෙමි. මුඹ වහන්සේ හැම නො පමා වුව මැනව. මම ගියෙම් නම් වැඩි මාලු බෑණන්ගේ ත් බාල මලුන් ගේ ත් කටයුතු පිරිමැසුවා වෙමි’යි කී සේක.
මේ ලෙසින් ‘අපි යම්හ, අපි යම්හ” යි පිළිවෙළින් හුන් තිස් දෙනා වහන්සේ ම නැඟී සිටි සේක. මේ ලෙස කරන්ට ඒ තිස් දෙනා වහන්සේ බුදු සස්නෙහි මහණ වූ හෙයින් බුදුන් මවු පිය පමණක් මුත් සෙසු ලෙසකින් එක මෑණි කෙනකුන්ගේ එක පියාණ කෙනකුන්ගේ දරුවන් සේ නො වන සේක. එතකුදු වුව ත් ඒ තරමට ත් වඩා ඔවුනොවුන් වහන්සේ කෙරෙහි මමායන ය කළ සේක. මෙයි ත් සලකා සමඟ වාස ය අවශ්‍යයෙන්ම කට යුතු ය. ඒ තිස් දෙනා වහන්සේ ගෙන් එක නමෙකු ත් ‘තමන් වහන්සේ ගිය මැනව, තමන් වහන්සේ ගිය මැනැවැ’යි කියා ගත නුහුනු සේක. කවර කලෙක ත් එක් ව වසන තැන් තෙල ලෙස විසීම යහපත.
සංකිච්ච තෙරණුන්දෑ වහන්දෑගේ කථාව අසා ‘ස්වාමීනි, මුඹ වහන්සේ රැඳුණ මැනව, මාගේ ජීවිත ය. මුඹ වහන්සේට පුදා මම යමී’ කී දෑය. ‘ඇවැත්නි, අපි හැම මිය මෝ නමුත් තොප නො යවම්හ’යි වදාළ සේක. ‘නො යවන්ට කාරණ කිම්දැ’යි විචාළ හෙයින් ‘තෙපි අනුබුද්ධ ව සිටි ධම් සෙනෙවි ස්වාමීන්ගේ හෙරණයෝ ය. අපි තොප සොරුන්ට පාවා දුනුමෝ නම් ඔබ ඒ අසා කැප කරු කමට යවා ලූ හෙරණුන් සොරුන්ට පාවා දුන්නේ කවුරුන්ගේ සම්මතයකින් දැ’යි යනාදි ය වදාරා අප හැමට නින්දා කරණ සේක.
‘එ සේ කරණ නින්දාවෙන් ගැළ වෙන්ට බැරි හෙයින් නො යවම්හ’යි වදාළ සේක. සංකිච්ච හෙරණුන් දෑ ද ‘ස්වාමීනි, එසේ වී නම් බුදුහු මුඹ වහන්සේ අපගේ උපාධ්‍යායයන් වහන්සේ ලඟට එවන සේකු ත්, අපගේ උපාධ්‍යායයන් වහන්සේ මා මුඹ වහන්සේ ලා කැටිව එවන සේකු ත් මේ දැක එවා වදාළ සේක. අනිකක් නිසා නො වෙයි. හැම තැන් ම රඳන බව ය. මම මුන් හා කැටි ව යෙමි’ හැම තැන ම වැඳගෙන ක්‍ෂමා කරවා ගෙන නික්මුණු සේක.
වැඩි මාලු තෙරුන් වහන්සේ ද අධිගත ගුණ විශේෂය එබඳු කරුණක් ඇති කල මුත් නිධාන ලත් සාර පුරුෂයන් නිධාන රක්නා සේ අනුන්ට නො හඟවන හෙයින් හෙරණුන් දෑ රහත් නියාව නොදැන සොර දෙටුවාට ‘තුලූ බාලයෝ ය. තොප ගොසින් ගිනි මොළවන නියාව ත්, උල් සසිනා නියාවත්, කොළ අතුරන නියාව ත්, දැක බා යෙති. උන් මුවා තැනෙක හිඳුවා ලා ඒ ඇම කරව’යි වදාළ සේක. වදාළ පමණක් මුත් කැඳවා ගෙන නික්මෙන්නා ම වහන්දෑට බලවත් මුසුප්පු ඇති විය. ඇස්වල කඳුළුත් පිරිණ. මොර ගා නො හැඬු පමණෙක.
සොරු ත් හෙරණුන් කැඳවා ගෙන ගොසින් මුවා තැනෙක හිඳුවා ලා බුදු වන්ට මවු කුස උපන් දවස් පවා නරක ගිනි නිවූ බුදුන්ට පුත් වූ ඍද්ධ්‍යානුභාවයෙන් එම නරක ගිනි ඇසිල්ලෙක නිවා ලන්ට බල ඇති මුගලන් මහ තෙරුන් වහන්සේට බෑණ වූ, හෙරණුන්දෑ සැරියුත් මහ තෙරුන් වහන්සේගේ පුත් වූ නියාවත් නො දැන, නැවත මාර්‍ග ඥාන නමැති පැනින් ද්වේෂ ගින්න ආදී වූ බලවත් එකොළොස් ගින්න නිවා සිටි තැනට මේ ගිනි ගිනි නො වන නියාව නොදැන ගිනි ත් මොලවා ලා, කෙලෙස් හුල් ඇඟ නො ඇනෙන තැනට මේ හුලින් ප්‍රයෝජන නැති නියාව නො දැන හුලු ත් සැස ලා, සෙසු ත් කළමනා දෙය කොට ලා සොර දෙටුවා කඩුව කොපුවෙන් හයා ගෙන හෙරණුන්දෑ ළඟට ගියේ ය. හෙරණුන්දෑ ද උපාධ්‍යාය වූ ධර්‍ම සෙනෙවි ස්වාමීන් රජ ව උපන් කලෙක ඇන ලූ ඔළුවේ ටොක්කක් නිසා පූර්ව වෛරයක් ඇති යක්‍ෂයකු ඔබ අලුත හිස කේ බාපු දවසෙක ඔළුවේ ඇන වෛර ය තුනීකරන්ට එන්නහු දැක අවුත් ඔළුවෙ අන්නට පෙරාතු නිරෝධයට සම වන්නා සේ හිඳිනා හෙරණුන් දෑ ද අධිෂ්ඨානාදි ය කොට ලා නිරෝධයට සම වන් සේක.
සොර දෙටු ද කඩුව සලා දී ලා හෙරණුන් දෑ කරට පහරක් ගැසී ය. ගසා ලූ කඩුව දෙ මුවාත එක්ව නැමී ගියේ ය. පහර ලෙස වත් නො වී ය යි සිතා නැවත මුවාත හැද හැර ලා ගැසී ය. එ විට තෝඩුව කන තබන්ට හකුළු වන තුඹ පතක් මෙන් හැකිළී කඩු මිට දක්වා හැකිළිණ. කඩුවකින් තබා මහ මෙරෙන් වුව ත් ගසා ඔබට එවේලෙහි අමුත්තක් කට නො හැක්ක. මෑණියන් දෑවත් මුන් දෑ නො දෑ ගමන ම ඊට දෘෂ්ටාන්ත ය.
සොර දෙටු ද ඒ පෙළහර දැක ‘පෙර මාගේ කඩුව ගල් ටැඹක් වුව ත් කිළිල් කඩක් මෙන් කපා පළවා පියයි. දැන් ආදී විට ගසා ලූ ගමනේ දෙ මුවා ත් එක් ව නැමිණ. පසුව විට කල් පතක් හකුළුවන්නා සේ අග සිට මුලට හැකිළිණ. මේ සිත් පිත් නැති යකඩ කැටි ය පවා මුන් වහන්සේගේ ගුණ දත. සිත් ඇතිවත් අහේතුක දුහෙතුකයන් නිවන් දත නො හෙන්නා සේ මම දත නුහුනුයෙමි. අනේ මා කළේ කිම් දැ’යි කඩුව බිමට දමා පියා වැඳ ගෙන වැද හෙව ‘ස්වාමීනි, ජීවත් වන්ට නිසි නිරවද්‍ය බොහෝ උපදෙස් ඇතත් සාවද්‍ය වූ සොර කම හැසිර වස්තු නිසා තපසට නියම වලට අවුත් වනුම්හ. අප දුර දුට ත් දහස් ගණන් වුව ත් භයින් වෙවුලා යෙති. දෙ තුන් දෙනෙක් වී නම් කියනු ම කිම්ද?
“තාසො තෙ නත්‍ථි න භයං - භීය්‍යො චණ්ණො පසීදති,
කස්මා න පරිදෙවෙසි - එවරූපෙ මහබ්භයෙ”
යනු හෙයින් මුඹ වහන්සේට භයෙක් මුසුප්පුවෙක් නැත. දවා ගිනි වර කළ රත්රනක් මෙන් ද, සවක් ව පිපී ගිය කිණිහිරි මලක් මෙන්ද මුඹ වහන්සේගේ මූණ ඉතා ම හොබ්බී. කාරණ කිම් දැ’යි විචාළහ. හෙරණුන්දෑ ද නිරෝධයෙන් නැඟී -
“නත්‍ථි චෙතසිකං දුක්ඛං - අනපෙක්ඛස්ස ගාමිණි,
අතික්කන්තෙ භයා සබ්බා - ඛීණසංයොජනො ඉසි.
ඛීණාසවස්ස භවනෙත්ති - දිට්ඨා ධම්මා යථා තථං,
නිබ්භයං මරණං හොති – භාරවොරොපනං යථා”
යනු හෙයින් ‘හෙම්බල සොර දෙටුව, කිසිවෙක ඇලුම් නැති රහතන් සිතට දුක් නැත. සියලු ම භය ත් නැත. රහතන්ගේ අත් බැව් නම් හිස තුබූ බර අවශ්‍යයෙන් එක් තැනෙක තබන හෙයින් හිස තබා ගෙන ම නොහිඳිනා හෙයින් ඒ හා සරි ය’යි බණ වදාළ සේක. සොර දෙටුවාණෝ ද ඔබගේ බණ අසා පන්සියයක් මූණු බලා ‘තෙපි හැම කුමක් කරවු දැ’යි විචාළහ. ‘මුඹ දෑ කුමක් කරන්නේදැ’යි විචාළ කල්හි ‘මෙ බඳු පෙළහරක් දැක තවත් සොරකමට ගිහිගෙයි රැඳීමෙන් ප්‍රයෝජන නැත. මුන් වහන්සේ ළඟ මහණ වෙමි’යි කිවු ය. ඌ හැමත් ඒ පෙළහර තමනු ත් දුටු හෙයින් සොරකමට එක් වුවත් මහණ වීමට එක් වූවයි වරද නැති හෙයින් ගිවිස පන්සියක් දෙනා ම සාමණේරයන්දෑ වැඳ මහණ කරන්ට ආරාධනා කළහ.
වයස අවුරුදු සතක්ම හෙයින් මාලු පැවිදි වස් දසයක් යන්ට නුවුවත් ස්ථිර වූ සීලසමෘද්ධ්‍යාදි ගුණයෙන් යුක්ත හෙයින් තෙර කමු ත් කරණ සේක් හී තල බා ලා හිසකේ ත් කප්පා පිළි යෙහි දාවළු ත් කප්පවා ගුරු මැටියෙන් පිළි පො වා පියා ඒ සිවුරු හඳවා පොරවාලා දස සීල පිහිටුවා ලා සාමණේර පන් සියය හැර ගෙන යන සේක් ‘ඉදින් මම තිස් දෙනා වහන්සේ නො දැක ගියෙම් නම් ඒ වහන්දෑ මහණ ධම් කට නො හෙන සේක. මේ සොරුන් ගෙන් වන උවදුරට සහාය වූ කල කෙලෙස් සොරුන් ගෙන් වන උවදුරට ත් මා සහාය වුව මනා වේ ද? සොරුන් මා හැර ගෙන නික්මුණු වේලේ පටන් කඳුළු ධාරා නුහුණු එක නමකු ත් නැත. මා නුදුටුවො ත් ශෝක කාරණයක් මුත් භාවනා වැටහෙන්ට කාරණ නැත. එ හෙයින් මා ආ කට යුත්තෙන් එකක් සිද්ධ වූ බැවින් අනිකත් සිද්ධ කරවමී’ පන්සියයක් දෙනා වහන්සේ පිරි වරා ඒ තිස් දෙනා වහන්සේ කරා ගොසින් දැක ම අර්හත්ව ය ලත් කල වන සතුටට පූර්‍ව නිමිත්තයා සේ සතුටු වූ වහන්දෑ ‘සත් පුරුෂයාණෙනි, දිවි ලත් නියා වේ දැ’යි කී කල්හි ‘එ සේය, ස්වාමීනි, මූ මා මරණු කැමති ව ත් මා මරා පියන්ට නිසි කර්‍මාපරාධයක් බාහිය - දාරුචීරියාදි තැනට මෙන් මා කෙරෙහි නැති බැවින් මරා ගත නො හී මාගේ ගුණයෙහි පැහැද මහණ වු ය.
‘මම ද යන ගමනේ මුඹ වහන්සේ හැම දැක යෙමි’යි අයිමි. වල් සොරුන් ගෙන් ගැළවුණුම්හ යි පමා නො ව කෙලෙස් සොරුන්ගෙනුත් ගැළවෙන්ට යත්න කළ මැනව. මම බුදුන් ලඟට යෙමි’ කියා ලා ඒ වහන්දෑ වැඳ ගෙන සහපිරිවරින් උපාද්ධ්‍යායයන් වහන්සේ ළඟට ගොසින් ‘කුමක් ද? සංකිච්චයෙනි, අනුන්ට අතවැසි ව ගොසින් අතවැසි කෙනකුන් ලැබ අවු දැ’යි විචාළ කල්හි ‘එ සේ ය, ස්වාමීනි’යි ඒ පවත ඔබට සැළ කළ සේක. මහ තෙරුන් වහන්සේ ත් ‘යව, සංකිච්චයෙනි, බුදුන් දකුව’යි වදාළ කල්හි යහපතැ යි ගිවිස මහ තෙරුන් වහන්සේ වැඳ ලා සහපිරිවරින් බුදුන් ළඟට ගොසින් බුදුනුත් ‛සංකිච්චයෙනි, අතවැසි කෙනකුන් ලදු දැ’යි විචාළ කල්හි ඔබටත් අතවැසි තැන් ලත් ලෙස වදාළ සේක. බුදුහුත් ‘එසේ ද, මහණෙනි, විචාරා වදාරා ‘එ සේ ය’යි කී කල ‘යම් කෙනෙක් සොර කම් ආදී වූ පව් කොට හවුරුදු සියයක් ජීවත් වෙත් නම් උන් එ සේ ජීවත් වන ජීවත් වීමට යම් තම් පමණෙකත් පින් කම හැසිරෙන්නවුන්ගේ එක හවුරුද්දක වුව ත් එක මසෙක වුව ත් එක දවසෙක වුව ත් එක දවාලෙක වුව ත්, එක රැයෙක වුව ත්, එක වේලෙක වුව ත් ජීවත් වීම ධර්‍ම ජීවිකා හෙයින් යහපතැ’යි වදාළ සේක.
දේශනා කෙළවර සංකිච්ච හෙරණුන්දෑගේ අතවැසි පන්සියය පළමු සොර ව විසූ හෙයින් කෙලෙස් සොරුන් හා එක් වුවත් එ දවස් ඒ එක්ක ම හැර බුදුන් බළ කොටු කොට කෙලෙස්
සොරුන් මරා නිමවා සිවු පිළිසිඹියා පත් රහත් වූ සේක. තව ත් එ තැනට පැමිණි බොහෝ දෙන නිවන් සාධා ගත්හ. අර තිස්දෙනා වහන්සේගේ අධිගම ය අටුවායෙහි නො ආව ත් සංකිච්ච හෙරණුන්දෑගේ බලයෙන් වල් සොරුන් ගෙන් ගැළවී මාර්‍ග භාවනා බලයෙන් කෙලෙස් සොරුන් නසා රහත් වුව යි ම දත යුතු.
පසු ව කල් යෑමක දී සංකිච්චයන් දෑ උපසම්පන්න ව දවස් ගොසින් අතිමුත්තක නම් බෑනණු කෙනකුන් මහණ කොට ගෙන මාලු පැවිද්දට වයස් ඇති තැන දී බණවා ලා ‛තොප මාලු පැවිදි කරම්හ. තොපගේ නෑයන් ළඟට ගොසින් හවුරුදු ගණන උන්ගෙනුත් විචාරා ගෙන එව’යි යවු සේක. උන්දෑත් දෙමවුපියන් ළඟට යන ගමනේ අතුරු මඟ දී සොරුන් පන්සියයක් වන දෙවියන්ට බිලියමට මරන්ට අල්වා ගත් කල්හි උන්ට බණ කියා උනුත් පැහැද ‘අප මෙ තැන සිටි නියාව කාට ත් නො කිය මැනවැ’යි කියා ගිවිස්වා ලා හළ කල්හි පෙර මඟ දෙ මවු පියන් එන්නවුන් දැක දෙ මවු පියන් රැක්මට ත් වඩා බස රැක්මෙහි තර ව එ ම මඟ යන දෙමවුපියන්ට ලෙශයෙනු ත් නොකීදෑ ය. සොරු ත් උන් අල්වා ගෙන මරා තළා ගහට කරන්ට පටන් ගත්හ. දෙමවුපියෝ ත් ‘අනේ පුත, අතිමුත්තකයෙනි, තෙපිත් සොරුන්හා එක් ව ගෙන අපට ම ගහට කරවු දැ’යි කිය කියා හඬති. සොරු ඒ අසා දෙමවුපියන් පමණකට ත් නොකී නියා වේ දැ’යි පැහැ ද ‘දෙමවුපියන් තරමට ත් වඩා පිළිවෙත් ගරු කළ ඔබ ළඟ ම මහණ වම්හ’යි සිතා ගෙන මහණ කරන්ට ආරාධනා කළහ.
උන්දෑ ත් සංකිච්ච තෙරුන් වහන්සේ, සාමණේර භූමියෙහි සිට සොරුන් පන්සියය මහණ කළ ලෙසින් ම මහණ කොට ලා සංකිච්ච තෙරුන් වහන්සේ ළඟට ගොසින් ඔබගේ විධානයෙන් බුදුන් ළඟට පැමිණ සියලු පවත් සැළ කළ සේක. බුදුහු ත් ‘එ සේද මහණෙනි, වදාරා එ සේ ය’යි දැන් වූ කල්හි වස්තු දෙක ම එක ලෙස පැවැති හෙයින් සංකිච්ච වත වදාළ බණ ම චරිත ත් එක ම හෙයින් වදාළ සේක. ඒ දේශනා කෙළවර ත් අතිමුත්තකයන් දෑගේ අත වැසි පන් සිය ය රහත් වූ සේක.
එ හෙයින් නුවණැත්තවුන් විසින් එක දවසක් ජීවත් වතත් පින් කම ම හැසිර ජීවත් විය යුතු.
-
රන් පිඩැල්ලක් ↑