තව ද වැඳීමෙහි අනුසස් දක්වනු සඳහා දීඝායු කුමාරයන්ගේ වත දක්වමු.
කෙ සේ ද යත් -
දිඝලම්බික නම් නුවර වසන බමුණෝ දෙන්නෙක් ශාසනයෙන් පිටත මහණ ව අට සාළිස් හවුරුද්දක් තපස් කොළෝ ය. උන් දෙන්නාගෙන් එක් කෙනෙක් ‘කලත්‍රපරිග්‍රහ ය නැති කලට අපගේ කුල පරම්පරාව නස්සි’යි සිතා තමා රැකි තපස් අනුන්ට විකුට දෝ හෙවත් එහි පින් දී ගෙරි සියයකු ත් මසුරන් සියයකු ත් පාදපරිචාරිකා කෙනකුනු ත් ලදින් පුත්‍ර ප්‍රතිලාභ ය තකා කලත්‍ර පරිග්‍රහ ය කොළෝ ය. උන්ගේ ඇඹේණියෝ ත් දරු කෙනකුන් වැදූහ.
තපසේම සිටි යාළුවාණෝ දුරෙක රඳා ලා එම නුවරට පෙරළා අවු ය. උන් ආ නියාව අසා අඹු දරුවන් කැඳවා ගෙන දක්නට ගොසින් පුතණුවන් මෑණියන්ට වඩා ලා තුමූ වැන්දෝ ය. මෑණියෝ ද පුතණුවන් පියාණන්ට වඩා ලා තුමූ වැන්දෝ ය. උන් දෙපක්‍ෂයට ම ‘බොහෝ කලක් ජීවත් වව’යි කිවු ය. පුතණුවන් වඳවා ලූ කලට නුපුරුදු හෙයින් බැණ නො නැඟෙන්නා සේ ආයු ශක්තිය මඳ නියාව දැන බැණ නො නැංගෝ ය. ‘අප දෙන්නා වැඳි ගමනේ වයස් ඇති ව සිටිය වුන්ට ‘බොහෝ කලක් ජීවත්වව’ යි කියා ලා මුන් බොහෝ කලක් ජීවත් වන්ට නිසි තැනැත්තන් බලා නියම දත් බව මුත් කාල චක්‍ර ය නො දත් හෙයින් බැණ නො නැඟී නියා දැ’යි විචාළෝ ය. ‘මුන්ට එක් උවදුරෙක් පෙනෙ’යි කිවු ය. කෙතෙක් දවස් ජීවත් වෙද් දැ’යි විචාළ කල්හි ‘සත් දවසක් ජීවත් වෙතී’ කිවු ය. ‘උවදුරු දුරලන්ට කාරණ ඇද්දැ’යි විචාරා නැතැ යි නො කියා ‘මම නො දනිමි’ කී හෙයින් ‘අනික් කාරණ දන්නෝ ඇද්දැ’යි විචාළෝ ය.
‘මහණ ගොයුම්හු ඊට කාරණ දනිති. ඉන්ද්‍රශාල ගුහාවෙහි දී ශක්‍රයන් වැඳ ගෙන හොත් ගමනේ ම මළවුන්ට ‘ජීවත්වව’යි වදාළ බස් පමණකින් මිනිස් ලොව ආයුගණනින් තුන් කෙළ සැට ලක්‍ෂයක් අවුරුද්දට ශක්‍රයන්ට ආයු දුන් කල මුන්ට ත් මෙවක පවත්නා ආයු දෙන්ට කාරණ ය දනිති, ඔබ යව’යි කිවු ය. ‘ඔබ ගියොත් තපසට හානි වේ දෝ හෝ යි බමි’ කිවු ය. ඉදින් තොපට දරු පෙමෙක් ඇත් නම් තපස්හානි නො සලකා මහණ ගොයුම්හු කරා ගොසින් ඊට උපදෙස් විචාරව’යි කිවු ය. උයි ත් බුදුන් ළඟට ගොසින් බුදුන් ගෙනුත් කථාව එවා ගන්නා පිණිස වැඳ ලා සිටියෝ ය. බුදුහු ‘බොහෝ කලක් ජීවත් වව’යි වදාළ සේක. කුමාරයන්ගේ මෑණියන් වැඳ ලා සිටි කල ත් එලෙස වදාළ සේක. පුතණුවන් වඳවා ලූ කල මුවෙන් බැණ නො නැඟෙන්නට කාරණ ඇති නියාව බුදු නුවණින් ම දත් හෙයින් බැණ නො නැඟි සේක. බැණ නො නැඟෙන්ට කාරණ බුදුන් අතිනු ත් විචාළහ.
බුදුහු ත් තවුසාණන් බුදු නූවත් ශිල්පානුභාවයෙන් දැන කියා ලූ ලෙසට ම වදාළ සේක. වෙනස නම් පිළිබහන්ට නිසිකාරණ උන් නොදත් බව ය. බමුණානෝ ද මේ උවදුරු සන්හිඳුවන්ට නිසි උපදෙස් ඇද්දැ යි විචාරා ඇතැ යි වදාළ කල්හි ‘උපදෙස් කව රේ දැ’යි විචාළෝ ය. ‘ඉදින් තොපි තොපගේ ගෙදාර මඬුවක් ලවා ලා මඬුව මැඳ පිළක් ලවා ලා ඒ වට කොට ආසන අටක් හෝ සොළසක් හෝ පනවා ලා මාගේ සවුවන් එහි හිඳුවා ලා සතියක් මුළුල්ලෙහි අවිච්ඡින්න කොට පිරිතක් බණවා ගත හුනු නම් ඒ උවදුර නැති වෙ යි’ වදාළ සේක. ‘මම වන්නා වදාළ ලෙස සෙස්ස කරවා ලමි. වහන්දෑට මාගේ විධාන නැත. කෙ සේ ලැබෙම් දැ’යි කිවු ය. ‘තොප සෙස්ස කරවා ලන්නා මම වහන්දෑ එවමි’ වදාළ සේක. යහපතැ යි ගිවිස තමන්ගේ ගෙ දොර කැර වුවමනා දෙය වදාළ සේ ම කරවා බුදුන් ළඟට ගියහ. බුදුහු වහන්දෑ යවු සේක. වහන්දෑ ගොසින් හසුන්වල වැඩහුන් සේක. කුමාරයනු ත් බිම්පිළ වැද හොවා ලූ ය. වහන්දෑ ද සතිය මුළුල්ලෙහි විච්ඡෙදයක් නැතිව පිරිත් බිණූ සේක.
සත් වන දවස් ත්‍රි විධොපද්‍රවයන් සන්සිඳුවන්ට විශාලාවට වැඩියා සේ ම බුදුහු ත් වැඩි සේක. බුදුන් වඩනා ම මුළු සක්වළ දෙවියෝ ත් රැස් වූහ. ගුණයට විරුද්ධ වූ අවරුද්ධක නම් යක්‍ෂයෙක් දොළොස් හවුරුද්දක් වෙසවුණු රජ්ජුරුවන්ට සේවය කොට උන්ගෙන් සංග්‍රහ ලබන්නේ එ දවසට සත් වන දවස් ඒ කුමාරයන් කන්ට ලද හෙයින් එහි සිටියේ ය. බුදුන් වැඩ මහේශාක්‍ය දෙවියනු ත් රැස් වූ හෙයින් අල්පේශාක්‍යයෝ පසු බැස අවසර පානාහු අට සාළිස් ගවුවක් විචර පසු බටහ. අවරුද්ධකයෝත් වෙසවුණන්ට කළ සේවය මුත් බුදුන්ට කළ සේවයක් නැති හෙයින් එ සේ ම පසු බටහ. බුදුහු ත් තුන් යම් රාත්‍රියෙහි පිරිත් බිණූ සේක. සතියක් ඉකුත් ව කාල නියම ය වැරදි හෙයින් අවරුද්ධකයන්ට බිලිය ත් විරුද්ධ වි ය. අට වන දවස කුමාරයන් ගෙන වුත් බුදුන් වඳවාලූහ. බුදුහු එ දවස් ‘බොහෝ කලක් ජීවත් වව’යි වදාළ සේක. බමුණානන් කෙ තෙක් කල් ජීවත් වේ දැ’යි විචාළ කල්හි ‘එක්සිය විසි හවුරුද්දක් ජීවත් වෙතී’ වදාළ සේක. ඒ නියාවට ආයුවර්ධන කුමාරයෝ ය යි නම් තැබූහ.
උයි ත් වැඩී වර්ධන ව පන් සියයක් උපාසකවරුන් පිරිවරා ගෙන ඇවිදිති. එක් දවසක් වහන්දෑ ධම් සෙබෙයි දී ‘ඇවැත්නි, සත් වන දවස් මර ළං ව සිටි ආයුවර්ධන කුමාරයෝ දැන් එක් සිය විසි හවුරුද්දට ආයු ඇති ව පන් සියයක් උපාසකවරුන් පිරිවරා ගෙන ඇවිදිති. මේ ලොව ගෙවී ගිය ආයු පෙරළා වඩන්ට ත් කාරණ ඇති නියා වේ දැ’යි කථා ඉපැද වූ සේක. බුදුහු එ තැනට වැඩ අඩාල ව තුබූ කථාව විචාරා වදාරා මේ නියාව දැන ‘මහණෙනි ගුණ ඇත්තවුන්ට වඳනෝ ආයු පමණකින් ම වඩනෝ නොවෙති. අනිකු ත් තුනෙකින් වඩිතී’ වදාරා ‘නිරන්තරයෙන් තුනුරුවන් වඳනාසුලු වූ දෙමවු පිය නැඳි මයිල් බෑ බූන් ආදී වූ වෘද්ධයන්ට ආදර සම්භාවනා ඇති ගිහින්ට ද ශාසනික වුවොත් ප්‍රව්‍රජ්‍යාවෙන් උපසම්පදාවෙන් වැඩි සිටියවුන් කෙරෙහි ආදර ඇත්තවුන්ට ද ඒ ඒ තැන්හි ප්‍රති නියත වූ ආයු ද ශරීර වර්‍ණය ද ශරීර ඵාසු ද ශරීර බල ය ද යන සතර වඩ්ඩි.
‛යම් කෙනෙක් සියක් හවුරුදු ජීවත් වන තරම් පින් කම් කොළෝ වී නම් පනස් ඇවිරිදි අවස්ථාවෙහි දී උන්ට පෙනුණු උවදුරු වැඳීම නම් බලී බලවත් කුශලයක් හෙයින් එහි බලයෙන් උව දුරු සන්හිඳී මියන්ට ආසන්න ගසක් පැන් ලදින් බොහෝ කලක් පවත්නා සේ ඌ තුමූ ආයු නිමන තෙක් සිටිති. ශරීරවර්ණාදී වූ අනික් තුන ත් ආයු හා සමග වඩ්ඩි. ඒ වඩනට වෙන පිනක් කළ මැනැව’යි නැත. සියක් හවුරුද්දෙන් ඔබ්බෙහි හවුරුදු දහසක් වුව ත් වඩා වුව ත් එ තෙක් ම ය. ආයු වැඩීම නම් මේ ලෙසින් වත් මුත් විබන්ධ නැති ව පවත්නා ආයුෂයෙහි වැඩි වීමෙක් නැතැ’යි වදාළ සේක. දේශනා කෙළවර ආයුවර්ධන කුමාරයෝ පන් සියක් දෙනා හා සමග දෘෂ්ටධර්‍මවෙද්‍ය විපාක වශයෙන් මේ ජාතියෙහි ආයු වැඩිය ත් සසර ආයු ගෙවා සෝවාන් වූහ. සෙසු ත් බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියහ.
එ හෙයින් සත් පුරුෂයන් විසින් වැඳීම නම් ආයාස දෙයක් නො වන හෙයිනු ත් ලෝභ උපදන්ට වියදම් වන දෙයක් නො වන හෙයිනු ත් එයින් ජනිත වූ කුශලයෙන් විපාක සතරක් ලබන හෙයිනු ත් ලොවුතුරා විපාක ත් නිරායාසයෙන් සිද්ධ වන හෙයිනු ත් වැඳීමෙන් සිද්ධ වන කුශල ය සිද්ධ කට යුතු.