පහත පළවනුයේ ශත වර්‍ෂ භාගයක් පමණ වූ පූර්වොක්ත කාලය තුළ විසූ එකී ග්‍රන්ථ කර්තෘන් විසින් සම්පාදිත ග්‍රන්ථ සමූහය හා ඒ පිළිබඳ විවේචනයකි.
1. විජය සුන්දරාරාමාධිපති සඝරක්ඛිත (ග්‍රාමවාසී) මහා ස්ථවිර
1. වුත්තෝදය — (පාළි ඡන්දස්)
2. සුබොධාලඞ්කාරය (පාළි අලඞ්කාර)
3. සුසද්ද සිද්ධිපප්යොග (පාළි)
4. සුමඞ්ගලප්පසාදිනී (පාළි ඛුද්දක සික්ඛා ටීකා)
5. සම්බන්ධ චින්තා (පාළි)
2. මහා නෙත්‍ර පාදමූල සුමංගල මහා ස්ථවිර
1. අභිධම්මත්‍ථ විභාවිනි (පාළි අභිධම්මත්‍ථ සඞ්ගහ ටීකා)
2. අභිධම්මත්‍ථ විකාසිනී (පාළි–අභිධම්මාවතාර ටීකා)
3. දිඹුලාගල ආරඤ්ඤක මෙධංකර (වනවාසී) මහා ස්ථවිර[1]
1. විනයාර්ථ සමුච්චය (සිංහල) විනය සන්නය
4. අත්තනගල්ලේ ප්‍රතිරාජ පරිවෙණාධිපති අනවමදර්ශි (උභය වාසයෙහි ම) සංඝරාජ ස්ථවිර
1. දෛවඥ කාමධෙනු (සංස්කෘත)
2. පරොපකාරය (සංස්කෘත)
5.
3. හත්‍ථවනගල්ල විහාරවංශ (පාළි-චම්පු) මෙය සඞ්ඝරාජයන්ගේ නියම ය ලෙස කරණ ලද අන්‍යතර පඬිවරයෙකුගේ කෘතියෙකි.
6. පඤ්චමූල පරිවෙණාධිපති මහා ස්ථවිර
1. භෙසජ්ජමඤ්ජුසා (පාළි)[2]
7. පළාබත්ගල ප්‍රතිරාජ පිරුවන්හි වේදේහ මහා ස්ථවිර
1. සද්දලක්ඛණය (සිංහල ව්‍යාකරණ)
2. සමන්තකූට වණ්ණනා (පාළි)
3. රසවාහිනී (පාළි)
8. දෙවැනි පැරකුම්බා රජතුමා
1. විසුද්ධිමාර්‍ග මහා සන්නය (සිංහල)
2. නිස්සන්‍දහ නම් වන විනිස සන්නය (සිංහල)
3. කව්සිළුමිණ (සිංහල මහා කාව්‍යයක්)
9. මයුරපාද පරිවෙණාධිපති බුද්ධපුත්‍රයන් වහන්සේ[3]
1. පූජාවලිය (සිංහල)
2. යොගාර්‍ණවය (සිංහල වෙදකම)
3. ප්‍රයෝගරත්නාවලිය (සිංහල වෙදකම)
10. චොලිය බුද්ධප්පිය මහා ස්ථවිර[4]
1. මහා රූප සිද්ධි (පාළි)
2. පජ්ජමධු (පාළි)
11. ත්‍රිපිටකධාරී ධර්‍මසේන මහා ස්ථවිර
1. සද්ධර්‍මරත්නාවලිය (සිංහල)
12. ගොතම මහා ස්ථවිර[5]
1. සම්බන්ධ චින්තා ව්‍යාඛ්‍යාව (සිංහල)
මේ දොළොස් මහ පඬිවරුන්ගේ ග්‍රන්ථකාරකත්ව ය ගැන සලකා බලන කල බුද්ධපුත්‍ර හිමියන් එක් පසෙකත්, ධර්‍මසේන හිමියන් වෙන පසෙකත්, රජතුමා ඇතුළු අනෙක් හැම දෙන ම තවත් පසෙකත් ඇතුළත් කළ හැක. බුද්ධපුත්‍ර—ධර්‍මසේන දෙ නම හැර ඉතිරි දස දෙනා අතුරෙන් පස් නමකගෙන් ව්‍යාකරණ—ඡන්‍දස්—කාව්‍ය-අලඞ්කාර සහිත පාළි සාහිත්‍යයේ දියුණුවත්, එක නමකගෙන් පාලි සාහිත්‍යයේ හා හෙළු වියරණයේ දියුණුවත්, තවත් එක නමකගෙන් සංස්කෘත සාහිත්‍යයේ පෝෂණයත් ඉතිරි තුන්දෙනාගේ කෘති වලින් පෙළබස හදාරණ අයගේ පහසුවත් සැලසෙන බව පෙනේ. මේ අතර භික්ෂූන් වහන්සේගේ ප්‍රයෝජනය පිණිස පමණක් (ගර්භිණී-කුමාර චිකිත්සා හැර) පාළි භාෂාවෙන් ලියූ වෙද පොතක්[6] හා සංස්කෘත භාෂාවෙන් ලියූ නක්ෂස්ත්‍ර[7] පොත් දෙකක් ද තිබෙන නමුත් ස්වභාෂාව පමණක් දන්නා අයට ඒවායින් වැඩි ප්‍රයෝජනයක් ගැනීම දුෂ්කර ය. පොතපත ම හදාරා පොත පතෙහි ම එන දැය ම ලියූ, පොත පත ගැන ම විශාරද බුද්ධිමතුන් වූ මේ දස පඬිවරයන්ගේ කෘති වලින් සාමාන්‍ය ජනයාට සෑහෙන ප්‍රයෝජනයක් අත් වෙතොත් කලාතුරකිනි.
ඉතිරි මයූරපාද–ධර්‍මසේන දෙ නම වරෙක එක මඟකත් තව වරෙක මයුරපාද හිමියන් පමණක් තනි ව වෙන මඟකත් ගමන් කරමින් ලක්වැසියන්ගේ අභිවෘද්ධිය සඳහා ක්‍රියා කළ බැව් පෙනේ. මේ දෙ නම ම ග්‍රන්ථ සම්පාදනය කර තිබෙන්නේ ව්‍යවහාර සිංහලයෙනි. පොදු ජනයාට ප්‍රයෝජනවත් වන ලෙසිනි. ඒ ග්‍රන්ථ සැරසීමෙහිලා බොහෝ සෙයින් ම උපයෝගී කොට තිබෙන්නේ එකල ජන ප්‍රවාදයෙහි පැවති උපමා-උපහාසාදි ය ම ය. සීනියට වඩා හකුරෙහි රසය දන්නා පිටිසරයෙකු මෙන් ගතානුගතික ග්‍රන්ථ සම්පාදනයට වහල් නොවී පොදු බෞද්ධ ජනතාව තුළ කියවීම් රුචිය හා ඒ මගින් ධර්‍මඥානයත් ඇතිවන සේ සද්ධර්‍මරත්නාවලිය ලියන අතර පූජාවලියෙන් ඒ සියල්ලත් තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාභක්තියත්, තවත් ලංකා ශාසන ප්‍රවෘත්ති හා සිංහල ඉතිහාස ආදියත් උගන්වයි. පඤ්චමූල පරිවෙණාධිපතීන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේගේ ප්‍රයෝජනයට පමණක් සෑහෙන පරිදි ගර්භිණී-කුමාර චිකිත්සා අත හැර වෙද පොතක් පාළි භාෂාවෙන් ලියා විශේෂ ශික්ෂා ගරුකත්වයක් පෙන්වන අතර තරඟයකට නැතහොත් සරදමකට මෙන් පූජාවලී කර්තෘන් වහන්සේ ගර්භිනී−කුමාර චිකිත්සා ඇතුළු හැම චිකිත්සාවක්ම ඇතුළත් කොට හැම දෙනාගේ ම ප්‍රයෝජනය පිණිස කාටත් තේරුම් ගතහැකි ව්‍යවහාර සිංහල භාෂාවෙන් වෙද පොත් දෙකක් ලියති.
මෙ සේ බලන කල පූජාවලී - සද්ධර්‍ම රත්නාවලී කර්තෘවරු ගැමියන් අතර ඉපදී, ගැමි ජීවිතයෙහි රසවිඳ හොඳට පුරුදු නාගරික ජීවිතය ගැනත් පරීක්ෂාවෙන් ලබා ගත් මනා අවබෝධයක් ඇත්තෝය. බාහිරශාස්ත්‍රඥානය අතින් මයුරපාද හිමියෝ ධර්‍මසේන, හිමියන් ඉක්මවා යෙති. ධර්‍මසේන හිමියෝ ත්‍රිපිටක ධර්‍මය පිළිබඳ හසළ බුද්ධිමතෙකි. බහුශ්‍රැත මහ තෙර නමෙකි. ඒ බැව් ග්‍රන්ථාවසානයෙහි එන කර්තෘ සන්දර්ශන ගාථාවන්හි ද ඇතුළත් ව තිබේ. එ සේ ම යමක් ගැන නිදහස් ලෙස සිතා මතා ගැන්මෙන් හා ගැඹුරු ධර්‍මයක් තමා අවට තිබෙන කවුරුත් දන්නා සාමාන්‍ය වස්තුවක් උපමා වශයෙන් ගෙනහැර පා අවබෝධ කරවීමෙන් ලත් බුද්ධිප්‍රභාවය අතින් නම් එ කල විසූ සියලු පඬිවරයන් ම ඉක්මවා ගමන් කර තිබෙන බව පෙනේ. මෙසේ මේ දෙ නම ගේ ලෝකාර්ථචර්යාවෝ වරෙක එක ම මගෙක ගමන් කළ නමුත් ප්‍රයෝජන පක්ෂය ගෙන තුලනාත්මකව පරීක්ෂා කිරීමේ දී ලැබෙනුයේ මනෝ–රෝග නිවාරණය පිණිස එක පොතකුත්, කායික රොග නිවාරණය පිණිස පොත් දෙකකුත් ලියූ බුද්ධපුත්‍ර හිමියන්ට මුල් තැනත්, මනෝරෝග නිවාරණය පිණිස පොතක් ලියූ ධර්‍මසේන හිමියන්ට දෙවැනි තැනත් ය.
-
මුන් වහන්සේ දෙවැනි පැරකුම්බා රාජ්‍යොදයෙන් තිස් වැන්නෙහි කරන ලද ශාසනශෝධනයෙන් පසු ව පළා බත්ගල විසූහ. ↑
-
මුන් වහන්සේ පළාබත්ගල - වාගිරිගල - මයූරපාද පිරිවෙණ යන තුන් තන්හි ම විසූහ. පූජාවලිය පලාබත්ගලදීත්, යොගාර්‍ණවය වාගිරිගලදීත්, ප්‍රයොගරත්නාවලිය මයූරපාද පිරිවෙන්හිදීත් ලියූහ. ↑
-
මුන් වහන්සේ වේදේහ හිමියන්ගේ පැවිදි සොහොයුරෙකි. ලඞ්කාවේ දක්ෂිණාරාමයේ සහ සොළී රට බාලාදිත්‍ය චූඩාමණිකර්‍ණ විහාරයෙහිත් විසූහ. ↑
-
මුන් වහන්සේ ද වේදේහ හිමියන්ගේ පැවිදි සොහොයුරෙකි. ↑
-
සිඛවලඳ විනිසෙහි පාළි පරිවර්‍තනය වූ සික්ඛාපදවලඤ්ජනය ද මුන් වහන්සේගේ කෘතියක් ලෙස සලකති. ↑
-
භෙසජ්ජමඤ්ජුසා-
සබ්‍රහ්මචාරිනො භික්ඛූ - ජාතවෙය්‍යත්තියා ‘මුයා
කල්ලා හොන්තූති රොපෙසු - අඤ්ඤමඤ්ඤතිකිච්ඡකා. ↑
-
දෛවඥ කාම ධෙනු - පරොපකාර ↑