තව ද මවු දෙන සිටිය දී අනික් දෙන කරා කිරට ගිය වස්සාට ඇන්ඩෙන්[1] පාර විනා කිරක් ම නැත්තා සේ බඹ ලොවට යන මං තිබිය දී අපාය මාර්ගයෙහි හැසිරෙනවුන්ට අපාය විනා අනිකක් සම්භ නො වන නියා ව හඟවන්ට සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ මිත්‍ර බමුණානන්ගේ කථා ව දක්වමු.
කෙ සේ ද යත්-
මහ තෙරුන් වහන්සේ උන් කරා ත් ගොසින් කථාව එළවනු නිසා ‘ කිම්ද, බමුණානෙනි, පින් කරවුදැ’යි විචාළසේක. ‘එසේ ය, ස්වාමීනි’යි කිවුය. ‘කුමණ පිනෙක් දැ’යි විචාළ කල්හි ‘බොහෝ දෑ වියදම් කොට යාග කෙරෙමී’ කිවු ය. මහතෙරුන් වහන්සේ උනුත් බුද්ධ වෙනෙය්‍ය හෙයින් බුදුන් කරා ගෙන ගොසින් බඹ ලොවට යන මඟ තබා ලා වල් හිරන නියා ව වදාරා බඹ ලොවට යන මඟ ත් නිවන් මඟ ත් වදාළ යහපතැ’යි දැන්වූ සේක.
බුදුහුත් බමුණානන්ට ‘බඹ ලොව පතා යාග කරවුදැ’යි වදාරා එ සේය යි කී කල්හි ‘හෙම්බා බමුණානෙනි, පන් සිල් පමණෙක ත් නො පිහිටි ලෞකික ජනයනට තෙපි ත් පින් කම් හවුරුද්දක් මුළුල්ලෙහි කරන්නාහු බොහෝ සේ මඟුල් දවස් දිය යුතු වූ දන් වුව ත්, සරහා දෙන අමුතු බත් වුව ත්, කම් පල භදහා දෙන දන් වුව ත් දෙවු නම් ඒ මුළුල්ල ම මාගේ ශාසනයෙහි යට ත් පිරිසෙයින් සෝවාන් කෙනකුන් වේව යි, උඩ ත් පිරිසෙයින් රහත් කෙනකුන් වේව යි ‘යම් කෙනෙක් පහන් සිතින් වැඳීම් පමණකුත් කොළෝ වූ නම් උන්ට උපන් කුශල චේතනා මුළුල්ල තිබිය දී ඒ කුශලචේතනාවෙන් සිද්ධ වූ විපාක ය සතරක් කළ කල ඉන් එක් භාගයක් විතරට ත් සෙස්ස නොඅග්ගි. නිස්සාර බිම ගොයම් සේ විපාක සමෘර්ධිය නැත. තමා කාමාවචර හෙයින් බඹ ලොවත් උපදවාලිය නොහෙයි. බඹ ලොව උපන මනා වී නම් සිල් රැක සමථ භාවනායෙහි යෙදී ධ්‍යාන උපදවා තත්පාදක වූ මාර්ග උපදවා ගත නො හී නම් බඹ ලොව උපදව’යි වදාළ සේක. දේශනා කෙළවර බමුණානෝ රූපාවචර කුසල් පසු කොට ලොවුතුරා කුසල්හි පිහිටා සෝවාන් වූහ. සෙසුත් බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියාහ.
එහෙයින් සත් පුරුෂයන් විසින් යම් සේ සක් විති රජ්ජුරුවෝ සතර සංග්‍රහ වස්තුවෙන් ජන සංග්‍රහ කෙරෙද්ද, එමෙන් සිවුවනක් පිරිස් සිත් ගෙන, යම් සේ සක් විත්තන්ගේ රට සොරු නැද්ද, එමෙන් තම තමා සතන්හි කෙලෙස් සතුරන් හින්ද නො දී, යම් සේ සක් විත්තෝ දවස් පතා මුළු සක් වළ සිසාරා ඇවිදිද්ද, එ මෙන් දවස් පතා තම තමන්ගේ ගුණ අයුණු විමසා ගුණ පක්‍ෂය ගෙන නුගුණ පක්‍ෂ ය හැර, යම් සේ සක් විත්තන්ට ඇතුළ පිටත රකවල් තර ද, එ මෙන් රූපාදි ෂඩාලම්බන විෂයෙහි පවත්නා කෙලෙස් සතුරන් රඳවනු නිසා සිහි රකවල් තර කොට ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කට යුතු.
__________
-
ඇගෙන්-ඇඬෙන ↑