100. සාතාගිර - හේමවත දෙදෙනා ගේ උත්පත්ති කථාව

star_outline

තව ද නපුරු ව කෙ තෙක් දවස් ජීවත් වීමට ත් වඩා එක දවසක් වුවත් යහපත් ව විසීම ම යහපත් නියාව හඟවන්ට සාතාගිර - හෙමවත දෙදෙනාගේ උත්පත්ති කථාව කියමු.

කෙ සේ ද යත් -

බුදුවරුන් වහන්සේ පස් නමක ගෙන් හෙබියා වූ මේ භද්‍ර කල්පයෙහි විසි’ දහසක් හවුරුද්දට ආයු ඇති ව ඉපැද පරමායු කාලය පස් කොටසක් කළ කල කොටසක් තිබියදී සතර කොටසක් නිමවා පිරිනිවෙන හෙයින් සාර දහසක් හවුරුදු තිබිය දී ම සොළොස් දහසක් හවුරුදු ජීවත් ව වැඩ සිට ලා කසුප් බුදුන් පිරිනිවි කල්හි මහ පෙරහරින් ආදාහන පූජා ව කළහ. අපගේ බුදුන් මෙන් අල්පායුෂ්ක නොව දීර්ඝායුෂ්ක වූ බුදුවරයන් වහන්සේගේ ධාතු නො විසිරෙන හෙයින් කසුප් බුදුන්ගේ ධාතු නොවිසිර රන් කඳක් මෙන් සිටි සේක.

අල්පායුෂ්ක බුදුවරුන් වහන්සේගේ ධාතු විසිරෙන්ට කාරණ කිම්ද යත් - තමන් වහන්සේ බොහෝ කලක් ජීවත් නුවූ හෙයින් ධාතු පූජා නිසාත් සත්‍වයන්ට වැඩ සඳහා ඉසිරෙන්ට ඉටා වදාරන හෙයිනි.

කසුප් බුදුන්ගේ ධාතු වඩා සතර ගවුවක් විතර උස ඇති රන් දා ගැබක් කළහ. රන්දා ගැබ කරණ ගමනේ ත් මැටියට සිරියෙල් හැර ගෙන නිකම් මැටි නො ගෙන, පැනට සුවඳ තෙල් හැර ගෙන නිකම් පැන් නො ගෙන, එකි එකී උළ මසු ලක්‍ෂයක් වටනා වූ රන් උළින් එක් මුණක් කිකී රජ්ජුරුවන් හා, එක් මුණක් එ රජ්ජුරුවන්ගේ පුත්වූ පඨවින්ධර නම් කුමාරයන් හා, එක් මුණක් සෙනෙවි රදුන් පටන් ඇමැත්තන් හා, එක් මුණක් සිටාණන් පටන් දනවු වැස්සන් හා, තම තමන්ට නිළ කොට ගෙන බඳවා නිම වූහ. සතර ගවුව ම මිනිස්සු බැඳපූ ද යත් - මිනිස්සු තමන්ට පිළිවන් විතරක් බැන්දහ. සෙස්ස දෙවියෝ බැඳ නිමවූහ.

මෙ සේ රන් දා ගැබ බැඳ නිමවා පූජාවත් කරවා නිමි කල්හි කුල දරුවෝ දෙ යාළු කෙනෙක් ගිහි ගෙන් නික්ම බුදුන් ළඟ මහණ වූ වහන්දෑ කෙරෙහි මහණ වූ ය. එ සේ මැ යි, මහණ කරතත් මාලු පැවිදි කරත ත් නිස දෙත ත් බුදුන් ළඟ මහණච මාලු පැවිදි වූ කෙනෙක් මේ තුන කරණ සේක. පසු පසුව මහණ වූ තැනට මහණ කිරීම් මාලු පැවිදි කිරීම් නිසා දීම් බැරි ය. ඒ කුල දරුවෝ දෙ දෙන ද මහණ ව ලා ශාසනික තැන් පිරිය යුතු වූ ධුර කීයෙක් දැ යි විචාළ සේක. ග්‍රන්ථ ධුර ය හා විවසුන් ධුරය හා දෙක නියා ව වදාළ සේක. එයි ත් තෝරා විචාළ කල්හි මහණ වූ කුලදරුවන් විසින් ඇඳුරු තෙරවත් තෙර තැන් ළඟ නිස පිළිබඳ හෙයින් පස්වසක් මුළුල්ලෙහි රඳා හිඳ වත් පිළිවෙත් පුරා පාමොක් ද දෙ තුන් බණවරක් පමණ සූත්‍ර ද උගෙන චරිත ලෙසට කමටහනුත් ඉගෙන කුලෙහි ගෙනෙහි ඇල්මක් නැති ව වලට පලා ගොසින් රහත් වන්ට භාවනා කිරීම විවසුන් ධුරය ය. තමාගේ බල පමණින් සඟියක් හෝ සඟි දෙකක් තුනක් හෝ පස ම හෝ පාළි හෙයිනු ත් අර්ථ හෙයිනු ත් ඉගැන් ම ග්‍රන්ථ ධුර යයි කී සේක.

ඒ කුල දරු දෙ දෙනා වහන්සේ ත් ‘අපි තව බාලයම්හ. මාලු වූ කල විවසුන් පුරම්හ. මේ අවස්ථාවේ දී ග්‍රන්ථධුර ය පුරම්හ’යි සිතා ගෙන අකුරට පටන් ගත් සේක. දෙ දෙනා වහන්සේ ම මහ නුවණැති හෙයින් නො බෝ කලකින් තෙවළා ධර ව විනය විනිශ්චයේ ත් දක්‍ෂ වූ සේක. ඇසීම් පිරිවීම් නිසා කැටිව වහන්දෑ ත් බොහෝ වූ සේක. ගණි කම නිසා ලාභය ත් බොහෝ වි ය. එකි එකී තෙරුන් වහන්සේගේ පිරිවර වහන්දෑ පන් පන් සිය ය. ශාසනාකාශයට හිර සඳ වැනි සේක. එක බුදුන් පිරිනිවියාට සර්‍වඥ දෙ නමක් ලොව පහළ වූවාක් වැන්න.

එ කල ලජ්ජි පේශල ශික්‍ෂාකාමී නමෙකු ත්, අලජ්ජි නමෙකු ත් ගම්පල් වෙහෙරක එක් ව වසන සේක. ඉන් අලජ්ජි නම ගුණ ස්නේහ රහිත වීමෙන් තෙල් හැර ගත් මුරුවටක් මෙන් රළු පරළු දෑ ය. අකුරු පුළුල්ලක් මෙන් මුඛරි දෑ ය. උන්දෑගේ නපුරු තරම ලජ්ජි තැනැත්තන් වහන්සේට එක් ව හිඳිනා හෙයින් හැඟී තිබෙයි. උන් වහන්සේ ත් දැන දැන නො කීම නපුරු වේ දැ යි සිතා ‘තෙල ලෙස කිරීම සර්වඥ අනුශාසනාවට පිටි පා තිබෙන්ට නො කළ මැනැවැ’යි මාලු කම් කියන සේක. එ සේ කී කලට ‘තෙල ලෙස කියන්ට අප ගෙන් දුටුයේ කිම් ද? ඇසුයේ කිම් දැ’යි කියන දෑ ය. ලජ්ජි තැනැත්තන් වහන්සේත් අපට ඒ දැනේ ද? ඒ දන්නා සේක් වී නම් විනයධරයන් වහන්සේ වේ දැ’යි කී සේක.

අලජ්ජි නම ඒ අසා ‘ ඉදින් විනයධර තැනක් මේ කටයුක්ත විචාළ සේක් වී නම් සතෙකිච්ඡ ලෙසට කළ දෙයක් නැති හෙයින් මේ ශාසනයෙන් අපට පිහිටෙක් කොයි ද- සිතා විනයධරයන් වහන්සේ තමන්ට පක්‍ෂ කරණු කැමැති ව සිවුරු පිළී හැර ගෙන ඒ තෙර දෙ දෙනා වහන්සේ විනයධර කමට ප්‍රසිද්ධ ව සිටිනා හෙයින් පෙරාතු කොට ම ඔබ ගොසින් ගෙන ගිය පිරිකර දෙ දෙනා වහන්සේට දී සිත් ගෙන ලා ඔබ අතුරෙහි ම රඳා හිඳ සැදෑ ඇති වත් පිළිවෙත් සරුකෙනකුන් මෙන් අත් පා මෙහෙයට ත් පටන් ගත්හ. එක් දවසක වත් පිරිත් අන්තයෙහි සැතපෙන්ට යව යි කීව ත් නො ගොස් ම සිටිති. තෙර දෙදෙනා වහන්සේ ත් ‘කුමක් ද? කියයුත්තක් ඇති නියා දැ’යි විචාළ සේක. ‘එසේය, ස්වාමීනි, මාගේ නපුරක් දැක එක් කෙනකුන් වහන්සේ මා හා විවාදයෙක් ඇත. ඉදින් උන්වහන්සේ අවුත් මුඹ වහන් සේලාට කී සේක් නම් ධර්‍මවිනයානුකූල ලෙසට විචාරන්ට නො කැමැත්තේ ය’යි කීහ. තෙර දෙ දෙනා වහන්සේ ‘සඟ මැදට එවා ලූ කටයුත්ත නො විචාරන්ට යුක්ත නො වෙයි’ කී සේක. ‘ස්වාමීනි, ඉඳින් ඒ කටයුත්ත විචාරන ලෙසට විචාළො ත් මට ශාසනයෙන් පිහිටෙක් නැත. වන පවෙක් මට ම වන්නාට ය, මුඹ වහන්සේලාට ඉන් කිම් ද, නො විචාරන බව ය’යි කිවු ය. තෙර දෙ දෙනා වහන්සේ ත් යහපතැ’යි ගිවිසි සේක.

උයි ත් ඒ ලෙස ගිවිස්වා ගෙන තමන් රඳා හුන් විහාරයට ගොසින් විනයධර දෙ දෙනා වහන්සේගේ පක්‍ෂ කමක් නිසා ලජ්ජි තැනැත්තන් වහන්සේ හෙළා දකින්ට වන්හ. ලජ්ජි තැනැත්තන් වහන්සේ ත් ‘මූ තුමූ නිරාශංකයෝ ය. විනයධර තැන් පක්‍ෂ වූ නියා ය’යි ඒ ඇසිල්ලෙහි ම ගොසින් තෙර දෙ දෙනා වහන්සේ හා කථා නො කොට පිරිවර සඟ දහස කරා ගොසින් ‘හැයි ඇවැත්නි, සඟ මැදට නො පැමිණියේ නමුත් පැමිණි පසු විචාළ මනා වේ ද ? ඉඳින් සඟ මැඳට නො පැමිණියත් ගෙන්වා විචාරා දුටු වරදකට නිස්ස කරවා ලා සමඟ හෝ කැරවිය යුතු ය. තෙරවරුන් වහන්සේ දෙක ම නො කළ සේක. මේ කිම්දැ’ යි කී සේක.

ඒ වහන්දෑ ත් ‘අපගේ, ගුරුවරයන් වහන්සේ එකක් සිතා වේ ද උදාසීන වූයේ ය’යි තමන් වහන්සේ ත් උදාසීන වූ සේක. අලජ්ජි තැනැන්තො ත් අවසර ය ලදින් ‘හැයි, ආදි විනයධර තැන් දනිති නො වේ ද කීයේ. ඒ කියන විනයධර තැනු ත් සම්භ වුව. කිව මැනවැ’යි කියා ලා ලජ්ජි තැනැත්තන් වහන්සේ ම බොහෝ කලක් විසූ වෙහෙරට නො වදින්ට කියා ලා පලා ගියහ. උන් වහන්සේ ත් තෙර දෙ නම කරා ගොසින් ‘මුඹ වහන්සේ උගත් බණ නියාවට කුමක් කළ නියා ද? සිත් ගත් පමණකට පවිටු පුඟුලන් මුහුණු බැලූ බව මුත් ශාසන ය නො බැලූ සේක.

“ඡන්දා දොසා භයා මොහා - යො ධම්මං අතිවත්තති,

නිහීයති තස්ස යසො – කාළපක්ඛෙව චන්දිමා

යන පක්‍ෂයෙහි සිටි බව මුත්--

“ඡන්දා දොසා භයා මොහා - යො ධම්මං නාතිවත්ත ති,

ආපූරති තස්ස යසො – සුක්කපක්ඛෙ ව චන්දිමා”

යන පක්‍ෂ ය බැලුයේ ම නැත. මෙ වක් පටන් විනය විනිශ්චයක් නො කළ මැනව. කසුප් බුදුන් පිරිනිවියේත් අද ය. ඔබගේ සස්න නැති වූ යේ ත් අද ය’යි අඬාගෙන පලා ගිය සේක.

තෙර දෙ දෙනා වහන්සේ ත් මුසුප්පුව ගොසින් ‘අනේ අපි පුද්ගලයන් මුහුණු බලා පවතිමින් සිටි සසුන් රුවන හෙබක හෙළා පූම්හ’යි කුකුස් උපදවාගෙනඑ ම කුකුසින් වැඩිමහලු තෙරුන් වහන්සේ මිය ගොසින් දෙව් ලොව ඉපැද ගත නොහී හිම වත හෙමවත නම් පර්‍වතයෙහි හෙමවත නම් යක්‍ෂ ව උපන්හ. දෙ වන තෙරුන් වහන්සේ මිය ගොසින් මධ්‍ය දේශයෙහි සාත නම් පර්වතයෙහි සාතාගිර නම් යක්‍ෂ ව උපන්හ. පිරිවර සඟ දහසත් ධර්‍ම වින ය ලෙසට නො කොට ඒ දෙ නමගේ රුචි විලසට කළ හෙයින් දෙව් ලොව ඉපැද ගත නොහී යක්‍ෂ ව ඉපැද පියා සාතා ගිර–හෙමවත දෙ දෙනාහට පරිවාර වූහ. එ තෙක් දවස් කරණ දෙයක් කළමනා ලෙස කරන්ට නු වූ හෙයින් තෙලේ වූ තරම. එ තැනට උපස්ථාන කළ උපාසකවරු කළ මනා ලෙස කළ හෙයින් දෙව්ලොව උපන්හ.

හෙමවත-සාතාගිර දෙ දෙන ත් මහානුභාව සම්පන්න ව සක් දෙවිඳුගේ අටවිසි යක් සෙනෙවියන්ට ඇතුළත් වූහ. යක් සෙනෙවියෝ අට විස්ස ද වැළි ත් ‘මසකට අට දවසක් ගැණි සැඟිණි නිසා හිමවත රත් ගල් තෙලෙහි භගලවතී නම් මණ්ඩපයට දෙවියෝ රැස්වෙති. එ තැනට අප යා යුතු ය’යි කතිකාවක් කළහ. එහෙයින් සාතාගිර-හෙමවත දෙන්නත් සෙසු පුණ්ණකාදී යක් සෙනෙවියන් හා සමග ඒ දේවතා සමාගමයට ගොසින් ඔවුනොවුන් දැක හැඳින ගෙන ‘තොපි කොයි උපනු ද තොපි කොයි උපනුදැ’යි ඔවුනොවුන් උපන් තැන් විචාරා කළ කම් වූ නියාවට මඳ වැරැද්දකින් වූ අඩුව දැන ‘අපි, සබඳිනි, විසි දහසක් හවුරුදු මුළුල්ලෙහි මහණ ධම්කොට පාපී කෙනකුන් නිසා උන්ගේ නපුරු සමවායෙන් යක්‍ෂව උපනුම්හ. අපට දන් දුන්නෝ දෙව්ලොව උපන්හ. අපි විසි දහසක් හවුරුදු ජීවත් ව කුමක් වූ මෝ ද, ඒ උපාසකවරු එක දවසක් ජීවත් වූ නමුත් ඒ ‍ ම යහපතැ’යි තමන්ට වූ හානි නිසා මුසුප්පු වූහ.

ඉක්බිත්තෙන් සාත නම් පවුවෙහි වසන සාතා ගිර නම් යක් සෙනෙවියෝ හිමවත-හෙමවත නම් පව්වෙහි වසන හෙමවත නම් යක් සෙනෙවියන්ට ‘සබඳ, හිමවත බොහෝ ආශ්චර්‍ය්‍ය ඇත. ඉන් ආශ්චර්‍යයක් දැක හෝ අසා හෝ මට ත් කියව’යි කිවු ය. හේමවත නම් යක් සෙනෙවියෝ ද සාතාගිර නම් යක් සෙනෙවියන්ට ‘සබඳ, මධ්‍ය දේශයෙහි බොහෝ ආශ්චර්‍ය්‍ය ඇත. ඉන් ආශ්චර්‍ය්‍යක් දැක හෝ අසා හෝ මටත් කියව’යි කිවූ ය. මෙ සේ ඒ යක් සෙනෙවියන් දෙන්නා කථා කොට ගෙන ඒ යක්‍ෂ ආත්ම භාවයෙන් නොමි ඳී වසන කලට බුද්ධාන්තරයෙක් ඉක්මිණ. දහසක් හවුරුද්දෙන් අඟලක් වඩනා පොළොව සත් ගවුවක් විචර වැඩිණ. එ කල අප බෝසත්හු දිවකුරු බුදුන් සමයෙහි බුදු වන්ට පැතූ පැතීම් ඇති ව වෙසතුරු අත් බැව් දක්වා පැරුම් පුරා නිමවා තුසී පුරෙහි ඉපැද එහි ආයු පමණින් සිට දෙවි බඹුන් විසින් බුදු වීම නිසා මිනිස් ලොව උපදනා ලෙසට අයදනා ලදු ව කල් දෙස් ආදිය බලා දෙවි බඹුන්ගේ ආරාධනා ඉවසා මිනිස් ලොව මවු කුස පිළිසිඳ ගත්හ.

එ වේලෙහි දී පොළොව ගිගිරීම් ආදි වූ දෙතිසක් විතර ආශ්චර්‍ය්‍ය පහළ වි ය. ඒ දැක මේ යක් සෙනෙවියෝ දෙන්න මේ කාරණයෙන් මේ පහළ වූ ආශ්චර්‍ය්‍ය නියාව නො දත්හ. මවු කුසින් බිහි වූ දවස් ආශ්චර්‍ය්‍ය පහළ වූ ගමනේ ත් නො දත්හ. මහභිනික්මන් නික්මෙන දවස් පහළ වූ ආශ්චර්‍ය්‍ය දැක ත් කාරණ නො දත්හ. බුදු වූ දවස් පහළ වූ ආශ්චර්‍ය්‍ය දැක ත් බුදුන් බුදු වූ නියාවට පහළවූ ආශ්චර්‍ය්‍ය නියාව නො දත්හ. දහම් සක බරණැස දී පවත්වන දවස් පහළ වූ ආශ්චර්‍ය්‍ය දැක යක් සෙනෙවියන් දෙන්නා ගෙන් සාතාගිර නම් යක් සෙනෙවියෝ ම පළමු කොට දුටුවු ය. දැක කාරණාත් දැන ගෙන සහ පිරිවරින් බුදුන් කරා ගොසින් බණ ඇසූ ය. බණ අසා ත් නිවන් එ දවස් දැකගත නුහුණුවු ය. කුමක් නිසාද යත් - ඌ බණ අස අසා සිට ම හෙමවතයන් සිහි කොට පියා රැස් වූ යක් පිරිස් බලනුවෝ නො දැක ‘එන ගමනේ මාගේ යාළුවාණන්ට ත් සැළ නො වී ය. ඌ සම්භනුවූවෝය’යි සිත සිතා බණට නුවණ යොමු කරන්ට නො වී ය. බුදුහු ත් හිර ගළ හෙන්නා ම බණ ත් සන්ධි කළ සේක.

සාතාගිර නම් යක් සෙනෙවියෝ ද බණ නම් අද වදාළ බණ ම නොව ත් තවත් තවත් වදාර ත් මාගේ යහළු වූ හෙමවතයනු ත් කැඳවා ගෙන අවුත් උන් හා එක් ව බණ අසමි’යි සිතා ඇත් වාහන අස් වාහන ගුරුළු වාහනාදිය මවා ගෙන පන් සියයක් සෙනඟ පිරිවරා හිමවත බලා නික්මුණවු ය. එ කල හෙමවත නම් යක් සෙනෙවියෝ ද බුදුන් මවු කුස පිළිසිඳ ගන්නා දවසූ ත්, බිහි වන දවසුත්, මහභිනික්මන් දවසු ත්, බුදු වන දවසු ත්, පිරිනිවන් පානා දවසු ත්, පහළ වූ දෙ තිසක් පමණ ආශ්චර්‍ය්‍ය ඇසිල්ලෙහි නැති වත ත් දම්සක් පැවතුම් සුත් දෙසන දවසුත්, පස්වා දහසක් පවත්නා බණ හෙයින් ආශ්චර්‍ය්‍ය දෙතිසක් නැතක් වේලා පවත්තී. හිමවතත් පහළ වූ බොහෝ ආශ්චර්‍ය්‍ය දැක ‘මා මෙහි උපන් වක් පටන් මේ හිමවුපියස මෙ ලෙස සිත්කලු වූවා දුටු විරූ නැත. මාගේ යහළු වූ සාතාගිරයනු ත් කැඳවා ගෙන අවුත් වනසිරි විඳිමි’යි සිතා හිමවත සිට මධ්‍ය දේශ ය බලා එ තැනට එති. ඔහු දෙ පක්‍ෂය ම රජගහා නුවරට උඩ අහසදී එක් තැන් ව ඔවුනොවුන්ගේ ඊමට කාරණ විචාළහ.

හේමවතයෝ ‘නිදුක, මා උපන්වක් පටන් මේ හිමවු පියස රුවන් වොටුන්නක් මෙන් මෙ සේ ශෝභාවත් වූ කලක් නුදුටු විරීමි. එක්ව වන සිරි විඳින නිසා තොප කැඳවා යන්ට ආමි’යි කීහ. සාතාගිර නම් යක් සෙනෙවියෝ ‘මෙ සේ හිමවත ශෝභාවත් වන්ට කාරණ දනුදැ’යි විචාළෝ ය. ‘නො දනිමි’ කී කල්හි හෙම්බා නිදුකාණෙනි, මේ ආශ්චර්‍ය්‍ය හුදෙක් තොපගේ හිමවත නො වෙයි. හුදෙක් දඹ දිව ම නො වෙයි. හුදෙක් මේ සක්වළ ම නොවෙයි. දස දහසක් සක් වළ මුළුල්ලෙහි ම මේ සැටි ම ය. මෙයට කාරණ අනිකෙක් නො වෙයි. බුදුහු ලොව පහළ ව අද ධම් සක් පැවැත්වූ සේක. ඒ නිසා පහළ වි ය’ යි කීහ. මෙ සේ සාතාගිරයෝ හෙමවතයන්ට බුදුන් උපන් නියාව කියා ලා ‘සබඳ හෙමවතයෙනි, අද දවස ඇසළ මස පුර පසළොස්වක් දවස ය. අද රාත්‍රිය ත් පිරී නැඟී සඳෙහි සඳරසින් හා දස දහසක් සක්වළින් රැස් වූ දෙවි බඹුන්ගේ ශරීරාලෝකයෙන් හා රැඳී ගියාක් මෙන් ඉතා හොබ්බි. ඒ හැමටත් වඩා බුදුන්ගේ සකල ශරීරයෙන් නිකුත් සවනක් රස් සියලු ශෝභාව මඬිමින් රාත්‍රි ය ඉතා හොබවයි. එ හෙයින් මෙ තරම් රාත්‍රියක් ලබන්ට බැරි ය. මේ නිසා රාත්‍රි ය සිස් නොයවා බුදුන් දක්නට යම්හ’යි හෙමවතයන්ට කිවු ය.

හෙමවතයෝ ඒ අසා ‘සාතාගිරයෝ බුදු කෙනකුන්ගේ පවත් කියති. පූරණ කාශ්‍යපාදී වූ ස දෙනෙකු ත් බුදුම්හ’යි කියා ඇවිදිති. සර්‍වඥවරයන්ගේ ලොව පහළ වීම ත් අරුම ය. ලද්දා වූ ගුණ විශේෂ ය දතො ත් බුදු නියාව දත හැක්ක. ඒ විචාරමී’ සිතා ‘කුමක් ද? තොපගේ බුදුන්ගේ සිත මඬෙයි ඇති කූරක් සේ නොවළහා ලාභාදි ය නිසා වෙව් ලා නො යාමෙන් ගැඹුරු වන වළෙක හිඳුවා ලූ ටැඹක් මෙන් නිශ්චල ද ? හිත අහිත සියල්ලවුන් කෙරෙහි ම මැදහත් වූ ද? ඉෂ්ට රූපාදියෙහි ඇලුම් නැත්තෝ ද? අනිෂ්ට රූපාදියෙහි සැටීම් නැත්තෝ ද ඒ කියව. ඒ කී කල ම බුදු නියාව දත හැක්කැ’යි කිවු ය.

ඒ අසා සාතාගිරයෝ බුදුන්ගේ ගුණ විචාළ හෙමවතයන්ට තමන් දත් විචර ගුණ කියන්නෝ ‘නිදුකාණෙනි, මම ඒ බුදුන් ගේ ගුණ විස්තර කොට කියන්ට කවරෙක්මි ද? මඳක් වුව ත් කියමි. තෙපි නුවණැත්තහු වී නම් බොහෝ කොට සිතා ගනුව. දෙ ලක්‍ෂ සතළිස් දහසක් යොදුන් බොල ඇති පස් පොළොවට පාතින් දිය පොළොව හෙයින් උඩින් සිස් හෙයින් සැලී යේ නමුත් දිය පොළොවට පාත වා පොළොව හෙයින් සාර ලක්‍ෂ අසූ දහසක් යොදුන් ගැඹුර ඇති දිය පොළොව සැලී යේ නමුත් නව ලක්‍ෂසැට දහසක් යොදුන් බොල ඇති වා පොළොව සැලෙන හෙයින් ම සැලේ නමුත්, ඒ මාගේ ස්වාමි දරු වූ බුදු රජුන්ගේ සිත කෙලෙස් පවනින් සෙලවී යන්ට නැති හෙයින් නිසල ය. බුදු වූ අවස්ථාවෙහි නිසල වී මෙහි අරුම කිම් ද ? ඡද්දන්ත ජාතකයෙහි සදත් ව උපන් කල පවා විෂ පොවා පී පළම් හීයෙන් විත් කා ත් විදි තැනැත්තවුට පර ලොවින් වූ හානි හා තමන් වහන්සේගේ ශරීරයට වූ හානි මුත් සිත වෙවුලා නො ගියේ ය. සිත අනිකක් නැති නියාව සවනක් රස් විහිදිනා දළ දෙක කපා දුන් ගමනින් ම දැනෙයි. මහාකපි ජාතකයෙහි වඳුරු ව උපන් කල පවා වළ හුණු මිනිසා ගොඩ ලා ඔළුව පළවා ගෙන ත් ඌ සීරු තැන ලූවා බුදු වන්ට සිතූ සිත ම තර කරන්ට වුව.

විධුර පණ්ඩිත ව උපන් සමයෙහි පය අල්වා ගෙන දෙ සිය සතළිස් ගවුවක් උස ඇති කාල ගිරි පර්‍වතයෙන් හෙළූවන්ට ත් සාධුනරධම්ම නම් බණ කියා උන්ගේ සිත මොළොක් කැරවූවා ත් තමන් වහන්සේගේ සිත සියල්ලවුන් කෙරෙහි ම මැදහත් හෙයින් වුව. තව ද ඒ බුදුහු සුව එළවනු කැමැති බැවින් හා දුක් පහ කරණු කැමැති බැවින් සියල්ලන් කෙරෙහි ම සම අදහස් ඇති සේක. තමන් වහන්සේ කෙරෙහි යම් අදහසක් ඇති සේක් වී නම් සෙස්සවුන් කෙරෙහි ත් එතෙක් ම ය. මහමායා බිසොවුන්ට යම් අදහසෙක් වී නම් චිඤ්චා මානවිකාවන්ට ත් එ තෙක් ම ය. සුදොවුන් රජ්ජුරුවන් කෙරෙහි යම් අදහසෙක් වී නම් අත්‍යන්ත විරොධී වූ මයිල් සුප්පබුද්ධ ශාක්‍ය රජ්ජුරුවන් කෙරෙහි ත් එ තෙක් මය. රාහුල තෙරුන් වහන්සේ‍ කෙරෙහි අදහස යම් සේ වී නම් දේවදත්ත-ධනපාල-අඞ්ගුලිමාලාදීන් කෙරෙහි ත් එ තෙක් මය. තව ද කවර තරම් යහපත් දෙයක ත් ඇලුම් නැති සේක. කවර තරම් නපුරු දෙයක ගැටී මුත් නැති සේක. තව ද ඒ බුදු රජුන් වහන්සේ දැන් බුදු වූ සම ය තබා අනන්ත කාලයක ත් පවින් දුරු සේක. ඒ නිසා දෙ තිස් මහා පුරුෂ ලක්‍ෂණ සම්භ වි ය. නැවත සියලු ලෝ වැස්සන් ගෙන් සම්භාවනා ත් ලබන සේකැ’ යි කිවු ය.

හෙමවත නම් යක් සෙනෙවියෝ ද තමන් කසුප් බුදුන් සමයෙහි කළ ධර්මාභියෝගය නො මඳ හෙයින් තුන් දොරින් සිද්ධ වන අකුසලින් බුදුන් දුරු නියා ව විචාරීම් තබා වැඩි තරම් බුදු ගුණ විචාරන්ට බල ඇති හෙයිනු ත්, සාතාගිරයන් වැඩියුරු බුදු ගුණ කියන්ට බල ඇති හෙයිනු ත් තව ත් තව ත් විචාළහ. විචාළ විචාළ දෙය උයි ත් තමන් දත් තරමෙකින් කියන්නෝ ‘තොප විචාරන්නේ ත්‍රිවිද්‍යාදියෙන් යුක්ත නියාවක් වේ ද ? එසේය.

‘ඒ බුදුහු කෙ තෙක් කල් වුවත් පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණ ත් ඇති සේක. දිවසින් බලා දක්නට නිස්ස දිවැසිනුත් දක්නා සේක. සව් කෙලෙසුන් ම රහත් මඟින් නැසූ සේක. මාර්‍ග භාවනා නිසා නො වතත් ඵල සමවත් සම වැදීම් නිසා විවසුන් නුවණ ත් ඇති සේක. සිරුරු අබතුරේ දී ම රුවක් මවා මුඛයෙන් පිටත්කරණ සේක. එකක් ව බොහෝවීම් ආදීන් විසින් විකුර්වන ඍද්ධීන් ඇති සේක. අනන්ත අප්‍රමාණ සක් වළින් එ පිට වුව ත් පැවැති ශබ්ද ය අසන තරම් දිව කන් ඇති සේක. එ කි එ කී කෙනකුන්ගේ සිත සොළොස් සොළොස් ලෙසකින් දක්නා හෙයින් පර සිත් දන්නා නුවණ ත් ඇති සේක. මේ සෙසු තැනටත් වේද යත්-බුදුන් තරමේ සෙසු තැනට නැත. සිවු පිරිසුදු සිල් ආදි වූ පසළොසක් පමණ චරණ ධර්මයෙනුත් සමන්විත සේකැ’යි සාතාගිරයෝ කිවු ය.

හෙමවත නම් යක් සෙනෙවියාණෝත් සාතාගිරයන් හකුළුවා කියාලූ බුදුගුණ තුමූ විස්තර හෙයින් සිතා ගෙන සිස් වූ අහස සිටත් බුදුන්ගේ නො සිස් ගුණයට සමාධි වූහ. සාතාගිරයන් කෙරෙහි ත් වඩ වඩා ම සමාධි වූහ.

එ දවස් ද වැළි ත් රජගහා නුවර ඇසළ මස හෙයින් නක ත් කෙළියෙක් ඇත. නුවරත් දෙව් නුවරක් මෙන් සරහා හැම දෙනා උත්සව කරණ කලට කාලී නම් වූ උපාසිකා කෙනෙක් මාළිගාවට නැඟී ළා සී මැදුරු කවුළු දොර හැරලා ඇඟට පවන් ගස්වනු නිසා කවුළු දොර ගාවා සිටි තැනැත්තෝ යක් සෙනෙවියන් දෙන්නා කියන බුදුගුණ ඇසූ ය. ඒ අසා බුද්ධාලම්බන ප්‍රීති ය උපදවා ගෙන ප්‍රීතිවේග ය විකඹමින් භාවනා කොට මාළිගාවේ සිටි තැනැත්තෝ සෝවාන් වූ හ.

ඒ යක් සෙනෙවියෝ දෙන්නත් දහසක් යකුන් පිරිවරා මධ්‍යම රාත්‍රි වේලාට ධම් සක් පැවතුම් සූත්‍රයේ බණ අසන්ට ගිය දෙවි බඹුන් බණ නිමි හෙයින් අධිගමය ත් නිමවා ඉගිළ ගිය ත් පළඟ නූගුළුවා වැඩ හුන් බුදුන් ලඟට ගොසින් වැඳ ලා සිටියහ. වැඳ සිටි දෙන්නගෙන් නුවණින් හා තේජසින් වැඩී සිටියා වූ හෙමවත නම් යක් සෙනෙවියෝ ‘කුමක් ඇති කල ලොව ඇති වේ ද’ යනා දීන් ප්‍රශ්න විචාළහ. බුදුහුත් ‘චක්ෂුරාදි වූ ආධ්‍යාත්මිකායතනයන් ස දෙනා හා රූපාදි වූ බාහ්‍යායතනයන් ස දෙනා ඇති කලට ලෝ වැස්සෝ ඇත්තෝ නම් වෙතී’ යනාදීන් උන් කවර ලෙසින් අධි ගම ය කරත ත් අර්හත්‍ව ය කුළු ගෙන දේශනා නිමවූ සේක. දේශනා කෙළවර පිරිවර යකුන් හා සමග සාතාගිර-හෙමවත දෙන්නා සෝවාන් වූහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් මඳෙකින් වැරද යෑම මුත් දෙන්නාටම නො වන හෙයින් තම තමන් කෙරෙහි ත් වන හෙයින් ජීවත් වන හැසිල්ලක ත් නිෂ්ප්‍රයෝජන නො කළ යුතු.

සද්ධර්‍ම රත්නාවලියෙහි ශාසනික තැනට ම ආවේනික කොට ලියා ලූ හෙමවත කථාව නිමි.

_________